මහාචාර්ය සරච්චන්ද්‍රට බිම දමා පහරදුන් ධර්මිෂ්ඨ සමාජය

  👤  4076 readers have read this article !
2018-07-15

රට, ජාතිය, ආගම වෙනුවෙන් සටන් කළ භික්ෂු පරපුර අතර මාදුළුවාවේ සෝභිත හිමියන්ට හිමිවන්නේද ප්‍රමුඛස්ථානයකි. උන්වහන්සේ දේශපාලන පක්ෂවල එහෙයියකු නොවූහ. මෙරට ජනතාව වෙනුවෙන් ප්‍රගතිශීලී සටන්වලදී මෙන්ම මවුබිම සුරැකීමේ සටන්වලදීද සෝභිත හිමියෝ පෙරමුණේ වූහ.

ජනතාවාදී භික්ෂු සංකේතයක් වූ උන්වහන්සේ මෑත දශක තුන හතර තුළ මෙරට මුහුණ පෑ විවිධ අර්බුද හමුවේ නොබියව අදහස් පළ කළහ.

ඒ හේතුවෙන්ම සෝභිත හිමියන්ට නොයෙකුත් ගැහැටට මුහුණ දෙන්නට සිදු විය. කිහිප වරක්ම මැර ප්‍රහාරවලට ලක්වීමටද සිදුවිය.

1970 ජයග්‍රහණයෙන් පසු සමඟි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වූයේ දේශීය නිෂ්පාදන ඉහළ නංවමින් හා කෘෂි ආර්ථික රටාවකින් රට ගොඩනැඟීමටය. එහි ප්‍රතිඵල ලැබීමට දිගු කාලයක් වුවමනා වී තිබිණි. එහෙත් ඒ පාලන සමය තුළ හටගත් ආහාර හිඟය ඇතුළු අර්බුද හේතුවෙන් එහි අවසන් ප්‍රතිඵලයට ළඟා වීමට පෙර 1977දී ආණ්ඩු පෙරැළිය සිදුවිය.
පෙර ආණ්ඩුවේ ක්‍රියාකලාපයෙන් පීඩනයට පත්ව සිටි ජනතාව මතට 1977දී බලයට පත් ආණ්ඩුව 'විවෘත ආර්ථික ප්‍රතිපත්තිය' හඳුන්වා දුන්නේය. එමඟින් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නොව අනවශ්‍ය භාණ්ඩද මෙරට වෙළෙඳපොළ ආක්‍රමණය කළේය. ඒ සමඟම සමාජ සංස්කෘතික පෙරැළියකටද විවෘත කළ ආර්ථිකය තුඩු දුන්නේය.

ක්‍රමානුකූලව සිදු කළ යුතු වුවත් එසේ නොවුණු නිසා සියල්ල කණපිට හැරුණේ සැණෙකිනි. කතුන් අරාබිකරයේ රැකියා සඳහා ගියේ සැමියන් හා දූ දරුවන් හුදෙකලා කොටය. ඔවුන් බැල මෙහෙවර කරමින් එවූ මුදල් අත මිට ගැවසීම හේතුවෙන් නිවෙස් හිමියෝ සැප සම්පත් පසු පස දිව ගියහ. දූ දරුවෝ අනාරක්ෂිත වූහ. සමාජ සාරධර්ම බිඳ වැටෙමින් මුදල් හඹා යන සමාජයකට පදනම වැටිණි. දුෂ්චරිත වර්ධනය විය.

විචිත්‍ර වාණිජ ලෝකය තුළ දකින දේ අත්පත් කර ගන්නට එකිනෙකා පරයා යන තරගකාරී සමාජයක් ගොඩනැඟිණි. පැවැති සමාජ ක්‍රමය බිඳ වැටී බොල් සමාජයක බිහි වීම පිළිබඳ මේ ඛේදවාචකය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර 'ධර්මිෂ්ඨ සමාජය' කෘතියෙන් ජනතා අවධානයට යොමු කළේ මේ පසුබිම යටතේය. ඒ අතර මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් ගොඩනැඟී තිබුණු සිංහල බල මණ්ඩලයද රැස්වීම් පවත්වමින් ජනතාව දැනුවත් කළහ. ජයවර්ධන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියෙන් රටට ජනතාවට සිදු වන ප්‍රතිවිපාක විද්වතුන්ගේ අදහස් මඟින් ජනතාව හමුවට ගෙන ඒම සිංහල බල මණ්ඩලයේ අරමුණ විය.

එලෙස 1983දී සිංහල බල මණ්ඩලයේ රැස්වීමක ප්‍රධාන දේශනය පැවැත්වීමට සෝභිත හිමියන් ආරාධනා කළේ මහාචාර්ය සරච්චන්ද්‍ර සූරීන්ටය. නියමිත දිනයේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පැවැති රැස්වීමට සෝභිත හිමියන්ද, ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝද එවකට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටී.බී. කාන්ගහආරච්චි ඇතුළු පිරිසක් රැස්වීමට සහභාගි වෙමින් සිටියහ.

මෙම රැස්වීමට අනාරාධිතව පැමිණ සිටි මැර පිරිසකගේ මුහුණු සභා ශාලාවේ දක්නට ලැබුණද සෝභිත හිමියෝ ඒ අනතුර පිළිබඳව කිසිවකුට නොදැන්වූයේ එය රැස්වීමට බාධාවක් වන නිසාය. මඳ වේලාවකට පසු ප්‍රධාන දේශනය පැවැත්වීමට මුලසුනෙන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට ආරාධනය කෙරිණි.

ඒ සමඟම මහාචාර්යවරයා මයික්‍රෆෝනය අසලට ළඟා වෙත්ම සභාවේ සිටි අයෙක් වේදිකාවට දිවවිත් 'අපිත් ආවෙ ධර්මිෂ්ඨ සමාජය ගැන දැනගන්න තමයි. දැන් මොකක්ද මේ ඔහෙලා කියන තරම් රටට වෙලා තියෙන විනාශය' යනුවෙන් ප්‍රශ්න නඟමින් සරච්චන්ද්‍රයන් වෙත කඩා පැන්නේය. (එම තැනැත්තා පියසේන ජයවීර නමැත්තකු බව පසුව අනාවරණය විය) එවිටම ශාලාවේ සිටි තවත් මැරයන් කිහිප දෙනෙක් සභාවේ තිබූ පුටු, බංකු ආදිය වේදිකාව දෙසට එල්ල කළහ.

වේදිකාවට නැඟි මැරයෝ සරච්චන්ද්‍රයන්ටත් සෝභිත හිමියන් ඇතුළු පිරිසටත් පහර දෙන්නට පටන් ගත්හ. සැණෙකින් සභා ශාලාවම මැරවරයන්ගේ එකම කෙළිබිමක් බවට පත්විය. හිත් පිත් නැති මැර පිරිස සරච්චන්ද්‍රයන්ට අතින් පයින් පහරදී වේදිකාවෙන් බිමට ඇද දැමූහ. අනතුරුව බිම දිගේ ඇදගෙන ගොස් පිටත පිහිටි කානුවකට ඇද දැමුවේය.

මහාචාර්යවරයා බේරා ගන්නට ගිය සෝභිත හිමියන්ටද ප්‍රහාරවලට ලක්වන්නට සිදුවිය. එයින් උන්වහන්සේගේ අතකට බරපතළ තුවාල සිදු විය. රැස්වීම් ශාලාව තුළ මැරයන් දුම් බෝම්බ පුපුරවා හැර රැස්වීම කඩාකප්පල් කර දැමුමේය. සෝභිත හිමියන් පැමිණ සිටි මෝටර් රියටද හානි කළ මැරයෝ පලා ගියහ. තුවාල ලබා සිටි සරච්චන්ද්‍රයන් තවත් අයකුගේ වාහනයක නංවා රෝහලට ගෙන ගියේය. පසුව කුරුඳුවත්ත පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළ සෝභිත හිමියෝ අනතුරුව ප්‍රතිකාර සඳහා පිටත් වූහ.

එදා සෝභිත හිමියන් පොලිසියට කළ පැමිණිල්ල විභාග නොකෙරිණි. උන්වහන්සේ පසු කලෙක කියා තිබුණේ සිංහල බල මණ්ඩලයේ සිටි විද්වතුන්ට 'රාජ්‍ය විරෝධී' ලේබලය අලවා රාජ්‍ය නිලධාරීන් අෑත පළාත්වලට මාරු කර යැවූ බවයි.

සිංහල බල මණ්ඩලය පසුව විසුරුවා හැරි නමුදු සෝභිත හිමියන් ඒ මැර ප්‍රහාරවලින් නොසැලී අපවත්වන තුරුම සිය ජන මෙහෙවර ඉටු කළහ. මහාචාර්ය සරච්චන්ද්‍රයෝද ප්‍රශංසාා හා අවමානද, යසස හා අයසද සම සිතින් විඳ දරා ගනිමින් බාධක මැද ගමන නොනැවැත්වූහ. යාපනය විශ්වවිද්‍යාලයේ ඔහු වෙනුවෙන් මුලින්ම උපහාර උළෙලක් සංවිධානය කර තිබූ අතර 1988දී 'මැග්සෙසේ' ඇතුළු සම්මාන රැසකින්ද සරච්චන්ද්‍රයෝ බුහුමන් ලැබූහ.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon