සිංහ කොඩිය සුද්දන්ගෙන් ණයට ගත්තාද?

  👤  4387 readers have read this article !
2018-07-15

වර්තමානයේ අප භාවිත කරන "සිංහ ධජය" සම්බන්ධවද පැන නඟින ගැටලු රාශියක් තිබේ. එය එසේ වන්නේ පුරාණ රාජාවලියෙහි සිංහ කොඩියක් භාවිත වූ බවට සඳහනක් නොවන නිසාය. සිංහ ධජය ලංකාවේ භාවිත නොවූ නමුත් "සිංහයා" එංගලන්තයේ ජාතික සංකේතය වන්නේය. එනිසාම මතුවන ප්‍රශ්නය සිංහ කොඩියත් අප සුද්දන්ගෙන් ණයට ගත් එකක් ද යන්නය. බි්‍රතාන්‍ය ධජය පහත දමා අභිමානයෙන් ඔසවන්නේ ඉංගී්‍රසීන්ගේ හෝ පෘතුගීසීන්ගේ ධජයක්ද යන්න නැවත විභාග කර බැලිය යුතු ප්‍රශ්නයකි.

ලන්දේසීහු 1658 සිට 1796 දක්වා මෙරට වෙරළ බඩ කලාපය පාලනය කළෝය. ලන්දේසීන්ගේ කොඩි හා කාසිවල ස්වරූපය මෙන්ම ඒවායේ සංකේත පහතරට සිංහලයන්ට හොඳින් පුරුදුය. ලන්දේසි ආණ්ඩුකාරවරයා විසින් පහතරට ප්‍රභූවරයකු වූ මහකප්පින්න වලව්වේ මුදලිට ප්‍රදානය කළ පැරණි ලන්දේසි කොඩියක් හමු වී ඇති අතර එම කොඩියේ කඩුවක් අතින් දරා සිටින කිරුළු පැලඳි සටන්කාමී සිංහයකුගේ ලාංඡනය ඇඳ තිබෙන බව ගනනාථ ඔබේසේකර පවසයි.

සිංහලයන් විසින් එම ධජය අනුකරණය කරමින් සිංහ රූපයට දේශීය ලක්‍ෂණ එකතු කර සිංහ ධජයක් සකසාගෙන ඇති බවට ගනනාථයන් මතයක් ගෙනෙයි. වම් අතින් ඊතල සතක්ද දකුණතින් කඩුවක් ද දරා සිටින ප්‍රචණ්ඩ රාගික සිංහ රූපයක් සහිත කොඩියක් 1584 වන විට ලන්දේසීන් පහත රට ප්‍රදේශවල ඔවුන්ගේ පාලනයේදී භාවිත කර ඇත. ඊතල 7කින් පෙන්වා ඇත්තේ එවකට ලන්දේසීන් විසින් පාලනය කළ පළාත් 7ය.

එංගලන්තයේ මධ්‍ය කාලීන ඉතිහාසයෙහි ප්‍රචණ්ඩ සිංහයා ඔවුන්ගේ රාජකීය සංකේතය ලෙස භාවිත කර තිබේ. යුද කාමීන් සිංහයන් වශයෙන් සඳහන් කර තිබේ. පළමුවැනි රිචඩ් රජු බි්‍රතාන්‍ය ඉතිහාස ග්‍රන්ථවල "රිචට් ලයන් හාට්" යනුවෙන් දක්වා ඇත. එංගලන්තයේ කොඩි රැසක සිංහ රූපය දක්නට තිබේ. එහෙත් එම ධජයන්හි සිංහයා අත නිය මිස කඩුවක් නැත. සිංහයාගේ බාහු බල වික්‍රමාන්විතය කුළු ගන්වා තිබෙන්නේ විදහාගත් නියවලිනි. සිංහයා අතට කඩුව ගත් වනම ඔහු පාද තුනකට සීමා වී ශාරීරික සමබරතාවද ගිලිහී යෑමෙන් සිංහයා දුර්වල සත්ත්වයකු බවට පත්වේ යැයි කෙනකුට තර්ක කළ හැකිය.

මේ සමඟ දක්වා ඇති එංගලන්ත රාජකීය ධජය, වේල්සයේ රාජකීය ධජය, ස්කොට්ලන්ත රාජකීය ධජය විමර්ශනය කර බලන්න. ලන්දේසින්ගේ ඊතල 7ක් ඇති කඩුවක් අතින් ගත් ප්‍රචණ්ඩ සිංහ රුව සහිත පලිහක හැඩය ඇති ලාංඡනයද මෙහි ඇත. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සංකේතය වන්නේ සිංහ රූපයයි. අපේ ජාතික කොඩියට යොදා ගත් සිංහයා එංගලන්තයේ රාජකීය සිංහයාට බොහෝ සේ සමානය. එහෙත් එංගලන්ත සිංහයාට නිය මිස කඩුවක් නැත. කඩුව අප යොදා ගෙන තිබෙන්නේ ලන්දේසීන්ගේ ධජ ඇසුරෙන් විය යුතුය. බි්‍රතාන්‍ය කතිර ධජය නිර්මාණය කර තිබෙන්නේ එංගලන්ත, අයර්ලන්ත, ස්කොට්ලන්ත ආදී ප්‍රාන්ත රාජ්‍යයන්හි එක්සත්කම දැක්වීම පිණිසය.

මහනුවර රාජධානිය යටත් කර ගැනීමෙන් පසුව ඓතිහාසික උඩරට ගිවිසුම අස්සන් කළ 1815 මාර්තු 10 වැනිදා මඟුල් මඩුව ඉදිරිපිට ඔසවන ලද්දේ බි්‍රතාන්‍ය ධජයයි. (1815 මාර්තු 2 උඩරට ප්‍රධානීන් සඳහා ගිවිසුම කියැවීම පමණක් සිදුවී ඇත.) බි්‍රතාන්‍ය ධජය ඔසවන අවස්ථාවේ සිංහ කොඩියක් පහත හෙළුවා නම් එය පහත රට බි්‍රතාන්‍ය පාලනය පැවැති ප්‍රදේශවල සිංහල ආරට හදාගත් ලන්දේසි කොඩියක් විය යුතුය යන්න ගනනාථයන් ඉදිරිපත් කරන තර්කය වේ. පහතරට සිංහල ප්‍රධානීන් විසින් ලන්දේසි සිංහයා විපරීත කර සිංහබාහු වෘත්තාන්තයට ගැළපෙන සිංහයකු කරගෙන ඇති බව ඔහු සඳහන් කර තිබේ.

දැනට ජාතික කෞතුකාගාරයේ සුරක්‍ෂිතව තැන්පත් කර තිබෙන්නේ 1908දී ඊ.ඩබ්ලිව්. පෙරේරා විසින් ලන්ඩන් නුවර චෙල්සි රෝහලේ තිබී සොයාගත් සිංහ කොඩි තුනෙන් එකකි. එයින් දෙකක්ම කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි අන්දමින් දිරාපත්ව තිබී ඇත. තුන්වැන්න ඉංගී්‍රසි චිත්‍ර ශිල්පියකු විසින් මුල් කොඩිය ඇසුරෙන් සකස් කළ වර්ණ පිටපතකි. එම කොඩිය ගැන සැකයක් නැත. එය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කොඩියද යන්න සැක සහිතය. ශ්‍රී වික්‍රම රජු ධජයක් භාවිත කළ බව කිසිදු ඓතිහාසික මූලාශ්‍රයක සඳහන් නොවේ.

පෝල් ඊ. පීරිස් දක්වන අන්දමට උඩරට ගිවිසුම අස්සන් කිරීමෙන් පසු බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් සිංහ කොඩියක් සිය පුත්‍රයාට දී තිබේ. පුත්‍රයා විසින් එය එංගලන්තයට ගෙන ගොස් ඇත. තුන් සිංහලේ කොඩිය නමින් එය ගෙන ගියේ යුව රජුගේ (ඊජන්ට් කුමාරයාගේ) පාමුල එළීමට බව එය වයිට් හෝල්හි තැන්පත් කිරීමෙන් පසු සටහනක් තබා තිබූ බව ඊ.ඩබ්ලිව්. පෙරේරා සඳහන් කර ඇත.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon