එන්නේ නෑ වගේ ඉඳලා එන්නේ කවුද?

  👤  4568 readers have read this article !
2018-07-06

සරලි

'බොහෝ කලක් නිදා සිටි යෝධයකු හිටිගමන් නැඟිට්ටොත් මොනවා වේවිද?' කෙනෙක් එහෙම අසන්නට පුළුවන. 'මොනව වෙන්නද ඔය යෝධයා නිදාගත්ත කාලෙ ගැන හිතුවම නැඟිට්ටත් වැඩක් තියේද?' තවත් අයකු එහෙම අහන්නටද පුළුවන. 'යෝධයා නිදා ගත්තට වෙලාව ආවම නැඟිටිනවා. එහෙම නැඟිට්ටාම වෙන්නෙ මොනවාද කියලා හිතාගන්නවත් බැහැ.' 'මොන බොරු කතාද ඕවා වෙන දේවල් නෙවේ' මේ රටේ කතා වෙන කතාය.

එහෙත් පසුගිය කාලයේ මේ පරාජිත මානසිකත්වය වෙනස් කරන වැඩසටහන් නැත්තේ ඇයිද යන විවේචන දසතින් නැඟෙද්දී පසුගිය සතියේ අග හරියේ ලැබුණු ආංචිවලට අනුව අලි පාටියෙ යමක් හිටි හැටියේ මතුවී, කතා බහට ලක්වන මෙහෙයුමක් තිබෙන්නට පුළුවනැයි දැනගන්නට තිබේ.

'ඊළඟ මාස දහ අට තීරණාත්මකයි. ඒ නිසා රහස් මෙහෙයුම් කිහිපයක් හතර අතින් මතුවේවි. බලන්නකෝ ඉස්සරහට වෙන්නෙ මොනවාද කියලා ඔයාලට බලාගන්න පුළුවන්.'

එජාපයේ ප්‍රබලම ක්‍රියාධරයකු සිදුවන්නට යන වෙනස ගැන ඉඟියක් ලියුම්කරුට පළ කළේ එහෙමයි.

'මොන මෙහෙයුම්ද මහින්දට ගහන්න හොඳ මාතෘකාවක් ලැබිල තියෙද්දී විජයකලා කට තියාගෙන ඉන්න බැරිව කියපු කතාව නිසා වැඩේ ඇනුනනෙ' 'දැන් වැඩේ අතින් පැත්තට හැරුණා.'

තත්ත්වය ගැන තම මතය කියමින් එජාප ප්‍රබලයකු කීවේ එහෙම කතාවක්ය.

'ඡන්දය පළාත් සභා නොවෙයි. ඡන්දය ජනාධිපතිවරණයයි. අපි ලෑස්ති වෙන්නෙ ඒකටයි. විජයකලාගෙ කතාවෙන් කියන්නෙ කොටි ඕන කියල නෙවි. කොටි හිටපු කාලෙ කොටින්ට බය නිසා අපරාධ වුණේ නෑ කියන කතාවක්. දැන් කොටින් නැති එකේ ජනතාවට කොටි තිබ්බ කාලෙ තිබුණු අපරාධ කරන්න තිබිච්ච බය ආයෙ නැති වෙන්න යනවා කියන කතාවක්. විජයකලාගෙ කතාවෙන් ඒක ටිකක් පීල්ලෙන් පැන්නා තමයි. හැබැයි ඕවා නෙවයි කතා. ඔය කතා යට ගිහින් හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටයි කියනවනේ.'
පළාත් මට්ටමෙන් පළාත් සභා බලය ඩැහැගන්න පුළුවන්ය කියන සටන ළඟදීම පටන් ගන්නෙ නැතැයි කියමින් තම මතය පළ කළ, එජාපයේ ඇමැති කෙනෙක් නොවන කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දැවැන්තයෙක් කීවේ එහෙමය.

මේ සියල්ල මැද රනිල් පසුගියදා මහනුවරට ගිහින් වෙනස් විදියේ ඉඟියක් දෙන කතාවක් කියන්නට සූදානම් වෙමින් සිටින බවට දැනගත් සමීපතමයෙක්.

'ඡන්දය මොකක් වුණත් ලොක්කා කාටවත් කර අරින්න බැරි වෙන විදියට පාටියේ හැමෝටම වගකීමක් දෙන්නයි යන්නෙ.

ඒ වැඩේ හරියට කරන්නෙ නැත්නම් සංවිධායකයා, මන්ත්‍රි, රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමැති, ඇමැති කියලා නිකම් ඉන්නෙ නෑ. දෙනවා බැටේ' එහෙමත් කීවේ නිකමට වන්නට බැරිය.

බළලා මල්ලෙන් එළියට පැන්නා වගේ මෙහෙයුමේ මැද කෙසේ වුවත් මුල නම් මොනවා දැයි හිතාගන්නට පුළුවන් මුලක් පෑදී තිබෙන්නේය. මහනුවර හන්තාන වතුයායේ 'හරිත භූමි' වැඩසටහන දියත් කරමින් රනිල් කළ කතාව ඉලක්කය කොයි පැත්තටද යන්න තහවුරු කළා සේය.

'වතු ජනතාවත්, රට වටේ ඉන්න මුස්ලිම් ජනතාවත්, විශේෂයෙන් දෙමළ ජනතාවත් ආමන්ත්‍රණය කරන්න යන්නේ. ඒ මිනිසුන්ට ලැබෙන දේ පෙන්වන්න. බලය ලැබුණොත් මෙන්න මේ ප්‍රතිලාභ ලැබෙන බව සිතන, දැනෙන දෙයක් දෙන්න'.

රනිල් වටකරගත්, එජාප ඡන්ද සටන මෙහෙයවන්නට උර දෙන බොහෝ දෙනා කී ප්‍රධාන කතාවක් සිහියට නඟමින් රනිල් මහනුවරදී කළ කතාවේ තැනක් මෙසේය.

'අද 'හරිත භූමි' වැඩසටහනේ පළමු අදියර ආරම්භ කළා. වතුකරයේ ජනතාවට භූමියේ අයිතිය දීම එහි අරමුණයි. තව සති දෙකකින් හෝ තුනකින් හෝ දෙවැනි අදියර ආරම්භ කරනවා. ඒ වැඩසටහන නම් ගම්මානවල ජනතාවට කෘෂි කාර්මික කටයුතු කිරීම සඳහා ඉඩම් දීමයි. වතුකරයේ ජනතාව කොතරම් සේවය කළත් ඉඩමක අයිතිය තිබුණේ නැහැ.'
මෙයින් රනිල් ඉලක්ක කරන්නේ වතුකරයේ ඡන්ද විය හැකිය. එහෙත් එය උත්සවයකට, අදහසකට පමණක් සීමා නොවී ක්‍රියාත්මකව, සැබෑවටම වතුකරයේ ජනතාවට දැනෙයි නම් හොඳ බවත් වතුකරයේ නායකකාරකාදීන් රනිල්ට යළි යළිත් මතක් කර දීම අමතක කළ නොහැකිය.

රනිල් වටෙන් ගොඩෙන් කියාගෙන එන්නේ, පෙන්වන්නේ මොනවාදැයි දැන් පැහැදිලිය.
'අපි දැන් ඡන්ද සටනට ජීවය දෙන්න පටන් අරන්. ඒ වැඩසටහන යටතේ පෝස්ටර් ගහනවට වඩා වැඩ කරලා පෙන්වන්න වෙනවා. බොරු කරලා ඡන්ද ගන්න බෑ. රනිල්ටත් පක්ෂයටත් චෝදනාවලින් ගොඩ එන්න නම්, ඒවා අකාමකා දාන්න නම් ජනතාවගේ හිත ගන්න තාලෙට වෙනසක් කරන්න වෙනවා. රනිල්ට උපදෙස් දුන් ඇතැමුන් කී දේට පිළිතුරු දුන්නා සේ ඔහු මහනුවරදී කළ කතාවේ තැනක මෙසේද කියැවී තිබීම විශේෂයක්.
'තේ වගාව වෙනුවෙන් ප්‍රයෝජනයට ගත්තේ නැති වතු ඉඩම්වල ඒ ජනතාව පදිංචි කරන්න ඕනෑ. එපමණක් නොවේ වතුකරයේ නිවාස හදලා විතරක් හරියන්නේ නෑ. එහි ජනතාව සමූහයක් විදියට ගොඩනැංවෙන වැඩසටහන් ඕනෑ. දිගම්බරන් ඇමැතිතුමාගෙ අමාත්‍යාංශය කරන්නෙ ඒකයි. වතුකරයේ ජනාවාස එහෙම ගොඩ නැඟෙද්දී කුරුඳු වගා කිරීමේ ව්‍යාපෘතියකුත් දියත් වෙනවා.'

රනිල් එසේ ප්‍රසිද්ධියේ කීවද ඔහු ඇතැම් ඇමැතිවරු ළඟට කැඳවා විශේෂ උපදෙස් කිහිපයක්ද දී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව වතු ජනතාවට ලැබෙන ඉඩම් කට්ටිවල කුරුඳු වගා කිරීමේ ව්‍යාපෘතියක්ද, කොකෝවා වගා කිරීමේ ව්‍යාපෘතියක්ද වහා ඇති කිරීමට සැලැසුම් වීමත්, ක්‍රියාත්මක වීමත් ගැන අවධානය දැක්වීම වටී.

වතුකරයේ ජනතාව අතර සිටින නව පරපුර තේ දලු කඩන්න අකැමැති, අලුත් මං සොයන්නට වෙර දරන පරපුරක් බැවින් ඔවුන්ද ආර්ථිකයට ශක්තියක් ලෙස රඳවා තබා ගැනීමත්, නිෂ්පාදන ආර්ථිකයට එකතු කර ගැනීමත් ගැටලුවක්ව පවතී. ඒ නිසා නිෂ්පාදනයන්ට අනුගත රැකියා මවා දැක්විය යුතුය. විශේෂයෙන් චොකලට් කර්මාන්තයට අවශ්‍ය මූලද්‍රව්‍ය වගා කෙරෙන පසුබිම සකස් කිරීම හොඳය. එහෙත් මේ අදහස හා බැඳුණු ගැමි ආර්ථිකය ශක්තිමත් කිරීමේ විවිධ වැඩසටහන් ඇති නිසා රනිල් හිතන දේ කරන්නට ඉඩක් සැලැසේදැයි සිතා බැලිය යුතුය.

ඊට හේතුව නම් එකවර සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් මඟින් රට සංවර්ධනය කිරීම කොතරම් දුරට සාර්ථක වේද යන්න ආර්ථික විද්‍යාඥයන්ගේ කතාබහට ලක්ව ඇති නිසාවෙනි. වතු ආශ්‍රිතව තිබුණු කෝපි වගාව ද වැඩි දියුණු කෙරෙන ව්‍යාපෘති එකතු විය යුතු වුවත් ඒවා මේ ක්‍රියාන්විතයේදී කෙසේ කොහොම වේ දැයි කියන්නට බැරිය.'

කෙසේ වෙතත් ආණ්ඩු බලය සහිතව ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන රනිල් ඉන් පළමුවැන්න ලෙස ස්වකීය රහසිගත ක්‍රියාන්විතයට ඉලක්කය විදියට තෝරාගෙන ඇත්තේ ජනාධිපතිවරණය බව පැහැදිලිය. එබැවින් ජනාධිපතිවරණය ඔහුට වැදගත්ය. තීරණාත්මකය.

පෙරහර එන විදියට වඩ මවන්නේ කවුදැයි කසකරුවන්ගෙන්ද දැනගත නොහැකි වන ගුප්ත තත්ත්වයක්ද පවතී. ජනාධිපතිවරණයට නිසැකයෙන්ම එන්නේ රනිල් යැයි නිශ්චිතවම කිව නොහැකි වුවද මේ තත්ත්වය මත රනිල්ටම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නැයි කෙරෙන සුළු ජාතික ජනතා නියෝජිතයන්ගේ තෙරපුම වැඩි වීම විශේෂ තත්ත්වයකි.

'2005 ඉඳලා එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයෙක් නෑ. දෙමළ ජනතාවගේ වැඩිම කැමැත්ත ඔබතුමායි. ඒක අපි දෙන සහතිකයක් විතරක් නෙවි ඇත්ත කතාවත් ඒකයි. මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට ඡන්දෙ අපි දුන්නේ ඔබතුමා කියපු නිසයි. ඒ නිසා දැන් මෛත්‍රිපාල මහත්තය වෙනස් වුණා වුණත් කවදාහරි ඔබතුමාට තමයි එතුමාවත් ආරක්ෂා කරගන්න වෙන්නේ. එහෙම නම් අපි දිනන්නම ඕනෑ. ඔබතුමා ඉදිරිපත් වෙන්න. ඉතුරු ටික අපි බලාගන්නම්. වතුකරයේ ඡන්ද ගන්න හැටි අපි දන්නවා.

එක්සත් ජාතික පක්ෂය යටතේ දැනට වතුකරයේ බලවත්ව සිටින ප්‍රබලම ජන ප්‍රධානීන් කියන්නේ එවන් කතාවකි. වතුකරයට ගිහින් රනිල් විශේෂ කතා කිරීමත්, මේ දිරිගැන්වීමත් අනුව රනිල් නෑවිත් වෙන කවුරුවත් තරගයට දාලා බේරෙන්න නම් බැරි ගානය.

'මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම අපේ යුතුකමක්. එක්සත් ජාතික පක්ෂය තමයි තේරුමක් ඇතිව රටට වැදගත් වන, ආර්ථික අතින් ප්‍රයෝජනවත් වෙන වැඩ කළේ. ඒනිසා කොළඹ - නුවර මාර්ගයත් එක්කම නුවර ඉඳන් කොළඹට භාණ්ඩ හා සේවා සැපයෙන ජාලයක් හැදෙන නිසා ඉතා ඉක්මනින් ඒ වටා වතුකරයේ ජනතාවගෙත් ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕන. ඔය ගොල්ලො ඒ ගැනත් වැඩියෙන් හිතන්න. වැඩ කරලා පෙන්වන්න.'

රනිල් තමන්ට අදහස් දැක්වූ වතුකරයේ තමන්ට හිතෛෂී නායකයන්ට වෙන් වෙන් වශයෙනුත් පොදු වශයෙනුත් කීවේ එවැන්නකි.

තොණ්ඩමන්ගේ ආධිපත්‍යයෙන් වතුකරයේ ජනතාව මිදී ගිහින් තැන තැන නිදහස්ව නැඟී සිටින්නට පටන්ගෙන තිබෙන මොහොතක, රනිල්ට වැදගත් වෙන්නේ තොණ්ඩමන්ගේ ඡන්දවලට වඩා ජන බලයක් ගොඩනැඟෙන වතුකරයේ නායකයන්ගේ ඡන්ද ගිණුම්ය. මේ තත්ත්වය සිහිනුවණින් වටහාගත් රනිල් දැන් දැන් තමන්ගේ ළඟම සිටින එවන් ක්‍රියාධරයන් නතු කර ගනිමින් දැනුවත් කරමින් සිටින්නේ ඒ නිසා විය යුතුය.

එසේ නම් වැඩි සද්දයක් බද්දයක් නැතිව රනිල් 'හීන් නූල් මෙහෙයුමක්' දියත් කරන්නේ 'වෙන කවුරු හරි ජනාධිපතිවරණයට දාන්න යන්නේ' යන මතය පතුරුවා හරිමින්, තමන්ම මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නිසාදැයි සිතිය යුතුය. එසේ වුවත් රනිල් එහෙම සිතුවාට රනිල්ට ජයක් ලබන්නට ඕනෑම නම් තමන් වටේ සිටින සියලු ක්‍රියාධරයන් සිහිනුවණින් වටහාගත යුතුය. ඔවුන්ට ඩබල් ගේම් ගහන්නට නොදී හතර මුල්ලෙන් හිර කර 'ඔපරේෂන් හීන් නූල්' ව්‍යාපෘතියේ බර කරට දිය යුතුය. එය කරන ආකාරයත් බර කරට ගත් අය වැඩ කරන ආකාරයත් අනුව ප්‍රතිඵලය සාර්ථක වනු ඇත. එසේ නොමැති නම් මීට පෙර රනිල් ඉදිරිපත් වූ ජනාධිපතිවරණයේදී ඇතැමුන් කළ දෙබිඩි යටි කුට්ටු වැඩ නිසා කර ඇර සිටිය හැකිය. ඒ නිසාම 'ඔපරේෂන් හීන් නූල්' සාර්ථක කර ගැනීමට ගේම් ගහන්න දක්ෂ රනිල්ම මේ වැඩට බහින්නම ඕනෑය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon