අගමැති අභාවයෙන් පසු මැතිනිය දේශපාලනයට ගෙනා අත්තනගල්ලේ 11 දෙනා මෙන්න

  👤  3596 readers have read this article !
2018-07-08

අගමැති බණ්ඩාරනායක ඝාතනයෙන් හිස්වූ අත්තනගල්ල ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබිණි. ඒ සඳහා නාම යෝජනා දෙන දිනයද තීරණය විය.

ප්‍රශ්නය වූයේ බණ්ඩාරනායක මහතාගෙන් හිස් වූ තැන හිඩැස පියවීමට ඉදිරිපත් වන්නේ කවුද යන්නය. ප්‍රශ්නය විසඳීම පිණිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ මහජන එක්සත් පෙරමුණට නිශ්චිත වැඩපිළිවෙළක් නොතිබිණි. මේ අතර අත්තනගල්ලේ ජනතාවට තිබූ ප්‍රශ්නය මැති සබයේදී ඉදිරියට තමන් නියෝජනය කරන්නේ කවුරුන්ද යන්නය. සිරිමා බණ්ඩාරනායක මහත්මිය දේශපාලනයට කැඳවාගෙන ඒම තමන් විසින් කළ බව පවසන උරුමක්කාරයෝ බොහෝය. එහෙත් සත්‍යය එය නොවේ. අතුරු මැතිවරණයට නාම යෝජනා කැඳවා තිබුණේ 1959 නොවැම්බර් 19 දිනය. 1959 නොවැම්බර් 6 දින අත්තනගල්ල ආසනයේ බණ්ඩාරනායක මහතාගේ ප්‍රධාන සමීපතමයන් 11 දෙනකු අස්සන් කළ විශේෂ ලිපියක් සිරිමා බණ්ඩාරනායක මහත්මිය වෙත භාරදී තිබිණි. ඇය අතුරු මැතිවරණයට ඉදිරිපත් වීමට ඉවහල් වූයේ එම ඓතිහාසික ලිපියයි. මේ එම සුවිශේෂී ලිපියයි.

අත්තනගල්ල,
උෟරාපොළ
1959-11-06
වේයන්ගොඩ හොරගොල්ල වලව්වේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය වෙත අත්තනගලු පළාත්වාසීන් ඉතා කරුණාවෙන් කර සිටින ආයාචනයයි.

මැතිනියනි,

නොකඩවා අවුරුදු 30ක පමණ කාලයක් අප පළාතේ මන්ත්‍රි ධුරය දරමින් නොමසුරුව සේවය කළ ගරු ඇස්.ඩබ්ලියු.ආර්.ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමාගේ අභාවයෙන් අපට සිදුවූ පාඩුව නිම් හිම් නැත. ඒ හේතුවෙන් ශෝකාතුරව සිටින ඔබතුමිය සමඟ අපිද ශෝකයෙන් පසු වන්නෙමු. ඔබතුමියට පවුල සම්බන්ධයෙන් නැඟී එන චිත්ත සංතාපය අතරට අපේ බලාපොරොත්තුව දැන්වීම පවා දුකක් වුවත් අපට කිවයුතු කෙනෙක් නැති නිසා මේ අවස්ථාවේ අප කරන යෝජනාව අප කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නා හැටියට ආයාචනා කර සිටිමු.

එනම් "දැනට හිස්ව තිබෙන අත්තනගලු ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයට ඔබතුමිය ඉදිරිපත් විය යුතුය" යනුයි. ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වීමක්වත් විය පැහැදම් කිරීමක්වත් ඔබතුමිය වෙත පැවරෙන්නට ඉඩ නොතබා ඒ සියල්ල අප වෙත තබා ගන්නා බවද වැඩිදුරටත් කියා සිටිමු.

මේ බවට පහත අස්සන් තබන්නේ අප වම්හ.

1. ඇල්.එච්.පී. මාටින් අප්පුහාමි - වලලියද්ද
2.ඩී. අලගියවන්න රාලහාමි - මීපිටිගම්මන
3. ඩී.ඒ.පී. සූරියප්පෙරුම - ‍ෙදාම්පෙ
4. ඒ. ද ඇස්. ජයසේකර හාමිනේ - ‍ෙදාම්පෙ
5. ඇස්.පී. සූරියප්පෙරුම - පාළුගම
6. ඩී.පී. සමරකෝන්-‍ෙදාම්පෙ
7. එච්.පී. සූරියප්පෙරුම - පාළුගම
7. ඩී.එච්.ඇස් ගුණරත්න - පාළුගම
9. කේ.ඩී. චන්ද්‍රපාල - ගම් සභාපති-‍ෙදාම්පෙ
10. ඇල්බට් ගුණරත්න - දෙකටන
11. ඇම්.බී.සී. අබේවර්ධන - හැලුම්මහර

බණ්ඩාරනායක මහත්මිය දේශපාලනයට ඉදිරිපත් වන තීරණය ගත්තේ මෙම පිරිසට සවන්දීමෙන් පසුවය.
අත්තනගල්ල අතුරු මැතිවරණය සඳහා නාමයෝජනා භාර දීමට නියමිතව තිබුණේ කොළඹ මහ දිසාපති ජී.පී. තම්බයියා මහතා ඉදිරියේය. විරුද්ධ පක්ෂයෙන් කිසිවකු ඉදිරිපත් වන බවට හා හූවක් නොතිබූ නිසා සිරිමා බණ්ඩාරනායක මහත්මිය නිතරගයෙන් පත්වනු ඇතැයි බොහෝ දෙනා තුළ විශ්වාසයක් පැවැතිණි. මැතිනිය ඉදිරිපත් වූයේ ස්වාධීන අපේක්ෂිකාවක ලෙසිනි. ඇය වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කළේ අධිනීතිඥ සෑම් පී.සී. ප්‍රනාන්දු මහතාය. ඒ.පී. ජයසූරිය, ඇම්.පී. ද සොයිසා. ජේ.සී. ඩබ්ලිව්. මුණසිංහ සහ බාන්ස් රත්වත්තේ මහත්වරු දිසාපති කාර්යාලයට පැමිණ සිටියහ.

හදිසියේම කිසිවකු අපේක්ෂා නොකළ පරිදි මිසිලින් ද සිල්වා නමැති කාන්තාවක් පැමිණ ස්වාධීන අපේක්ෂිකාවක ලෙස නාම යෝජනා භාර දුන්නාය. ඇය පැමිණ සිටියේ එජාපයේ අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා සමඟය. පසුව දැනගත් අන්දමට මිසිලින් නෝනා ඉදිරිපත් කිරීමට මැදිහත්ව තිබෙන්නේ ලේක්හවුස් ආයතනයයි. 1958 ජාතිවාදී කෝලහාලය පැවැති සමයේ බේරුවල ගම්කාර්ය සභාවේ සභාපති ඩේවිඩ් සිල්වා අතුරුදන් වූයේය. මිසිලින් ඩේවිඩ් සිල්වාගේ බිරිය වූවාය. වැන්දඹු ස්ත්‍රියක වූ ඇය සිරිමා සමඟ තරග වදින්නට සුදුසු තැනැත්තියක ලෙස එජාපය තෝරාගෙන තිබිණි. එහෙත් ජන රැල්ල සිරිමාගේ පැත්තට බවද ඔවුහු නිසැක ලෙස දැන සිටියෝය. අවශ්‍යව තිබුණේ සිරිමා බණ්ඩාරනායක නිතරගයෙන් පත්වීම වැළැක්වීමටය. කුසපත් ඇදීමේදී සිරිමාට පුටුවත්, මිසිලින්ට කරත්ත රෝදයත් හිමි විය.

බේරුවල සිටි මිසිලින් අත්තනගල්ලෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ වෑයම පිටුපස සිටියේ ලේක්හවුසිය බව පසුව හෙළි විය. පසුදින පුවත්පත්වල පළවූ අපේක්ෂිකා ඇසිලින්ගේ ප්‍රකාශය ලේක්හවුසියේදී ලියූ බවත්, සිළුමිණ කතුවරයාගේ විරෝධය මැද එය කළමනාකාර අධ්‍යක්ෂ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා විසින් සිළුමිණ පත්‍රයේ පළ කරන ලද බවත් පුවත්පත් කොමිසමේ වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වුවද 1959 දෙසැම්බර් 5 වැනිදා අග්‍රාණ්ඩුකාරවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. පසු දින පුවත්පත්වලට මැතිනිය කියා තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යෑමට ආණ්ඩුව ගත් තීරණය ගැන තමන් කිසිවක් නොදන්නා බවය.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon