විජයකලා අරලියගහ මැදුරේ හඬා වැටෙද්දී තලතා හිරගෙදරදී කඳුළු සැලූ හැටි

  👤  6014 readers have read this article !
2018-07-08

රුචිර දිලාන් මධුසංඛ

ෆයිසර් - අර්ජුන කැබිනට්ටුවේදී හැප්පෙති

සතියේ කැබිනට් හමුව ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූහ.

ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනම් කිරීමේ අරමුණින් ඇමැති මංගල විසින් ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබිණි. "ගම්පෙරළිය" නමින් හඳුන්වන මෙම වැඩසටහන දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ. වාරිමාර්ග, ග්‍රාමීය මාර්ග, ක්‍රීඩා පිටි, විදුලිබලය යන ක්‍ෂේත්‍රවල ඇති අඩුපාඩුකම් සංවර්ධනය කිරීම මෙහිදී සිදුවේ.
අනතුරුව ලිහිසි තෙල් වෙළෙඳපොළ ලිහිල් කිරීම සහා නව ප්‍රවේශයන් තෝරා ගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඇමැති අර්ජුන විසින් ඉදිරිපත් කළ අවස්ථාවේ කැබිනට් හමුව උණුසුම් විය.
ඒ සඳහා ඇමැති ෆයිසර් අදහස් දැක්වීමට ගොස් මෙම උණුසුම් තත්ත්වය හටගත්තේය.

"දැන් හයිරැක්ස් ගිවිසුමට මොකද වෙන්නේ" ෆයිසර් ඇමැතිවරයා ජනාධිපතිවරයා දෙස බලමින් විමසීය.

ඒ අවස්ථාවේ ඇමැති අර්ජුන ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා දෙස බලමින් නැඟී සිටියේය.

"ඊට අදාළව අපේ අමාත්‍යාංශයේ තවත් පත්‍රිකාවක් තියෙනවා. ඒක ගන්න වෙලාවෙදී ඒ ගැන කතා කරමු" යැයි අර්ජුන රණතුංග ඇමැතිවරයා ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාට උත්තර දුන්නේය.
අනතුරුව අදාළ කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගැනිණි.

"ජනාධිපතිතුමනි, මට විනාඩි දෙක තුනක් කතා කරන්න දෙන්න. හයිරැක්ස් ගිවිසුම මම ඇමැති වීමට පෙර සකස් කළ එකක්. බොහෝ අය එය පී.ටුූ.පී. කිව්වට ඒක සිපෙට්කෝ එකයි මැලේසියානු සමාගමයි අතර වෙච්ච ගනුදෙනුවක්. ඒ සමාගම මුලින්ම ලංකාවට ආවේ තෙල් ව්‍යාපාරයට. දැන් කර්මාන්ත ශාලා හදන තරමට පොහොසත් වෙලා. එහෙම පොහොසත් වෙන්න උදවු කළේ කවුද කියල හොයන්න ඕන. මට නම් ඒ සමාගමත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. මම උත්සාහ කළේ හයිරැක්ස් ගිවිසුම රටට ගැළපෙන පරිදි සකස් කරන්න. අපිට වාසි විදියට සකස් කරගන්න. නමුත් ජනාධිපතිතුමනි, ඔබතුමා මැලේසියානු අගමැතිතුමාත් මේ ගිවිසුම ගැන කතා කළා කිව්වම මම නිහඬ වුණා. කැබිනට් තීරණයට හිස නමා ගිවිසුම ඉදිරියට ගෙනියන්න කටයුතු කළා. මම මාධ්‍යට කිසිවක් කිව්වේ නැහැ. කැබිනට් තීරණය ක්‍රියාත්මක කරන්න කටයුතු කළා. නමුත් පසුගිය සති අන්තයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත කැත විදියට මට මඩ ගහල තිබුණා. මගේ පවුලේ කෙනෙක් මැලේසියානු සමාගමෙන් සල්ලි ඉල්ලලා කියලා තිබුණා"යැයි අර්ජුන රණතුංග ඇමැතිවරයා පැහැදිලි කිරීමක් කරගෙන ගියේය.

"ඇමැතිතුමා... පත්තරවල යන ඒවා ගණන් ගන්න එපා." ජනාධිපතිවරයා අර්ජුන දෙස බලමින් කීවේය.

ඒ අවස්ථාවේ ඇමැතිවරයා තරමක් නොසන්සුන් වූවේය.

"ජනාධිපතිතුමනි මම නම් පත්තර බලන්නෙ නෑ. නමුත් මගේ අම්මා බලනවා. මගේ බිරිය බලනවා. මගේ දරුවො බලනවා. මගේ හිතවත්තු බලනවා. ඒ අය මගෙන් මේ ගැන අහනවා. ඒගොල්ලෝ පත්තරේ මාව අමාත්‍ය ධුරයෙන් ඉවත්කරලා බුද්ධශාසන අමාත්‍යංශයට දානවා කියල තිබුණා. දැන් කැබිනට් මණ්ඩලයේ තීරණ ගන්නෙත් මාධ්‍යවලින් " යැයි අර්ජුන තරමක් කේන්තියෙන් කියාගෙන මම මේ ගිවිසුම රටට ගැළපෙන ලෙස සකස් කරන්න මහන්සි වෙනකොට ඒ අය සමාගම් ගැන කැක්කුමෙන් කතා කරනවා. ජනාධිපතිතුමනි හයිරැක්ස් ගිවිසුම සම්බන්ධයෙන් හොයා බලන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න. එතකොට මේ ගිවිසුමට මුවාවෙලා සල්ලි ගත්තේ කවුද? සමාගම ගෙනාවේ කවුද? කියල හොයා ගන්න පුළුවන්" අර්ජුන එසේ කියමින් සිය අදහස් දැක්වීම අවසන් කරද්දී "ජනාධිපතිතුමනි - මට අවස්ථාවක් දෙන්න" යැයි ෆයිසාර් මුස්තාපා ඇමතිවරයා නැඟී සිටියේය.

"දැන් ඒක ඉවරයි" කියමින් ජනාධිපතිවරයා ඊළඟ කැබිනට් පත්‍රිකාව සාකච්ඡා කිරීමට පටන් ගත්තේය.

වජිරගේ දිසාපතිවරුන්තේරීම

ඉඩම් අයිතිය ලබාදීම පිළිබඳවද කැබිනට් යෝජනාවක් ඉදිරිපත් වී තිබිණි.

"ඒක බොහොම හොඳ වැඩක්. හැබැයි ඉක්මනින් කරන්න වෙනවා" සරත් අමුණුගම ඇමැතිවරයා කීවේය.

අනතුරුව ආන්දෝලනයකට තුඩුදුන් විදුලිබල ටෙන්ඩරය පිළිබඳවද කැබිනට් හමුවේ අවධානය යොමු කෙරිණි. ඒ සඳහා උසාවිය විසින් තීන්දුවක්ද ලබාදී තිබිණි.

"කැබිනට් එකට පුළුවන් මේ ගැන තීන්දුවක් ගන්න. ඒත් අපි උසාවි තීන්දුවට හිස නමලා මේක කල්දාමූ" ජනපති මෛත්‍රි කීවේය.

අනතුරුව දිසාපතිවරුන් බඳවා ගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ඉල්ලා තිබුණේ ඇමැති වජිරය. වජිර එකින් එක නම් කියාගෙන ගියේය. නම් කියාගෙන යද්දී ජනාධිපතිවරයා සිනාසෙමින් ඒ සෑම නමකටම 'ගාල්ලේ නෙවෙයිනෙ'නේ දැයි විමසීය.

සජිත්ගේ ඇරයුමින් ජනපතිගෙන් තෑගි

අතීත වකවානුවලදී ආක්‍රමණිකයන්ගෙන් රුහුණු රාජධානිය බේරා ගැනීම සඳහා විශාල මෙහෙවරක් ඉටුකළ බෞද්ධ සිද්ධස්ථානයක් වූ තිස්සමහාරාම උද්ධකන්දර රජමහා විහාරාධිපති දෙනගම ධම්මදස්සි හිමියන් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ රුහුණු මාගම්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම් ලැබීම නිමිත්තෙන් පැවැති අක්තපත්‍ර ප්‍රදානෝත්සවයට සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ ඇරයුමින් ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ ජනාධිපතිවරයාය. උත්සවයට සමගාමීව සජිත් සිය පියාණන් අනුස්මරණය කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 25ක වියදමින් ඉදිකළ දහම් පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදුවිය. විහාරස්ථානයේ වටදාගෙය සහිත විහාර මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැයවුණු රුපියල් ලක්‍ෂ 27කට අධික මුදලින් රුපියල් ලක්‍ෂ 18ක්ම ලබාදී තිබුණේ ජනාධිපති අරමුදලෙනි. පසුගිය වසර ගණනාව තුළ සජිත් මෙම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 82 ඉක්මවයි. "මේ සියලු දේ ප්‍රායෝගිකව බෞද්ධාගමේ අභිවෘද්ධිය වෙනුවෙන් මිස ශාසනය විකුණා දේශපාලන වාසි ලබා ගැනීමට නොවෙයි" සජිත් කියද්දී ජනාධිපතිවරයා ඇසුවේ චෛත්‍ය 25ක් ඉදිකිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳවය. මේ අතර ජනාධිපතිවරයා දහම් පාසල් දරු දැරියන් සමඟද කතා බස් කළේය. එක් සිසුවියක් කීවේ "අනේ සර්, අපිට බොන්ඩ පිරිසුදු වතුර නෑ. පිරිසුදු වතුර ලබා ගන්න උදව්වක් කරන්න" කියාය. තවත් සිසුවියක් කීවේ විහාරස්ථානයේ දහම් පාසල් දරු දැරියන්ට ඩෙස් පුටු හිඟයක් ඇති බවයි. ජනාධිපතිවරයා කීවේ "මම ඔය ප්‍රශ්න දෙකම සති දෙකකින් විසඳලා දෙන්නම්. වතුර ප්‍රශ්නය විසඳුමක් හැටියට ආර්. ඕ. පෙරහන් පද්ධතියක් (අ.ර්ණී. ර්ථීතචදබ) සවි කරවා ගන්න රුපියල් ලක්‍ෂ 17කුත්, ඩෙස් පුටු ගන්න තවත් රුපියල් ලක්‍ෂ 10කුත් වෙන් කරනවා" කියාය. මේ අතර පෙර පාසල් ගුරුවරියක් කීවේ තවත් කතාවකි. "සර් සජිත් ඇමැතිතුමා මෙහෙ උදාගම්මාන හදාගෙන හදාගෙන යනවා. දැන් මගේ පෙර පාසලේ ළමයි වැඩිවෙලා. දැන් ඒ ළමයින්ට හො½දටෝම ඉඩ මදි, ඊට පිළිතුරු දෙමින් සජිත් කීවේ "මම ලක්‍ෂ 20ක වියදමින් ඉඩකඩ ඇති පෙර පාසල් ගොඩනැඟිල්ලක් හදලා දෙන්නම්" කියාය. ජනාධිපතිවරයා කීවේ "ඔන්න මගේ මුදල් මම සජිත් ඇමැතිතුමා හරහා එවනවා. එතුමාගේ බල ප්‍රදේශයේ වැඩවලට ඉල්ලන ඉල්ලන තරම් මුදල් වෙන් කර දෙනවා. එතුමා වැඩේ හරියටම කරයි" කියාය. සජිත් එවර කීවේ. "මේවායේ පින් බලා ඉද්දීම ඔබතුමාට ලැබේවි" කියාය. ජනාධිපතිවරයා සජිත් දෙස බලමින් සිනාවක් පෑවේය.

විජයකලාගේ කොටි හඬ පාර්ලිමේන්තුව කල්තබයි

ගෙවී ගිය සතියේ අඟහරුවාදා දින පාර්ලිමේන්තුව ගිනියම් වූයේ විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය විසින් කර තිබූ ප්‍රකාශය හේතුවෙනි. මෙම ප්‍රකාශය පිළිබඳව තොරතුරු කථානායකවරයා වෙත සැල වූයේ එදින පෙරවරුවේදීය. ලැබුණු තොරතුරුවලට අනුව ප්‍රකාශය ඉතා බරපතළ බව කථානායකවරයාගේ හැඟීම විය.

පාර්ලිමේන්තුව ආරම්භ කිරීමටත් පෙර වහාම ක්‍රියාත්මක වූ කථානායකවරයා අදාළ ප්‍රකාශ ඇතුළත් කැසට් පටි පාර්ලිමේන්තුව වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අතර, නීතිපතිවරයා අමතමින් විමසා සිටියේ කථානායකවරයා ලෙස මේ සම්බන්ධයෙන් ගත හැකි පියවරට අදාළ නීතිමය පසුබිම කවරක්ද? යන්නයි.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රශ්නය පැනනැඟුන විට පොදුවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සෑම පාර්ශ්වයකින්ම අදාළ ප්‍රකාශය දැඩිව හෙළා දැකීම දක්නට විය.

නමුත්, ඒ වන විටත් කථානායකවරයා ව්‍යවස්ථාමය පියවර ගැනීමට යොමු වී ඇති බව බොහෝ මන්ත්‍රිවරුන් දැන සිටියේ නැත. ඒ හේතුවෙන් විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරුන්ගෙන් දිගින් දිගටම මුලසුනට බාධා එල්ල විය. තමා ඒ වන විටත් ගෙන ඇති පියවර කථානායකවරයා වෙතින් පැහැදිලි කෙරුණද එම හඬ මැඬගෙන ඝෝෂාව උත්සන්න විය.

එජාපයේ මන්ත්‍රිවරුන්ගේ ප්‍රතිචාර මැද විමල් සහ ප්‍රසන්න මන්ත්‍රිවරු තවත් අවේශ වූහ. ඔවුන්ගෙන් පිටවුණු ඇතැම් වචන හමුවේ ගැලරියේ සිටි පාසල් සිසුන් දෙස ද ඇස් යොමු කළ කථානායකවරයා කට පරිස්සම් කර ගන්නා ලෙස පැවසුයේ දැඩි ස්වරයෙනි. අවසානයේ ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයා නියෝජ්‍ය වේත්‍රධාරීද තල්ලු කරමින් සෙංකෝලය වෙත ඇදී ආ අතර, සෙංකෝලය කථානායක අසුන සමීපයට ගැනීමට වේත්‍රධාරී අනිල් සමරසේකර මහතා කටයුතු කිරීමත් සමඟ පාර්ලිමේන්තුව කල් තැබීමට සිදුවිය.

කෙසේ වෙතත්, තමා විජයකලා රාජ්‍ය ඇමැතිවරිය පිළිබඳ කථානායකවරයා ලෙස ගත හැකි නීත්‍යනුකූල පියවර සියල්ල ගෙන තිබියදී කිහිප දෙනකු විසින් අවිචාරශීලී ලෙස හැසිරෙමින් පාර්ලිමේන්තුවේ ගරුත්වයට නිඟා කිරීම පිළිබඳ තමා කනගාටු වන බවත්, මෙරට පාර්ලිමේන්තුවට ලෝකයේ ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ලෙසට ලෝක අන්තර් පාර්ලිමේන්තු සංගමයෙන් ලැබී ඇති පිළිගැනීමට කැළලක් සිදු වූ බවත්, ඒ සියල්ලට වඩා මෙවන් රංගනයන් පාසල් දරුවන් ඉදිරියේ දක්නට ලැබීම පිළිබඳ කනගාටු වන බවත්, සඳහන් කරමින් බදාදා පාර්ලිමේන්තුව අරඹමින් කථානායකවරයා නිකුත් කළ විශේෂ නිවේදනයේ සඳහන් කෙරිණි. මේ අතර කථානායකවරයා ඇමතූ නීති ව්‍යවස්ථා අංශවල පිරිස් පෙන්වා දුන්නේ නව ස්ථාවර නියෝග හා ආචාරධර්ම අනුව විමල් වීරවංශ හා ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරුන්ට සති 04 පාර්ලිමේන්තු තහනමක් පැනවිය හැකි බවයි.

විජයකලා අරලියගහ මැඳුරට ගෙන්වූ මෙහෙයුම

විජයකලාගේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවට අමතරව රටේ විවිධ සංවිධාන මෙන්ම ප්‍රදේශ කිහිපයක විරෝධයන් හමුවේ අඟහරුවාදා දිනයේ රටේ ප්‍රධානම මාතෘකාව බවට එය පත්විය. පිවිතුරු හෙළ උරුමය, රාවණා බලය ඇතුළු සංවිධාන කීපයක්ම පොලිස් මූලස්ථානයට ගොස් ඇමැතිවරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පැමිණිලි කළහ.

කෙසේ වෙතත් මේ අතරවාරයේ විජයකලා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අඟහරුවාදා පෙරවරුවේ සිටම අගමැති රනිල් දැඩි වෙහෙසක් ගත්තේය. සිය ජංගම දුරකථනයෙන් මෙන්ම කාර්ය මණ්ඩලයේ පිරිසගේ දුරකතනවලින්ද විජයකලා ඇමැතිවරිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද පස්වරුව වන තෙක් එම උත්සාහය සාර්ථක වූයේ නැත.

රාත්‍රියේ අගමැතිවරයා ආරක්ෂක නිලධාරියකුගේ මාර්ගයෙන් ඇමැතිවරිය දුරකථනයට සම්බන්ධ කර ගත්තේය. හැකි ඉක්මනින් තමාව හමුවන ලෙස අගමැතිවරයා විජයකලාට කීවේය.

"සර්... මට උණ හෙම්බිරිස්සාව. සනීප වුණ ගමන් කොළඹ එනවා" විජයකලා කීවාය.

බදාදා පස්වරුවේ කොළඹ පැමිණි විජයකලා අරලියගහ මන්දිරයට ගියාය. ඒ වන විටත් පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කර අගමැතිවරයා පැමිණ සිටියේය.

මාධ්‍ය වාර්තා මෙන්ම පැමිණි දුරකථන ඇමතුම් හමුවේ තමා කළ ප්‍රකාශය නිසා රටේ මහත් ආන්දෝලනයක් ඇතිවී තිබෙන බව තේරුම් ගත් ඇමැතිවරිය සිය වාහනයෙන් බැස අගමැතිවරයා හමුවීමට ගියේ තරමක් බියට පත්වීමෙනි.

"මොනාද මේ කියල තියෙන්නේ. අනවශ්‍ය වැඩක් ඔයා කළේ. පක්‍ෂයට වගේම රටටත් මේ කතාව නිසා විශාල කැළලක් ඇති වුණා". අගමැතිවරයා දැඩිව කතා කරන්නට විය.

"අනේ... සර්... නෑ නෑ මම කිව්වෙ උතුරේ අද තියෙන ඇත්ත තත්ත්වයයි. දෙමළ අයගේ ඉඩම් තවම පවරලා නෑ. සංවර්ධනය හොඳටම මදි අප්පා... අපරාධ වැඩිවෙලා" යැයි ඇමැතිවරිය කීවාය.

"ඒවට ආණ්ඩුවෙන් විසඳුම් ගන්නවා ඇරෙන්න එල්.ටී.ටී.ඊ. ය යළි ඕනෑ කියන්න ඔයාට අයිතියක් නෑ. ඒක තහනම් සංවිධානයක්. එය පරාජය කරන්න දහස් ගණන් රණවිරුවෝ ජීවිත පූජා කළා. ඔයා විශාල වැරැද්දක් කළේ. වහාම ඉල්ලා අස්වෙන්න" අගමැතිවරයා දැඩි ස්වරයෙන් විජයකලාට කීවේය.

"අනේ.. සර්... මම ඒ ප්‍රකාශය ඉල්ලා අස්කරලා සමාව ගත්තොත් මදිද" විජයකලා කීවද අගමැතිවරයා ඊට එකඟ නොවීය.

"මම අස් වුණොත් පාටි එක මට විරුද්ධව කරන විනය පරීක්‍ෂණය නවත්වනවද?"? ඇමැතිවරිය දුක්බරව විමසුවාය.

"එහෙම බෑ විනය පරීක්‍ෂණය තියන්න වෙනවා. ඒකේ තීන්දුව අනුව අනික් දේවල් ගැන බළමු" අගමැතිවරයා කීවේය. අනතුරුව ඇමැතිවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසා කඳුළු සලමින් අරලියගහ මන්දිරයෙන් පිටව ගියාය. වාහනයට යන අතරතුර අරලියගහ මන්දිරයේ සිටි එකම නිලධාරියෙක් සමඟ හෝ කතා නොකර බිම බලාගෙනම ඇය ප්‍රධාන ‍ෙදාරටුව අසලට පැමිණීම විශේෂත්වයකි.

අගමැති වට කරගෙන සිදුකළ නිව්යෝර්ක් ටයිම්ස් මෙහෙයුම

මේ අතර බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියේය. විගණන පනත විවාදයට ගැනීමට නියමිතව තිබුණේද එදිනය. අගමැති කාර්යාලයට පැමිණි මැති ඇමැතිවරුන් වත්මන් දේශපාලන කරුණු කාරණා ගැන කතාබහ කළහ. අගමැතිවරයාද සැහැල්ලුවෙන් තේ කෝප්පයකද රස බලමින් මැති ඇමැතිවරුන් සමඟ සුහද කතාබහක නියැළීම විශේෂත්වයකි.

"හම්බන්තොට වරාය හා චීනය ගැන ඔබතුමා අද පාර්ලිමේන්තුවේදී කතා කළාම හෙට මහින්දට ඒකට උත්තර දෙන්න වෙනවනෙ" ගයන්ත කීවේය.

"කෝටි 112ක් චීනයෙන් පගාව ගත්තා කියන එක චීනය ප්‍රතික්‍ෂේප කරල නෑ. චීන රජය එවැනි පගාවක් නොදුන් බව විතරයි ඔවුන් කියන්නේ. නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේ කියල තියෙන්නේ චීන රජය නෙමෙයි චයිනා හාබර් සමාගම ඒ පගාව දුන්න කියල. මහින්ද ඒවට උත්තර නොදී පුවත පළ කළ නිව්යෝර්ක් පත්තරේට නඩු නොදමා ලංකාවේ ජනමාධ්‍යවලට තර්ජනය කරල හරියන්නේ නෑ. "රන්ජන් කීවේ කාගේත් සිනා මැදය.

"හම්බන්තොට වරායේ අනාගතය ගැන ලංකාවට හා චීනයට දෙකටම බලපෑමක් නොවන ලෙසට අපි විස¼දා ගත්තා. තවත් විකල්ප තිබුණත් අපි හොඳම දේ තමයි කළේ. අපි පගා අරන් චීනය එක්ක වැඩ කළේ නෑ." අගමැතිවරයා කීවේය.

නවීන් දිසානායක ඇමැතිවරයාද මේ ගැන අදහස් දක්වන්නට පටන් ගත්තේය.

"නිව්යෝර්ක් ටයිම්ස් එකට කතා කරන්න කියල ඒ අය මහින්දට ආරාධනා කළා. ඒ අභියෝගය පිළිගැනීම හෝ පාර්ලිමේන්තුවේ පිළිගත හැකි ප්‍රකාශයක්සිදුකිරීම දැන් මහින්ද මහත්තයගේ වගකීමක්. වටේ ගිහින් මේක කරන්න පුළුවන්කමක් නෑ."

"පසුපෙළ එ.ජා.ප. අය නිව්යෝර්ක් පත්තරේට ලිපියක් ලියල ලංකාව ගැන මෙවැනි තවත් තොරතුරු තියෙනව නම් ඒ තොරතුරු දෙන්න කියලා අපි ඉල්ලනවා. ඇමෙරිකාවට ගිහින් හරි තොරතුරු ලබාගන්න අපි සූදානම් කියලා ඒකේ ලියනවා" චමින්ද විජේසිරි මන්ත්‍රිවරයාගේ යෝජනාවට සැවොම සහාය දක්වන්නට වූහ.

"ඒකාබද්ධෙ කට්ටිය 2015 ලංකාවේ ඩේලි නිවුස් පත්තරේ තිබුණු පුවතයි, නිව්යෝර්ක් ටයිම්ස් පුවතයි දෙකම එකයි කියල මඩක් ගහන්න හදනවා. මම පත්තර දෙකම බැලුවා. එහෙම පගාවක් ලැබුණු බව මමත් දන්නවා. ඒවා කාගේ සාක්කුවටද ගියේ කියලා හොයන්න ඕන" නවීන් තවත් බෝම්බයක් පත්තු කළේය.

"දන්නවද වැඩක් උදයංග වීරතුංග අබුඩාබි හිරේ අපා දුක් විඳිනවලු. ඒ උසාවිය එයා නිදහස් කරන පසුබිමක් තිබෙනවා නම් එයා ලංකාවට එන්නෙ නෑ. එහෙ උසාවියෙ දැඩි දඬුවම් විඳීමට සිදුවන බව දැනගෙනයි මිනිහා බොරු වීරකමක් පෙන්නලා ලංකාවට එන්න හදන්නේ. වැඩේ තියෙන්නේ මමයි මිනිහව ගෙන්නන්නෙ කියලා මහින්දත් පෙන්නන්න හදනවා" චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා කීවේය.

"අගමැතිතුමා... නඩු කඩිනම් කරන මහාධිකරණ 03 වැඩේ තවම පරක්කු ඇයි" ගයන්ත අගමැතිවරයා දෙස බලමින් ඇසුවේය.

"නෑ නෑ. ඉක්මනින් පළමුවැනි එක පිහිටුවනවා. ඒ අත්දැකීම් මත අනිත් ඒවා පිහිටුවන්න පුළුවන්" අගමැතිවරයා කීවේය.

ගෝඨාගේ පොහොට්ටු සම්ප්‍රාප්තිය

පසුගිය සතියේ දේශපාලන ක්‍ෂේත්‍රයේ වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ ගෝඨාභය රාජපක්‍ෂ දේශපාලන භූමිකාවය. ගෝඨා පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේ දේශපාලන කටයුත්තකට ගිය පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. පළාත් සභා මන්ත්‍රිවරුන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සාමාජික කාඩ්පත් ලබාදීම බදාදා පෙරවරුවේ සිදුවිය. එහි මූලිකත්වය ගෙන සංවිධාන කටයුතු කළේ පළාත් සභා මන්ත්‍රි සංසදයේ සභාපති සහ සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්නය. කංචන දින ගණනාවක සිට මෙම උත්සවයේ කටයුතු සිදු කළ අතර එය මහින්දගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබිණි.

'කංචන හෙට ඕගොල්ලන්ගේ උත්සවයට ගෝඨාභයත් එනවා' බැසිල් කංචනට කීවේ උත්සවයට පෙර දින පස්වරුවේය. කංචන එය පළාත් සභා මන්ත්‍රිවරුන්ටත් නොකියාම ඊට සූදානම් වීමද විශේෂත්වයකි.

එදින නෙලුම් මාවතට මුලින්ම ආවේ බැසිල්ය. පක්‍ෂයේ පාලක ලේකම් රේණුක ඇතුළු පිරිසක් බැසිල්ට නෙලුම් පොහොට්ටු පොකුරක් පිළිගැන්වූහ.

'මේ මොකද මේ මාව පිළිගන්නේ?' බැසිල් පුදුමයෙන් ඇසුවේය.

'නෑ සර් ඉතින් අපි සර්වත් පිළිගන්න හිතුවා' රේණුක කීවේය.

'මාව අමුතුවෙන් පිළිගන්න දෙයක් නැහැ. මම මෙතැන හිටිය මිනිහා. මම මේ වේලාසන මෙතැනට ආවේ සංවිධාන කටයුතු ගැන හොයලා බලන්න. මෙච්චර වෙලා මම හිටියේ මහින්ද මහත්තයාගේ ගෙදර. ගෝඨාභය මහත්තයත් ඉන්නේ එතැන' බැසිල් පැවැසීය.

ඒ වනවිට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් එහි පැමිණ සිටි අතර චමල්ද වේලාසනම ඇවිත් සිටියේය. චමල් ළඟ සිටියේ ප්‍රසන්න සහ ලංසාය.

'ආ ඔයාලා ගම්පහ දිස්ත්‍රික්කයේ කරන්නෙම චණ්ඩි වැඩ නේද? මොකද අර 16 කණ්ඩායමට විරුද්ධ වුණයි කියන්නේ?' චමල් ඇසුවේ ප්‍රසන්නගෙනි.

'එහෙම විරෝධයක් නැහැ සර්. අපි කිව්වේ කවුරු ආවත් මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිගන්න ඕනේ කියලා විතරයි. අපිට ඉතින් විශ්වාසයකුත් ගොඩනැඟෙන්න එපැයි' ප්‍රසන්න පිළිතුරු දුන්නේය.
'මමත් ඔතැන හිටිය මිනිහනේ. ඒ හින්දා මම දන්නවා ඔතැන ඉන්න අයගේ හැටි. සමහරු ඉන්නවා කිසිම විශ්වාසයක් තියන්න බැරි. ඒ අය කොයි වෙලාවේ හරි ආපසු යනවා. ඒ ගැනයි අපි කිව්වේ. නැත්නම් මහින්ද මහත්තයා ගන්න තීන්දුවකට උඩින් යන්න අපි සූදානම් නැහැ.' ලංසා පැවැසීය.

'ඒක තමයි සමහරුන් ගැන අපිට ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි අවධානයෙන් ඉන්න ඕනේ කියන එකයි අපි කියන්නේ' ප්‍රසන්න පැහැදිලි කළේය.

මේ අතර මහින්දත් ගෝඨාභයත් එකම රියක නැඟී නෙලුම් මාවතට ආවෝය. කංචන ජයරත්න ඇතුළු පිරිස මහින්ද සහ ගෝඨා පිළිගත්තේ නෙලුම් පොහොට්ටු පිළිගන්වමිනි. පළාත් සභා මන්ත්‍රිවරුන් වෙත පක්‍ෂ සාමාජිකත්වය පිරිනැමීම අනතුරුව සිදු කෙරිණි. උත්සවයේ පිළිගැනීමේ කතාව කළේ කංචනය.

'කුරහන් පාට ධජය පෙරටු කරගත් පිවිතුරු නෙලුම් පොහොට්ටුවෙන් රටේ 7 වැනි ජනාධිපතිවරයා බිහිකර නිර්ව්‍යාජාත්මක සමාජයක් බිහි කිරීමේ පළමු පියවර අද ලෙස ඉතිහාසයේ සනිටුහන් වේවි' කංචන කීවේය.

උත්සවය කතා දෙකකට පමණක් සීමා වූ අතර අනතුරුව අදහස් දැක්වූයේ මහින්දය.

'හුඟක් දෙනෙක් කියනවා රාජපක්‍ෂලා බෙදිලලු. අපි අතර ගැටුම්ලු. අපි අතර එහෙම ප්‍රශ්න නෑ. අපි එකට ඉන්නවා. වියත්මඟයි ඒකාබද්ධයයි කියන්නේ දෙකක් නොවෙයි. එකක්. මේ හැමෝම එකතුවෙලා මහින්ද චින්තනයයි ඉදිරියට ගෙනියන්නේ' මහින්ද කීවේ කාගෙත් අත්පොළොසන් නද මධ්‍යයේය. අනතුරුව මහින්ද අතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික කාඩ්පත් බෙදාදීම සිදුවිය.
උත්සවය අවසන් වී සියලු දෙනා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් සූදානම් වී තිබිණි.

මහින්ද, චමල්, ගෝඨා සහ බැසිල් නෙලුම් මාවතේ කාමරයකට ගියේ තේ පානය සඳහාය.

'කෝ අර අනෙක් මන්ත්‍රිවරුන්ටත් එන්න කියන්න. නැත්නම් මේක පවුලේ හමුවක් වෙනවා' මහින්ද කීවේ සිනාසෙමිනි.

ඒ අනුව ඩලස්, සී.බී, පවිත්‍රා, කෙහෙළිය, චන්ද්‍රසේන, බන්දුල, ගාමිණී, මහින්ද යාපා, චානක ඇතුළු මන්ත්‍රි පිරිසද එහි ගියහ.

මහින්ද වියත්මඟ කාර්යාලයට එයි

මේ අතර හිටපු ජනාධිපති මහින්ද බදාදා රාත්‍රියේ පිටකෝට්ටේ පිහිටි 'වියත්මඟ' කාර්යාලයට ගියේ එහි විධායක කමිටු සාමාජිකයන්ගේ හමුවකට සහභාගි වීමටය. මහින්ද එහි ගියේ රාත්‍රි 7.30ට පමණය. ඊට පැය භාගයකට පමණ පෙර බැසිල් එහි පැමිණියේය. ඒ වන විටත් ගෝඨා මහනුවර දිස්ත්‍රික්කයේ 'වියත්මඟ' කණ්ඩායම සමඟ විශේෂ සාකච්ඡාවක නිරතව සිටියේය. බැසිල් සමඟ රෝහිත සහ කංචනද පැමිණියහ. ගෝඨා පැමිණ බැසිල්ව සාකච්ඡාවට කැඳවාගෙන ගියේය.

"ඔන්න දැන් බැසිලුත් ඉන්නවා. ඔයගොල්ලන්ට අහන්න දෙයක් තියෙනවා නම් අහන්න" ගෝඨා වියත්මඟ සාමාජිකයන්ට කීවේය.

අනතුරුව වියත්මඟ මහනුවර නියෝජිතයන් සමඟද කතාබහ කළේය.

මඳ වේලාවක් ගිය පසු බැසිල්ට දැන ගැනීමට ලැබුණේ මහින්ද වියත්මඟ කාර්යාලයට එන බවය.

'මහින්ද ජනාධිපතිතුමාත් එනවලු. අපි යමු පහළට' බැසිල්, ගෝඨා, රෝහිත සහ කංචනද සමඟ මහින්දව පිළිගැනීමට ගියහ.

මහින්ද පැමිණි පසු වියත්මඟ කාර්යාලයේ උඩු මහලට ගියේ එහි සූදානම් කර තිබූ තේ පැන් සංග්‍රහය සඳහාය. මහින්ද පිරිස සමඟ කතාබහ කරමින් තේ කෝප්පයක රස බැලුවේය.

'අපි යමුද කොන්ෆරන්ස් එකට' ගෝඨා මහින්දව වියත්මඟ විධායක කමිටුව සහ මහනුවර සාමාජිකයන්ගේ හමුවට කැඳවාගෙන ගියේය.

පිරිස මහින්දව උණුසුම් අයුරින් පිළිගත්හ.

'වියත්මඟ පිරිසත් අපේ මන්ත්‍රිවරු එක්ක එකතුවෙලා දැන් එක ගමනක් යන්න කටයුතු කරනවා. ඒක හොඳයි. අපි මහින්ද චින්තනයයි ඉදිරියට ගෙන යන්න ඕන' මහින්ද කීවේය.

'සර් ඒක බොහොම හොඳයි. අපි ඉදිරියට මේ වැඩපිළිවෙළ සංවිධානය කරමු' කමිටු සාමාජිකයකු කීවේය.

'රටේ ප්‍රතිපත්ති වෙනස් නොවෙන ක්‍රමයක් ඇතිවිය යුතුයි. ලෝකේ බොහෝ රටවල් එහෙමයි. ආණ්ඩු මාරු වුණාට ප්‍රතිපත්ති මාරු වෙන්නෙ නෑ. අපේ විතරයි මේ ක්‍රමය තියෙන්නෙ අපි ඒක වෙනස් කරන්න ඕන' මහාචාර්යවරයකු කීවේය.

'විද්වත් පිරිස මහින්ද සමඟ ඉදිරි දේශපාලන කරුණු කාරණා ගැනද කතාබහ කළේය. වේලාව රාත්‍රි 9.30 පසුවිය.
'සර්... අපි එහෙනම් යන්නම්. නුවරටම යන්නත් එපැයි. අපිට ඉතින් හයිවේ එහෙම නෑනෙ' විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු කී විට සැවොම සිනාසුණහ. මහින්දට ඒකතාවට සිනා නොවී බැරි විය.
16 කණ්ඩායම 54ට එක්වූ හැටි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිකම් අත්හළ මන්ත්‍රිවරුන් 16 දෙනා පළමු වරට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි පිරිස සමඟ එකම රැස්වීමකට සහභාගි වූයේ පසුගිය සඳුදාය. පළමුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු 54 දෙනා මහින්ද හමුවිය. අනතුරුව 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රි පිරිස විජේරාම නිවෙසට පැමිණියහ.

"නිදහස් පක්ෂයේ ඇමැතිකම් අතහැරපු 16 දෙනාගේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට එකතු වීමට කැමැත්තෙන් ඉන්නවා. ඒ ගැන තමුන්නාන්සේලාගේ අදහස මොකක්ද? මහින්ද ඇසුවේය.

කිසිවකුත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ නොකළ අතර විනාඩි කිහිපයක නිහඬතාවකින් අනතුරුව කෙහෙළිය සිය අදහස ඉදිරිපත් කළේය.
"මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිගන්න 16 දෙනා කැමැති නම් අපිට ඒ ගැන ගැටලුවක් නැහැ." කෙහෙළිය කීවේය.

"එහෙම නම් කවුරුත් මේකට විරුද්ධ නැහැනේ." මහින්ද කීවේය.

"මම පැහැදිලිවම කිව්වේ එයාලා එන එක ප්‍රශ්නයක් නැහැ, හැබැයි එන අරමුණ ප්‍රශ්නයක් කියලයි. එයාලම එළියට බැහැලා කිව්වා පොහොට්ටුවේ ඡන්ද ටික මෛත්‍රි ගාවට අරන් යනවා කියලා. තව කෙනෙක් කිව්වා මෛත්‍රිගේ නායකත්වය යටතේ ඉන්නවා කියලා. ආයෙත් කෙනෙක් කිව්වා පාර්ලිමේන්තුවේ වෙනම ස්වාධීන කණ්ඩායමක් විදියට ඉන්නවා කියලා. අන්න ඒ මතවාද එක්කයි මම විරෝධය පළ කළේ. මම හැමතිස්සෙම කියන්නේ මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිඅරන් අපිත් එක්ක එක බලවේගයක් විදියට කටයුතු කරනවා නම් අපිට ගැටලුවක් නැහැ. හැබැයි දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න බැහැ" ප්‍රසන්න පැහැදිලි කළේය.

අනතුරුව මහින්ද මන්ත්‍රිවරුන්ට පැහැදිලි කරන්නට ගත්තේ ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් සම්බන්ධයෙන් මේ දිනවල යන ප්‍රචාරයක් ගැනය. "ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් තියෙනවා කියලා මේ දවස්වල මාධ්‍ය හරහා ලොකු ප්‍රචාරයක් ගෙනියනවා. ජනාධිපති අපේක්ෂකයා ගැන අපි බෙදිලා ඉන්නවා කියලා පෙන්වන්නයි මේ උත්සාහ කරන්නේ.

අපිත් යන යන තැන මාධ්‍යවේදීන් අහනවා ජනාධිපති අපේක්ෂකයා බැසිල් ද ගෝඨාභය ද කියලා. අපේ ජනාධිපති අපේක්ෂකයා තීන්දු කරන්නේ මම. අපේ අයත් මාධ්‍යවලට ප්‍රතිවිරුද්ධ මත ප්‍රකාශ කරන්න ගියාම අපේ පාක්ෂිකයෝ ව්‍යාකූල වෙනවා.

අපි ඒකාබද්ධ විපක්ෂය විදියට තීන්දුවක් ගන්න කොට සාකච්ඡා කරලා තීන්දුවක් ගමු. නමුත් අපේ පාක්ෂිකයන් ව්‍යාකූල වන විදියට මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් නොකරන්න වගබලා ගමු. එහෙම නොවුණොත් ලොකු අර්බුදයක් වෙනවා.

අපි අතර පරස්පර අදහස් තියෙන්න පුළුවන්. නමුත් අපි සියලුදෙනාගේ අරමුණ මේ ආණ්ඩුව පෙරළන එකයි. ඒ නිසා ඒ අරමුණට බාධා වෙන විදියට කටයුතු කරන්න එපා. ජනාධිපති අපේක්ෂකයා ගැන තීන්දුව මම අවශ්‍ය වෙලාවට ගන්නම්" මහින්ද පැහැදිලි කළේය.

අනතුරුව පිරිසගේ අවධානය යොමු කෙරුණේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් කළ හෙළිදරව්ව ගැනය. මේක සම්පූර්ණයෙන්ම කලින් සැලසුම් කරපු මඩ ප්‍රහාරයක්. ආණ්ඩුවේ අදහස තමයි මේ පත්තරෙන් එළියට ඇවිත් තියෙන්නේ. මම ඒ ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

"මංගල මාධ්‍ය ඇමැති වෙලා ඉන්න කොට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. තව ඉස්සරහට මීට වඩා දේවල් කරන්න බලයි. හැබැයි මඩ ගහලා අපිව වට්ටන්න පුළුවන්කමක් නැහැ" මහින්ද පැවැසීය. "මේක මහින්ද මහත්තයාගේ ප්‍රතිරූපය විනාශ කරන්න හිතාමාතා කරපු මෙහෙයුමක්. අවුරුදු තුනක් තිස්සෙම මඩ ගහලා ගහලා දැන් මිනිස්සු ඒවා විශ්වාස කරන්නේ නැහැ" ඩලස් පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ සාකච්ඡාව යන අතරතුර 16 කණ්ඩායමේ මන්ත්‍රිවරු ද විජේරාම නිල නිවෙසට පැමිණෙමින් සිටියහ. මුලින්ම ආවේ ලක්ෂ්මන් යාපා, ඩබ්ලිව්.ඩී.ජේ. සහ චන්දිමය.

අලුතෙන් තමන් සමඟ එක්වන්නට ආ සටන් සගයන් ඒකාබද්ධයේ මන්ත්‍රිවරුන්ගේ අත්පොළසන් මැද පිළිගැනිණි. අනතුරුව 16 දෙනාගේ කණ්ඩායම ද ඇතුළත් ඒකාබද්ධයේ මන්ත්‍රිවරුන්ගේ රැස්වීම ආරම්භ කෙරිණි.

"අපි ඉතාමත් සතුටු වෙනවා ඔයාලා අපිත් එක්ක එකතු වෙන්න ගත්ත තීන්දුව ගැන. රටේ ජනතාව ලොකු අවධානයකින් ඔයාලා දිහා බලන් ඉන්නවා. ඒ අයට ඕනේ ආණ්ඩුව පෙරළන්නයි. ඒ අරමුණ වෙනුවෙන් අපි කරන සටනට ඔයාලත් අපිත් එක්ක අවංකව එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා" මහින්ද පැවැසීය.

"දැන් 16 කණ්ඩායම කියලා එකක් නැහැ. අපි සේරම දැන් 70 කණ්ඩායම" ඩබ්ලිව්.ඩී.ජේ. පැවැසීය.

"70 කණ්ඩායමේ ඉන්න පැරැණිම සාමාජිකයා තමයි මම" මහින්ද කීවේ සැවොම වික්ෂිප්ත කරවමිනි.

"නෑ ඉතින් මම කිව්වේ 70 පාර්ලිමේන්තු ආපු කණ්ඩායම ගැන" මහින්ද කාගෙත් කුතුහලය සන්සිඳුවමින් පැවැසීය.

තාරානාත් සහ ටී.බී. මන්ත්‍රිවරුන්ගේ හමුවට පැමිණියේ තරමක් ප්‍රමාදවීය. ඒ වන විට එස්.බී. සහ දයාසිරි හැර සියලු මන්ත්‍රිවරු සාකච්ඡාවට එක්ව සිටියහ. එස්.බී. විදේශගතව සිටීම නිසා නොපැමිණියත් දයාසිරි මෙම සාකච්ඡාව මඟහැරි බවක් දක්නට ලැබිණි. ඔහු එදිනම රාත්‍රි පැවැති ශ්‍රී ලනිප නිලධාරී හමුවට සහභාගි විය.

මේ අතර අනුර ප්‍රියදර්ශන යාපා යෝජනා කළේ ඒකාබද්ධ විපක්ෂයට දැන් මන්ත්‍රිවරුන් 70 දෙනකු සිටින නිසා එම මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගත යුතු යැයි කථානායකවරයාට ලිඛිතව දැනුම් දිය යුතු බවය. එම යෝජනාවට සියලුදෙනාම අත ඔසවා එකඟතාව පළ කළහ. චන්දිම තවත් යෝජනාවක් ගෙන ආවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමි විය යුතු බවත් එම විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂය පිරිනැමිය යුතු බවත් කියමිනි.

"මම තනතුරු බලාගෙන නෙවෙයි මේවා කරන්නේ. මගේ අරමුණ ආණ්ඩුව ගෙදර යවන එකයි. තනතුරු ගැන පස්සේ කතා කරමු" මහින්ද පැවැසීය.

මහින්ද 30 වැනිදා කුරුණෑගල බලා ගියේය. එදින රාත්‍රිය ජොන්ස්ටන්ගේ නිවෙසේ ගත කළ මහින්ද පසුදින උදෑසනම වැව රවුමේ ශාරීරික ව්‍යායාම සඳහා ගියේය. මහින්ද ව්‍යායාම සඳහා ඇවිදිමින් සිටින විට වැව රවුමේ ඡායාරූප ගැනීමට පැමිණ සිටි මනාල යුවළක් මුණගැසුණේය.

"මේක හරියට සර්ට ආරාධනා කරලා ගෙන්න ගත්ත වගේ වැඩක්. අද වගේ දවසක සර්ව මුණගැහෙන්න තරම් අපි දෙන්නා ගොඩක් වාසනාවන්තයි" මනාල යුවළ මහින්දට කීවේ ඇතිපදමට මහින්දත් සමඟ පින්තූර ගැනීමෙන් අනතුරුවය.

එදින උදෑසන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට පොදුජන පෙරමුණෙන් තේරී පත් වූ සහ හිටපු පළාත් පාලන නියෝජිතයන්ගේ හමුවක් පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. එම උත්සවයට ජොන්ස්ටන්, සාලින්දට අමතරව ටී.බී. ඒකනායකද පැමිණ සිටියේය.

"ආ දැන් ටී.බී. තවත් ලස්සන වෙලානේ" මහින්ද කීවේය.

"ඔව් සර් මේ පැත්තට ආපු හින්දා අපේ හිත් හොඳයිනේ. ඒ හින්දා වෙන්න ඇති" ටී.බී. පැවැසීය.

"ඒක ඇත්ත. ආණ්ඩුවේ ඉන්න කොට ජනතාවත් නැහැ, හිතත් හොඳ නැහැ. අපේ පැත්තට ආවම ජනතාවත් ඉන්නවා, හිතත් හොඳයි" මහින්ද කීවේය.

උත්සවයෙන් අනතුරුව ජොන්ස්ටන්, සාලින්ද සහ ටී.බී. ඒකනායක සමඟ මහින්ද කතාබහ කරමින් සිටියේය. එහිදී මහින්ද පෙන්වා දුන්නේ ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රිවරුන් නිතිපතා පාර්ලිමේන්තු පැමිණීමේ වැදගත්කමය.

තලතා අතුකෝරල ඇමැතිවරිය පසුගිය සතියේ හදිසියේම අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නිරීක්ෂන චාරිකාවකට එක්වූවාය. ඇමැතිවරිය සිරකුටිවලට ගොස් එහි රඳවා සිටින සිරකරුවන් සමඟ කතාබහ කළාය. බොහෝ දෙනකු කීවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගම්වල නම්ය.

"බලාන් ගියාම මේ හිරගෙවල්වල ඉන්නෙ වැඩිපුරම රත්නපුරේ කට්ටිය. මම වැලිකඩ ගියා එහෙත් එහෙමයි. මෙහෙ ආවා මෙහෙත් එහෙමයි" ඇමැතිවරිය කීවාය.

අනතුරුව අවුරුදු 21ක තරුණ රැඳවියකු සමඟ කතාබහ කළේය. ඔහු වසර 70ක සිර දඬුවමක් විඳීමට නියමිත රැඳවියකි.
"ඔයා මොනවා කරලද මෙහෙ ආවේ" ඇමැතිවරිය විමසුවාය.

"හොරකම් කරලා මැඩම්" රැඳවියා උත්තර දුන්නේ හැඟීම් බරවය.

"මොනවද හොරකම් කළේ"

"ලැප්ටොප්, ෆෝන් තමයි" මැඩම් රැඳවියා කීවේය.

"ඇයි ඉතින් ඔයා මේ වැරදි වැඩ කළේ" ඇමැතිවරිය ප්‍රශ්න කළාය.

"කාර් එකක් ගන්න මැඩම්" රැඳවියා හැඟීම් බරව කීවේ ඇමැතිවරිය දෙස බලමිනි.

ඇමැතිවරියද ඒ ප්‍රකාශයට අතිශය සංවේදී වී ඉන් එහාට කිසිවක් නොවිමසා බිම බලාගත්තාය. ඇගේ නෙතින් කඳුළු වැටෙන්නට විය. ඇමැතිවරිය දැඩි සංවේගයට පත්වූ බව ඇගේ කාර්ය මණ්ඩලයේ පිරිසටද වැටහිණි. පසුව ඇය මඳක් ඉස්සරහට ගොස් කඳුළු පිසදාගෙන සෙසු නිරීක්ෂණ සඳහා ගියාය.

මන්ත්‍රිවරියන් මැදිකරගෙන ෆයිසර් උපන් දින කේක් ගෙඩිය කපයි

බස්නාහිර පළාතේ පළාත් පාලන මන්ත්‍රිවරියන් සඳහා ධාරිතා වර්ධන වැඩමුළුවක් පසුගිය සඳුදා කිංස්බරි හෝටලයේදී පැවැත් වූවේ ඇමැති ෆයිසර්ගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා සුදර්ශනී, හිරුණිකා මන්ත්‍රිවරියන් මෙන්ම රාජ්‍ය ඇමැතිනි ශ්‍රියානි විජේවික්‍රමද පැමිණ සිටියාය.

උත්සවය පෙරවරුවේ සිට පැවැත්වුණු අතර දිවා ආහාරයෙන් පසු ඇමැති ෆයිසර් එහි පැමිණියේය. එදින ඇමැතිවරයාට විශේෂත්වයක් වුණේ උපන් දිනය යෙදී තිබීම නිසාය.

පළාත් පාලන මන්ත්‍රිවරියන් මෙන්ම වැඩමුළුවේ සංවිධායකයන් උදේ සිටම කේක් ගෙඩියක් සූදානම් කර තිබුණේ ෆයිසර් ඇමැතිවරයා පැමිණෙන තුරුය. ඇමැතිවරයා පැමිණි පසු සූදානම් කර තිබූ කේක් ගෙඩිය මේසයක් මත තැබුවේ ඔහුද පුදුම කරමිනි.

අනතුරුව සංවිධායකයන්ගේ ආරාධනයෙන් කේක් ගෙඩිය තැබූ මේසය අසලට ෆයිසර් ඇමැතිවරයා පැමිණි අතර මන්ත්‍රිවරියන් සියලුදෙනා ඇමැතිවරයා වටකර ගනිමින් "හැපි බර්ත්ඩේ ටූ යූ" යැයි කියූහ. ඔය අතරවාරයේ ජාඇළ නාගරික මන්ත්‍රිනි මල්කාන්ති කල්දේරා මේ සියලුදේ සිය ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කළාය. එය දුටු ඇමැති ෆයිසර් "නිළියෝ ඔක්කොටම ඉන්න එකම නළුවා මම" යැයි කීවේ සිනාසෙමිනි. "ඇමැතිතුමා මේ කීවැනි උපන් දිනයද?". තවත් නාගරික මන්ත්‍රිවරියක් ෆයිසර්ගෙන් විමසීය. "හා.... හා... ඕගොල්ලො උපන් දිනය හංගනවනේ කියන්නේ නෑනේ... දැන් අපිත් වයස කියන්නේ නෑ" යැයි කියමින් ඇමැතිවරයා ප්‍රශ්නය මඟ හැරියේ හීන් නූලෙනි.

ලොක්කට ලණු දෙන ඇමැති කවුද?

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, චන්දිම වීරක්කොඩි සහ ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු ලොබියේදී කතාබහක නියැළී සිටියහ. එම ස්ථානයෙන් චතුර සේනාරත්න ගියේ දිවා ආහාරය සඳහාය.

"ආ... මල්ලී කොහොමද?" ඩිලාන් චතුරගෙන් විමසීය.

"හොඳයි ඇමතිතුමා ඔහෙ ඉන්නවා අපි" චතුර කීවේ සිනාසෙමිනි.

"මේ.. ඒක නෙවෙයි උඹලගෙ තාත්තට කියපන් ලොක්කට ලණු දෙන්න එපා කියලා" ඩිලාන් කීවේ චතුරගෙ බඩට තට්ටුවක්ද දමමිනි.

"ඔව්, ඔව් තාත්තා තමයි ජනාධිපතිතුමාට උපදෙස් දෙන්නෙ" දිනේෂ් ද කීවේය.

"ලණුද මොනවද දන්නෙ නෑ. අපි මේ දවස්වල යූ.එන්.පී. කැමති කරගෙන යනවා ඊළඟ සැරෙත් මෛත්‍රි ජනාධිපතිතුමා පොදු අපේක්ෂකයා කරන්න" චතුර එසේ කියමින් විදුලි සෝපානයට නැඟී යන්න ගියේය .

ඉන්දියන් ටයිම්ස් එකේ විස්තරේ කලින්ම ආපු හැටි

මේ අතර පාර්ලිමේන්තු ලොබියේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් කතාබහ කරමින් සිටියේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ වාර්තාව ගැනය. 'හරි හරි... තව එකක් හින්දුස්තාන් ටයිම්ස් එකෙන් එනවා, පොඩ්ඩක් ඉමු' එක් මන්ත්‍රිවරයකු අගමැති කාර්යාලයෙන් ලැබුණු ආරංචියක් ගැන කීවේය. සිකුරාදා පෙරවරු 11.00ට පාර්ලිමේන්තු කමිටු ශාලා 8දී ඇමැති ගයන්තගේ මාධ්‍ය හමුවක් ඇති බවට මාධ්‍ය ආයතනවලට පණිවුඩයක් යවා තිබිණි. ඒ අනුව මාධ්‍ය ආයතනවලින් පෙරවරු 10.30 පමණ වන විට මාධ්‍යවේදීහු පැමිණ සිටියහ. පාර්ලිමේන්තු මාධ්‍යවේදීහුද ඊට එක්ව සිටියහ. පෙරවරු 11.30 පමණ වනතුරුත් ගයන්ත පැමිණියේ නැත. මඳ වේලාවක් ගියපසු ආශු මාරසිංහ සහ මුජුබර් රහුමාන් මන්ත්‍රිවරු ඒ අසල කැරකෙන්නට පටන් ගත්හ.

"කෝ ඇමැතිතුමා ආවද?" යැයි මාධ්‍යවේදීන්ගෙන් අසමින් ඔවුහු වටපිට බැලූහ. එහෙත් ගයන්ත පැමිණියේ නැත.

"ඇමැතිතුමා එනකන් අපි පටන්ගමු" ආශු සහ මුජුබර් මාධ්‍ය හමුව පටන් ගත්හ.

කලින් දින පාර්ලිමේන්තුවේ මහින්දානන්ද මන්ත්‍රිවරයා කළ ප්‍රකාශයකට සහ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ප්‍රකාශයක් ගැන මන්ත්‍රිවරු දෙදෙනා අදහස දක්වා පිටව ගියහ. දිවා ආහාරයට යන ඇමැති ගයන්තව මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු ලොබියේදී හමුවිය.

"ඇයි ඔබතුමා ආවෙ නැත්තේ" මාධ්‍යවේදීන් විමසීය.

"මම දන්නෙත් නෑ. මගෙ නම විකුණලා මේ දෙන්නා මාධ්‍ය කැඳවලා තියෙන්නෙ. මගේ නමත් සවුත්තු කරනවා. මම කවදාවත් ඔයාලාව රවට්ටලා තියෙනවද නෑනේ" ගයන්ත ආශුට සහ මුජිබර්ට ‍ෙදාස් නඟමින් යන්නට ගියේය.

කට්ටියක් හිට්ලර් ඉල්ලනවා... තව කට්ටියක් ප්‍රභාකරන් ඉල්ලනවා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පසුගිය තුන්වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ජවිපෙ නායක අනුර විදෙස් ගතවී සිටි බැවින් කණ්ඩායම් රැස්වීම පවත්වනු ලැබුවේ විජිතගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී විශේෂයෙන් අවධානයට ගැනුණේ විජයකලා ඇමැතිවරියගේ ප්‍රකාශයත් එම සතියේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විගණන පනත පිළිබඳවත්ය.

"විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඒක කරන්නේ ජනාධිපතිවරයාගේ ජංගම සේවාවක උත්සවයකදී. ඒ විතරක් නෙවෙයි ඒ උත්සවයේ ස්වදේශ කටයුතු ඇමැතියි විදේශ කටයුතු ඇමැතියි දෙන්නම ඉන්නවා. ආණ්ඩුවේ ඇමැතිවරු ළඟ තියාගෙන මේ වගේ ප්‍රකාශයක් කරලත් පහුවදා දවල් වෙනකල් ආණ්ඩුව විදියට කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ" බිමල් කියා සිටියේය. "ඔව්, ඒ උත්සවය ආණ්ඩුවේ වැඩක්. ආණ්ඩුවේ ඇමැතිවරු මේ වගේ ප්‍රකාශ කරන එක බරපතළයි. ඇමැතිවරිය කළ ප්‍රකාශය ගැන එතැන හිටපු සමහරු කතාවෙලා තියෙනවා. නමුත් ආණ්ඩුවේ ඇමැතිවරු ඒ ගැන කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒ විතරක් නෙවෙයි ආණඩුවේ ගෘෘප් මීටින් එකේවත් මේ ගැන කතා කරලා නැහැ. ඒ තරමට ආණ්ඩුව මේක සැහැල්ලුවෙන් අරගෙන තියෙන්නේ. ඒ නිසා මේ ගැන අපි විරෝධය පළකරන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි එම සිදුවීමට අදාළව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනෑ" විජිත කීවේය. "අද රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කුඩු ජාවාරම්, මංකොල්ලකෑම්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ මේ හැම එකක්ම වැඩිවෙලා. සමාජය පිරිහිලා. ආණ්ඩුව හැම අතින්ම බංකොලොත් වෙලා තියෙන්නේ. ඒ නිසා සමහරු මේ ප්‍රශ්නය වෙන වෙන විදියට දකිනවා. කොටසක් හිට්ලර් ඕනෑ කියනවා. තව කොටසක් ප්‍රභාකරන් ඕනෑ කියනවා. මේ වගේ ප්‍රකාශවලට ඉඩ හැදෙන විදියට රට අරාජික කරලා තියෙන්නේ මේ ආණ්ඩුව" වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේය.

ප්‍රවීණ කලාකාරිනියක වූ දීපානි සිල්වාගේ මෑණියන් පසුගියදා අභාවප්‍රාප්ත වූවාය. ඇගේ මවගේ මෙම අභාවය පිළිබඳව ජවිපෙ නායකයන්ට දැන ගැනීමට ලැබුණේ 2 වැනිදා පස්වරුවේදීය. ඒ වන විට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, විජිත හේරත්, ලාල්කාන්ත ඇතුළු පිරිස 20 වැනි සංශෝධනය පිළිබඳව ජනතාව දැනුවත් කරන පත්‍රිකාවක් බෙදමින් සිටියහ. මේ පිළිබඳව දැනගැනීමෙන් පසුව සමාජවාදී කලා සංගමය මැදිහත් කර අවමංගල්‍ය වැඩකටයුතු සංවිධානය කිරීමට දීපානි සිල්වාගේ පවුලේ ඥාතීන්ට සහයෝගය ලබාදී තිබිණි. බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මන්ත්‍රිවරු වරින්වර මළගෙදර වැඩකටයුතු පිළිබඳව සොයා බැලූහ. අවසන් කටයුතු සිදුකරන දිනයේදී එම අවස්ථාවට සහභාගි වූයේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාය.

"රඟ බිම මතින් බැහැගෙන දහදිය සිඹින, මලක් පිපුණි දූවිලි රන් පැහැය ගෙන, බිමින් බිමට දුක් විඳි දන ඇහැරවන, අම්මේ නුඹටමය ඒ මලෙහි අභිමන... අවසන ඉතින් කාලය ආවා පිම්මේ, සමුගෙන යන්න ධෛර්ය දීලා අම්මේ, නව හිරු නැඟෙන විට නව මංපෙත බැම්මේ, අම්මේ නුඹෙ නමට රතු මල් හිත් නැම්මේ... ජවිපෙ විසින් එම මෑණියන්ගේ අවසන් කටයුතු දින ශෝක ප්‍රකාශය අවසානයේ සඳහන් කොට තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon