ඔහු භයානක මිනීමරුවකු බව මට අමතක විය

  👤  4805 readers have read this article !
2018-07-15

විනාඩි විස්සක පමණ කෙටි නින්දකින් මා අවදි වූයේ ඉහළින් ඇසුණු හෙලිකොප්ටර් හ¾ඩිනි. ක්‍ෂණයකින් නැඟිට වටපිට නෙත් යැවූ මට දකින්නට ලැබුණේ අදහාගත නොහැකි දසුනකි. වැවෙහි අෑත ක්‍ෂිතිජයෙන් දෙබරුන් සේ මතුව ආයේ හෙලිකොප්ටර් සමූහයකි.

අපි කඩිනමින් ගස් හා පඳුරු අතර සැඟවෙමින් ඊට විරුද්ධ දිශාවට ගමන් කළෙමු. එහෙත් ඔවුහු අප දුටහ. අපට ඉහළින් පහත් වූ යානාවෙන් නිකුත් වූයේ වෙඩි උණ්ඩය. ගස්වල අතු රිකිලි හැකිළෙමින් ඇඹරෙමින් විලාප නැංවීය. සුදු වැල්ලත් වියළි කොළ අතුත් දස අතේ පාවෙමින් තිබිණි. යානාවලින් නැඟුණු හඬත්, වෙඩි හඬත් අනෙකුත් සියලු නාදයන් හා එක් වූ අපේ කන් බිහිරි කරවීය. විසල් ගස් පාමුල වූ වන වදුලු තුළ ගුළි ගැසී සැඟවෙනවා විනා අපට කළ හැකි අන් යමක් නොවීය. ආශ්වාස ප්‍රශ්වාස කිරීම පවා අසීරුව තිබියදී දෙවැනි යානාවේ හඬද මතුවනු ඇසිණි.

'හැම කෙනෙක්ම දුවන්ඩ මේ පැත්තට' ඒ සෙංගමාලම්ගේ කටහඬය.

ශරීර කූඩුව තුළ ශේෂව තිබූ අවසාන ශක්තිය පොද ද එකතු කරගනිමින් මමද ඔහු පසු පසින් දිව්වෙමි. පහත් වෙමින් ගුළි ගැසෙමින් අප මහ වනය තුළට දිව යද්දී යානා දෙකම එක්ව අප පසුපස පන්නා එමින් සිටියේය. අවසානයේ අප ඝන වනය තුළ සැඟවී ගතිමු. තුරු වියනට ඉහළින් තවත් විනාඩි කිහිපයක් පියා සරමින් සිටි ඔවුහු අනතුරුව අතුරුදන් වූහ.

අපි සියල්ලෝම පොළොව මතට කඩා වැටුණෙමු. බිම වැතිර සිටි හා ඉහළින් වූ විසල් අතු ඉති දෙස බලා සිටියා මතකය. මගේ සිරුර ගින්නට ලූ කලෙක මෙන් දැවෙන්නට විය.

කුස හඬ නඟමින් පෙරළි කරනුද මට ඇසිණි. අපි ආපසු ගමට පැමිණියෙමු. සමහර ගැමියන් අප දෙස බැලුවේ නොමනාපයෙන් මෙනි. ඔවුහු අප හා කිසිවක් නොපවසන්නට වගබලා ගත්හ. සමහර විට පාබළ හමුදා සොල්දාදුවන් අප සොයා වන වදින්නට ඇත. ඒ මොහොතේ මගේ එකම අවශ්‍යතාව බවට පත්ව තිබුණේ කෑමට යමක් පමණකි.

මට ගෙදර සිහි විය. අම්මාත්, මුළුතැන්ගෙයත් සිහි විය. අම්මා කුකුළු මස් පිසූ විටෙක මා ඉල්ලා සිටියේ හරක් මස් වෑංජනයකි. ඇය හරක් මස් පිස තිබුණහොත් මා පැවැසුවේ මාළු තිබුණා නම් වඩා හොඳ බවය. බොහෝ විට මේසය මත වූ පිඟන් එකට ගැටුණේ ඇය පිස තිබූ ආහාර වට්ටෝරුව පිළිබඳ අමනාපයෙනි. මේසයට ආහාර ගෙන එද්දී අෑ කී දෙමළ ආප්තෝපදේශයක්ද තිබිණි.

'කුස පොත්ත ඇලෙනකොට අශ්වයොත් පිදුරු කනවාලු'
එවිට මම පිළිතුරු ආප්තෝපදේශයක් පැවැසුවෙමි.
'හාමතේ හිටියත් කොටියා තණකොළ කන්නේ නැහැ.'

මාගේ එවැනි අතීත හැසිරීම් සිහිව ඒ මොහොතේ මට දැනුණේ මහත් විළියකි. මගේ පවුලෙන් මට ලැබුණු අසීමාන්තික ආදරය මා කිසිදාක අගය නොකළා නොවේද?
කිසියම් දවසක මට ඔවුන්ගෙන් සමාව අයදින්නට අවස්ථාවක් ලැබේවායි මම ඒ මොහොතේ ප්‍රාර්ථනා කළෙමි.

ඉර බැස යමින් තිබිණි. අප සිටියේ ගම්මානයේ අනෙක් පසෙහිය. විශාල එළවළු වගාවක් මධ්‍යයෙහි වූ ගඩොලින් කළ කුඩා නිවෙසක ගෙමිදුලෙහි අපි ලැගුම් ගෙන සිටියෙමු. සෙංගමාලම් නිවැසියා ඇමැතුවේය. මැදි වියේ මිනිසෙක්ද බියසුලු පෙනුමක් සහිත තරුණ ගැහැනියක්ද ජනේලයකින් එබී අප දෙස බැලූහ.

මහත්තයා ඇතුළු ඔහුගේ පිරිසද ඒ මොහොතේ එහි පැමිණියහ. ඔහු ඇස ගැසෙත්ම මට සිහිපත් වූයේ ශාන්තන්ය. බිම දිගේ ඇදගෙන ගිය ශාන්තන්ගේ ලේ වෑහෙන සිරුරය. මම මහත්තයා දෙස නොබලා සිටින්නට උත්සාහ ගත්තෙමි. මා මෙන්ම අන් අයටද ශාන්තන්ව සිහිවන්නට ඇතත. එහෙත් 'නෝරා' පවා ඉන් පසුව ශාන්තන් පිළිබඳව කිසිවක් කතා නොකළාය. එහෙත් මගේ සිතට එම සිද්ධිය මහත් පීඩාවක් විය.

තවත් පැයකින් ගෙහිමියා සහ තරුණ ගැහැනිය අප හැම කෙනෙක් ඉදිරිපිටම කෙසෙල් කොළ ඉරුවක් බැගින් තැබූහ. ඉන් පසුව අප හැමකෙනකුටම රතු කැකුළු බත් හැන්දක්ද මුරුංගා වෑංජනයෙන් හැඳි භාගයක්ද බැගින් ලැබිණි. සියලු දෙනාම ඉතා ගිජු ලෙස එය හමාර කළ විගස, මහත්තයා විශේෂ නිවේදනයක් නිකුත් කළේය.

සෑම අයකු සමඟම වෙන් වෙන්ව පෞද්ගලික කතා බහක යෙදෙන්නට ඔහුට අවශ්‍යව තිබිණි. මහත්තයා වාඩි වී සිටියේ නිවෙස පිටුපස වූ ගලක් මතය. පෞද්ගලික සාකච්ඡාවක් වුවද තරමක් කිට්ටුවෙන් සිටියවුන් හට එහි සෑම වචනයක්ම ඇසෙන්නට ඇතැයි මට සිතිණි.

එතෙක් මා එවැන්නක් අත්දැක තිබුණේ නැත. එසේ වුව මම ද ඔහු ඉදිරියට ගොස් කිව යුත්තේ මොනවා දැයි කල්පනා කළෙමි. මට ඔහු සමඟ කතාබහ කළ යුතු ප්‍රධාන කාරණා දෙකක් විය. එකක් ශාන්තන්ගේ ඝාතනය පිළිබඳවය. අනෙක මාගේ ඉල්ලා අස්වීමේ අදහස සම්බන්ධයෙනි. එහෙත් ඒ කරුණු දෙකම පසෙක තබා වෙල්ලායිගේ ඝාතනය ගැන කතා කළ යුතු යැයි මම තීරණය කළෙමි. එවිට ඔහු දක්වන ප්‍රතිචාරය සැලකිල්ලට ගනිමින් ඔහුගේ නායකත්වය යටතේ මා තවදුරටත් රැඳෙන්නේ දැයි තීරණය කරන්නට මම බලාපොරොත්තු වූයෙමි.

මගේ වාරය පැමිණියේය. මම ඔහුට ඉදිරිපසින් වූ කුඩා ගලක් මත වාඩි වූයෙමි.
'දැන් කොහොමද අසනීපෙ?'
ඔහුගේ සිනහව පාසල් දරුවකුගේ තරම් අහිංසක විය. එය කෙතරම් ප්‍රියමනාපද යත් ඔහු භයානක මිනීමරුවකු බව මට මඳකට අමතකව ගියේය.

'හොඳයි.' මම සරල පිළිතුරක් දී මගේ අදහස් ප්‍රකාශ කිරීම ආරම්භ කළෙමි.
'අපේ සමහර සාමාජිකයෝ හැසිරෙන විදිය සම්බන්ධයෙන් මම කලකිරිලයි ඉන්නේ.'
චකිතයෙන් නමුත් මම කතාවට පිවිසියෙමි.

'විශේෂ කාරණාවක් ගැනද මේ කතා කරන්නේ?' ඔහුගේ ඇති බැමි කුහුලෙන් හා විමතියෙන් එකට යාවනු මම හොඳ හැටි දුටිමි.

මම වෙල්ලායිගේ ඝාතනය සම්බන්ධ සම්පූර්ණ සිද්ධිය ඔහුට පැවැසුවෙමි.
'ඒ වගේ දේවල් දිගින් දිගටම සිද්ධ වේවිද අයියා?'

මහත්තයා සිනාසුණේ එතරම් සැහැල්ලුවකින් නොවේ. ඔහු කිසියම් අපහසුතාවකට ලක්ව සිටි බවක් පෙනිණි. ඒ ඔහු වාඩි වී සිටි ගලෙහි ඇති රළු පරළු බව නිසා ද නැතහොත් මගේ ප්‍රශ්නය නිසා දැයි මට වටහාගත නොහැකිවිය.

'ඔයා වෙල්ලායිව පෞද්ගලිකව දන්න කෙනෙක්ද?'

ඔහු සමඟ කිසි දිනක කතා කර හෝ නොමැති බව මම කියා සිටියෙමි.
මිට මොළවාගත් ඔහුගේ දකුණත වමත් තලයෙහි ඇතිල්ලෙනු මම බලා සිටියෙමි.'
'ඔයාගෙ වයසට තාම මේ දේවල් තේරෙන්නෙ නෑ' ඔහු කීවේ කල්පනාකාරීවයි.
'මේ වගේ දේවල් සිද්ධ වෙනවා සංවිධානෙ යහපත වෙනුවෙන්. රළු තීරණ ගත යුතු අවස්ථා ඔයාට වුණත් එන්ඩ පුළුවන්. අපි අතර පාවා දෙන අය ඉන්නවා නම් ඒ අය අයින් කරල දාන්න ඕනෙ.'

වෙල්ලායි එලෙස පාවා දුන්නෙක් බව ඔප්පු වූයේ නැති බවද මම කීවෙමි.

පරිවර්තනය - සුනිලා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon