බණ්ඩාරනායක බලයෙන් පහකොට ඔලිවර් ගුණතිලක රට අල්ලන බවට ඇමෙරිකන් NEWS WEEK වාර්තාවක්

  👤  3959 readers have read this article !
2018-07-15

"ඒකාධිපති පාලනයට යටත් වන්නා වූ මීළඟ ආසියාතික රට ලංකාව වුවහොත් ඒ ගැන පුදුම වෙන්න එපා. සමාජවාදී අගමැති සොලමන් බණ්ඩාරනායක පහකර දමා අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක නුදුරු කාලයේදී සම්පූර්ණ පාලනය සියතට ගන්නවා ඇතැයි මෙහි ලැබෙන විශ්වාසදායක රහසිගත ආරංචි මඟින් දැනගන්නට ලැබේ. ඕලිවර්ගේ පරමාර්ථය රත්තන් බලයට ඒම වැළැක්වීමයි. දැනට පවත්නා විදියට ඇමැති මණ්ඩලයේ හැම දේශපාලන දර්ශනයකටම අයත් උදවිය සිටිති. කිසිම දෙයක් ගැන එකඟ නොවෙති."

ඇමෙරිකාවේ පළවුණු "නිව්ස් වීක්" නමැති සඟරාවේ මෙසේ සඳහන් වූයේ 1959 අප්‍රේල් මස 20 වැනිදා කලාපයේය. මෙයටද මාස කිහිපයකට පෙර එනම් 1958 නොවැම්බර් 20 වැනිදා ඇන්.ඇම්. නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා ඉදිරියේදීම අනතුරු හැඟවීමක් කරමින් රාජ්‍ය බලය පැහැර ගැනීම සඳහා හමුදා නිලධාරීන්ගේ කුමන්ත්‍රණයක් ඇති බව කීය. නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ක්‍රියාවන් ගැන සවිස්තරව කරුණු දැක්වූ ඇන්.ඇම්. එම පොලිස් ලොක්කා මේ රටේ යුද්ධ ආණ්ඩුවක් ඇති කිරීමට යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ උසස් නිලධාරීන්ද සමඟ සාකච්ඡා කරමින් සිටින බවද අනාවරණය කළේය.

ඇන්.ඇම්.ගේ මේ හෙළිදරව්ව නිසා තාවකාලිකව සැඟවුණු ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණය 1962 ජනවාරි 27 වැනිදා මධ්‍යම රාත්‍රියේ අංග සම්පූර්ණ පරිද්දෙන් ක්‍රියාත්මක වීමට ඔන්න මෙන්න කියා තිබියදී ගැස්සී ගිය හැටි අනාවරණය වූයේ රටම ත්‍රාසයට පත් කරවමිනි.

අගමැතිනිය, ඇමැතිවරු, ඇන්.ඇම්. ඇතුළු ලංකා සම සමාජ පක්‍ෂයේ නායකයන් ද වෙනත් වාමාංශික නායකයන් කිහිප දෙනකුද සිර භාරයට ගැනීමට යුද හමුදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීන් කුමන්ත්‍රණය කර තිබුණු අන්දම හෙළි විය. කුමන්ත්‍රණය ක්‍රියාවේ යෙදවීමට ඔන්න මෙන්න කියා හෙළිවූ නමුදු එවකට ලංකා සම සමාජ පක්‍ෂයේ බද්දේගම මන්ත්‍රිවරයා වූ නීල් ද අල්විස් සිරභාරයට ගැනීම වැළැක්විය නොහැකි විය. කුමන්ත්‍රණයේ එක් කොටසක් වශයෙන් ගාලු පොලිසිය මඟින් සිරභාරයට ගනු ලැබූ බද්දේගම මන්ත්‍රිවරයාට පුරා පැය නවයක් සිරභාරයේ සිටින්නට සිදු වූයේය.

උප පොලිස් සුපිරින්ටැන්ඩන්ට්වරුන් හත් දෙනකු පොලිස් සුපිරින්ටැන්ඩන්ට් වරුන් එක් කෙනකු, හිටපු පොලිස් සුපිරින්ටැන්ඩන්ට්වරුන් දෙදෙනකු, යුද හමුදාවේ අණ දෙන නිලධාරීන් හත් දෙනකු හා තවත් උසස් නිලධාරීන් පස් දෙනකු ද, පළමු වන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති සී.සී. දිසානායක, ස්වේච්ඡා හමුදාවේ කොමදෝරු මොරිස් ද මැල්, නියෝජ්‍ය කොමදෝරු එෆ්.සී. ද සේරම්, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ සිඩ්නි ද සොයිසා සහ සිවිල් නිලධාරියකු වූ ඩග්ලස් ලියනගේ මේ පිළිබඳව අත්අඩංගුවට ගත් බව පසුව පළ විය. බණ්ඩාරනායක ඝාතන නඩුව සම්බන්ධයෙන් සැක පිට සිරභාරයට ගන්නා ලද ඔසී කොරයා හා අනුර ද සිල්වා ද තවත් සැකකරුවන් දෙදෙනකු වූහ.

1962 පෙබරවාරි 13 වැනිදා නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේදී අනාවරණය වූ අන්දමට කර්නල් මොරිස් ද මෙල් හා කර්නල් ඇෆ්.සී. ද සේරම් කුමන්ත්‍රණය පිළිබඳ හමුදා සංවිධානය භාරව සිටි අතර සිඩ්නි ද සොයිසා හා සී.සී. දිසානායක පොලිස් සංවිධානයට සම්බන්ධව සිටි අතර හමුදා හා පොලිස් සේවා විධිවිධාන සම්බන්ධතා කටයුතු සිඩ්නි ද සොයිසා භාරගත් බව පෙනේ. ජනවාරි 27 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් මඳකට පසු නියමිත වේලාවකදී සිර අඩස්සියට ගැනීමට නියමිතව සිටි පුද්ගලයන් අතර ආණ්ඩුවේ ඇමැතිවරු, ආරක්‍ෂක හා විදේශ කටයුතු භාර ස්ථීර ලේකම්, පොලිස්පති, අපරාධ පරීක්‍ෂණ අංශයේ නියෝජ්‍ය පොලිස්පති හා වාමාංශික නායකයන් කිහිපදෙනෙක් ද වූහ. නාවික හමුදාවේ වැඩ බලන කපිතාන් තැන ද එසේ සිර අඩස්සියට ගනු ලැබූවකු වූ අතර හමුදාවන්හි අවශේෂ අණදෙන නිලධාරීන්ට ඒ රාත්‍රියේ එක්තරා වේලාවක් ඉකුත්වන තුරු තම නිවෙස්වලින් පිටවීම වැළැක්වීමටද විධි විධාන යෙදී තිබුණේය.

අගනුවර දී අත්අඩංගුවට ගනු ලබන ඇන්.ඇම්. ආදී නායකයන් යකඩින් ශක්තිමත් කළ කොන්ක්‍රීට් බදාමෙන් තනා අඩක් පොළොව යට පිහිටා ඇති හමුදා මූලස්ථානයේ වෙඩි බෙහෙත් ගබඩාවෙහි සිරකර තැබීමට ද කොළඹින් පිටතදී අත්අඩංගුවට ගනු ලබන්නන් නැවත දන්වන තුරු ඒ ඒ කොට්ඨාසයේ පොලිස් මූලස්ථානයන්හි සිර කර තැබීමට ද විධිවිධාන යෙදී තිබුණේය. මධ්‍යම රාත්‍රියෙන් මඳකට පසු රේඩියෝවෙන් හා ශබ්ද විකාශනයන්ගෙන් යුත් මෝටර් රථ නික්මවා කොළඹ නගරයේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පැමිණවීමට ද සූදානමක් තිබිණි.

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් හමුදා නිලධාරීන්ගෙන් එල්ලවීමේ අන්තරාය ඇන්.ඇම්. මැති සබයෙදීත් ඉන් පිටත මහජන රැස්වීම්වලදීත් පෙන්වා දුන්නේ වරක් දෙවරක් නොවේ. ලංකාවේ උතුරු නැඟෙනහිර පළාත් පාලනය කිරීමේ බලයත්, ලංකා ගුවන් විදුලි සේවය පවත්වාගෙන යෑමත් හමුදාවට භාර දී තිබීම හේතු කොට ගෙන ඔවුන්ගේ හිස් ඉදිමී වරායේ කම්කරුවන්ගේද, සිවිල් නිලධාරීන්ගේද, ගුවන් විදුලි කාර්මිකයන්ගේ හා ශිල්පීන්ගේද අවශ්‍යතාවක් නැතිවා මෙන්ම පාර්ලිමේන්තුවේද අවශ්‍යතාවයක් නැතැයි හමුදා නිලධාරීන් කල්පනා කිරීමේ අනතුරක් ඇති බව පාර්ලිමේන්තුවේ දී ඇන්.ඇම්. කිහිපවරක්ම පෙන්වා දුන්නේය. මේ අනතුරු හැඟවීම් ගැන බණ්ඩාරනායක අගමැතිතුමාගේ රජය මෙන්ම සිරිමා බණ්ඩාරනායක රජයද වැඩි සැලකිල්ලක් දැක්වූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ හදිසි තත්ත්වය යටතේ තව දුරටත් ආණ්ඩු කිරීමේ ප්‍රතිපත්තිය නොකඩවා ගෙන යෑමත් සාමාන්‍ය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සීමා වීමත්ය.

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පිළිබඳ ආරංචිය ළැව් ගින්නක් පරිද්දෙන් රට පුරා සැලවෙන විට සංවිධානය වූ කම්කරු පන්තියේ සටන් කිහිපයක් කොළඹ නගරයේම තිබිණි. එම සටන් සියල්ල වහාම අත්හිටුවූ කම්කරුවෝ නැවතත් වැඩපොළවලට ගියහ. නුදුරු අතීතයේදී තමන් විසින්ම බලයට පත් කරන ලද රජය ප්‍රතිගාමී හමුදා කුමන්ත්‍රණකරුවන්ගෙන් රැක ගැනීමට ඔවුහු එසේ ක්‍රියා කළහ.

කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන්නට තිබුණු ජනවාරියේ පළමුවැනි සතියේදී වෘත්තීය සමිති ඒකාබද්ධ මණ්ඩලයේ පුරෝගාමීත්වයෙන් එක් දිනක් දීප ව්‍යාප්ත මහ වැඩ වර්ජනයක් පැවැත්විණි. වරාය කම්කරුවන්ගේ වැඩ වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා යුද හමුදාව, පොලිසිය හා හොරිකඩයන් යෙදවීමේ රජයේ ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම සඳහා වූ මේ මහා වැඩවර්ජනයට දස ලක්‍ෂයකට අධික කම්කරු පිරිසක් ඒකරාශී වූහ. ලංකා ඉතිහාසයේ පළමුවරට ලංකා ගුවන් විදුලි සේවය පවා නිහඬ කරවීමට මේ වැඩ වර්ජනය සමත් විය.

1962 පෙබරවාරියේ 13 වැනිදා කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු මුදල් ඇමැති පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මැති සබයට ඉදිරිපත් කිරීමෙන් පසුව කතා කළ ඇන්.ඇම්. අගමැති ඝාතනය වැනි දෙයක් මේ බෞද්ධ රටේ සිදු නොවෙතැයි සිතුවද එය සිදු වූ බවත් කුමන්ත්‍රණයකින් රට අල්ලා ගැනීමේ වෑයමක් සිදුවේ යැයි කවුරුත් නොසිතුවද එය සිදුවන්නට ගොස් ඇති බවත් දැන් පැහැදිලි යැයි කීය.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon