සෙංකෝලය

  👤  2943 readers have read this article !
2018-07-05

පාර්ලිමේන්තුව සුපිරි රිය නැවතුම්පොළක් බවට පත්වූයේ 1978 විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් අනතුරුවය. ඊට පෙර 'රට හදන තැන' ලෙස පාර්ලිමේන්තුවට ගෞරවයක් හිමි වී තිබිණි. දශක තුනක් ඇවෑමෙන් 19 වැනි සංශෝධනය හරහා පාර්ලිමේන්තුවට තීරණ ගැනීමේදී යම් බලයක් යළි ලැබී ඇත. එහෙත් අන් කවර කලෙකවත් නොතිබූ ආකාරයට පාර්ලිමේන්තුව නාඩගම් මඩුවක තත්ත්වයට පිරිහී තිබේ.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේශ්වරන් කළ කතාවකට විරෝධය පෑ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිස අතර සිටි එක් මන්ත්‍රිවරයකු සෙංකෝලය උස්සන් යෑමට තැත් කරද්දී තවත් මන්ත්‍රිවරයකු කථානායකවරයා සමඟ බහින්බස් වී තිබිණි. මෙවර සෙංකෝලය උස්සන් යෑමට තැත් කළ මන්ත්‍රිවරයා මීට පෙර කථානායකවරයාගේ අසුනේ පවා හිඳ ගත්තෙකි.

පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රිවරුන්ගේ 'හැසිරීම' මෙතරම් පහත් තත්ත්වයකට ඇද වැටීම ආරම්භ වූයේ 2004 මහ මැතිවරණයෙන් පසු කථානායකවරයා තෝරන ඡන්ද විමසීමේදී සිටය. මන්ත්‍රි හිමිනමකට ශාරීරිකව හිංසා කිරීම නිසා උන්වහන්සේට රෝහල්ගත වීමටද සිදුවිය. 2015 ජනවාරියේ මෛත්‍රි-රනිල් ආණ්ඩුව පිහිටුවා ගැනීමෙන් පසු පාර්ලිමේන්තුව අන්තයටම පිරිහී ගියේය. විපක්ෂ කණ්ඩායම් කිහිපයක් පමණක් නොව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් පවා කල්ලිවාදීව පාර්ලිමේන්තුවේදී හැසිරීම නිසා මේ වන විට කෝලම් මඩුවක් බවට එය පත්වී අවසානය. 'විජයකලා' සිද්ධිය දඩමීමා කරගෙන පෙරේදා පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය ඊට ආසන්නතම උදාහරණයයි.

පාර්ලිමේන්තුවේ විවාදවලදී පවා ජනතා ප්‍රශ්නවලට වඩා කතා කරන්නේ දේශපාලන හුටපටය. එකිනෙකාට 'මඩ' ගසා ගන්නවා හැර හරවත්, වැදගත් සාකච්ඡාවක් එහි සිදු නොවන තරම්ය. පිරිසකට අවශ්‍ය වන්නේ වාද-විවාද නොව සභා රැස්වීම කඩාකප්පල් කිරීමය. කුමන හෝ ප්‍රශ්නයක් ඇති කර සභාව ආකූල ව්‍යාකූල කිරීම ඔවුන්ගේ අරමුණය. වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා කථානායක ධුරය දරන කාලේ මෙන්ම අදත් පාර්ලිමේන්තුවේ නීතිරීති අකුරට ක්‍රියත්මක නොවන බව ඇතැම්හු පවසති. එහි ඇත්තක් නැතැයි කිව නොහැකිය.

විපක්ෂ නායක ධුරය විපක්ෂයේ බහුතර කණ්ඩායමට ලබා නොදීම ඇත්තෙන්ම දෝෂ සහගතය. පාර්ලිමේන්තුව මේ තරම් අවුල් වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එයයි. හවුල් ආණ්ඩුවේ පිරිසකට විපක්ෂයේ අසුන් ගැනීමට ඉඩ දුන්නා නම් ඔවුන්ට විපක්ෂ නායක ධුරය ලබා නොදී සිටීමට හේතුවක් නැත. අඩුම ගණනේ දැන්වත් විපක්ෂ නායක ධුරය ඒ පිරිසට පවරා පාර්ලිමේන්තුව ගෞරවනීය ලෙස පවත්වාගෙන යෑමේ පසුබිම සකසාගත යුතුය.

පාර්ලිමේන්තුව රැස්වන එක් දිනෙක වියදම ලක්ෂ ගණනකි. ණය උගුලක සිරවී සිටින රටකට 'මුදල්' වටින්නේය. කජු ඇට, කොස් ඇට මෙන් මුදල් වියදම් කළ නොහැකිය. ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කර ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට අනුමතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුව රැස්විය යුතුය. එහෙත් පිරිස රැස් වී පිස්සු නටන්නේ නම් ජනතාවගේ බදු මුදල් වැය කර පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යා යුතු නැත. විධායක ජනාධිපතිවරයකු සිටියාම හොඳටම ඇතිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon