ජාතික විගණන පනත් කෙටුම්පත දෙවනවර කියැවීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

  👤  3577 readers have read this article !
2018-07-06

පනත ප්‍රමාද වීම නිසා මමත් රජයත් විවේචනයට ලක්වුණා - අගමැති රනිල් වික්‍රමසිංහ

"ජාතික විගණන පනත ප්‍රමාද කරන බවට මමත්, රජයත් විවේචනයට ලක්වුණා" යැයි අගමැති රනිල් වික්‍රමසිංහ විගණන පනත දෙවනවර කියැවීමේ විවාදය ආරම්භ කරමින් පාර්ලිමේන්තුවේදී පැවැසීය.

"මේ පනත ප්‍රමාදවීම නිසා මමත් රජයත් විවේචනයට ලක්වුණා. මම 2003 පත්වූ රජය කාලයේත් මේ පනත ඉදිරිපත් කරන්න උත්සහ කළා. පසුගිය රජයත් මේ පනත ඉදිරිපත් කිරීමට උනන්දුවක් දැක්වූවේ නැහැ"

"තොරතුරු දැනගැනීමේ පනත හා මේ ජාතික විගණන පනතත් ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා උනන්දුවක් දැක්වූවා. විගණනයේ කාර්යක්ෂමතාව රටට වැදගත්."

"ජාතික විගණන කොමිෂන් සභාව 19 වැනි සංශෝධනය යටතේ ස්ථාපිත කරනු ලැබුවා. මෙම ආයතනය ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව යටතේයි" මේ පනත ඉදිරිපත් කළාට පස්සෙත් යෝජනා ආවා. විගණන ප්‍රශ්න තියෙනවා."

"මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වූ පසු පාර්ලිමේන්තුවට පුළුවන් වනවා අවශ්‍ය සංශෝධන ඇති කරන්නට. පසුගිය රජය කාලයේ විගණන වාර්තා පවා තවම ලැබෙමින් පවතිනවා."

අවංක රාජ්‍ය නිලධාරීන් විගණන පනතට බිය විය යුතු නෑ - නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න

"අවංක රාජ්‍ය නිලධාරීන් මොනම ආකාරයටවත් විගණන පනතට බිය විය යුතු නැහැ"යැයි මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පැවැසීය.

"රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා හැටියටත්, පොදු ව්‍යාපාර ගිණුම් කාරක සභාවේ සාමාජිකයකු හැටියටත් අපට අත්දැකීම් තියෙනවා. මේ පනත මඟින් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමක් සිදුවෙනවා."

"පාර්ලිමේන්තුවේදී අපි සම්මත කරන අයවැයෙන් වෙන් කරන මුදල් හරි හැටි වියදම් කළාද යන්න, අපි දැනගන්නේ විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන්. යම්කිසි රාජ්‍ය නිලධාරියකු මුදල් වැරැදි ආකාරයට විදයම් කළා නම් අධිභාරයක් පැනවීම මේ පනත මඟින් සිදුවෙනවා."

"මේ පනතින් සිදුවන්නේ විගණකාධිපතිවරයාත්, විගණන කොමිෂන් සභාවත් ශක්තිමත් කිරීමක් නොවෙයි. මේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමක් බව කියන්න ඕන."

රාජ්‍ය මුදල් අවභාවිත කරන නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනවා
- රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා

"ජාතික විගණන පනත ගෙන ඒමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙනවා" යැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා පැවැසීය.

"රටේ ව්‍යවස්ථාවට අනුව මුදල් පාලනය පාර්ලිමේන්තුවට භාරදී තිබෙනවා. රජයට ලැබෙන අරමුදල් කොහොමද පාවිච්චි කරන්නේ කියලා මේ විගණන පනත මඟින් සොයනවා"

"රාජ්‍ය අරමුදල් නාස්තිය, වංචාව සහ දූෂණය පිළිබඳව මේ මඟින් සොයා බැලෙනවා. මේ විගණන පනත මඟින් මූල්‍ය පාලනයක් ඇති කෙරෙනවා. එක පැත්තකින් 2020දී හිට්ලර් කෙනෙක් එන්න ඉන්නවා. ඒ හිට්ලර් ආවොත් මේ විගණන පනතෙන් වැඩක්් වෙයිද?"

පනත මඟින් තවත් පොලිස්කාරයෙක් හදන එක නොකළ යුතුයි - අනුර ප්‍රියදර්ශන යාපා

"විගණන පනත මඟින් තවත් පොලිස්කාරයෙක් හදන එක නොකළ යුතුව ඇතැයි" එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා පැවැසීය.
"විගණනයේදී පොලිස්කාරයකු වගේ රාජ්‍ය නිලධාරීන් දඬුවම් ලැබිය යුතු අය හැටියට කටයුතු කළහොත්, මේ පනතින් බලාපොරොත්තු වන අරමුණු ඉටුවන්නේ නැහැ."

"විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඍජු තීන්දු ගන්න නීති පද්ධතියක් තිබුණේ නැහැ. බොහෝ රාජ්‍ය නිලධාරීන් විශාල වැඩ කොටසක් කරනවා. ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් නිසා රටට විශාල පාඩුවක් සිදුවෙනවා."

"මේ නිසා රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් කටයුතු කිරීමට මෙවැනි විගණන පනතක් ලබාදීම යහපත් කරුණක්. අපි කොයි පැත්තේ හිටියත් මේ පනතට සහයෝගය දෙනවා."

මේ පනත මඟින් විගණකාධිපතිට යම් බලපෑමක් ඇති කර තිබෙනවා - දිනේෂ් ගුණවර්ධන

විගණනය ගැන පොදු මූල ධර්මයක සිටියද ලෝකයේ සෑම රටකම විගණන අංශ තිබෙනවා. විගණන උසාවියක් පිහිටුවීම ගැනත් හිටපු විගණකාධිපති මාපා මහතාගේ කාලේ අප කතා කළා. විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යම් කාලයක් ගත වුණා.

රුපියල් 5000කට වඩා විගණනයකට ගොදුරු වන ඉන්ධන වියදම වැඩියි. පෞද්ගලික අංශයෙහි ආයෝජනය කළ රාජ්‍ය ආයෝජනය ගැන සඳහන් වෙනවා. රජය ආයතන රාශියකට ආයෝජනය කර තිබෙනවා. ඒවා විගණනය කිරීමේ බලයක් තිබිය යුතුයි. සුදුසුකම් සහිත වෘත්තිකයෙක් විගණකාධිපති විය යුතු බවත් විගණන කොමිසමත් සුදුසුකම් ලද පුද්ගලයන්ගෙන් සමන්විත විය යුතු බවත් බන්දුල ගුණවර්ධන අනු කමිටුව යෝජනා කර තිබෙනවා. පසුගිය කාලේ විගණකාධිපති මහජන නියෝජිතයන්ගේ හඬට කන්දුන්නා. මහ බැංකු වංචාව අවස්ථාවේදී විගණන දෙපාර්තමේන්තුව ක්‍රියා කළ නිසා මෙය ඉදිරියට ආවා. විගණකාධිපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වගේ සුපිරි බලවතෙක්. එහෙත් මේ පනත මඟින් විගණකාධිපතිට යම් බලපෑමක් ඇති කර තිබෙනවා.

හිර ගෙදර සිට ඇලෝසියස් දුරකථන ඇමතුම් හා චෙක්පත් දුන්නේ කාටදැයි හෙළි කරන්න - නිරෝෂන් ප්‍රේමරත්න

අර්ජුන් ඇලෝසියස් හිර ගෙදර සිට දුරකථන ඇමතුම් හා චෙක්පත් ලබා දුන්නේ කාටදැයි සභාවට හෙළි කරන්නැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න ඉල්ලීමක් කළේය.
අර්ජුන් ඇලෝසියස් හිරගෙදර සිට දුරකතන ඇමතුම් දුන්නේ, චෙක්පත් ලබා දුන්නේ කාටද කියා මේ සභාවට හෙළි කළ යුතු බව ඉල්ලනවා.

පාර්ලිමේන්තුවේ ඉන්නේත් නිලධාරීන්. නිලධාරීන් වෙන්නෙත් පෘථග්ජන මිනිස්සු. ඒ මිනිස්සු තුළ හොර මැර වංචා නම් සුළු වශයෙන් තිබෙනවා. 1948 නිදහස ලැබෙන විට අපේ භාණ්ඩාගාරයේ රන් පවුම් කෝටි 120ක් තිබුණා. ඩොලරය රුපියල් 3යි ශත 60යි. අද රුපියල් 161යි. හොරු දූෂිතයෝ බිහිකරන ව්‍යවස්ථාව හැදුණේ 1978න් පසුවයි. අපි එදා මහවැලියට ලබාදුන් මුදලින් වියදම් කර තිබුණේ 65%යි. ඉතිරි 35% හොරකම් කර තිබූ බව බි්‍රතාන්‍ය වාර්තාවක සඳහන් වෙනවා.

දූෂිතයන්ට දඬුවම් දුන් පමණින් දූෂණ නැතිවෙන්නේ නැහැ. තටු සිඳුණු විගණකාධිපතිවරයකු වෙනුවට තටු සහිත විගණකාධිපතිවරයකු පත් කිරීමෙන් පමණයි දූෂණ නැතිවෙන්නේ. දේශපාලනඥයන්ට රිංගන්න පුළුවන් තැන් ටිකක් පනත් කෙටුම්පත්වල හදලා තිබෙනවා නම් ඔවුන් අල්ලා ගත හැකි නීති ටිකක්ද හැදෙන්න ඕනෑ.

රට බෙදන ව්‍යවස්ථා පාර්ලිමේන්තුවට ගේන්න කලින් මේ තියෙන ව්‍යවස්ථාව තුළ විගණකාධිපතිවරයා බලවත් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලනවා.

දිසා අධිකරණයේ බිත්තිවල පතුරු ගැලවෙමින් වැටෙනවා - ඇමැති විජයදාස රාජපක්ෂ

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටි බී.සී.සී. ආයතනය ස්ථාපිතව තිබූ අක්කර හයක ඉඩමේ අධිකරණ ශාලා හතළිහකින් යුත් අධිකරණ සංකීර්ණයක් ස්ථාපිත කෙරෙන බව, උසස් අධ්‍යාපන සංස්කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

"කොළඹ දිසා අධිකරණය හා මහාධිකරණය පවත්වාගෙන යන ගොඩනැඟිලි වසර සියයකට වඩා පැරැණි අබලන් තත්ත්වයේ පවතිනවා. ඒ නිසා නව ගොඩනැඟිල්ලක අවශ්‍යතාව දැඩිව මතුවී තිබෙනවා

කොළඹ මහාධිකරණයේ කොටසක වහල කඩා වැටුණා. එය රාත්‍රි කාලයේ සිදුවුණේ. දවල් කාලයේ සිදු වුණා නම්, විශාල පිරිසකට ජීවිත හානි සිදුවීමට ඉඩ තිබුණා. දිසා අධිකරණයේ බිත්තිවල පතුරු ගැලවෙමින් වැටෙනවා. ඒ නිසා නව අධිකරණ සංකීර්ණයක් අවශ්‍යයි."

වෛද්‍ය නලින්ද ජයතිස්ස -
"මේ කතාවලින් තේරෙන්නේ මේ නඩු තවත් ප්‍රමාද වෙන බවයි. හරියට කෝඳුරු හත් පට්ටයකුයි තවත් ටිකක් ඕන බවයි කියන්නේ. දැන් මෙතන තියෙන්නේ වඩු බාස්ලාගෙ ප්‍රශ්නයක්. රත්නපුරේ වඩු බාස්ලා ගෙනැල්ලා හරි මේක කරන්න."
අධිකරණ ඇමැති තලතා අතුකෝරල -
"මොනවද කිව්වේ?"
වෛද්‍ය නලින්ද ජයතිස්ස -
"මම කියපු දේ ඕන නම් ලියලා දෙන්නම්. මේ නඩු ප්‍රමාද වෙන එක තමයි වෙන්නේ."

අගමැතිවරයා මහ බැංකු මගඩියේසැකකරුවකු බවට කළ පැමිණිලි ගැන අල්ලස් කොමිසම කළ කෙහුරක් නෑ - වාසුදේව නානායක්කාර

"අගමැතිවරයා මහ බැංකු මගඩියේ සැකකරුවකු හා වැරැදිකරුවකු බවට අප කරන ලද පැමිණිලි ගැන අල්ලස් කොමිසම කළ කෙහුරක් නැහැ" යි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි වාසුදේව නානායක්කාර පැවැසීය.

ජාතික විගණන පනත ප්‍රමාද වීමට හේතුව කොන්ත්‍රාත්කරුවන් දේශපාලනඥයන් හා රජයේ නිලධාරීන් මෙය ප්‍රමාද වන ආකාරයට කරුණු ඉදිරිපත් කිරීමයි. අධිභාරය පැනවීමේ වරදට හසුවන්නේ රජයේ සම්පත් අයුතු ලෙස භාවිත කළ තැනැත්තාටයි. අධිභාරය පැනවීම ගණන් දීමේ නිලධාරියට තීන්දු වී තිබෙනවා. මේවා අයකර ගැනීම දිගු ක්‍රියාවලියක්.
රජයේ සම්පත් ගසාකන නිලධාරීන් යම් ආකාරයක නීතියට යටත් කර ගැනීමට යම් ලඝු නඩු විභාගයකින් අවසන් කර ගැනීමේ හැකියාව තිබිය යුතුයි. වංචනික ක්‍රියාව තහවුරු වෙනවා නම් අධිභාර දමමින් සිටීමේ තේරුම කුමක්ද?

බැඳුම්කර මගඩිය හෙළිකර ගැනීමට විගණකාධිපතිවරයාගෙන් ලැබුණු දායකත්වය අගය කළ යුතුයි. එතුමා බිය ගැන්වීම හා තර්ජනවලට යටකර ගන්න බැරි පුද්ගලයෙක්. සිදුවී ඇති අලාභය අවුරුදු හතළිහකදී රුපියල් බිලියන 140ක අගයක් ගත හැකි බව පෙනී යනවා.

පර්පචුවල් ට්‍රෙෂරීස් ගනුදෙනු නිසා අර්ථසාධක අරමුදලට හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අලාභ වී තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන් වරෙන්තුකාරයෙක්. මේ වරෙන්තුකාරයා ගැන අගමැතිතුමා කොතරම් ප්‍රකාශ කර තිබෙනවාද? ඒවා ආපසු පෙරළා බැලීම ඇති අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න. මේ වරෙන්තුකරු මෙහි එවන්නැයි සිංගප්පූරු ආණ්ඩුවෙන් මෙතෙක් ඉල්ලා නැහැ. මේ ගැන රාජ්‍ය තාන්ත්‍රික පියවරක් ගන්න ජනාධිපතිතුමාට පුළුවන්. එදා කෝප් කමිටුවේදී යූ.ඇන්.පී. මන්ත්‍රිවරු විගණකාධිපතිතුමාගෙන් ප්‍රශ්න කළේ අපරාධකරුවකුගෙන් ප්‍රශ්න කරන ආකාරයටයි. අගමැති මේ මහ බැංකු මගඩියේ වැරැදිකරුවෙක් හා සැකකරුවකු බවට අප අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබෙනවා. අල්ලස් කොමිසම මේ ගැන කළ කෙහුරක් නැහැ.

කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොඩනැඟිල්ලක් ගත් ප්‍රධාන ගණන් දීමේ නිලධරයාට පනත යටතේ ප්‍රථමයෙන් අධිභාර පනවන්න - ජයන්ත සමරවීර

"කෘෂිකර්ම අමාත්‍යාංශයට මහජන මුදල් කෝටි ගණන් වැය කර විචක්‍ෂණශීලී නොවූ ගනුදෙනුවකින් ගොඩනැඟිල්ලක් කුලියට ගත් ප්‍රධාන ගණන් දීමේ නිලධරයාට (අමාත්‍යාංශ ලේකම්) විගණන පනත යටතේ ප්‍රථමයෙන් අධිභාර පනවන්න" කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි ජයන්ත සමරවීර පැවැසීය.

විගණන පනත අඩුපාඩු සහිත අඩු බර දරුවෙක්. එහෙත් ස්වාධීන විගණන කොමිසමක් ස්ථාපිත වීම මහා ජයක් හැටියට සලකනවා. මේ දරුවාගේ විකෘති අංග කෙළින් කර ඇද හැර මස් පුරවන්න ඕනෑ තැන් තිබෙනවා. රජයට පවරාගත් ආයතන සඳහාත් විගණන සඳහා අවස්ථාව ලබාදෙන්න.

කෘෂිකර්ම අමාත්‍යාංශයට බද්දට ගත් ගොඩනැඟිල්ලේ ගනුදෙනුව විචක්ෂණශීලී නැති බව විගණකාධිපති කියා තිබෙනවා. විගණකාධිපතිට ඇහුම්කන්දී ගනුදෙනුව නවත්වන්නේ නැහැ. ඊට විරුද්ධව විගණකාධිපති නඩු යනවාද නැහැ. ජාතික විගණන පනතෙන්ද ඊට විසඳුමක් නැහැ. මහජන මුදල් දෙකෝටි පනස් ලක්‍ෂයක් මාසයකට කුලී ගෙවනවා. ඒ ගනුදෙනුවට සම්බන්ධ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට අධිභාර පනවන්න ඕනෑ. විගණන පනත සම්බන්ධ වූ පසු ඒ විචක්‍ෂණශීලී නොවූ ගනුදෙනුව සිදුකළ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට අධිභාර පැනවිය යුතුයි. ඒ නිලධාරීන් පත්කරන්නේ ජනාධිපතිවරයායි. ජනාධිපතිවරයා ඒ ගණන් දීමේ නිලධාරියාට අධිභාර පනවයිද දන්නේ නැහැ. රුපියල් ලක්‍ෂයේ අධිභාරය පන්දහසට අඩු කළේ කොයි තක්කඩියාද?

විගණන පනත පතෝල මට්ටමකින් හෝ සම්මත වීම ගැන සතුටුයි - සුනිල් හඳුන්නෙත්ති

ජාතික විගණන පනත පතෝල මට්ටමින් හෝ සම්මත වීම ගැන සතුටු වෙනවා යැයි පත්කළ මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති (ජවිපෙ) පැවැසීය.

2003දී කැබිනට් මණ්ඩලය විගණන පනත් කෙටුම්පතක් සම්මත කළා. අනතුරුව 2015 පත්වූ ආණ්ඩුව මේ පනත සකස් කිරීමට ක්‍රියා කළා. 2015 මාර්තු 19 මේ පනත සම්මත කර ගැනීමට නියමිත වුණා. නමුත් මෙය අවුරුදු තුනකට පසුව හෝ මේ සභාවට ඉදිරිපත්වීම ගැන සතුටු වෙනවා.

මේ පනතට ජීවය දීලා ජනතාව ඉදිරියට ගෙනයනවාද නැත්නම් හිස් පඹයෙක් ජනගත කරනවා දැයි ප්‍රශ්නයක් තිබෙනවා. රජය ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ජාතික විගණනය කළ හැකි ශක්තිමත් එකක්ද නැත්නම් පඹයෙක් දැයි බැලිය යුතුයි. මේ පනතට සාධාරණය ඉෂ්ට කළ හැකි සංශෝධන දහසයක් අප ඉදිරිපත් කරනවා. එය පිළිගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

මේ පනත මෙහෙම සම්මත වෙනවා නම් හොරු, වංචනිකයන්, මහ බැංකු බැඳුම්කර හොරු බය වෙන්න ඕනෑ නැහැ. ඔවුන්ට මොකුත් වෙන්නෙ නැහැ. පනත ක්‍රියාත්මක වුණොත් අධි භාර පැනවෙන උපරිම දඩය රුපියල් පන්දහසයි. රාජ්‍ය මූල්‍ය අවභාවිතයකට, මහ බැංකුව කොල්ලකෑවත් උපරිම දඩය රුපියල් පන්දහසයි. අපේ සංශෝධනය අවමය රුපියල් පන්දහසෙන් පටන් ගතයුතු බවයි. විගණකාධිපතිගේ බලය පනත මඟින් කෙතරම් කප්පාදු වී තිබේ දැයි අපට පෙනෙනවා.

ආචාර්ය විජයදාස රාජපක්ෂ

මේ පනත සම්මත වීමෙන් පසු අපරාධ නීතිය ආදී නීති නැතිවෙන්නෙ නැහැ. රටේ පවතින නීති යටපත් කරගෙන අනෙක් නීති හෑල්ලු කරගෙන එන එකක් නොවේ.

සුනිල් හඳුන්නෙත්ති

පතෝල මට්ටමින් හරි මෙය සම්මත වීම ගැන සතුටු වෙනවා. රටේ ඔක්කොම නීති යටපත් වී මේක මූලික නීතිය නොවන බව මා පිළිගන්නවා. මේ පනත මේ විදියට නම් සම්මත වෙන්නෙ ඔබතුමාලා බලාපොරොත්තු වන දේවත් ඉෂ්ට කරන්න බැහැ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon