මාරක විහිළුව

  👤  3566 readers have read this article !
2018-07-11

සෙල්ලම ලෙල්ලම වෙනවා යැයි ජනප්‍රිය කියමනක් තිබේ. ඉළඇදෙන විහිළු කියා ජාතියක්ද ඇත. විහිළුවට සෙල්ලමක් දාන්න ගොස් එය ඉළ කැඩෙන මාරක විහිළුවක් වී තිබේ.

මේ සෙල්ලමට මුල් වී ඇත්තේ පෞද්ගලික බස් රියැදුරන් දෙදෙනෙකි. ඇඹිලිපිටිය සිට යාපනය දක්වා ධාවනය වූ බසයක් හා වවුනියාවේ සිට ඇඹිලිපිටි දක්වා ධාවනය වූ බසයක් මැල්සිරිපුර පන්ලියද්දේදී මුහුණට මුහුණ ගැටී ඇත්තේ මිත්‍රයන් වූ රියැදුරන් දෙදෙනාගේ විහිළුවක් නිසාය. එකම බස් සමාගමකට අයත් මේ බස් රථ පන්ලියද්ද ප්‍රදේශයේදී මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේ සුහදතාව පළ කිරීමට විහිළුවක් කිරීමට සිතා එක් රියැදුරකු සිය බස් රථය අනෙක් බස් රථය දෙසට කපා ඇත. අධික වේගයෙන් පැමිණි බස් රථය ලිස්සා ගොස් අනෙක් බස් රථයේ වේගයෙන් වැදීමෙන් රියැදුරන් දෙදෙනා ඇතුළු බස් රථ දෙකේ සිටි සියලු දෙනා තුවාල ලබා ඇත. විහිළුව මාරකයක් වී තිබේ.

79 දෙනකු තුවාල ලබා ඇත. 55 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 30කගේ තත්ත්වය බරපතළ බව වෛද්‍යවරුන් පවසා තිබේ. බොහෝ දෙනාගේ අත් පා කැඩී ගොස්ය. විවිධ අරමුණු ඇතිව බස් රථවලට ගොඩ වූ පිරිසකට බරපතළ තුවාල ලබා රෝහලේ කාලය ගත කිරීමට සිදුවී ඇත්තේ මගීන් තුට්ටුවකටවත් ගණන් නොගෙන විහිළු කිරීමට යකඩ ගොඩක් සෙල්ලමට ගත් අඥානයන් දෙදෙනකු නිසාය.

මේ රියැදුරන් දෙදෙනා විහිළු කළ පළමුවැනි අවස්ථාව මෙය විය නොහැකිය. සෙල්ලම ලෙල්ලම වී විහිළුව මෙවර ඛේදවාචිකයක් බවට පත්විය.

සෙල්ලමට නොවුණද විශේෂයෙන් පෞද්ගලික මගී බස් රථ රියැදුරන් සැලකිය යුතු පිරිසක් රිය පදවන්නේ නොසැලකිල්ලෙනි. සිය දෑතේ මගීන් රැසකගේ ජීවිත රැඳී ඇතැයි ඔවුහු නොසිතති. වැඩි ආදායමක් උපයා ගැනීමේ සිතිවිල්ල හා අනෙකා පරයා පෙරට යෑමේ නොඉවසිල්ල හැර අන් යමක් මේ රියැදුරන් තුළ නැත. අවසානයේ බස් හිමිකරුවන්, මගී ජනතාව පමණක් නොව, ඔවුහුද අමාරුවේ වැටෙති. ජීවිත හානිය මුදලින් පියවිය නොහැකිය. මරණයට පත් වන්නන්ගේ ප්‍රියයන්ට ඉන් ඇතිවන වේදනාව, දුක, ශෝකය හා පාඩුව යළි කිසිදිනෙක පියවෙන්නේ නැත.

පෞද්ගලික මගී බස් රථ රියැදුරන් පමණක් නොව රියැදුරන්ගෙන් සැලකිය යුතු පිරිසක් මාර්ගයේදී විනයගරුක ලෙස රිය ධාවනයනොකරති. ත්‍රිරෝද රථ රියැදුරන්ට, පෞද්ගලික මගී බස් රථ රියැදුරන්ට සමහරුන් ඇඟිල්ල දික් කළද සුපිරි රිය පදවන මහත්වරුන් පවා මහපාරේ පිස්සු නටන බව පෙනේ.

මේ රටේ විනය කෙතරම් පිරිහී ඇත්ද යන්නට මහපාරේ රිය පැදවීම තරම් හොඳ නියැදියක් තවත් නැත. කෙතරම් කතා කළත් මෙරට සිදුවන රිය අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යනවා මිස අඩු වේ යැයි සිතිය නොහැකිය. කාගෙ කාගෙත් සෙල්ලම්වලින් ලෙල්ලම් වන්නේ පොදු ජනතාවය. මැල්සිරිපුර පන්ලියද්දේ ඛේදවාචකයෙන් ඒ බව යළිත් සනාථ වී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon