ලංකාවේ බි්‍රතාන්‍ය පාලනයට විරුද්ධව නැඟී සිටි බේ‍රස්ගර්ඩල් සහෝදරයා

  👤  4010 readers have read this article !
2018-07-15

මේ පින්තූරය 1937දී හොරණ ප්‍රදේශයේදී ගන්නා ලද්දකි. එහි සිටින සුද්දා මාක් ඇන්ටනී බේ‍රස්ගර්ඩල් නමැති ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි. සෙස්සෝ සම සමාජකාරයෝ වෙති. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා පුටුවේ අසුන්ගෙන සිටින අතර ලෙස්ලි ගුණවර්ධන, විල්මට් පෙරේරා හා පිලිප් ගුණවර්ධන පිටුපස සිටින කම්කරුවන් අතරේ සිටී.

බේ‍රස්ගර්ඩල් වතු පාලකයකු ලෙස බි්‍රතාන්‍ය පාලන සමයේ ලංකාවට පැමිණියේ 1936 දෙසැම්බර් මාසයේය. කටුගස්තොටට නොදුරු මඩොල්කැලේ වත්තේ සුපිරින්ටැන්ඩන්වරයා වශයෙන් ඔහු වැඩ භාර ගත්තේය. ඔහු ඕස්ට්‍රේලියාවේ තරුණ කොමියුනිස්ට් සාමාජිකයෙකි. සුදු ආණ්ඩුව එය දැන සිටියේ නැත. ලංකාවට පැමිණ නොබෝ කලකින්ම බේ‍රස්ගර්ඩල් ලංකා සම සමාජ පක්ෂය සමඟ එකතු වූයේය.

වතු පාලක සුද්දා කම්කරුවන්ගේ පැත්ත ගෙන නුවරඑළියේ සම සමාජ රැස්වීම්වල කතා පවත්වන්නට විය. රත්තන්ගේ අධිරාජ්‍ය විරෝධී රැස්වීම්වල සුද්දෙක් දේශන පවත්වන බව ඇසූ සුදු ආණ්ඩුව තක්කු මුක්කු වූයේය. වහාම සුද්දා සේවයෙන් නෙරපනු ලැබීය. විප්ලවකාරී සම සමාජ පක්ෂයට බැඳුණු සුද්දා කොළඹ පැමිණ රොබට් ගුණවර්ධනලා සමඟ පක්ෂයේ ෆුල් ටයිම් වැඩ කරන්නට විය. වතු හිමියෝ කුමන්ත්‍රණය කර සුදු විප්ලවකාරයා රටින් පිටුවහල් කරන ලෙස ආණ්ඩුකාරයාට දන්වන ලදී. ස්ටබිස් ආණ්ඩුකාරයා වික්ටෝරියා මහ රැජන නමින් අස්සන් තබා 1937 අප්‍රේල් 24 ප.ව. 6.00ට පෙර රටින් පිටවී යන ලෙස බේ‍රස්ගර්ඩල්ට නියෝග කළේය.

බේ‍රස්ගර්ඩල් රටින් පිට නොකොට හංගන්නට සම සමාජ පක්ෂය තීරණය කළේය. දින තුනක් "ප්‍රිටෝරියා" නිවෙසේ සැඟවී සිටි බේ‍රස්ගර්ඩල් පසුව රොබට් ගුණවර්ධන සහ රෙජි සේනානායක සමඟ මොටෝ රියක සැඟවී බදුල්ලට ගියේය. එහි සතුටුදායක තැනක් හමු නොවූයෙන් තමා වැඩ කළ මඩොල්කැලේ වත්තේ පිටුපස කැලෑවේ ඇති ගල් ගෙයක සැඟවී සිටින්නට බේ‍රස්ගර්ඩල් කැමැති විය. විදුලි පන්දමක්, බැටරි, ගිනි පෙට්ටි, ටින් ආහාර සහ පොරොවන්නට කම්බිලියක්ද නුවරඑළියෙන් මිලට ගෙන රාත්‍රි 9ට පමණ වත්තේ කැලෑව ආසන්නයේ සුද්දා බස්වා හරියට දින 7ක් ගිය තැන රාත්‍රි 12ට මෙතනට එන්නැයි දන්වා රොබට් කොළඹ ආවේය.

බේ‍රස්ගර්ඩල් රටින් පිටවෙන අයුරු බලන්නට අප්‍රේල් 24දා සවස වතු අයිති සුද්දෝ වරාය අසල ට්.ර්ණී.ඩ්. හෝටලයේ උඩු මහලට වී සිටි අතර පොලිසියද වරායේ රැකවල් ලා සිටියේය. එහෙත් බේ‍රස්ගර්ඩල් නැව් නැංඟේ නැත.

බේ‍රස්ගර්ඩල් දුටු තැන අල්ලන්නට ආණ්ඩුකාරවරයා පොලිස්පති බෑන්ක්ස්ට නියෝග කළේය. පොලිසිය රට දෙවනත් කරමින් බේ‍රස්ගර්ඩල් සොයද්දී ඔහු වත්තේ ගල් ලෙනෙහි සිටියේය. දවස් 7ක් ගෙවන දින රෑ 12ට රොබට්, රෙජී, මානිස් අප්පුහාමි සහ ස්ටීවන්, මිල්ටන් සහ ඩේවිඩ් මෝටර් රථ දෙකකින් වත්තට ඇතුළු වී මූකලාන අසලට ගොස් විදුලි පන්දම වැනූ විට සුදු සහෝදරයා දිවවිත් රියට නැංගේය.

රටම පීරමින් පොලිසිය සොයන බේ‍රස්ගර්ඩල් ජනතාව අමතන මහ රැලියක් මැයි 5දා ගෝල්ෆේස් පිටියේ පැවැත්විණි. 25,000ක් පමණ ජනතාව රැස් කමින් සිටි රැස්වීමට පොලිස් ඇසට වැලි ගසා පැමිණි බේ‍රස්ගර්ඩල් සුදු ආණ්ඩුවට බැට දෙමින් වේගවත් කතාවක් පැවැත්වීය. සති තුනකට පසුව ඔහු අත්අඩංගුවට පත්විය. බේ‍රස්ගර්ඩල් ඉල්ලා ඉදිරිපත් කළ හබයාස් කෝපුස් නඩුවක් පවරන ලද අතර එමඟින් ඔහුට නිදහස ලැබිණි. කලක් සම සමාජ පක්ෂයේ වැඩ කළ ඔහු පසුව එංගලන්තයට ගියේය.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon