විශේෂ වෙළෙ¼ද භාණ්ඩ බදු පනත යටතේ නියමයන්, රේගු ආඥා පනත යටතේ යෝජනා, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නියමයන් සහ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියමය පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරුන් දැක්වූ අදහස්.

  👤  2983 readers have read this article !
2018-07-05

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

මන්ත්‍රිවරුන් දෙදෙනකු පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි කරමින් කටයුතු කිරීම අපකීර්තියක් -කතානායක කරු ජයසූරිය

මන්ත්‍රිවරුන් දෙදෙනකු ඉතාමත් අශෝභන ලෙස සහ පාර්ලිමේන්තු ගරුත්වයට හානි කරමින් කටයුතු කළ ආකාරය පාර්ලිමේන්තුවට අපකීර්තියක් බව කථානායක කරු ජයසූරිය ඊයේ (04දා) පාර්ලිමේන්තුව ආරම්භයේදී විශේෂ ප්‍රකාශයකින් සඳහන් කළේය.

ජනතාවට ඉතා වැදගත් වන ජාතික ඔෟෂධ නියාමන අධිකාරි පනත යටතේ නියෝග පෙරේදා (03දා) සම්මත කිරීමට නියමිතව තිබියදී ජනතා සුබසිද්ධිය ගැන කිසිම හැඟීමක් නොමැතිව එයට බාධා කර පාර්ලිමේන්තුවේ උත්තරීතර සංකේතය වූ සෙංකෝලය උදුරා එයට හානි කිරීමට ගත් උත්සාහයත් එම වැදගත් නියෝග අනුමත කිරීමට ඉඩ නොදී පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කිරීමත්, මෙන්ම රටට දෙන පණිවුඩය ගැනත් අප කනගාටු විය යුතුයි" කථානායකවරයා ප්‍රකාශ කළේය.

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය කරන ලද ප්‍රකාශය අප දැනගත් විගසම එහි බැරෑරුම්කම වටහාගෙන එය පරීක්ෂා කිරීමට එදින උදේම,
මවිසින් ක්‍රියා කර තිබුණා. අවශ්‍ය කැසට් පටය ලබාගෙන එහි පරිවර්තනය අධ්‍යයනය කර කථානායක වශයෙන් ව්‍යවස්ථානුකූලව මට ගත හැකි සෑම පියවරක්ම ගැනීමටත් ඇය නියෝජනය කළ පක්ෂ නායකත්වයද දැනුවත් කර නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමද මේ අතර ක්‍රියාත්මක වෙමින් තිබුණා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ක්‍රියාකාරිත්වයෙන් ලෝකයේ ආදර්ශවත් පාර්ලිමේන්තුවක් වශයෙන් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය පිළිගෙන තිබියදී කීපදෙනකු විසින් කරනු ලැබූ මෙම අශෝභන හැසිරීම තුළ මුළු පාර්ලිමේන්තුවේම ගරුත්වයට හා කීර්ති නාමයට බලවත් හානියක් සිදු වන බව සඳහන් කරන්නේ බලවත් කනගාටුවෙන්.

එසේ තිබියදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් දෙදෙනකු ඉතාමත්ම අශෝභන ලෙස මෙම පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි කරමින් කටයුතු කළ ආකාරය පාර්ලිමේන්තුවටම අපකීර්තියක්.

ඒ අනුව ඊයේම නීතිපතිවරයාට උපදෙස් දුන්නේ වහා ක්‍රියාත්මක වී අදාළ නීති ප්‍රකාරව කටයුතු කරගෙන යන ලෙසයි. කථානායක වශයෙන් ව්‍යවස්ථානුකූලව මට ගත හැකි ඉහළම පියවර එයයි. යනුවෙන්ද කථානායකවරයා ප්‍රකාශ කළේය.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත ගැන විවාදයක් පමණක් නොව කොමිසමකුත් ඕනෑ- ඇමැති කබීර් හෂීම්

"නිව්යෝර්ක් ටයිම්ස් පුවත සම්බන්ධයෙන් විවාදයක් පමණක් නොව කොමිසමක්ද ඕනෑ" බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති කබීර්
හෂීම් පැවැසීය.

2011දී සමාගම් බද්ද මූල්‍ය අරමුදලේ නියමය පරිදි සියයට 35 සිට 28 දක්වා අඩු කළා. සමාගම් සඳහා වැට් බද්ද සියයට 20 සිට 12 දක්වා රාජපක්ෂ උන්නැහැ අඩු කළා. මෙතැන ඇවිත් සාමාන්‍ය ජනතාව ගැන කතා කරනවා.

නමුත් සමාගම්වලට බදු අඩු කළා. හාල්මැස්සන්ට, පරිප්පුවලට, බෙහෙත්වලට වැට් බද්ද වැඩි කළා. බදු ගෙවන්න බැරි සමාගම්වලට සහන පොලියට ණය දෙන්න එදා 2012දී රාජපක්ෂ මුදල් ඇමැතිවරයා මේ සභාවේ කතා කළා. ශීතකරණ හා වායුසමීකරණ බද්ද සියයට 90කින් බදු අඩු කළා.

එදා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ටී.බී. ජයසුන්දර ප්‍රකාශයක් කළේ මෙරට නිපදවිය හැකි භාණ්ඩ පිටරටින් ගෙන්වීම විශාල අපරාධයක් බව කීවා. ඒ කීවේ මහින්ද රාජපක්ෂ මහත්තයාටයි. බලු කෑම සඳහා බදු අඩු කළේ ඒ ආණ්ඩුවයි.

නිව්යෝර්ක් ටයිම්ස් එකේ කතාව අද මෙතැන කියන්න වෙලාව නැහැ. නමුත් මෙතැන තියෙනවා බඩු (ලිපිගොනුවක් පෙන්වයි) මේකට විවාදයක් පමණක් නොවේ කොමිසමකු අපට ඕනෑ.

ඇස්බැස්ටස් තහනම් කළ ජනපති
ඇස්බැස්ටස් සෙවිලි කළ ආණ්ඩුවේ නිවාස
විවෘත කිරීම විහිළුවක්-විජිත හේරත්

"ඇස්බැස්ටස් ෂීට් තහනම් කළ ජනාධිපතිම ඇස්බැස්ටස් සෙවිලි කළ ආණ්ඩුවේ නිවාස විවෘත කරන්න යන්නේ ඇයි" ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි විජිත හේරත් (ජවිපෙ) ප්‍රශ්න කළේය.

ජනවාරි 01 වැනිදා සිට ඇස්බැස්ටස් තහනම් බවට නියම කර තිබුණා.

ජනාධිපතිවරයා සහභාගි වූ පොළොන්නරුවේ නිවාස විවෘත කිරීමකදී ඒවා සඳහා භාවිත කර තිබුණේ ඇස්බැස්ටස් ෂීට්! ඇස්බැස්ටස් තහනම් කරන බවට ප්‍රකාශ කළ ජනපතිවරයාම රජයේ නිවාස ව්‍යාපෘතිවල ඇස්බැස්ටස් යෙදූ නිවාස විවෘත කිරීම විශාල විහිළුවක්.

අද දේශීය උළු කර්මාන්ත කඩාවැටිලා. ඇස්බැස්ටස් සඳහා ඩොලර් බිලියන 10ක පමණ ප්‍රමාණයක විදේශ විනිමයක් රටෙන් ඇදී යනවා. පිළිකා රෝගය සඳහා ඔෟෂධ වෙනුවෙන්ද විශාල මුදලක් වැය වෙනවා.

සියඹලා සහ ගම්බිරිස් ප්‍රති අපනයට ඉඩ නොදෙන්න. අපි තවමත් සීනි, මිරිස්, බීලුනු ආදිය පිටරටින් ගෙන්වනවා. මේවායින් විදේශ විනිමය අහිමි වෙනවා. ආනයන වියදම ඩොලර් බිලියන 20යි. අපනයන ආදායම ඩොලර් බිලියන 18යි. නීල හරිත අය වැයෙන් රටේ ආර්ථිකයට සිදුවුණේ මොනවාද..? දැන් ඒ වචන දෙක මතක නැහැ. නීල හරිත පේන්නත් නැහැ. බදු පිට බදු!

නඩු දාලා අපේ කටවල් වහන්න බෑ
-මහින්දානන්ද අලුත්ගමගේ

"තමුන්නාන්සේ බැඳුම්කර වංචාවෙන් සිදුවූ පාඩුව වහගන්න ටි්‍රලියන එකක් අද ජනතාවට බදු ගහනවා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.

යහපාලන ආණ්ඩුවේ දෙවැනි මුදල් ඇමැතිතුමයි.

පළමුවැනි මුදල් ඇමැතිතුමාට රේගුව පිළිබඳ ව්‍යාපාර තිබුණා. එතුමා මුදල් ඇමැති තනතුරට පත්කිරීම සදාචාරාත්මකව නීති විරෝධීයි. එතුමා එම තනතුරෙන් ඉවත් කිරීමට මලික් සමරවික්‍රම ඇමැතිතුමත් පිටුපසින් ඉ¼දලා කටයුතු කළා.

දැන් තමුන්නාන්සේට මුදල් ඇමැතිකම දීලා ඔක්කොම කුණු ටික ඔබතුමා ලවා අද්දවන්න හදනවා.

ආණ්ඩුව ඔබතුමාට බයයි. මොකද ඔබතුමා චන්ද්‍රිකා මැතිනියත් එක්ක එකතුවෙලා අගමැතිකම ලබාගන්න යන නිසයි බයවෙලා තියෙන්නේ.
කබීර් හෂීම් - අපි මිලියන 80ක් ගෙව්වා. අනුන්ගේ ඉඩම් අත්පත් කර ගත්ත ඒවට වන්දි ගෙවන්න.

මහින්දානන්ද අලුත්ගමගේ - ඉඩම් අත්පත්කර ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පවුලට නොවේ. දකුණු අධිවේගී මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය හදන්න.

රැකියා ලක්ෂ දහයක් දෙන බවට කියලා බලයට පත්වූ මේ ආණ්ඩුව, ලබාදීලා තියෙන්නේ රැකියා ලක්ෂ දෙකයි.

අද තමුන්නාස්සේලාගේ ණය ප්‍රමාණය බිලියන 800ක් වෙලා තියෙනවා. රුපියලේ අගය අවම වීම නිසයි මෙසේ බිලියන 800ක් ණය ප්‍රමාණය වැඩිවී තිබෙන්නේ.

"මහපොළ ශිෂ්‍යත්ව අරමුදලෙන් බැඳුම්කර සඳහා ලබාගත් මුදල නිසා සිදුවූ වංචාව තමුන්නාන්සේලා දන්නවාද?"

"විශේෂ අධිකරණය ඉස්සර වෙලාම ගන්නෙ මහින්දානන්දගේ කැරැම්බෝඩ් නඩුව කියලා නීතිපති දැනුම් දුන්නා. නඩු දාලා අපේ කටවල් වහන්න බැහැ."

ව්‍යාපාරිකයන් කිහිප දෙනකු කජු මද
හොරෙන් පිටරටින් ගේනවා-නි. ඇමැති එඩ්වඩ් ගුණසේකර

"කුඩු ගේනවා වගේ මේ රටට, පොතු ඇරපු කජු කන්ටේනර් අස්සේ හොරෙන් ගේනවා" යැයි, අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමැති එඩ්වඩ් ගුණසේකර පැවැසීය.

"කජු ව්‍යාපාරය ස්වයං රැකියාවක් වශයෙන් කරගෙන යන ව්‍යාපාරිකයන් පසුගිය කාලයේ කජු අස්වැන්න අඩු වීම නිසා, කජු ගෙඩිපිටින් පිට රටින් ගෙන්වීම ආරම්භ කළා. ඒ කජු ගෙන්වීමේ, දැඩි නීතිරීති යටතේ ගෙන්වීමට සිදු වුණේ."

"දැන් පිටකොටුවේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් කජු මද හොරෙන් පිටරටින් ගෙන්වීම නිසා අද කජු ව්‍යාපාරිකයන් අපහසුවට පත්වී සිටිනවා. ස්වයං රැකියාවක් වශයෙන් සිදු කෙරෙන ව්‍යාපාරය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලනවා."

විජයකලා නාඩගම නිව්යෝර්ක් ටයිම්ස් කතා වරින් වර එළියට දාන්නේ මහ බැංකු වංචාව වහන්නයි -ඉන්දික අනුරුද්ධ

"මේ ආණ්ඩුව විජයකලා නාඩගම, නිව්යෝර්ක් ටයිම්ස් කතාව ආදිය වරින් වර එළියට දාන්නේ මහ බැංකු වංචාව වහන්නයි" ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ පැවැසීය.

ආණ්ඩුව එක එක කාලෙට එක එක නාඩගම් එළියට දානවා. පහුගිය කාලෙ ඥානසාර නාඩගම අපි දැක්කා. දැන් විජයකලා නාඩගම, ඉන් පස්සෙ නිව්යෝර්ක් ටයිම්ස් කතා. මේවා එළියට දාන්නෙ මොකටද? මහ බැංකු වංචාව වහන්නයි. දැන් ගුවන්තොටුපොළ හා වරාය බද්ද ගහන්න හදනවා. මත්තල ගුවන් තොටුපොළ බදු දෙන්න යනවා. පනත සංශෝධනය කර හෝ ගුවන්තොටුපොළ බදු දෙන්න හදනවා. හම්බන්තොට වරාය වෙනුවෙන් ගත් ඩොලර් මිලියන 1,200ක ණය සත පහක් මේ ආණ්ඩුව ගෙව්වෙ නෑ. වරාය බදු දීලා ගත්ත සල්ලි විනාශ කළා.

නාවික හමුදාව වරාය ඇතුළෙ ඉන්නවා නම් ඒ සඳහා අවුරුද්දකට මිලියන 55ක් ගෙවන්නැයි චීනය කියනවා. මේ වරාය තමුන්නාන්සේලාගෙ දරුවන්ට නොවේ දරුවන්ගෙත් දරුවන්ටවත් ආපහු ගන්න ලැබෙන්නෙ නැහැ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට වෙන්නේ කූඩුවල යකඩකූරු ගණින්නටයි
-චන්දිම ගමගේ

'යහපාලන ආණ්ඩුව ඉදිරියට යන්නේ අයිස්ලන්තය යන අකාරයට යැයි' එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි චන්දිම ගමගේ පැවැසීය.
'අපේ යහපාලන ආණ්ඩුව 2025 වන විට මේ සියලුම ණය ගෙවා අවසන් කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට වෙන්නේ කූඩුවල යකඩකූරු ගණන් කරමින් ඉන්නයි.'

'එදා නිල වෙබ් අඩවි පවා රාජපක්ෂලාට කඩේ ගියා. ඩොලරයේ උස් පහත්වීම ගැන කතා කරලා බලේ ගන්න හදනවා නම් ඒක මිථ්‍යාවක්.

විදුලි සන්දේශ නියාමන කොමිසම ඉටු කරන්නේ රජවාසල වඳුරාගේ කාර්යභාරයයි -ආශු මාරසිංහ

"විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව රජවාසල වඳුරාගේ කාර්යභාරය ඉටු කරනවා" යැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි ආශු මාරසිංහ පැවැසීය.

සන්නිවේදන ක්‍රම භාවිත කරන නීත්‍යනුකූල නොවන ආයතන තියෙනවා. මේ ආයතන නිසා රජයට ලැබිය යුතු ආදායම නොලැබී යන තත්ත්වයක් පවතිනවා. විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව මේ ආයතන සම්බන්ධයෙන් ක්‍රියාකර එම ආයතන ලියාපදිංචි කිරීමට කටයුතු කරන්න ඕන.

දේශපාලන භේදය මත දේශපාලනීකරණය වෙච්ච තීන්දු තීරණ ගන්න එක නොවෙයි විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විසින් කරන්න ඕන.

ඒකාබද්ධ විපක්ෂයේ අයට එල්ල වී තිබෙන චෝදනා ගැන කතා කරනකොට තමයි ඒ අය අපට මරණ තර්ජන එල්ල කරන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon