රට දැය සමයට ද්‍රෝහි වීම නිසා රාජ උදහසට ලක්වූ භික්ෂුන් වහන්සේලා

  👤  3514 readers have read this article !
2018-07-08

බෞද්ධ භික්ෂුන් වහන්සේ ඉතිහාසය පුරා රට දැය සමය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ බවට සමාජ මතයක් තහවුරුව තිබේ. එය සත්‍යයකි. එහෙත් සෑම තන්හිම සත්‍යය නොවේ. රට දැය සමය පරදේශක්කාරයන්ට පාවා දීමට පෙරමුණ ගත් භික්ෂුන් වහන්සේ පිළිබඳවද ලංකා ඉතිහාසය පුරා විවිධ තන්හි හමුවේ. සිංහලේ රාජ්‍යයට විරුද්ධව අධිරාජ්‍යවාදීන් හා එක්ව කුමන්ත්‍රණයන්හි යෙදීම හේතුවෙන් රාජ උදහසට ලක්ව දඬුවම් ලැබූ භික්ෂුහුද අපේ සම්භාවනීය ඉතිහාස ග්‍රන්ථවල කොතෙකුත් හමුවේ. දුසිල් මහණුන් සිවුරු හරවා පිටේ හණ ගසා රටින් පිටුවහල් කළ අවස්ථාද මහා වංසයේම සඳහන් වේ. සමාජයේ අනෙකුත් ස්තර මෙන් නොව භික්ෂුන් වහන්සේ සෑම විටම නිවැරැදි ආස්ථානයන්හි පිහිටා කටයුතු කළ බවට ගොඩනඟන මතය මුළුමනින්ම සාවද්‍යය.

සිලාකාල සලමෙවන් රජු (ක්‍රි.ව. 518 - 31)

අභයගිරි මහා විහාරයේ බෝධි නම් භික්ෂුවගේ මරණයට වරදකරුවන් වූ භික්ෂුන්ගේ සිවුරු හරවා පොකුණු පාලකයන් බවට පත්කළ බව සඳහන්ය.

කැලණි තිස්ස රජු (ක්‍රි.ව. 140)

ප්‍රාදේශීය රජකු වූ කැලණි තිස්ස රජු රජ මාලිගයට දන් පිණිස වැඩම කළ මලියදේව නම් මහ රහතන් වහන්සේ නමකට දඬුවම් පමුණුවනු වස් උණුසුම් තෙල් කටාරමක බහා මරණයට පත් කළ පුවතක් රාජාවලියෙහි සඳහන් වේ.

'කැලණි තිස්ස රජහට මලණු කෙනෙක් ඇතියාහ. ඒ කුමාරයා කැලණිතිස්ස රජුගේ බිසව හා සංවාසයෙන් දවස් හරිනා සඳ ඒ බව කැලණි තිස්ස රජු හට සැලව ගියේය. කුමාරයා ලජ්ජාවට පත්ව උඩුගම්පොළ උන්නාහ.

පන්සියක් තෙරුන් වහන්සේ රජ ගෙට වැද දන් වළඳන විට ඒ මැදට වැද දන් වළඳන හැටියට ගොස් රජු පිටවී යන සැටියේම මේ හසුන්පත බිසව ළඟට දමවයි සොරකු සිවුරු පොරවා යැවීය. සොර එපරිද්දෙන් හසුන් පත බිසව අසලට දැමීය. හසුන් පත වැටුණ හඬ ඇසී රජු පසුපස බලන විට බිසව හසුන් පත අතට ගන්නවා දැක හැරී අවුත් රජු එය තමන් අතට ගති. මාගේ බිසවට පත් එවන්නේ යැයි සිතා මහ රහතුන් වහන්සේ අල්ලා තෙල් කටාරමේ දමා උණු කරන්ඩ වන' රාජාවලිය (ඒ.වී. සුරවීර) සංස්කරණය 176 පිට
ගෝඨාභය රජු (ක්‍රි.ව. 249-62)

සංඝමිත්‍ර ඇතුළු දුසිල් භික්ෂුන් 69 දෙනකු හංවඩු ගසා රටින් පිටුවහල් කළ බව සඳහන්ය.

මහා පරාක්‍රම බාහු රජු (ක්‍රි.ව. 1153-86)

දුශ්ශීල භික්ෂුන් විශාල සංඛ්‍යාවක් සිවුරු හරවා සසුනින් නෙරපූ බව චූල වංසයේ සඳහන් වේ.

'මහා පරාක්‍රමබාහු රජ වෙද්දී නිකාය භේදය ප්‍රබලව පැවැතියේය. සමහර භික්ෂුන් වහන්සේ විදර්ශන වැඩීමෙන් බුද්ධ ශාසනය බබුළු වද්දී දුසිරිත් වසන් කරනු සඳහා සිවුරු දරාගත් අයද සසුනේ සිටියහ. මේ අය මහණ වී සිටියේ 'උදර පූරණය' සඳහාය. මේ හැර තවත් පිරිසක් රජවරුන් විසින් ශාසනයේ දියුණුව තකා පූජා කරන ලද ගම්වරයන්හි ආදායමෙන් අඹු දරුවන් රකිමින් සිටියහ. පූජාවන් පිළිගැනීම සඳහා සුදුසු තත්ත්වයකට භික්ෂු සංඝයා පත් කරනු පිණිස දුශ්ශීල භික්ෂුන් නෙරපා දමන්නට රජු තීරණය කළේය.

රජතුමා මේ අසීරු කර්තව්‍යයට දිඹුලාගල මහා කාශ්‍යප මාහිමියන් උදවු කර ගත්තේය. අනුරාධපුර ඥානපාල ස්ථවිරයන් ඇතුළු නායක හිමිවරුන්ද සංඝාධිකරණ විනිශ්චයකාරයන් ලෙස කැඳවීය. පොළොන්නරුවේ නිශ්ශංක ලතා මණ්ඩපයේ සංඝාධිකරණය පැවැත්වෙද්දී පරාක්‍රමබාහු රජු රාත්‍රියේ තුන්යම සිටි පියෙන් සිටි බව නිකාය සංග්‍රහයේ සඳහන් වේ.

කණි රජානු තිස්ස රජු (ක්‍රි.ව. 29-32)

රජු මරා දැමීමට කුමන්ත්‍රණය කළ භික්ෂුන් වහන්සේ හැට නමක් කණීර ප්‍රාග් භාගයට ඇද දැමූ බව මහා වංසයේ සඳහන් වේ.

මහසෙන් රජු (ක්‍රි.ව. 274-301)

සමයේ මහා විහාරවාසී භික්ෂුන් දුශ්ශීල යැයි රජුට ගතු කියා නොමඟ හැරියේ අභයගිරියේ සංඝමිත්‍ර නායක හිමියෝය. එහි ප්‍රතිඵලය වූයේ මහසෙන් රජු මහා විහාරයේ භික්ෂුන්ට දන් දීම තහනම් බවට රාජාඥා පැනවීමය. නව වසරක් භික්ෂුන් වහන්සේගෙන් තොර වූ මහා විහාරය රාජසන්තක කොට මහා විහාරයේ සහ ලෝවාමහාපායේ භාණ්ඩ උපකරණ අභයගිරියට ගෙනයෑමට අවසරදී මහා විහාරය බිමට සමතලා කොට එම භූමියේ උඳු වපුරන ලදී. - මහාවංසය

සීතාවක රාජසිංහ (ක්‍රි.ව. 1580-92)

මේ රජු ශිව ආගමික පුද පූජාවන්ට නැඹුරු වී පමණක් නැවතීම කොතරම් ආශ්චර්යයක්ද? බුද්ධ ශාසනය රැකගැනීම සඳහා කැප වී සිටි භික්ෂුන් කෝට්ටේ ප්‍රතිකාලුන්ගේ පැත්ත ගනිද්දී ජෙරනිමෝද අසවේදු සමඟ එක්ව කුමන්ත්‍රණය කරද්දී ආගමටත් රටටත් එරෙහිව යද්දී කුමන්ත්‍රණකාරී භික්ෂුන් දණ්ඩනයට ලක්කිරීමට ටිකිරි කුමාරයා ගත් තීරණය පුදුමයට කරුණක් නොවේ. පළමුවැනි රාජසිංහ ශිව ආගම වැලඳගත් බවට ඓතිහාසික ප්‍රවාදයක් ගොඩනැඟුවේද භික්ෂුන් වහන්සේ විසින් බව මහනියන්ගම රජමහා විහාරයේ සිටිනා මළුවේ ධර්මාරාම හිමියෝ දක්වා ඇත.

රාජසිංහයන් ස්වකීය රාජ්‍ය කාලය තුළ දළදා පෙරහර නවයක් පවත්වා ඇත.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1747-81)

සැලකෙන්නේ ථෙරවාදී බුදු දහම ශ්‍රී ලංකා ධරණිතලයේ තහවුරු කිරීමට විශිෂ්ට වැඩකොටසක් ඉටු කළ කන්දේ නුවර රජු වශයෙනි. 1753දී තායිලන්තයෙන් උපසපන් භික්ෂුන් ගෙන්වා උපසම්පදාව යළි ඇති කිරීමටද එතුමා පියවර ගත්තේය.

'1760දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට සරණංකර සංඝරාජ හිමියන්ද දෙවැනි අදිකාරමගේ මස්සිනා වූ මල්වතු මහාවිහාරයේ මහා නායක තිබ්බොටුවාවේ තෙරුන් වහන්සේද සම්බන්ධ බව හෙළි වීමෙන් දඬුවම් දෙනු ලැබීය. කුමන්ත්‍රණය රජුට හෙළි කරන ලද්දේද මල්වතු විහාරයේම භික්ෂුන් විසිනි. රජ මරා දැමීමෙන් පසු අභිෂේක කරන්නට ගෙනා සියම් කුමාරයා සැඟවී සිටියේ මල්වතු විහාරයේය.' ජෝන් හෝල්ට් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ආගමික ලෝකය. - පිට 37
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්‍රි.ව. 1798-1815)

කන්ද උඩරට රාජධානිය බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට පාවාදීමට උඩරට රදල නායකයන් වූ ඇහැලේපොළ, මොල්ලිගොඩ, එක්නැලිගොඩ ආදීන් සමඟ මල්වතු මහා විහාරයේ මහානායක කොබ්බෑකඩුව උන්නාන්සේ සමඟ අස්ගිරි විහාරයේ මහානායක මාවතගම නායක උන්නාන්සේද එක්ව ක්‍රියා කළහ. උඩරට ගිවිසුම අස්සන් තැබීමෙන් පසු 1815 මාර්තු 10 දා රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා හමුවූ නායක හිමිවරු මෙසේ පවසා ඇත.

'ආගම හා අධ්‍යාපනය දියුණු කිරීමට උතුමාණන් අණ කිරීම ගැන අපි කෘතඥ වෙමු. අද පටන් ආගම දියුණු වීමට පටන් ගැනේ යැයි අපි සලකමු.'
ජෝන් ඩොයිලිගේ දින සටහන්.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon