ගුරු වැඩ වර්ජන

  👤  3324 readers have read this article !
2018-07-06

ඊයේ දවසේ පැවැති ගුරු වැඩ වර්ජනය ගුටි කෙළියකින් අවසන් විය. ගුරුවරුන්ට පවා ගහමරා නොගෙන ප්‍රශ්නයක් විස¼දා ගත නොහැකි මට්ටමට සමාජය පිරිහී තිබේ. ආගම, කලාව, මාධ්‍ය හා අධ්‍යාපනය වැනි ජන විඥානය පෝෂණය කරන ආයතන වල්වැදුණු කාලයක ගුරුවරුන්ගෙන් "ගුරුදෙවි" භූමිකාව අපේක්ෂා කිරීම විහිළුවකි.

පසුගිය වසර 24 පුරා දේශපාලන පළිගැනීම්වලට ලක්වූ ගුරුවරුන්ට උසස්වීම් ලබාදීමට එරෙහිව මේ එක්දින සංකේත වැඩ වර්ජනය කැඳවා තිබිණි. වැඩ වර්ජනය කැඳවා තිබූ වෘත්තීය සමිති පවසා තිබුණේ ඔවුන් පළිගැනීම්වලට ලක්වී ඇත්නම් ඊට සරිලන වන්දියක් මිස උසස්වීම් ලබාදිය යුතු නැති බවය. එහෙත් 1970 සිට මෙලෙස පළිගැනීම්වලට ලක්වූ ගුරුවරුන්ට අලුත් ආණ්ඩුවක් යටතේ උසස් වීම් ලබාදී ඇත. එහෙත් ඒ මුවාවෙන් පක්ෂයේ හෙංචයියන්ට උසස්වීම් ලබාදීම කර ඇත්නම් එය වරදකි. ඊට ඉඩදිය යුතු නැත. සාධාරණ වේවා අසාධාරණ වේවා "ප්‍රශ්නය" සාකච්ඡා මාර්ගයෙන් විස¼දා ගන්නවා වෙනුවට ගුරුවරුන් වැඩ වර්ජනයකට ඇදදැමීම වෘත්තීය සමිති කළ වැරැදි වැඩකි.

වැඩ වර්ජනය කැඳවූ වෘත්තීය සමිති පවසන ආකාරයට වර්ජනය අතිසාර්ථකය. ආණ්ඩුව පවසන්නේ සම්පූර්ණයෙන්ම අසාර්ථක බවය. මේ කතා ඕනෑම වැඩ වර්ජනයකදී ඇසෙයි.

මැදහත්ව බලන විට පෙනී ගියේ වැඩ වර්ජනය එතරම් සාර්ථක නැති බවය.

සාර්ථක බව කිව හැක්කේ එක් කාරණයක් මත පමණි. ඒ උසස්වීම් ලැබූ ගුරු පිරිසක් හා උසස්වීම් නොලැබුණු ගුරු පිරිසක් ගහමරා ගෙන එක් අයකු ගල් පහරක් වැදී රෝහල් ගත කිරීම නිසාය.

නුසුදුසු පුද්ගලයන්ට උසස් වීම් ලබාදී ඇත්නම් එය නිවැරැදි කිරීම ආණ්ඩුවේ වගකීමකි. ඊට බලපෑම් කරනවා විනා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වන ආකාරයේ වැඩ වර්ජන ඇරැඹීම ගුරුවරුන්ට ගැළපෙන්නේ නැත.

අනෙක වැඩ වර්ජන සාර්ථක නොවීම ගුරුවරුන්ට අඩුවකි. ගුරුවරුන් මෙන්ම වෘත්තිය මට්ටමේ පිරිසක් වන වෛද්‍යවරුන් වැඩ වර්ජන කිරීම අමානුෂික වුවද ඔවුන්ගේ වර්ජන සාර්ථකය.

වෛද්‍ය වැඩ වර්ජන නිසා ජනතාවගේ ජීවිත අනතුරේ වැටෙන අතර ගුරුවරුන්ගේ වැඩ වර්ජනවලින් රටේ අනාගතය අනතුරට ලක්වේ. අධ්‍යාපනය යනු රටක අනාගතය තීරණය කරන ප්‍රධාන විෂයයන් කිහිපයෙන් එකකි. ප්‍රශ්නය වන්නේ මේ වැඩ වර්ජනවල එක් පාර්ශ්වයක් වන දේශපාලනඥයන් මුළු රටම අනතුරට දමා තිබීමය. ඒ නිසා ගුරවරුන්ට, වෛද්‍යවරුන් ප්‍රමුඛ වැඩ වර්ජකයන්ට පෙර බැන අඬගැසිය යුත්තේ එදා මෙදා තුර මේ රට පාලනය කළ ඊනියා පාලකයන්ටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon