පැවිදි වුණාම ඉගෙන ගත්තත් නැතත් උගතකු කියා සමාජ පිළිගැනීමක් තියෙනවා

  👤  4095 readers have read this article !
2018-07-15

1915දී සිදුවුණු බෞද්ධ - මුස්ලිම් අරගල කාලයේ මම පාඨශාලා ශිෂ්‍යයෙක්මි. ඒ දිනවල ඇතැම් ගම්බද සිංහලයන් ඉන්දියානු යුද සෙබළුන්ගේ හිරිහැරවලට බියෙන් කැලෑවැදුණු සැටිත්, ආගම නමින් ඇති කරන ලද මංකොල්ලකෑම්වලට, මිනීමැරුම්වලට අහිංසකයන්ට හිරිහැර කරපු හැටිත් මට මතකයි. එදා සිංහල - මුස්ලිම් භේදය ඇතිකොට සුද්දන් සිංහලයනුත් මුස්ලිම්වරුනුත් දෙපැත්තම දුර්වල කොට නිරායාසයෙන් රට සූරා කෑමට මං එළි කරගත් හැටි අපේ රටවාසී බොහෝ දෙනකුට තවමත් තේරී ඇද්ද'යි මට නම් සැක සහිතයි. මේ කාරණය එදා නූගත් ගැමි ස්ත්‍රියක වන මගේ අක්කා මට පැහැදිලි කොට දුන්නාය. ඇයට පවා එතරම් උසස් අදහස් පහළ වූයේ ගෙදර නිතර කියවූ සඳරැස, සිංහල බෞද්ධයා, සිංහල ජාතිය ආදී පත්‍රවල ආභාසය නිසා යැයි මට සිතේ.

හෙනව සිට පාසලට මා ගියේ සැතපුම් පහක් පමණ මඟ ගෙවා තවත් මා වැනිම ළමයින් දෙදෙනකුත් සමඟයි. අලි, වලසුන් සහිත මහා වනාන්තරය මැදින් දිනපතා ගමන් කිරීම මට ලොකු ප්‍රීතියක් විය. මගේ මිතුරන් දෙදෙනා නිතර පාසල් නොගියත් මම දිනපතා පාසල් ගියෙමි. ඒ ගියේ ඉහත කී වනාන්තරය ඔස්සේය. මේ සැතපුම් පහෙන් තුනක් පමණ ගන වනාන්තරයකි. මා තනිවම කැලෑව මැද්දේ යන විට ඇතිවුණු ප්‍රීතිය කියා නිම කළ නොහැකිය. පාසල බලා තනියම පිටත් වී යන බොහෝ දිනවල මා තුළ කොතරම් ප්‍රීතියක් ඇති වුණාද කියතොත් හුදෙකලාවම කැලෑ මැද විශාල ගසක් මත නැති නම් ඇළක ‍ෙදාළක වැලිතලාවක ගත කොට ආපසු ගෙදර ගියෙමි. පාසලට යෑමට වඩා මහ වනේ ගහක් උඩට වී නැති නම් ගස් යටින් මහා වනාන්තරය මැද්දේ හුදෙකලාව ඇවිදීම මම ප්‍රිය කළෙමි. මේ නිසා පාසලට ගොස් ගුටි කෑවේ වරක් දෙවරක් නොවේ. බොහෝ වාරවල ගුටි කෑවෙමි.

මේ පාසලට යන අතරමඟ කැලෑ පෙදෙසක ගල් ලෙන් සහිත වේරගල විහාරය නමින් පැරැණි විහාරයක් තිබේ. මේ විහාරයට නිතර යෑමට අපි පුරුදුව සිටියෙමු. ඒ වන්දනාව පිණිසම නොවේ. බුද්ධ පූජාව කෑමටයි. මෙතැන කිසිම භික්ෂුවක සිටියේ නැත. දිනපතා සැදැහැති ගැමියෝ මැටි පාත්තරවල බුද්ධ පූජාව තබා ගියහ. අප තුන් දෙනා විහාරෙ අතුගා බුදුන් වැඳ බුද්ධ පූජාව බෙදාගෙන කෑවේ ඒ අපට අයත් කොටසක් සේ සලකාගෙනයි.

පාසල ඇරී එන විට ළමයින්ට ඇති බඩගින්න ඉතා අධිකයි. ඒ නිසා බුද්ධපූජාව එදා කා දැමූ හැටි ගැන හිතෙන විට නම් ලජ්ජාව පවා ඇති වේ. බඩගිනි වැඩි සමහර දවස්වල අපි දෙවියන්ට ද පින් දෙමින් බුද්ධ පූජාව කෑවෙමු. එය සරුවට තිබුණු දවස්වල ගෙදර ගොස් බත් කෑමට වුවමනා වුණේ නැත. සමහර දාක රෑටත් නොකා නිදා ගතිමි. දිනක් අක්කා ඒ ගැන ඇසූ විට මම ඇයට ඇත්තම කීවෙමි. මේ කතාව ඇසූ මස්සිනා 'බුද්ධ පූජාව කා අපාගත වෙන්න එපා' යි මට අවවාද කළේය. ඊට පසු දින ගණනක්ම බුද්ධ පූජාව කෑම ගැන අපේ ගෙදර වාද විවාද ඇතිවිණි. අක්කා ගේ මතය වූයේ බුද්ධ පූජාව කෑමෙන් වරදක් නොවන බවයි. මස්සිනාගේ මතය බුද්ධ පූජාව කන්නවුන්ට අමුතුම අපා මැවෙන බවයි. දිනක් රෑට බත් කන වේලාවේද බුද්ධ පූජා වාදය ඇති විණි. එදා අක්කා කී කතාවක් මට හොඳට මතකය. 'බුදු හාමුදුරුවෝ බුදු බව ලබා ගත්තේ අහසේ තරුවලට වඩා ඇස් දන් දීලා. මහ මුහුදේ ජලයට වඩා ලේ දන් දීලා. මහ පොළොවේ පස්වලට වඩා මස් දන් දීලා. ඉතින් ඒ තරම් දේ දන් දීලා බුදු වෙච්ච බුදු හාමුදුරුවන්ගේ බුද්ධ පූජාව කෙනෙක් බඩගින්නට කාපුවා ම අපායෙ යනවා කීම පල් බොරු කතාවක්. ඕවා මේ දැන් ඉන්න හාමුදුරුවරු දේපොළ රැක ගන්න හදාපු බොරු බණ'. අක්කා මේ කිවූ කතාවෙන් පසු සියල්ලන්ටම උත්තර නැති විණි. මේ කතාවෙන් පසුත්, පාසල් ගොස් එන අතර, බඩ ගිනි වූ විට බුද්ධ පූජාව කෑම අපි දිගටම කරගෙන ගියෙමු. අක්කාගේ දේශනය අපට අනුබල දිනි.

නූගත් ගැමි ස්ත්‍රියකගේ හැඟීම් කෙතරම් උසස් දැයි සිතා බැලීම පාඨකයාට භාර කරමි.
මාඑළියේ පාසලේ මම හ වැනි පන්තිය අවසන් කොට හත් වැනි පන්තියට සමත් වුණෙමි. මගේ මතකයේ හැටියට හත් වැනි පන්තියට පාස් වුණේ අප දෙදෙනකු පමණයි. එදා අද මෙන් ගුරුවරුන් වීමට අමුතු විභාග අවශ්‍ය වුණේ නැත. පාසලේ මොනිටර්වරයකු වශයෙන් කලක් පුහුණු වන ශිෂ්‍යයා සුදුසු කාලයේ දී ගුරුවරයකු මෙන් පත් කර ගැනීම එකල සිරිතයි. හතට පාස් වුණු අප දෙදෙනාගෙන් මොනිටර්කම දිය යුත්තේ කවර කෙනකුටද යන්න තීරණය කළ හැක්කේ ප්‍රධාන ගුරුතුමාටයි. ඒ කාලයේ උඩරට පෙදෙස්වල බොහෝ ගුරුවරු මොනිටර්කම් පත් කරන විට කිසියම් ගුරු පඬුරක් බලාපොරොත්තු වූහ. පන්තියේ මා පළමු වැන්නාව සිටි නිසා මගේ තාත්තා ගුරුතුමා බලාපොරොත්තු වූ අන්දමට ගුරු පඬුරු දීමට අකැමැති වූ නිසා මොනිටර්කම හිමි වුණේ අනෙක් ශිෂ්‍යයාටයි.

ගුරු පඬුරට ප්‍රධානාචාර්යතුමා බලාපොරොත්තු වුණේ රේස් යා හැකි හොඳ ගොනකු බව මට පසුව දැනගන්න ලැබිණි. මේ ගුරු පඬුරු කරදර නිසා මගේ පාසලේ ගමන එතැනින් නතර විණි. මා ගුරුවරයකු වී පාසල් සිසුන් ගෙන් පළිගැනීමට සිත සිතා සිටි නමුත් අහෝ, ඒ බලාපොරොත්තුවට ගිය කල! මගේ පියාගේ බලාපොරොත්තුව වූයේ මා පාසල් ගුරුවරයකු කිරීමයි. මගේ පියා පතල් රක්ෂාව අත්හැර ගොවිතැනට බැස්ස නිසා ගෙදර තත්ත්වය තරමක් හොඳ අතට හැරිණි. ඒ නිසා නැවත මම තාත්තා සමඟ උඩකැන්දවලට ගියෙමි. මගේ පියා උගතකු නොවන බව මා කලින්ම කියා ඇති. එහෙත් ඔහු ළඟ විශාල පොත් පෙට්ටියක් තිබිණි. ආපසු ගමට පැමිණි මම අර පොත් පෙට්ටිය ඇදගෙන කියවන්නට පටන් ගත්තෙමි. මා පළමුවෙන් ම කියවූ නවකතාව පියදාස සිරිසේන මහතාගේ 'මහා වියවුල' බව මට මතකයි.

ටික දිනකට පසු මම පොත් කියවමින් ගෙදර සිටින අතර අපේ ගෙදරට පැමිණි ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් මා පන්සලට එවන ලෙස අපේ පියාට කීවේ පන්සලේ අකුරු කීමේ ආනිශංස ගැනද සිහිපත් කරවමිනුයි. අදත් ගම්වල බොහෝ දෙනා පාසල් අකුරු කීම ඒ තරම් උසස් කොට සලකන්නේ නැත. පන්සලේ අකුරු නොකී තැනැත්තාට හරි හැටි අකුරු නොකියැවෙන බවද ඇතැමුන් ගේ මතයයි.

පන්සලට පැමිණි ටික දිනකින්ම රතනජෝති හාමුදුරුවෝ මා මහණ කිරීමට යෝජනා කළහ. මගේ පියාට බණ කියමින්, දරුවකු මහණ කිරීමේ ආනිශංස කියා දුන්නාහ. තාත්තා එයට කැමැති විය. හාමුදුරුවන්ගේ යෝජනාව මුදුනින් පිළිගත් මමද පැවිදි බිමට සතුටින්ම ඉදිරිපත් වුණෙමි. මා පැවිදි වීමට එකඟ වූ බව ඇසූ මගේ අක්කා ඒ ගැන විමසීමට අපේ ගමට ආවාය. අෑ මගේ පැවිදි වීම ගැන කිසි සේත් එකඟ වුණේ නැත. 'මගේ එකම මල්ලී පැවිදි වීම ගැන කිසිසේත් ඉඩ දිය නොහැකැයි.' කියා අෑ හඬන්නට පටන් ගත්තාය. අෑ මට පැවිදි නොවන ලෙස අවවාද කළාය. එහෙත් පැවිදි වීමට මා තුළ බලවත් කැමැත්තක් ඇති බැව් තේරුම් ගත් ඇය පසුව කඳුළු සලමින් මගේ අදහසට එකඟ වුණාය.

මගේ පැවිදි වීමේ දිනය නියම විණි. අපේ ලොකු හාමුදුරුවන් මා මහණ කෙළේ කිසිම උත්සවයක් පෙරහරක් නැතිවයි. අපේ පියා ඉතා අමාරුවෙන් අටපිරිකරක්ද සොයා ගෙන පූජා කෙළේය. එදා පැවිදි කිරීමේ උත්සවයෙන් පසු ධර්මානුශාසනාවක් කළ අපේ ලොකු හාමුදුරුවන් කියූ කතාවක් මට මතකයි. 'අටපිරිකරකුත් පැවිදි කිරීමේදී ලැබීම ඉතාම වාසනාවන්ත ශුභ ලකුණකි' යි යන්නයි, ඒ කතාව. එහෙත් කුඩා කාලයේ පටන් දරු සෙනෙහසින් මා හදා වඩාගත් මගේ අක්කා එදා නාවේ මා පැවිදි කරනවා දැකීමේදී ඇති වන දුක නොඉවසිය හැකි නිසා බව පසු දවසක අෑ මා සමඟ කීවේද හැඬු­ කඳුළින් යුතුවයි.

ශි්‍රයානි අජන්තා විතාන

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon