'අයාලේ යන නීතිය' සහ වැරැදිකාර වෙසඟනන්

  👤  3649 readers have read this article !
2018-07-09

පසුගියදා අනුරාධපුර අධිකරණයේදී නලින් දිමුතු බණ්ඩාර නමැති නීතිඥවරයා ඉතා වැදගත් මානුෂීය නීති තර්කයක් ඉදිරිපත් කර තිබිණි. එය නීති ක්‍ෂේත්‍රයේ සියල්ලන්ගේ අවධානයට යොමු විය යුතු වැදගත් කරුණකි. අදාළ සිදුවීමට ප්‍රස්තුත වූ කාරණය මෙසේය. ව්.ර්ථී. ගණිකා වෘත්තියේ යෙදෙන්නියන් යැයි සඳහන් කරමින් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණියන් දෙදෙනකු අනුරාධපුර අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

නීතිඥවරයා විනිසුරුවරයා හමුවේ ඉදිරිපත් කළ තර්කය වූයේ 'හැමදාමත් ගණිකාවන් බව ප්‍රකාශ කරමින් සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඔවුන් ගණිකා වෘත්තියේ නිරත වී නම් ඔවුන් සමඟ යහන් ගත වූ පිරිමින්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. එහෙත් පොලිසිය එසේ කරන්නේ නැහැ. ඔවුන් සැකකාරියන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලනවා. එය කොහෙත්ම යුක්ති සහගත නැහැ.' යන්නයි.

නීතිඥවරයා නඟන තර්කයෙහි ඇති යුක්ති සහගත බව පිළිබඳ ගැටලුවක් නැත. එහෙත් පොලිසිය මෙලෙස තරුණියන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ 'අයාලේ නීතිය' යටතේය. අයාලේ නීතියට අත්අඩංගුවට ගන්නේ එක් එක් චූදිතයන්ය. ඒ අනුව සැකකාරියන්ට පමණක් චෝදනා ගොනු කිරීමට පොලිසියට නීතිමය ප්‍රතිපාදන තිබේ.

'අයාලේ නීතිය' බි්‍රතාන්‍ය පාලන සමයේ මෙරටට ආදේශ කරන ලද්දකි. මේ නීතියේ උපත මහා බි්‍රතාන්‍යයේය. 18 වැනි සියවසේ කාර්මික විප්ලවය නිසා නගරවල කර්මාන්ත බිහි වූ අතර කර්මාන්තවල රැකියාද උත්පාදනය වූයේය. ගම්බද ජනයා රැකියා සොයා නගර කරා සංක්‍රමණය වූහ. එසේ නගර කරා පැමිණි මිනිස්සු රැකියා සොයමින් එංගලන්තයේ නගරවල රස්තියාදු වුහ. නිමාවක් නැතිව ඔබ මොබ ගියෝය. මෙසේ අයාලේ යන මිනිසුන් ධනපතියන්ගේ දේපළ ආරක්ෂාවට තර්ජනයක් වීම නිසා 'අයාලේ යෑම' වරදක් කෙරෙන නීති සම්පාදනය කෙරිණි. බි්‍රතාන්‍ය පාලන සමයේ එම නීති ලංකාවටද හඳුන්වා දෙනු ලැබීමෙන් පසු අද දක්වාම එය ක්‍රියාවට නැඟේ. පසු කලෙක යුරෝපා රටවල මේ නීතිය අවලංගු කර දැමිණි.

ප්‍රශ්නය 'අයාලේ නීතිය' අදට වලංගුද යන්නය. වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම පුරවැසියකුට ඕනෑම වේලාවක රටේ ඕනෑම තැනක නිදහසේ ගමන් කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම සහතික කොට දී තිබේ. අද දිවා රෑ වෙනසක් නැත. නගර වනාහි නොනිදන නගර වේ. සැරි සැරීමේ සීමාවන් නැත. ආචාර්ය, මහාචාර්යවරු, කවියෝ, කලාකරුවෝ ස්වකීය කල්පනා ලෝකවල කිමිදෙමින් අයාලේ යති. එය ඔවුන්ගේ මානව හිමිකමකි. 'අයාලේ නීතිය' එහි මවු රටවල අහෝසි කරන ලද්දේ වසර ගණනාවකට පෙරය. අපි තවමත් එය කරින් ගෙන මිනිසුන් පීඩාවට පත් කරමින් සිටිමු. මෙය වහාම ප්‍රතිකර්ම යෙදිය යුතු රෝගයකි.

පවතින නීති පද්ධති යටතේ අධිකරණය ක්‍රියාත්මක වේ. පොලිසිය යල් පිනූ නීති යොදා ගනිමින් මිනිසුන්ට තළයි. නීති රීති වර්තමානයට ගැළපෙන අයුරු වෙනස් කිරීම නීති ක්‍ෂේත්‍රයේ ඉදිරිපෙළ ආයතනවල වගකීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ආදී බරපතළ කරුණු ගැන කල්මරන අතරම ඔවුන් මෙවැනි කාරණා ගැනද අවධානය යොමු කළ යුතුය. එහෙත් එය සිදු නොවේ.

එක් සමයෙක්හි වෙසඟනන් සලකනු ලැබුවේ නගර සෝබිනියන් ලෙසිනි. ඔවුන්ගේ පහස පතා රජවරු මෙන්ම ඇමැතියෝද, සිටුවරුද පැමිණියහ. අදත් වෘත්තියේ වෙනසක් නැත. එහෙත් නීතිය ක්‍රියාවට නැඟෙන්නේ අයාලේය. පන්ති භේදය අනුවය. නීතියේ සමානත්වය කතාවෙන් නොව ක්‍රියාවෙන් ප්‍රදර්ශනය විය යුතුය. සුපිරි වාහනවල නැඟී තරු හෝටල්වල රැය ගත කරන වෙසඟනන් රටේ මේ නීතියට වලංගු නැත.

'ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරැදිකාර ළඳුනේ'
යනුවෙන් රන්බණ්ඩා සෙනෙවිරත්න ලියා අමරසිරි පීරිස් මධුර ස්වරයෙන් ගැයුවේද මේ කතාවමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon