පාර්ලිමේන්තුවේ සදාචාරය

  👤  3389 readers have read this article !
2018-07-08

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙරට ව්‍යවස්ථාදායකයේ මුදුන් මල්කඩ ලෙස සැලකේ. 1944 සෝල්බරි කොමිසම විසින් වෙස්මිනිස්ටර් ක්‍රමය හඳුන්වා දුන් තැන සිට නියෝජිත මන්ත්‍රි මණ්ඩලය ලෙසත් 1978 ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ලෙසත් එය ක්‍රියාත්මක වේ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය බි්‍රතාන්‍ය උරුමයකි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුව ජනතා ව්‍යවස්ථාදායක බලය ක්‍රියාවට නැඟෙන්නේ පාර්ලිමේන්තුව මඟිනි. ව්‍යවස්ථාවේ 76 (2, 3 සහ 4) විධිවිධානයන්ට යටත්ව පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය කිසිදු තත්ත්වයක් යටතේ අත්හළ නොහැකිය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද බලතල නිශ්චය කොට දැක්වීම පිණිසත්, භාෂණයේ සහ විවාද කිරීමේ නිදහස ආරක්ෂා කිරීම පිණිසත් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම් සම්බන්ධයෙන් දඬුවම් පැනවීම සහ විධිවිධාන සැලැස්වීම පිණිසත් 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 5 දරන පනතත් සම්මත කර තිබේ.

පාර්ලිමේන්තුවේ සමස්ත බලය කථානායකවරයා සතු වන අතර 'සෙංකෝලය' උත්තරීතර භාවයේ සංකේතය වන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සභා ගර්භයේදී පිළිපැදිය යුතු හැසිරීම් රටාව සහ විවාදයන්හිදී පිළිපැදිය යුතු ක්‍රියා පිළිවෙත් නියාමනය සඳහා එකඟ වූ නීති සමුදාය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග නමින් හැඳින්වේ.

යථෝක්ත කරුණු නැවතත් මෙසේ පෙළගැස්වූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වර්තමානයේ පත්වෙමින් තිබෙන සදාචාර පරිහානිය ශ්‍රී ලාංකේය ජාතියේ අධ්‍යාත්මයට එල්ල කරන මරු පහරක් බවට පත්වෙමින් තිබෙන නිසාය. ඔටුන්නට ගුල්ලන් ගැසූ කල රජාටත් රටටත් සිදුවන හරිය කිවයුතු නැත. වර්තමාන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරයත් ඒ තුළ කථානායකවරයා අසීරුවට පත්වන අන්දමත් රටේ ජනතාව සියක්වර අත්දැක තිබේ.

ඉකුත් සතියේ විජයකලා රාජ්‍ය ඇමැතිවරිය ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කරන ලද ප්‍රකාශය විවේචනය කළ විපක්ෂ මන්ත්‍රිවරුන් ඇතැමකු පාර්ලිමේන්තුවේ හැසිරුණේ විජයකලාගේ භූමිකාව වෙනත් අන්දමකට නිරූපණය කරමිනි. ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයා සෙංකෝලය පැහැරගෙන යෑමට තැත් කරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන පහරත් විජයකලා ත්‍රස්තවාදයට කරන ආමන්ත්‍රණයත් පෙනුමෙන් අවස්ථා දෙකක් වන නමුත් හරයෙන් එකකි.

ඕනෑම කාරණයක් අල්ලාගෙන සභා ගැබ මැදට කඩාපැන පාර්ලිමේන්තුවේ සියලු කටයුතු අවුල් කර දමන කණ්ඩායමක් මහජන ඡන්ද බලයෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටීම ජාතියේ අවාසනාවකි.

ප්‍රධාන පක්ෂ දෙකම මෙම පරිහානිය උදාකරදීම සම්බන්ධයෙන් වගකිව යුතුය. පාර්ලිමේන්තුව තුළදී යෝජිත ව්‍යවස්ථාවක් ගිනිබත් කළ අන්දම අමතක නැත. හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීම වැනි පාර්ලිමේන්තුවට කිසිසේත් අදාළ නොවූ කාරණයක් අල්ලාගෙන මන්ත්‍රිවරුන් හා මන්ත්‍රිවරියන් රාත්‍රියේ ජීන්ස් ඇඳ සභා ගර්භයේ නිදාගත් අයුරුද ජනතාවට අමතක නැත. මේවා දැන් දිනපතාම පාහේ සිදුවන විගඩම් බවට පත්ව තිබේ. බුලත් ම¾ඩිස්සලයට හෙණ ගැසූ කල කිල්ලෝටය ඉතිරිවේදැයි කෙනකු ප්‍රශ්න කළ හැකිය.

මේ තත්ත්වය ඇති වීම පිළිබඳව ආණ්ඩුව මෙන්ම කථානායකවරයාද වගකිව යුතුය. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත 1953 තරම් අෑත වකවානුවකදී එදා සිටි කීර්තිමත් දේශපාලනඥයන් විසින් සම්මත කරන ලද්දේ පුස්තකාල රාක්කවල තබා දුම් අල්ලන්නට නොවේ. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට හා ගෞරව භාවයට හානි කරන තැනැත්තන්ට එරෙහිව යොදා ගැනීමටය. නීතිය භාවිතයට නොගෙන සමස්ත පාර්ලිමේන්තු ක්‍රමයම බෙලහීන වන්නට ඉඩ හැරීම ගැන කථානායකවරයාද ජාතියට වගකිව යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon