තිතට මත සහ තොණ්ඩුව

  👤  3858 readers have read this article !
2018-07-15

ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළේය. එම කැබිනට් එකඟතාව පළ වූයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදිකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යෝජනා කිරීමෙන් පසුවය. ජනාධිපතිවරයා හදිසියේ මෙවැනි තීරණයකට එළැඹීමට ආසන්න හේතුව වශයෙන් දැක්වූයේ මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව බන්ධනාගාර ගතව සිටින ජාවාරම්කරුවන් විශාල වශයෙන් රට පුරා මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරම්වල නිරත වීම බව ප්‍රකාශ කළේය.

මරණ දඬුවම පිළිබඳව බොහෝ පාර්ශ්වයන් ස්වකීය මත ප්‍රකාශ කිරීමට පටන් ගැනීමත් සමඟ එය මේ සතියේ සමාජය තුළ ප්‍රධාන මාතෘකාව බවට පත් විය. 1976දී මෙරට මරණ දඬුවම පැමිණවීම නිල නොවන අන්දමින් අත්හැරීමෙන් පසු දැනට මරණ දඬුවම් නියම වූ 374 දෙනෙක් බන්ධනාගාරගතව සිටිති. එසේම මරණ දණ්ඩනයට යටත් වුවද ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ තවත් 880 දෙනෙක්ද බන්ධනාගාරය තුළ සිටිති.

මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම රට තුළ බිහිසුණු හා සංවිධානාත්මක අපරාධ පිළිබඳ අවධානය ඉහළ යද්දී මරණ දඬුවම යළි පැමිණ විය යුතුද යන විවාදය මෙලෙස කලින් කලට මතුවේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ කවර හෝ සැලසුමක් වේ නම් ශ්‍රී ලංකාව එය හකුළා ගත යුතු බවත් මෙම කෘෘර මෙන්ම ආපසු හැරවිය නොහැකි දඬුවම ඉවත දැමීම සම්බන්ධයෙන් දිගු කාලයක් පුරා පවතින කීර්තිය රැක ගත යුතු බවත් ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය (ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල්) සඳහන් කර තිබේ.

ඒ කෙසේ වෙතත් නොනවතින අපරාධ රැල්ල විසින් ලංකාව පරිහානිය හා විනාශය කරා ගෙන යමින් තිබෙන බව පිළිගත යුතුය. අද එදාට වඩා සංවිධානාත්මක අපරාධ අඩු යැයි පුහු තර්ක විතර්ක ගෙනහැර පෑම ප්‍රශ්නයට විසඳුම නොවන බව පිළිගත යුතුය. ශ්‍රී ලංකා පොලිසියේ වාර්තාවලටම අනුව මේ සුපහන් ධර්මද්වීපයේ 2015 වසරේ ස්ත්‍රී දූෂණ 2033ක්, මනුෂ්‍ය ඝාතන 476ක්, මිනිසුන් වෙඩි තබා ඝාතනය කිරීම් 51ක් හා බරපතළ තුවාල සිදු කිරීම් 3300ක් සිදු කර ඇත.

මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ බූවල්ලන් මෙන් දිවයිනේ අෑත ගම් නියම්ගම් පවා වෙළාගෙන සිටිති. තරුණ පරපුර වේගයෙන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වේ. තත්ත්වය මෙසේ නම් ඉදිරි ගමනක් ගැන පුරසාරම් කතාවලින් ප්‍රතිඵලයක් නැත.

මරණ දඬුවම් නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරගතව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වන බවට ජනපති කරන ප්‍රකාශයේ යටි අරුතින් කියැවෙන්නේ වෙනත් ප්‍රශ්නයකි. රටේ පාලනය කෙසේ වෙතත් බන්ධනාගාර නීතියට අනුව පාලනය කිරීමටද ආණ්ඩුව අපොහොසත්ව ඇති බවය. විෂය භාර ඇමැතිවරයාගේ සිට අවසන් බන්ධනාගාර නිලධාරියා දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා අනියම් වශයෙන් ඉහත කී සිරගත ජාවාරම්කරුවන්ට සහාය වන බවය. තත්ත්වය එසේ නම් දඬුවම් නියම වූ මත්ද්‍රව්‍ය වරදකරු එල්ලා දැමීමෙන් ප්‍රශ්නය විසඳේ යැයි සිතිය නොහැකිය.

මත්ද්‍රව්‍ය පිළිබඳ දැඩි දඬුවම් නියම කිරීමේ සුවිශේෂී නීති මෙරට නීතිය තුළට මෑත කාලයේදී ඇතුළත් කර තිබේ. 1984 අංක 13 දරන විස වර්ග අබිං සහ අන්තරායදායක ඔෟෂධ (සංශෝධන) පනත මීට අදාළ ප්‍රධාන නීති මූලාශ්‍රයයි. එම පනතේ 54 (අ) (අෑ) වගන්තියට අනුව අබිං ග්‍රෑම් 500ක් මෝෆීන් ග්‍රෑම් 3ක්, කොකේන් ග්‍රෑම් 2ක් හෝ හෙරොයින් ග්‍රෑම් 2ක් සන්තකයේ තිබීම මහාධිකරණයේ ජූරි සභාවකින් තොර නඩු විභාගයකින් දඬුවම් පැමිණවීමට හේතු වන වරදකි. දැනට පවත්නා නීතියට අනුව හෙරොයින් ග්‍රෑම් 2ට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීම මරණ දණ්ඩනය ලැබෙන වරදකි. හෙරොයින් කිලෝ දෙතුන් සීය ගෙන්වන මහ පරිමාණ ජාවාරම්කරුවෝ දක්ෂ නීතිඥයන් යොදා නීතියේ කඩුල්ලෙන් පනින අතර ග්‍රෑම් දෙකේ තැරැව්කරුවා පමණක් එල්ලුම් ගහට යවනවා නම් එයින්ද අපේක්ෂා කළ විසඳුම නොලැබිය හැකිය.

මත්ද්‍රව්‍ය උවදුරින් මිදීම සඳහා අනිවාර්යයෙන් විසඳුමක් අවශ්‍යය. මත්ද්‍රව්‍ය ව්‍යාපාර මෙහෙය වන්නන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළත් සිටින බව කිහිප අවස්ථාවක මහජන නියෝජිතයන් විසින් පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කරන ලදී. ඒ ගැන මෙතෙක් කිසිදු වග විභාගයක් සිදුවූයේ නැත. බිහිසුණු අපරාධවල අඳුරු සෙවණැල්ල ලංකාවේ දේශපාලන නියෝජිතයන් මතද වැටී තිබේ. අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරට ඇතැම් දේශපාලනඥයන්ගේ සුරතලුන් බව ජනතාව දනිති. සමාජයේ යහපැවැත්ම උදෙසා අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවා නීතියේ නියමයට අනුව එල්ලා මරා දැමිය හැකිය.

එහෙත් ප්‍රශ්නය වන්නේ සැබෑ අපරාධකරුවා පෝරකය දක්වා ගෙනෙන්නට ලංකාවේ පවතින නීතියේ යාන්ත්‍රණය පිරිසුදු හා ශක්තිමත් එකක් වන්නේද යන්නය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon