හුදෙකලාව මහ සයුරේ දින ගණනක් පාවූ කුඩා දැරිය ටෙරී ජෝ

  👤  4439 readers have read this article !
2018-07-15

"මේ බලන්න. මේ පෙනෙන දේ හඳුනා ගන්න පුළුවන්ද?"

වෙරළාරක්ෂක නෞකාවක සිට, දුර දක්නයෙන් මහ සමුදුර පිරික්සමින් සිටි නාවික නිලධාරියාගේ නෙත ගැටුණේ අස්වාභාවික යමකි. ඔහුගේ සගයාද එය නිරීක්ෂණය කළේය.
"දෙවියනේ කුඩා දැරියක් නේද?"

වහා අදාළ කණ්ඩායම් වෙත පණිවිඩ යැවූ ඔවුහු නැව ඒ වෙත හැරවූහ.

කුඩා දැරියක් මුහුද මැද පාවෙමින් සිටී. පෙනෙන විදියට නම් ඇය මිය ගොසින් විය යුතුය.
අතුරු වෛද්‍ය සේවයේ නියුතු නිලධාරියකු වූ ආතර් ඩුපරෝල්ට්ගේ එකම සිහිනය වූයේ බෝට්ටුවකින් ලෝකය වටේ සංචාරයක් කිරීමටය. එයට පෙරහුරු චාරිකාවක් ලෙස බහාමා දූපත් හරහා සති දෙකක මුහුදු සංචාරයකට ඔහු තම 14 හැවිරිදි පුතාද, 11 සහ 7 වයස්වල සිටි දියණියන් දෙදෙනාද, බිරිය සමඟ ලහි ලහියේ සූදානම් වූයේ මහත් ප්‍රීතියෙනි. මේ සඳහා "බ්ලූ බෙල්" නම් වූ රුවල් සහිත අශ්වබල 115ක බෝට්ටුවක් යොදාගත් අතර, එහි කැප්ටන් ලෙස නාවික හමුදා සේවයේ නියුතුව සිටි 44 හැවිරිදි 'ජුලියන් හාවි' නම් දීර්ඝ මුහුදු ගමන් සංචාරක අත්දැකීම් ඇති පුද්ගලයෙක් යොදා ගැනීමට ලැබීම වාසනාවක් ලෙස ඔවුහු සිතුවෝය. ජුලියන් තම රූමත් බිරියද මෙම චාරිකාවට එක් කර ගත්තේ ආහාර පිසීම ආදී කටයුතු සඳහා උදව්වට බව පවසමිනි. ‍ෙදාස්තර ආතර් ඊට එකඟ වූයෙන් ඔවුන් දෙදෙනාද ගමනට එක්වූහ.

දූපත් කිහිපයකම ගොඩබසිමින් සතුටු වූ ඔවුන් චාරිකාවේ පස්වැනි දිනය වූ 1961 නොවැම්බර් 8 දිනයට ද එළැඹුණි. එදින රාත්‍රි භෝජනයෙන් පසු, බෝට්ටුවේ රිද්මයානුකූල චලනයේ පැද්දෙමින් සියල්ලෝම සුව නින්දට වන්හ. යක්ෂයාගේ හෝරාව එළැඹී තිබුණේ නිහඬවමය. හැමූ සීතල මුහුදු සුළඟට පවා රහසිනි.

"අනේ ඩැඩී උදවු කරන්න. අනේ මට උදවු කරන්න. ඩැඩී ඔයා කොහේද?..."
තම සොහොයුරාගේ විලාප හඬට මධ්‍යම රාත්‍රියේ අවදි වූයේ එකොළොස් හැවිරිදි වියේ පසු වූ ටෙරී ජෝය. ඇය පහළ කැබින් කාමරයේ නිදා සිටියේ වෙනදා ඇය සමඟ නිදා ගන්නා තම චූටි නැඟණිය එදින මවුපියන් සමඟ සිටි බැවිනි. නිදිමතේම ඉහළට නැඟ විත් එබී බැලූ ටෙරී ජෝ දුටුවේ කිසිම දරුවකුගේ නෙත නොගැටිය යුතු බිහිසුණු දර්ශනයකි.

තම මවුපියන්ද සොහොයුරාද ජුලියන්ගේ බිරියද ලේ විලක් මැද මැරී වැටී සිටිති. ලේ වැකුණු පිහියක්ද අසල තිබිණි. ඇය භීතියෙන් ඇලළී ගියාය. ඒ සමඟම ජුලියන්ගේ හැඩි දැඩි අත ඇයව නැවත පහළ කාමරයටම තල්ලු කළෙන් කිසිවක් කර කියා ගත නොහුණු දැරිය පහළට ගොස් බියෙන් වෙව්ලමින් ඇඳ මත ගුළි වූවාය. ඇයට ඊළඟට දැනුණේ සීතල ජලයෙන් කාමරය පිරී යන බවකි. තම ඇඳ ද ජලයෙන් යට වන විට ඇය පණ රැක ගැනීමට උඩට නැග්ගාය.

"බෝට්ටුව ගිලෙන්න යනවා" ඇයට ඉබේම කෑ ගැසුණි.

"ඔව්" කියූ ජුලියන් ආරක්ෂක ඩිංගි බෝට්ටුව ලිහා කඹය ඇය අතට දී එය අල්ලා ගන්නට කීවේ ඔහුට එයට පැන ගැනීමට බලාගෙනය. එහෙත්, සීතලෙන් මිදී තිබුණු ඇගේ කුඩා අතැඟිලිවලින් කඹය ගිලිහී ගියේය. ජලයේ අෑතට පාවීමට පෙර ඔහු පමණක් එම ඩිංගි බෝට්ටුවට පැනගත්තේ දැරියට දිගේ ගිලී යන බෝට්ටුවත් සමඟ මිය යෑමට ඉඩ හැරය.
එහෙත් දෛවයේ සැලසුම වෙනකකි.

පසෙක තිබූ කුඩා ඩිංගි බෝට්ටුවක් වැනි වූ අඩි 2 × 5 ප්‍රමාණයේ ආරක්ෂක මෙවලමක් දුටු ඇය එය මතට ගොඩ විය. ඒ සමඟම සයුර කැලඹී ඔවුන් පැමිණි බෝට්ටුව ගිලී ගිය අතර, ටෙරී ජෝ ඒ කුඩා මෙවලම මත පාවෙමින් මුහුදේ අෑතට ගසා ගෙන ගියාය. විසල් සාගරයේ ආහාර, දිය පොදක් නොමැතිව, ශාරීරිකවද, තම මවුපියන්ගේ කවෘර ඝාතන ඇසින් දැක ඇති වූ මානසික කම්පනයෙන්ද, ඇතිව තිබූ දැඩි පීඩාවෙන් පෙළෙමින් දැරිය දිගටම මුහුදේ පාවිය. රාත්‍රියේ හිම මිදෙන සීතලෙන්ද, දහවල් අනුකම්පා විරහිත හිරුගේ දැවී යන උණුසුමෙන්ද බැට කමින්, දවසක් දෙකක්, තුනක් නොව, සිවු දිනක්ම ඇය ඉමක් කොනක් නොපෙනෙන සාගරයේ අතරමංව හුදෙකලා විය. දැරිය හාමතිනුත්, විජලනයෙනුත් ක්‍රමයෙන් සිහි විකල්ව, අවසානයේ සිහිමූර්ඡා තත්ත්වයකට පත්වූවාය. ඒ වන විට ඇය පැය 86ක් මුහුදේ ගතකර තිබිණි. ඇය ආබාධයකින් තොරව දිවි ගලවා ගැනීම ඇත්තෙන්ම ප්‍රාතිහාර්යයක්ම නොවන්නේද?

දිවි රැක ගත් ජුලියන් හාවිගේ අපරාධ ඉතිහාසය බොහෝ පිටු ගණනකින් සමන්විත බව පසුව සොයා ගැනිණි. බිරිය ඝාතනයට සැලසුම් කර තිබුණේ හදිසි අනතුරක් ලෙස පෙන්වා ඇයගේ ඩොලර් 160,000ක රක්ෂණ මුදල් ගැනීමටය. ටෙරී ජෝ කුඩා දැරිය ජීවතුන් අතර බව දැන ගත් විට ඔහු දිවි නසා ගත්තේය. තම නෑදෑයන් අතර වෙනත් නමකින් හැදී වැඩුණු ටෙරී ජෝ "හුදෙකලාව මහ සයුරේ අනාථව..." (ඒතධදඥ ර්ණීපනඩචදඥඤ ධද බඩඥ ර්ණීජඥචද) නම් කෘතියෙන් තම අත්දැකීම ලොවට බෙදා දුන්නේ මෑතකදීය. සමාජ සේවිකාවක්ව ජනතාවට මානසික ශක්තිය සපයන ඇය "දෙවියන් මා ගලවා ගන්නට ඇත්තේ හේතුවක් ඇතිව" යැයි පවසන්නීය.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon