හික්කඩුවේ 'සින්දූර් 2'

  👤  3394 readers have read this article !
2018-07-10

මාළු ඇල්ලීමට මුහුදු යෑම ජීවිතය පරදුවට තැබීමකි. නවීන තාක්‍ෂණය භාවිත කළත් ධීවර කර්මාන්තය අනතුරුදායක රැකියාවක් ලෙස සැලකිය හැකිය. මුහුදු ගිය ධීවරයන් අනතුරට ලක්වීම අනපේක්‍ෂිත සිද්ධියක් නොවන්නේ ඒ නිසාය.

ඉකුත් සතියේ හික්කඩුවෙන් මුහුදු ගිය ධීවරයන් පිරිසක් අතුරුදන් වී ඇත. මේ අනතුරට මුහුණ පා ඇත්තේ සින්දූර් 2 නමැති ධීවර යාත්‍රාවේ ගමන්ගත් හික්කඩුව තොටගමුව ප්‍රදේශයේ පදිංචි ධීවරයන් හත්දෙනකුය. ප්‍රශ්නය වන්නේ මේ ධීවර පිරිස සොයා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා ධීවර පිරිසගේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීහු කොළඹ - ගාල්ල මාර්ගය තොටගමුව ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වීමය. මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට පැය 11ක් පුරා මේ විරෝධතාව පවත්වා ඇත.

විරෝධතාකරුවන් හමුවට පළමුව පැමිණ ඇත්තේ සුපුරුදු පරිදි පොලිසියය. විරෝධතාව උත්සන්න වීමත් සමඟ පොලිස් ස්ථාන කීපයක නිලධාරීන් එතැනට පැමිණ 'රාජකාරිය' කිරීමට සැදී පැහැදී සිටි බව දැකගන්නට තිබිණි. විශ්වවිද්‍යාල සිසුන්ගේ, ගොවීන්ගේ, විරෝධතාවලට පසුගිය කාලයේ පොලිසිය සැලකූ ආකාරයට සාමය ආරක්‍ෂා කිරීම උදෙසා මේ විරෝධතාකරුවන්ටත් සැලකීමට ඔවුන් පුල පුලා බලා සිටින්නට ඇත. විරෝධතාකරුවන්ගේ වාසනාවට ඉහළින් නියෝගයක් ලැබී නැත.

ඉකුත් ආණ්ඩු සමයේ නම් බැටන් පොල්ලෙන් නොව ගිනි බටයෙන්ම සැලකීමට පොලිසිය හෝ හමුදාව දෙවරක් සිතුවේ නැත. 'නියෝගය' ආ සැණින් ක්‍රියාත්මක විය.
මේ ආණ්ඩුවට තවමත් එවැනි වික්‍රමයක් කිරීමට නොහැකි වීම අඩුවකි. සැකකරුවන් 'බඩු' පෙන්වීමට රැගෙන යෑම පොලිසිය යළි අරඹා ඇති නිසා 'වෙඩි' තැබීමත් යළි ආරම්භ කිරීමේ වරදක් නැත. මන්ද රටේ මහජන සාමය හා ජනතාවගේ ආරක්‍ෂාව සැලසීමට පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ බැඳී සිටීම නිසාය.

කාරණය අනෙකකි.

ධීවරයන්ට වේවා, ගොවියන්ට වේවා, ශිෂ්‍යයන්ට වේවා, කම්කරුවන්ට වේවා ප්‍රශ්නයක් ඇති වූ විට ඒ ප්‍රශ්නය විමසා බලා අවශ්‍ය පියවර වහ ගැනීමට බලධාරීන් පමා කරන්නේ ඇයි? මේ ධීවරයන් පිරිස අතුරුදන් වී සතියකුත් ඉක්මවා ගොස් තිබියදී බලධාරීන්ට අදාළ ඥාතීන් හමුවට පැමිණ සෑහීමකට පත්විය හැකි පිළිතුරක් දීමට නොහැකි වූයේ කුමක් නිසාද? ඥාතීන් පාරට බැස පැය ගණනක් නාස්ති කරමින් විරෝධතා පවත්වන තුරුම ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් සිටියේ නින්දේද? ගාලුපාර අවහිර කිරීම නිසා එහි ගමන් ගන්නා මිනිසුන්ගේ කාලයද කා දමමින් පැය ගණන් ගතවූ පසු විරෝධතාකරුවන් හමුවට පැමිණ කියූ කතාව කලින්ම ඒ පිරිසට කීමට අදාළ නිලධාරීන්ට නොහැකි වුණේ කුමක් නිසාද?
මෙවැනි ඕනෑම විරෝධතාවකට මුලින්ම පැමිණෙන්නේ පොලිසිය ය. එහෙත් ඔවුන්ට මේ ප්‍රශ්නවලට පිළිතුරු දීම දුෂ්කරය. ඉන් සිදුවන්නේ ප්‍රශ්නය දුරදිග යෑමය. මිනිස්සු පාරට බැස විරෝධතා පවත්වන්නේ ඇඟේ අමාරුවට නොව කුමක් හෝ දැවෙන ප්‍රශ්නයක් ඇති නිසාය. බොරදියේ මාළු බාන මේ රටේ කාලකණ්ණි ඊනියා දේශපාලනඥයන් මෙවැනි ප්‍රශ්නයකදී කුණු ගොඩක් දුටු කපුටන් මෙන් හොට දාන එක ඇත්තය. එහෙත් එලෙස කියා බලධාරීන්ට සිය දුර්වලතා වසා ගැනීමට ඉඩ දිය නොහැකිය.

ජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්නා නිලධාරීන් මෙන්ම ජනතාවගේ ඡන්දෙන් මන්ත්‍රිවරු වන දේශපාලනඥයන් යන දෙකොටසම එක වල්ලේ පොල් මෙනි. ඔවුහු ජනතාවගේ 'ප්‍රශ්න' තුට්ටුවකට නොසලකති. ධීවර ප්‍රශ්නයක් නිමිත්ත කරගත්තත් මේ විවේචනය අදාළ ධීවර බලධාරීන්ට කරන්නක් නොව පොදුවේ නිලධාරි සංහතියට හා දේශපාලනඥයන් සංහතියටම කරන්නකි.

වාහන ඇතුළු සියලු වරප්‍රසාද ලබාදී තිබියදී සිය විෂය ගැන අවධානයෙන් සිටීමට මේ පිරිසට නොහැකි මන්ද යන්න ප්‍රශ්නයකි. කුණු ප්‍රශ්නයක් අල්ලාගෙන රූ දවල් දෙකේම ‍ෙදාඩවන, දඟලන දේශපාලනඥයන්ට ඒ ඒ බල ප්‍රදේශවල ඡන්දදායක ජනතාවගේ ප්‍රශ්න ගැන අවදියෙන් සිටීමට නොහැකි මන්ද? ජනතාව හා නිලධාරීන් සමඟ සබඳතා ඇතිකරන පිරිස මන්ත්‍රිවරුන් නොවේද? නොඑසේ නම් ඔවුන්ව මේ ආයතනවලට ජනතාව පත්කර යවා ඇත්තේ අහවල් එකක් කරන්නද?

පැය 11ක් පුරා මහපාරේ ධීවර ජනතාව උද්ඝෝෂණය කළේ දින ගණනක් පුරා විඳවීමෙන් පසුය. පොලිසිය සම්බන්ධ වී ධීවර නිලධාරීන් ජනතාවට සම්බන්ධ කළා විනා 'මන්ත්‍රිවරු' පැමිණ ඊනියා ජනතා සේවකයන් පැමිණ මේ ප්‍රශ්නයට සැලකිය යුතු පිළිතුරක් ලබාදීමට මැදිහත්වී නැත. මේ වන විට අතුරුදන් වූ ධීවරයන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලැබී තිබෙන්නට පුළුවන. ඒ සම්බන්ධයෙන් නිලධාරීන් මුල සිටම ක්‍රියාත්මක වූවාද විය හැකිය. ප්‍රධාන ප්‍රශ්නය ඒ ගැන මෙලෝ දෙයක් අදාළ ධීවරයන්ගේ ඥාතීන් නොදැන සිටීමය. රටේ හැමතැනම තිබෙන්නේ මෙවැනි ප්‍රශ්නය. ප්‍රශ්න පැටලී උග්‍රවී නැති ප්‍රශ්න ඇති වන්නේ එනිසාය. එහෙත් වගකිවයුත්තන් තබා ඡන්ද දායක ජනතාවද පාඩම් ඉගෙන ගන්නා බවක් පෙනෙන්නට නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon