හමුදාපතිගේ සේවා දිගුවට අකුල් හෙලූ ඇමැතිවරයා කවුද?

  👤  5712 readers have read this article !
2018-07-15

තෙල් මිල එක රැයකින් වැඩිකිරීම සහ යළි අඩු කිරීම ගැන පසුගිය සතියේ රටම උණුසුම් විය. අමාත්‍ය මණ්ඩලයේදී ද මේ ගැන උණුසුම් මත ගැටුම් ඇති විය. තෙල් මිල වැඩි කිරීමට ගත් තීන්දුව ජනාධිපතිවරයා හෝ නොදැන සිටීම මෙම මත ගැටුම්වලට හේතුව වී තිබිණි.

පසුගිය ජූලි පස්වැනිදා මහා භාණ්ඩාගාරයේ පැවැති තෙල් මිල සූත්‍රය ගැන සාකච්ඡා කිරීම සඳහා කමිටුව රැස්විය. ඒ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙනි. පසුව එම රැස්වීමේදී තෙල් මිල වැඩි කිරීමට තීරණය කෙරිණි.

ඒ ගැන විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද දැන සිටියේ නැත. ඇමැතිවරයා කොළඹ පිහිටි සිය නිවෙසේ ලිපි ලේඛන කිහිපයක් පරීක්ෂා කරමින් සිටියදී රාත්‍රි 10.30ට පමණ ඔහුගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබිණි. ඒ දෙස විමතියෙන් බැලූ ඇමැතිවරයාට දැක ගැනීමට ලැබුණේ එදින මධ්‍යම රාත්‍රි 12.00හේ සිට තෙල් මිල ඉහළ ගොස් ඇති බවය. මුදල් අමාත්‍යාංශයේ තොරතුරු මත පදනම්ව එම කෙටි පණිවුඩය එවා තිබූ බව ඇමැතිවරයාට වැටහිණි.

කෙටි පණිවුඩය නරඹා මිනිත්තු කිහිපයක් අර්ජුන රණතුංග ඇමැතිවරයා නිසොල්මනේ යමක් කල්පනා කළේය.

ඔහු යළිත් සිය ජංගම දුරකථනය ගෙන ජනාධිපතිවරයාට ඇමතුමක් ගත්තේය. ජනාධිපතිවරයාද ක්ෂණිකව දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේය.

"ජනාධිපතිතුමනි.. අද රෑ ඉඳලා තෙල් මිල වැඩි කරලා දන්නවාද ඒක" අර්ජුන විමසීය.
"නෑ.. නෑ. මම දන්නෙ නෑ. මම බලන්නම් මොකද වෙලා තියෙන්නෙ කියලා" ජනාධිපතිවරයා එසේ කියමින් දුරකථනය විසන්ධි කළ අතර වහාම ඉන්ධන මිල අඩු කරන ලෙස ඒ මොහොතේම නියෝගයක් නිකුත් කළේය.

අර්ජුන පසුදින උදෑසනම ජනාධිපති මෛත්‍රි හමුවීමට ගියේය. අනතුරුව මේ ගැන දීර්ඝ ලෙස ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේය.

එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල වැඩි කිරීමේ නිවේදනය සිය පිරවුම්හල් වෙත ලිඛිතව දැක්වූයේ නැත. ඒ වෙනුවට සංස්ථාව පිරවුම්හල් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් පැවැසුවේ තමන් ලිඛිතව දැනුම් දෙනතුරු ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් නොකරන ලෙසයි.

මේ අතර එළැඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තෙල් මිල වැඩි කිරීම ගැන දීර්ඝව සාකච්ඡා කිරීමටද සියලු පාර්ශ්ව එකඟ විය.

පසුව අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට දෙපාර්ශ්වයකින් තෙල් සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් විය.

ඒ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙන් සහ මුදල් අමාත්‍ය මංගල සමරවීරගෙනි. මෙහිදී මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ දැක්වුණේ 2018 ජුනි 22 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙහි තීරණයකට අනුව ඉන්ධන මිල මිල සූත්‍රයක් පදනම් කොට සංශෝධනය කිරීම සඳහා කමිටුවක් ස්ථාපිත කෙරුණු බවයි.

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සභාපති ධුරය දරන එම කමිටුවේ සාමාජිකයන් ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජිතයකු, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු වේ.

එම කමිටුවට ඉන්ධන මිල වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දෙන්නැයිද එම පත්‍රිකාවෙන් ඉල්ලා සිටියේ.

කෙසේ නමුත් ඛනිජ තෙල් අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ දැක්වුණු කරුණු අනුව පෙනී යන්නේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය යෝජනා කරන ක්‍රමවේදය නිවැරැදි නොවන බවය.

1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතේ 66 වගන්තිය පරිදි ඉන්ධන මිල සංශෝධනයකදී මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව ඇතිව ඉන්ධන මිල සංශෝධන නියෝගය නිකුත් කළ යුත්තේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසිනි.
ඒ අනුව මිල සූත්‍ර කමිටුවට ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගත නොහැකිය.

මිල සූත්‍ර කමිටුව එසේ මිල තීරණය කරන්නේ නම් එය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පනත බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන බවද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ දැක්විනි.

පසුගිය කැබිනට් මණ්ඩලයට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව නම් කර තිබුණේ මිල සූත්‍රය මත පදනම් වූ ඉන්ධන මිල සංශෝධනය කිරීම යනුවෙනි.

අර්ජුන රණතුංග අස්සන් තබා තිබූ එම පත්‍රිකාවෙන් පළමුව පෙන්වා දී ඇත්තේ මිල සූත්‍ර කමිටුවේ සභාපති ධුරය භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ට ලබාදීම ප්‍රායෝගික නොවන බවය.

එම කමිටුවේ සභාපති ධුරය හිමිවිය යුත්තේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යැයි අර්ජුන ඉදිරිපත් කළ පත්‍රිකාවේ සඳහන් විය.

කමිටුවේ සාමාජිකයන් ලෙස භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්, ජාතික ආර්ථික සභාවේ මහ ලේකම්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති හෝ නියෝජිතයෙක්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති හෝ නියෝජිතයෙක් ඇතුළත් කළ යුතු බවද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යෝජනා කර තිබිණි.

එම යෝජනාව වඩාත් ඵලදායී වන්නේ ඛනිජ තෙල් සම්බන්ධයෙන් ප්‍රධාන රාජ්‍ය ආයතන දෙක වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති හෝ නියෝජිතයෙක් එම කමිටුවට ඇතුළත් කිරීමට කළ යෝජනාවෙනි.

කෙසේ නමුත් මුදල් අමාත්‍යාංශ යෝජනා කළ කමිටුවේදී ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම අත්හැර තිබේ.

එය අඩුපාඩුවක් ලෙස දකින ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තවදුරටත් යෝජනා කරන්නේ මිල සූත්‍ර කමිටුව සෑම මසකම අවසන් සතියේ රැස්විය යුතු බවයි.

එම සංශෝධනයේදී සලකා බැලිය යුතු කරුණු වන්නේ ජාත්‍යන්තර ඉන්ධන මිල ගණන්, බදු, අනෙකුත් මෙහෙයුම් පිරිවැය, සුදුසු ලාභතීරු වේ. එම කරුණු සලකා බැලීමෙන් පසුව තීරණය කෙරෙන සංශෝධිත ඉන්ධන මිල පිළිබඳ සිය නිර්දේශ මිල සූත්‍ර කමිටුව ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයාට ඉදිරිපත් කළ යුතුය.

ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා මුදල් අමාත්‍යවරායාගේ එකඟතාව ලබාගැනීමෙන් පසුව එය කැබිනට් යෝජනාවක් ලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර එහි අනුමැතියෙන් පසුව සංශෝධිත ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත් කිරීම කළ යුතු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ දැක්විණි. කෙසේ නමුත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ඉදිරිපත් කළ කැබිනට් යෝජනාව දීර්ඝව සාකච්ඡා නොකළ අතර ඒ වෙනුවට සිදුවූයේ ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බැලීම සඳහා විශේෂ රැස්වීමක් එදින සවස 4ට කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කිරීමයි.

ඉන්ධන මිල සංශෝධනය කිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීම පැවැතියේ ජනාධිපති කාර්යාලයේදී ය.

"එදා රෑ අර්ජුන දුරකථනයෙන් කතා කරලා කියනකම් ඉන්ධන මිල වැඩිවෙන බව මම දන්නේ නැහැ. මට කිව්වේ රුපියල් 4කින් පහකින් වැඩි කරනවා කියලා. එදා ඊටත් වඩා වැඩි කරලා..." කියමින් ජනාධිපතිවරයා තරමක් කේන්තියෙන් අදහස් දැක්විය.

සාකච්ඡාවේදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කියා සිටියේ ඉන්ධන මිල, මිල සූත්‍රයක් පදනම් කරගෙන වෙනස් කළ යුතුබවය. අමාත්‍ය අර්ජුන රණතුංග ඊට විරෝධය දක්වන්නට විය.

"මිල සූත්‍රයකට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් එය කරන ක්‍රමවේදයක් තියෙනවා. අපිට පනත් උල්ලංඝනය කරලා අපේ හිතුමනාපෙට එවැන්නක් කරන්න බැහැ. ඉන්ධන මිල කියන්නේ අපේ ජන ජීවිතයට සමීප දෙයක්. ඉන්ධන මිල වැඩි කිරීමෙන් අපේ ජන ජීවිතයේ සෑම අංශයකටම බලපානවා. ජීවන වියදම වැඩි වනවා. මිල සංශෝධනයේදී ඒ ගැන සැලකිලිමත් වීම අනිවාර්ය කරුණක්. ඒ වගේම රටේ සංවර්ධනය සඳහා මුදල් අවශ්‍යයි. ආයතනය පවත්වාගෙන යන්නත් ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනයටත් මුදල් අවශයයි. ඒ ගැනත් අපි මිල සංශෝධනයේදී සලකා බැලිය යුතු වෙනවා. ජනතාවට බරක් නොවෙන විදියටත් පනත උල්ලංඝනය නොවන විදියටත් මිල සංශෝධනය කිරීම වැදගත් වෙනවා. " අර්ජුන දිගටම කියා සිටියේය.

කෙසේ නමුත් සාකච්ඡාව අවසන් වූයේ මිල සූත්‍ර කමිටුව හරහා ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය වීමෙනි.

එයින් කෝපයටත් කනගාටුවටත් පත් ස්වරූපයක් අර්ජුනගේ මුහුණින් දිස්විය. සාකච්ඡාව අවසානයේදී සිය නිල රථයට නැඟී ජනාධිපති මන්දිරයෙන් පිටව ගියේ විදුලි වේගයෙන්ය. මඟ රැක සිටි මාධ්‍යවේදීන් අර්ජුන රණතුංගගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට සිටියත් අර්ජුන ඔවුන්ටද පිළිතුරක් දුන්නේ නැත.

එල්ලුම් ගහ ගැන කැබිනෙට්ටුව ගත් තීරණය

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමටද කැබිනට් හමුවේදී තීරණය කෙරිණි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ ජනපති මෛත්‍රි විසිනි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පිටිපස්සේ මත්ද්‍රව්‍ය වැරැදිවලට මරණ දඬුවම හිමි වෙලා තියෙන ජාවාරම්කරුවෝ ඉන්නවා. ඒ අය හිර ගෙවල්වල ඉඳගෙන තමයි මේ ජාවාරම් කරන්නේ. ඒ නිසා මේ අයට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා මට විවිධ පාර්ශ්ව බලපෑම් කරනවා. ජනපති කතාවට මුල පිරුවේය.

ඇමැතිවරුන් සියලු දෙනා අත් ඔසවමින් සිය කැමැත්ත ප්‍රකාශ කළහ. වටපිට බැලූ ජනාධිපතිවරයා තලතා අතුකෝරල ඇමැතිවරිය කොහේදැයි සෙව්වේය.

"ආ....තලතා ඇමැතිතුමිය මට ඒ ගැන වාර්තාවක් දෙන්න" ජනපති කීවේය.

"පසුගිය දවසකත් එහෙම ජාවාරම් කරන එක්කෙනෙක් දෙන්නෙක් අහුවුණා" තලතා කීවාය.

"මෙවැනි වැරැදි කරන නම ගිය ජාවාරම්කරුවන් 19 දෙනකු ගැන තොරතුරු මට ලැබිලා තියෙනවා" ජනපති මෛත්‍රි කියද්දී තලතා ඇමැතිවරියද එය අනුමත කළාය.

"මේක අස්සන් කරන්න පටන් ගත්තාම මට විවිධ කතා කියා ගෙන එයි. හැබැයි අනාගත දරු පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගන්න මම මේක අස්සන් කරනවා" ජනපති මෛත්‍රි දැඩිව කීවේය.

ඇමැති මණ්ඩලයේ සියලු දෙනාම පාහේ ජනපතිගේ කතාව හිස වනමින් අනුමත කළහ.
ගුවනින් මහනුවර යන්න ගිය ජනපති රැගත් හෙලිකොප්ටරය හදිසියේ ගොඩබස්වයි
මේ අතර ජනපති මෛත්‍රි පසුගිය බදාදා පෙරවරුවේ මහනුවර බලා පිටත්ව ගියේ ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැති 'මතට එරෙහිව පාසලෙන් ජවයක්' වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වීම සඳහාය.

පෙරවරුවේම කොළඹ සිට ගුවනින් නුවර බලා යෑමට ජනපති හෙලිකොප්ටරයට ගොඩ විය. මිනිත්තු කිහිපයක් යන විට ගුවන් නියමුවන් දැනුම් දුන්නේ මහනුවරට අධික වර්ෂාවක් පවතින බැවින් කාලගුණ තත්ත්වය යහපත් නොවන බවය. අනතුරුව ජනපති රැගත් හෙලිකොප්ටරය කටුනායක ගුවන්තොටුපොළට ගොඩබැස්වීය. එතැන් සිට මෝටර් රථයෙන් ජනපති නුවර බලා ගියේය.

"සරත්... මම එන ගමන්. ඔයා වැඩේ පටන් ගන්න" ජනපති පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායකට දුරකතනයෙන් දැනුම් දුන්නේය.

පෙරවරු 9.45ට පමණ මහ ඇමැතිවරයා උත්සව සභාවේ වැඩකටයුතු ආරම්භ කළේය. මඳ වේලාවක් ගිය පසු ජනපති මෛත්‍රි එම උත්සවයට පැමිණියේය. ලකෂ්මන් කිරිඇල්ල, ලකී ජයවර්ධන ඇමැතිවරුද එහි පැමිණ සිටියහ.

උත්සව සභාව ඇමැතූ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීම පිළිබඳව අදහස් දැක්වීය.

"ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියට හසුවෙලා අධිකරණයෙන් දඬුවම් විඳින බව අපි දන්නවා. ඔවුන් අතර මරණීය දණ්ඩනය නියම වුණු අයත් ඉන්නවා. ඒ අය හිර ගෙදර ඉඳලත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා. රට පුරා මත්පෙති බෙදනවා. බෞද්ධ සමාජයේ ඒ පිළිබඳ බොහෝ වාද විවාද තිබෙන්න පුළුවන්. මරණීය දණ්ඩනය නියම වුණු අය මරණීය දණ්ඩනය දීම සඳහා අස්සන් කළ යුත්තේ ජනාධිපතිවරයා. ඒ නිසා මම ඇමැති මණ්ඩලයට යෝජනාවක් ගෙනාවා මරණීය දණ්ඩනය නියම වීමෙන් පසුවත් ජාවාරම් කරන අය සඳහා මගේ අස්සන යොදන්න" යැයි ජනපති මෛත්‍රි කීවේය.

අනතුරුව ජනපති මෛත්‍රි ගැටඹේ ක්‍රීඩාංගණයේ ඉදිකළ මත්ද්‍රව්‍ය මැඬලීම සම්බන්ධයෙන් පාසල් සිසුන් ඉදිකළ ප්‍රදර්ශන කුටි නැරැඹීමටද එක් විය.

එය අවසන් වූ ජනපති සරත් ඒකනායක මහ ඇමැතිවරයාද සමඟ මහනුවර ජනපති මන්දිරයට ගියේ දිවා ආහාරය සඳහාය. අනතුරුව 'ග්‍රාම ශක්ති' වැඩසටහන වෙනුවෙන් පැවැති උත්සවයක් ජනපති මන්දිරයේම පැවැත්විණි.

එය අවසන් වූ ජනාධිපතිවරයා මහ ඇමැති සරත්ද මෝටර් රථයේ නංවාගෙන යටිනුවර කොටලිගොඩ ගමේ කැටපිටිය විහාරස්ථානයට ගියේ ජනතා ගැටලු විසඳීමේ අවස්ථාව සඳහාය. ග්‍රාමශක්ති වැඩසටහනට සමගාමීව මෙය සංවිධාන කර තිබිණි. යන අතරතුර ජනපති මෛත්‍රි මහ ඇමැතිවරයා දෙසට හැරුණේය.

"සරත් ඔයා දිගටම වැඩ දාලනෙ. මට කොළඹ ඉන්න ඕන 6.30 වෙද්දි. 8.00ටත් කොටුව මන්දිරයේදී රැස්වීමක් තියෙනවා. දැන් වෙලාව කීයද? බලන්නකො මම යන්නෙ කීයටද කියලා" ජනපතිවරයා සරත්ට කීවේය.

"සර් මගේ වැඩේට යන්නේ පැයක් එකහමාරක් විතර. එච්චරයි මම වෙලාව ගන්නෙ" මහ ඇමැති සරත් කීවේය.

පසුව කැටපිටිය විහාරස්ථානයට ගිය ජනාධිපතිවරයා ගම්වැසියන්ගේ ගැටලුවලට කන් දුන්නේය. ජලය, මාර්ග, ප්‍රජා ශාලාවක් නොමැති ගැටලු ගැන මෙහිදී ගම්වැසියන් ජනාධිපතිවරයාට පැවැසූහ. පසුව මහ ඇමැතිවරයාට විසඳිය හැකි ගැටලුවලට එම ස්ථානයේදීම පිළිතුරු දුන් අතර පස්වරු 5.35ට පමණ ගන්නොරුවේ සිට ජනපති මෛත්‍රි ගුවන් මඟින් යළි කොළඹ පැමිණියේය.

තායි අගමැති ලංකාවට

තායිලන්ත අගමැති ප්‍රයත් චාන් ඕචා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේ බ්‍රහස්පතින්දා පස්වරුවේය. එරට ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ප්‍රයත් චාන් මෙරටට පැමිණි අතර ඔහු පිළිගැනීමට අගමැති රනිල් කටුනායක ගුවන්තොටුපළට ගොස් සිටියේය. ෆයිසර්, ෆොන්සේකා, රවීන්ද්‍ර සමරවීර ඇමැතිවරුද ගුවන්තොටුපළට ගොස් සිටියහ.

අනතුරුව ගුවන්තොටුපළේදී තායි අගමැතිවරයා වෙනුවෙන් චාම් පිළිගැනීමේ උත්සවයක් සූදානම් කර තිබිණි. ඊයේ පස්වරුවේ තායි අගමැතිවරයා ජනපති මෛත්‍රි මුණගැසී සාකච්ඡා කළේය. තායි අගමැතිවරයා පිළිගැනීම වෙනුවෙන් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ උත්සවයක් සූදානම් කර තිබූ අතර මේ සඳහා ජනපති බිරිය ජයන්ති ද එක් වූවාය. තායි අගමැතිවරයා මෙරට රැඳී සිටින කාලය තුළ දෙරටේ ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් විශේෂ ගිවිසුම් කිහිපයකටද අස්සන් තැබීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයටද මැති ඇමැතිවරු බොහෝ දෙනෙක් පැමිණි සිටියහ. ඔය අතරවාරයේ සරත් ෆොන්සේකා ඇමැතිවරයා ජනාධිපති මෛත්‍රි අසලට ළංවිය.
''ජනාධිපතිතුමනි, ඇයි මහේෂ්ට සේවා දිගුවක් දුන්නේ. මෙයාව ඉක්මනට අයින් කරන්න. අපි කැමැති නෑ'' ෆොන්සේකා කීවේය.

ජනාධිපති මෛත්‍රි එය එතරම් ගණන් ගත් බවක් පෙනෙන්නට නොවූ හෙයින් ෆොන්සේකා යළිත් ජනාධිපතිවරයා දෙස බැලීය.

''එහෙම නොවුණොත් ජනාධිපතිතුමනි, මම ඇමැතිකමින් යනවා'' ෆොන්සේකා කීවේය.
ජනාධිපතිවරයා ඒ දෙසටද අවධානයක් දක්වා නොමැති බව වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් පසුගියදා මුණගැසුණේ ප්‍රසන්නගේ උඩුගම්පොළ පිහිටි නිවෙසේදීය. ප්‍රසන්න සමඟ ලංසා, රණවීර, ඉන්දික, ඩුලිප් මෙම හමුවට එක්ව සිටියහ. පිරිසගේ කතාබහට මුල් වුණේ වාර්තමාන දේශපාලන තත්ත්වය. තේ කෝප්පයක රස බලමින් ඔවුහු ආගිය තොරතුරු කතා කළහ.
''දයාසිරි 16 කණ්ඩායමත් එක්ක අපිට එකතු වෙනවා කියලා හොර පාරෙන්ම මෛත්‍රි ළඟට රිංගලා නේද? ලංසා ඇසුවේය.

''එයාට එක මතකයක් නැහැ. ඊළඟ පාර පාර්ලිමේන්තු යන්න බැරි වෙයි කියලා හිතුණම මහින්ද මහත්තයා ළඟට එනවා. ඇමැතිකමක්වත් නැහැ කියලා හිතුණාම මෛත්‍රි ළඟට යනවා. මම මුල ඉඳන්ම කිව්වේ මේ වගේ දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න අය ගන්න එකේ අවදානම තමයි'' ප්‍රසන්න පැවැසීය.

''ඒ කතාව හරි. එනවා නම් කෙළින් එන්න ඕනේ අපිත් එක්ක එකට වැඩ කරන්න. එහෙම නැතිව මෛත්‍රි ගාවත් ඉන්න ගමන් අපේ ඔත්තු බලන්න විතරක් ඇවිත් වැඩක් නැහැ'' රණවීර කීවේය.

''දැන් ජයග්‍රහණය කට උඩට ඇවිත් තියෙන වෙලාවේ මේ වගේ මිනිස්සු ළං කර ගන්න එක භයානකයි'' ඩුලිප් පැවැසීය.

''මුදල් ඇමැති තෙල් මිල වැඩි කරනවා. ජනාධිපති තෙල් මිල අඩු කරනවා. හැබැයි ආපහු මුදල් ඇමැති වැඩි කරනවා. මේක විහිළුවක් වෙලා. ජනාධිපතිටත් උඩින් වැඩ කරන ඇමැතිවරුන් දැන් වැහි වැහැලා'' ඉන්දික කීවේය.

''ඒක ඇත්ත. ජනාධිපතිවරයාම කිය කියා යනවානේ එයාට උඩින් බලපෑම් එනවයි කියලා. සමහරවිට කියනවා ඇත්තේ ඔය වගේ බලපෑම් ගැන වෙන්න ඇති.'' ප්‍රසන්න පැවැසීය.

ලංකාවේ අනාගතය සජිත්ට භාරයි අගමැති සිංගප්පූරුවේදී කියයි

අගමැති රනිල් පසුගිය සතියේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේ විශේෂ ආර්ථික සමුළුවකට සහභාගි වීම සඳහාය. මේ සඳහා රටවල් 125ක ප්‍රබල දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙම සමුළුවේ ප්‍රධාන දේශනය අගමැති රනිල් සිදුකිරීමද විශේෂත්වයකි. අගමැති සමඟ මේ ගමනට ඇමැති සජිත්ද එක්ව සිටියේය.
අගමැතිවරයා මෙම සමුළුවේ පැවැත්වූ දේශනයේදී ලංකාවේ ආර්ථිකය ගැන කතා කිරීමටද අමතක නොකළේය.

"ශ්‍රී ලංකාව ආර්ථික කේන්ද්‍රයක් ලෙස අප ගොඩනඟනවා. ඒ හරහා මුළු ආසියාවටම ශක්තියක් වීමට නුදුරේදීම අපට පුළුවන් වේවි" යැයි අගමැතිවරයා ලංකාව ගොඩනඟන වැඩපිළිවෙළඳ එහිදී විස්තර කළේය.

දිවා හා රාත්‍රි නිල භෝජන සඳහා සිංගප්පූරුවේදී ලැබුණු ආරාධනාවල නිමක් නොමැති විය. ඒ අතර සිංගප්පූරු අගමැතිගේ නිල දිවා භෝජනය විශේෂ තැනක් ගත්තේය.

"රනිල් අගමැතිතුමා වැනි දැක්මක් ඇති නායකයකු අපේ මේ සමුළුවේ ප්‍රධාන දේශනයට පැමිණීම ඉතා අගය කරනවා. ඔබේ ඒ දේශනය තුළ අන්තර්ගත වූ වැඩපිළිවෙළ සම්පූර්ණ වූ විට ලංකාව ලෝකයේම බලවත් රටක් වේවි" සිංගප්පූරු අගමැතිවරයා එහිදී විශේෂ ඇගයීමක්ද කළේය.

සජිත් ප්‍රේමදාස ලංකාවේ අනාගතය භාර ගැනීමට සිටින නායකයකු ලෙස අගමැතිවරයා එහිදී සිංගප්පූරු අගමැතිට හඳුන්වා දුන්නේ හිටපු ජනාධිපති ප්‍රේමදාස ගැනද මතක් කර දෙමිනි. සජිත් හා සිංගප්පූරු අගමැතිවරයා දිවා භෝජනයට එක ළඟ අසුන්වල වාඩි වූයේ අනතුරුවය. දෙදෙනා සුහද කතාබහක නිරත වූහ.

අගමැති රනිල්ගේ වැඩපිළිවෙළ ඉදිරියටම ගෙන යෑමට තමා සතු වැඩපිළිවෙළ ගැනද සජිත් එහිදී සිංගප්පූරු අගමැතිවරයා දැනුවත් කළේය. ඇමැති මලික්ගේ සහභාගිත්වයෙන් සාර්ථක ආයෝජන සමුළුවක්ද පැවැති අතර දෙරට අතර වන ආර්ථික ගිවිසුම ගැනද දෙරට අගමැතිවරු අතර ඉතා සුහද ලෙස අදහස් හුවමාරු විය.

"මේ ආරාධනාවෙන් පේන්නේ සිංගප්පූරුව අප ගැන තබා ඇති විශ්වාසය හා ගෞරවයයි. අපි කරන දේ එළි කිරීම නිසා මුළු ලෝකයටම ඒ පණිවුඩය ගියා. ඒක රටට ඉතා වාසි වේවි" අගමැතිවරයා අනතුරුව ශ්‍රී ලංකා දූත පිරිසක් හමුවේ කීවේය.

යළි සිය රටට පැමිණි අගමැතිවරයා දකුණු ආසියාවේ කතානායක සමුළුවේ ප්‍රධාන අමුත්තා ලෙස එක් වූයේ කරු ජයසූරියගේ ඇරයුමෙනි. බදාදා උදේ අගමැතිවරයා අරලියගහ මැඳුරට ආවේ චම්පික රණවක හා නැඟෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ මූලිකත්වයෙන් දියත් වන ත්‍රිකුණාමලේ මහ සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට එක්වීමටය. චීන සමාගමක් සකස් කළ එය අගමැතිවරයාට මෙන්ම චම්පික රණවක, ආර්. සම්පන්දන් හා රෝහිත බෝගොල්ලාගමට භාර දෙනු ලැබීය.

"මේ රටේ ආර්ථික කේන්ද්‍ර හතරක් ක්‍රියාත්මකයි. කොළඹ, හම්බන්තොට හා දකුණු තීරය, නුවර කුරුණෑගල තීරුව හා ත්‍රිකුණාමලේ මහ සැලැස්ම, උතුරටත් ඉක්මනින් මහ සැලැස්මක් ඇති කරනවා." අගමැතිවරයා එහිදී පැහැදිලි කළේය.

අනතුරුව අගමැති හා රෝහිත බෝගොල්ලාගම අතරද කතාබහක් ඇති විය.

"එදා කටුනායක, කොග්ගල, බියගම, සීතාවක කර්මාන්තපුර ඇති කළා. ඒ අත්දැකීම් මත දැන් රට පුරා කර්මාන්ත දියත් කර රැකියා ඇති කිරීම අරමුණයි." අගමැති කී විට බෝගොල්ලාගම ඒ සඳහා උපරිම ශක්තිය ලබාදීමට ප්‍රතිඥා දුන්නේය.

මේ අතර බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලියගහ මැඳුරට පැමිණ රාජකාරි ඇරඹීමට පෙර, පැමිණ සිටි මැති ඇමැතිවරු සමඟද කතා බහ කළේය.

"ලක්ෂ්මන් ලන්ඩන් ගියේ පෞද්ගලික සංචාරයකටද?" ලක්ෂ්මන් කිරිඇල්ල දුටු විගස අගමැතිවරයා විමසීය.

"නෑ. ලන්ඩන් තේම්ස් විහාරය රටේ තත්ත්වය ගැන මට දේශනයකට ආරාධනා කළා. අද ලංකාවේ ජනතාවට පූර්ණ නිදහස තිබෙනවා. මානව හිමිකම් රැකෙනවා. රාජ්‍ය පැහැරගැනීම් හා දූෂණ නෑ. බුදු දහම අනුව ආණ්ඩුව ක්‍රියාත්මකයි. හැමදේම මුදලින් තක්සේරු කරන යුගයක අද ලංකාවේ තිබෙන නිදහස හා සුබවාදී බව මිල මුදලින් තක්සේරු කරන්න බැහැ. ආණ්ඩුවේ යම් අඩුපාඩු ඇති. ඒත් ආර්ථිකය ඉක්මනින් හැදුවාම ඒ ප්‍රශ්න නිමා වේවි. ඒ නිසා යළිත් පවුල්වාදී භීෂණකාරී යුගයකට ලංකාව ගෙනියන්න ජනතාවය සූදානම් නෑ කියලා මම ලන්ඩන්වලදී කිව්වාම අපේ මිනිස්සු සාධුකාර දුන්නා." ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාසෙමිනි.

"ඉන්ධන මිල අඩු කරනවා. වැඩි කරනවා. මේක විහිළු ටෙලි නාට්‍යයක් වගෙයි"

පී. හැරිසන් කීවේ කාගේත් අවධානය ඒ දෙස නතු කර ගනිමිනි.

"මිල සූත්‍රයට යන්න කැබිනට් තීන්දුවක් තිබුණා. අපි ඡන්දයේදීත් මිල සූත්‍රයක් ගැන ජනතාවට කිව්වා. ලෝකයේ මිල අඩු වුණාම වාසිය ජනතාවට දෙන්නත් මිල වැඩි වුණාම ආණ්ඩුවේ අලාභය සමනය කරගන්නත් ඒ හරහා පුළුවන්. ඉන්දියාව හා බොහෝ රටවල දිනපනා මිල වෙනස් කරනවා. අගමැතිතුමාත් ලංකාවේ හිටියේ නැති වෙලාවේ මේ වගේ ටෙලි නාට්‍ය එළිදැකීම හොඳ නෑ." නවීන් දිසානායක කළ කතාව කවුරුත් අනුමත කළහ.

"හම්බන්තොට වරායේ දැන් තත්ත්වය ගැන අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළත් නිව්යෝර්ක් ටයිම්ස්වල පළවූ කෝටි 112ක් චීන සමාගමෙන් පගාව ගත්ත චෝදනාවට අදාළව මහින්ද ප්‍රකාශයක් නොකිරීම තුළම ඒ චෝදනාවෙන් ඔවුන් මඟහරින බව තහවුරු වුණා." දයා ගමගේ කීවේය.

"ලංකාව හා රටවල් 03ක ආණ්ඩු පෙරළන්න ඇමෙරිකාව ඩොලර් ලක්ෂ 585ක් වැය කළා කියලා ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කිව්වාය කියන කතාව මොකක්ද?" රන්ජන් රාමනායක විමසුවේ අගමැතිගෙනි.

"අලි බොරු. එහෙනම් චෙක් පෙන්නන්න කියන්න. මහින්දට ලැබුණු සල්ලිවල චෙක් හා බැංකුවල විස්තර පවා නිව්යෝර්ක් පත්තරේ පළවුණා. ඒක වහගන්න දැන් ජෝන් කෙරී කිව්වාය කියලා බොරුවක් මවන්න හදනවා. ඇමෙරිකාව රහසින් තමයි යටි දේශපාලන ගේමක් ගහනවා නම් ගහන්නේ. එහෙම කළා නම් ජෝන් කෙරී ඕක එළිපිට කියනවාද? ඔවුන්ගේ වාර්තාවල ඒ විස්තර ඇතුළු කරනවාද? මිනිස්සු මුළා කරන්න හැදුවාට ඒවා හරියන්නේ නෑ" ලක්ෂ්මන් කිරිඇල්ල අගමැතිවරයා වෙනුවන් පිළිතුරු දුන් විට අගමැතිවරයාද එය අනුමත කළේය.

"හම්බන්තොට වරාය ගැන අගමැතිතුමා වත්මන් තත්ත්වය ගැන කතා කළාම එදා පාර්ලිමේන්තුවේදී වීරවංශ නැඟිටින කොට කවුරුත් හිතුවේ වරායේ මුල් සිදුවීම ගැනත් එනම් වරායෙන් ගත්ත පගා නැනත් ඔහු කියාවි කියලා. අන්තිමට විමල් නිසා එජාපය ඒ ගැන ව විවාදයක් ඉල්ලුවා. විමල් මහින්දගෙන් බැනුම් අහන්න ඇති මං හිතන්නේ." නවීන් දිසානායක කීවේ සිනා මැදය.

"දැන් කුඩු හා පාතාලය වගේම මිනීමැරුම් වැඩි වෙලා බවයි ජනමාධ්‍ය කියන්නේ. ඒත් නිල වාර්තා අනුව රාජපක්ෂලාගේ කාලෙට වඩා ඒවා අඩුයි. දැන් කුඩු එන ප්‍රමාණය පොලිසියේ වැට බැඳීම නිසා අඩු වෙලාලු. ඒ නිසා කුඩු වෙළෙන්දෝ ඔවුන් ඔවුන් මරා ගන්නවා. ඔවුන්ට මරණ දඬුවම දීම ගැන එජාප ස්ථාවරය වැදගත් වෙනවා." විජයදාස රාජපක්ෂ කීය

"දැන් අලුගෝසුවොත් නෑ. මරණ දඬුවම පැනෙව්වෙත් ලංකාව ජේ.ආර්. යුගයේ ඉඳලා ඒක ක්‍රියාත්මක නොකරන රටක්. මහින්ද කළෙත් නෑ. ජාත්‍යන්තර තත්ත්වය හා මානව හිමිකම් ප්‍රශ්නත් බලලා අප ඉක්මනින් තීන්දුවන් ගන්න ඕනෑ. කූඩු සැපයුමයි මර්දනය කරන්න ඕනෑ. ඒක වේගවත්ව කෙරෙනවා." අගමැතිවරයා පැහැදිලි කළේය.

"සාමාන්‍ය උසාවියේදී තමාගේ නඩු අහන්න එපෝ කියලා වාරණ නියෝග ගන්න ගෝඨාභය අලුතින් හදන මහාධිකරණවල එයාගෙ නඩු මුලින්ම අහන්න කියලා ළඟදී බොරු සෝබනයක් දැම්මා. මිනිස්සු ඒකට බඩ අල්ලගෙන හිනාවෙන්නෙ. ෆේස්බුක්වල මාර ඒවා ඒ ගැන යන්නේ" චමින්ද විජේසිරි කීවේ සිනා මැදය.

ඒකාබද්ධ පොදුජන පෙරමුණ ඇරඹෙයි

හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම පසුගිය අඟහරුවාදා පස්වරුවේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි මහින්දගේ නිල නිවෙසේදී පැවැත්විණි. මේ ස¼දහා 16 කණ්ඩායමේ සාමාජිකයන් සහභාගි නොවූ අතර ඔවුන් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. කතාවට මුලපිරුවේ දිනේෂ්ය.

"16 දෙනාගේ කණ්ඩායමේ නියෝජිතයන්ට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට සහභාගි වන්න ඉඩ ලබාදිය යුතුයි" දිනේෂ් පැවැසීය.

"ඒ අය අපිත් එක්ක එකතු වුණු හින්දා දෙන්නෙකුට විතර පක්ෂ නායක රැස්වීමට සහභාගි වෙන්න ඉඩ දෙන්න පුළුවන්. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ඒ අයගේ නියෝජනයක් තියෙන එක හොඳයි" මහින්ද පැවැසීය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට 16 කණ්ඩායමේ මන්ත්‍රිවරුන් දෙදෙනකුට සහභාගි වන්නට ඉඩ ලබාදීමට තීරණය කෙරිණි. අනතුරුව සාකච්ඡා කෙරුණේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාගැනීම සම්බන්ධයෙනි.

"විපක්ෂයේ වැඩිම මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයෙයි. හැබැයි විපක්ෂ නායක ධුරය වගේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලැබිලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ සුළුතර විපක්ෂයට. ඒක හරිම අසාධාරණයි" රෝහිත පැවැසීය.

"ආණ්ඩුව බලයට ආපු ගමන් කළේ තමන්ට කීකරු කණ්ඩායම් දෙකට විපක්ෂයේ තනතුරු බෙදලා දීපු එකයි. ලෝකයේ කොහේවත් ආණ්ඩුවට ඕනේ විදියට විපක්ෂයේ තනතුරු දෙන සිරිතක් නැහැ" ප්‍රසන්න කීවේය.

"කතානායකවරයා ස්වාධීනයි කියන්නේ නමට විතරයි. එයා හැම දේම කරන්නේ අගමැතිගෙන් අහලා. එහෙම කතානායක කෙනෙක්ගෙන් ඒකාබද්ධ විපක්ෂයට සාධාරණයක් වෙයි කියලා හිතන්න බැහැ" මහින්දානන්ද පැවැසීය.

"විපක්ෂ නායක ධුරය ලබා ගැනීමේදී අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරලා පාර්ලිමේන්තුවට ආවා කියන කාරණය නීතිමය ගැටලුවක් වෙන්නත් පුළුවන්" අයෙක් පෙන්වා දුන්නේය.

"ඒ සියලු කාරණාවල නීතිමය තත්ත්වය හෙයලා බලලා විපක්ෂ නායක ධුරය ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරන්න ඕනේ" මහින්ද පැවැසීය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය ලබාගැනීම සම්බන්ධයෙන් කතානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තීරණය කෙරිණි. එම ලියවිල්ලට ඒකාබද්ධයේ සියලු මන්ත්‍රිවරුන්ගෙන් අස්සන් ලබාගන්නා ලෙස මහින්ද උපදෙස් දුන්නේය. නීතිමය තත්ත්වය සලසා බලා එම ලියවිල්ල සකස් කිරීම ජී.එල්. වෙත පැවැරිණි.

එසේම සහෝදර දේශපාලන පක්ෂවල අනන්‍යතාව රැකෙන පරිදි ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස කටයුතු කිරීමේ වැදගත්කම වාසුදේව පෙන්වා දුන්නේය. පසුගිය පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් තරග කළේ ඒකාබද්ධ පොදුජන පෙරමුණේ ලෙසිනි.

මැතිවරණයෙන් පසු දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් පක්ෂ සම්බන්ධ කරගැනීමේ වැඩපිළිවෙළ පසුගාමී වී ඇති බවත් වාසු කීවේය. ඒ අනුව තීන්දු කෙරුණේ ඉදිරි ජාතික වැඩසටහන්වලදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස කටයුතු කිරීමටය. අනතුරුව අවධානය යොමු වුණේ දිනෙන් දින ඉහළ යන පාතාල ක්‍රියාකාරකම් ගැනය.

"දැන් පාතාලය ශීඝ්‍රයෙන් හිස ඔසවාගෙන යනවා. හැබැයි පොලිසිය පාතාලය ඉස්සරහා අනුගමනය කරන්නේ නිහඬ ප්‍රතිපත්තියක්" කෙහෙළිය පෙන්වා දුන්නේය.
"අපේ කාලයේ පාතාලය සියයට සියයක්ම මර්දනය වුණා. ගොඩක් පාතාල නායකයෝ රට පැනලා තමයි බේරුණේ. මේ ආණ්ඩුව ආවා විතරයි දැන් ඒ සේරම පාතාලයෝ ලංකාවට ඇවිත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුනුත් අල්ලගෙන පාතාල සෙල්ලම් දානවා" මහින්ද පැවසීය.

"පාතාලයයි ආණ්ඩුවයි දැන් ගහට පොත්ත වගේ සම්බන්ධ වෙලා ඉවරයි. පොල් ගෙඩියක් කඩපු මිනිහා අල්ලලා උසාවි දාන පොලිසිය පාතාලය ඉස්සරහා හුරතල් පූස් පැටවු වගෙයි හැසිරෙන්නේ" ප්‍රසන්න කීවේය.

"පොලිසිය සැකකරුවන්් නිර්දෝෂ කරන තැනට ඇවිත් ඉවරයි. කොළඹ නාගරික මන්ත්‍රිවරයෙක් ඝාතනය වුණු වෙලාවේ වගේම අනුරාධපුරයේ සිද්ධියේදීත් පොලිසිය ඒවා සාධාරණීකරණය කරන්න උත්සාහ ගත්තා. අනුරාධපුර සිද්ධිය පිටිපස්සේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැති කෙනෙක්" කෙහෙළිය පැවසීය.

"ආණ්ඩුව හැදුවේ මත්තල විකුණන වැඩේ හොරෙන් කරන්නයි. හැබැයි අපි ඒ ගැන හෙළි කළාට පස්සේ සමාජයේ ඒ ගැන ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා" ඩලස් කතාව වෙනතකට යොමු කරමින් කීවේය.

"මේ ආණ්ඩුව දන්නේ තියෙන සම්පත් විකුණලා දාන්න විතරයි. පසුගිය අවුරුදු තුනටම රටට මොනවත් නොකරපු ආණ්ඩුව පසුගිය කාලේ අපි හදපු දේවල් විකුණන එක නම් ජයටම කරගෙන යනවා." මහින්ද පැවැසීය.

"ආණ්ඩුවට විකුණන්න හරි ඉතුරුවෙලා තියෙන්නේ මහින්ද මහත්තයා හදපු දේවල් විතරයි. පසුගිය කාලේ ආණ්ඩුවේ ඇමැතිවරු මත්තල ගැන කියපු කතා ජනතාවට තාම මතකයි. මොනරු, වල් අලි එන ගුවන්තොටුපොළ කියලා සමච්චල් කළා. රනිල්ලා මත්තල වී ගබඩා කළා. වැඩකට නැති එකක් නම් ඉන්දියාව සල්ලි දීලා ගනියිද? ප්‍රසන්න කීවේ සිනාසෙමිනි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි හිටපු මන්ත්‍රි වී.කේ. ඉන්දික පසුගිය සතියේ හදිසියේ අභාවප්‍රාප්ත විය. ඉන්දික පසුගිය කාලයේම ඒකාබද්ධ විපක්ෂයේ වැඩකටයුතු වෙනුවෙන් දිස්ත්‍රික්කයේ ලොකු වගකීමක් කරට ගෙන වැඩ කළ මන්ත්‍රිවරයකු මෙන්ම දැඩි මහින්දවාදියෙකි.

ඉන්දිකගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහින්ද ගියේ චමල්ද සමඟිනි. මහින්ද එහි යනවිට දකුණු පළාත් අමාත්‍ය යූ.ඩී.පී. ආරියතිලක සහ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්තිද පැමිණ සිටියහ.

"කොහොමද ආරි? මොකද වෙන්නේ? මහින්ද ඇසුවේ ආරියතිලකගෙනි.
"ඉන්නවා සර්. වෙන දේ නම් දන්නේ සර්ලම තමයි" ආරියතිලක පැවැසීය.

"බලන්නකෝ නිහාල් මම ආරිගෙන් ඇහුවා මොකද වෙන්නේ කියලා. එයා කියනවා වෙන දේ දන්නේ අපිලු. මෙයාලා ආණ්ඩුවේ අය හැටියට වෙන දේවල් දැනගෙන ඉන්න එපැයි. මට පේන විදියට ආණ්ඩුවේ අයත් දැන් වෙන දේවල් දන්නේ නැහැ වගෙයි" මහින්ද සිනාසෙමින් නිහාල් සමඟ පැවැසීය.

රටේ මැති ඇමැතිවරුන්ට මඟහැරුණු කථානායක සමුළුව

දකුණු ආසියානු කථානායක සමුළුව පසුගිය සතියේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීම මෙරටට වැදගත් රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිඵල රැසක් උදාකර දුන් අවස්ථාවක් විය.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රධානතම වගකීම උසුලනු ලද්දේ ලෝක අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සහ ලෝක කථානායකවරුන්ගේ සමුළුවේ ජේ‍යෂ්ඨයකු වන කථානායක කරුටය. 2020 තිරසර සංවර්ධනය තේමා කර ගනිමින් පැවැත්වෙන සමුළුවේ සමාරම්භක උත්සවය ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති අතර කථානායකවරයාගේ උපදෙස් පරිදි විශේෂයෙන් ලක ලෑස්ති වූ පාර්ලිමේන්තු කලාපීය රටවල කථානායකවරුන් ප්‍රමුඛ රාජ්‍යතාන්ත්‍රිකයන් වෙත විචිත්‍රවත් ගෞරවනීය පිළිගැනීමක් ලබාදෙනු දක්නට විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලෝක අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති සහ කීර්තිමත් මෙක්සිකානු සෙනෙට් සභිකවරියක වන ගේ්‍රබියෙලා බැරන් කථානායක කරු ජයසූරිය යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැති සමාරම්භක උළෙලට සහභාගි වූ නියෝජිතයන් අතර ඉන්දීය ලෝක් සභාවේ කථානායිකා සුමිත්‍රා, මහජන් ඇෆ්ගනිස්තාන පාර්ලිමේන්තුවේ කථානායක රවුෆ් ඉබ්‍රහිම්, භූතාන ජාතික කොංග්‍රස් සභාවේ කථානායක ටාෂි ඩොර්ගී, මාලදිවයින් කථානායක අබ්දුල්ලා ටශීෂ් මොහොමඩ් යන අය ප්‍රධාන වූහ. එමෙන්ම විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාද එක්ව සිටියේය.

සමාරම්භක සැසියෙන් අනතුරුව කොළඹ හිල්ටන් හෝටලයේදී දෙදිනක් පුරා පැවැති සමුළුව කලාපීය වශයෙන් බලපාන වැදගත් ප්‍රස්තුතයන් ගණනාවක් පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කළ අතර සමුළුව ඇමැතූ කථානායක කරු ස්වකීය දේශනයේදී තිරසර සංවර්ධනයක් අත්පත් කර ගැනීමේදී ආර්ථික, සමාජීය මෙන්ම ආදායම් විෂමතාව අඩු කිරීමේ වැදගත්කමද විරැකියාව අවම කිරීම සහ පරිසර හිතකාමී හරිත ආර්ථිකයක කාලීන අවශ්‍යතාවද අවධාරණය කළේය.

මෙම සමුළුව සඳහා මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සහභාගි වී ඇත්තේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේ කිහිප දෙනකු පමණි. අනතුරුව පාර්ලිමේන්තුවේ පැවැති උත්සවය සඳහා පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වැඩි පිරිසක් සහභාගි කර වීමට කථානායක කාර්යාලයට සිදු වීමද විශේෂත්වයකි.

නන්ද කුමාර් නගර්

මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායිහි "නන්ද කුමාර් නගර්" උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට දිස්ත්‍රික්කයේ සියලු තරාතිරම්වල රජයේ උසස් නිලධාරීන් සහභාගි වී සිටීම විශේෂ සිද්ධියක් විය. ප්‍රදේශවාසීන් අතර ඉතා ජනප්‍රිය රජයේ නිලධාරියකුව සිට වසර 2008 ජුනි 29දා අනපේක්ෂිත මෝටාර් ප්‍රහාරයකින් මියගිය තුනුක්කායි හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා වූ නන්දකුමාර් මහතා සිහිකිරීම පිණිස මෙම ගම්මානය "නන්දකුමාර් නගර්" ලෙස නම් කර තිබිණි. මෙම ගම්මානයේ නිවාසලාභීන් තේරීමේදී එවකට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කර පුනරුත්ථාපනය වූ පුද්ගලයන්ටද අවස්ථාව හිමිවිය. ගම්මානය ඉදිකිරීමේ කටයුතුවලදී ඉහළ පෙළේ දායකත්වයක් ලබාදී තිබුණේද හිටපු එල්ටීටීඊ ක්‍රියාකාරීන් කීපදෙනකු විසිනි. නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන නියෝජ්‍ය ඇමැති කේ. කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශාන්ති ශ්‍රී ස්කන්දරාජා සහ උතුරු පළාත් සභාවේ උප සභාපති කේ. වී. කමලේෂ්වරන් මෙම අවස්ථාවට පැමිණ සජිත්ට උණුසුම් සුබපැතුම් පළ කරමින් යෙදුණු පිළිසඳරේදී අනාවරණය වූයේ ප්‍රදේශයේ තවත් දැවෙන ප්‍රශ්න රාශියක් ඇති බවයි. සජිත් කීවේ "මගේ තාත්තා ජීවිතය පරිත්‍යාග කරපු අනුවේදනීය සිද්ධිය නිසා ඇතිවුණු කම්පාව, ආවේගය මම මේ රටේ දුප්පත් අහිංසක ජනතාවගේ ජීවිත උසස් මට්ටමකට පත් කරන්න යොමු කරනවා" කියාය. අනතුරුව මුලතිව් දිසාපතිවරිය හා ප්‍රාදේශීය ලේකම්වරයා අමතා සජිත් කීවේ "මීට වඩා වැඩි වැඩක් කරන්න මම ලෑස්තියි. මේ ප්‍රදේශයට තවත් අලුත් ගෙවල් 2,500ක් ලබා දෙන්නම්.

ඔයගොල්ලෝ මට ඉක්මනට ඉඩම් ටික නිදහස් කර දෙන්න" කියාය.

කැම්පස් එකේ යාළුවන්වත් නොදන්න මන්ත්‍රි කවුද?

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී. චානක මේ දිනවල දිවා රෑ නොබලමින් පාඩම් වැඩකටයුතුවල නිරත වෙයි. එම නිසා තරමක් දේශපාලන රැස්වීම්ද මඟ හරිමින් සිටී. ශාස්ත්‍රපති විභාගය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශනාවලට යන චානක මන්ත්‍රි භූමිකාව අතහැර දමා එහි ඉගෙනීම් කටයුතුවල නිරත වේ.

දේශනවලට සහභාගි වුවද චානක මන්ත්‍රිවරයකු ලෙස හඳුනාගෙන සිටින්නේ ඔහු ළඟින්ම ඇසුරු කරන යහළුවන් කිහිප දෙනකු පමණි. මන්ත්‍රිවරයා ඉතා සැහැල්ලුවෙන් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම් කටයුතුවල නිරතවන අතර දිවා ආහාරයද එහි ආපනශාලාවෙන් ඇනවුම් කර සිය සගයන් සමඟ වට මේසයේ හිඳගෙන ආහාර ගැනීමද විශේෂත්වයකි.

මහ ඇමැති ෂාන් පොහොට්ටු මල්ලිලාට දුන් අභියෝගය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට සමගාමීව ආසන බලමණ්ඩල ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීම පසුගිය සතියේ සිදුවිය. අම්බලන්ගොඩ ආසනයේ බලමණ්ඩල ප්‍රතිසංවිධාන කටයුතු සිදුවුණේ අම්බලන්ගොඩ පොල්වත්තේදීය. ආසන සංවිධායක ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ආරාධනයෙන් මේ සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, පියසේන ගමගේ, නිශාන්ත මුතුහෙට්ටිගම, යූ.ජී.ඩී. ආරියතිලක ඇතුළු ආසන සංවිධායකවරුන්, සම සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන්, පළාත් පාලන මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් මේ සඳහා පැමිණ සිටියහ.

පළමුවෙන්ම මහ ඇමැති ෂාන් පැමිණ සිටි පිරිස පිළිගත් අතර, පිළිගැනීමේ කතාවෙන් පසු වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සිහිපත් කිරීමටද ඔහු අමතක කළේ නැත. අද සියලුම පක්ෂ තුළ අර්බුද ගැටලු ඇති බවත්, ශ්‍රීලනි පක්ෂයට මෙය අලුත් දෙයක් නොවන බවත් ඉතිහාසය දෙස බැලීමේදී අවස්ථා ගණනාවකදී මෙවන් තත්ත්වයන් ඇති වී ඇති බවත් මහ ඇමැති ෂාන් පෙන්වා දුන්නේය.

පසුගියදා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් ජයගත් කොටසක් බොහෝ උද්දාමයට පත්වෙලා.

ඉදිරියේදී එන ජනාධිපතිවරණයට හැර අනෙකුත් සියලුම ප්‍රධාන මැතිවරණ සඳහා අම්බලන්ගොඩ ආසනයෙන් තරග වදින්නේ මම. පුළුවන් නම් පොහොට්ටු මල්ලිලාට මා සමඟ තරගයට පැමිණ ජය ගන්නා ලෙස විවෘත අභියෝගයක් කරනවා. මහ ඇමැති ෂාන් කීවේය.

අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සභාව ඇමැතූ අතර ඔහු පවසා සිටියේ ශ්‍රීලනිපයේ සහාය නොමැතිව ඉදිරියේදී කිසිදු පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි බවය. වැඩිදුරටත් අදහස් දක්වමින් මුතුහෙට්ටිගම මහතා පවසා සිටියේ ඉදිරි දකුණු පළාත් සභා මැතිවරණයේදී නියත වශයෙන්ම මහඇමැතිවරයා ලෙස ෂාන් විජයලාල් ද සිල්වා මහතා පත් කරන බවය.

එසේ ප්‍රකාශ කොට හෙමිහිට පසුපස සිටි ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් දෙස බලා මුතුහෙට්ටිගම කීවේ "මහමැතිවරණයට ෂාන් මහත්තයා ඉදිරිපත් වුණොත් අපිට තියෙන තරගය තවත් වැඩිවෙනවා" යැයි කීවේ සිනාසෙමිනි.

පොලිස්පති ජාතික ඇඳුමින් නාගදීපයට

ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර සහ පොලිස්පති පූජිත් ජයසුන්දර සිකුරාදා උතුරේ සංචාරයක නිතර වූහ. අපරාධ, මත්ද්‍රව්‍ය පිළිබඳව ලැබී ඇති පැමිණිලි පිළිබඳව මෙහිදී ආරක්‍ෂක අංශ නිලධාරීන් කැඳවා තොරතුරු සොයා බැලීමට මොවුන් කටයුතු කර තිබේ. එම සංචාරය අතරතුර ඇමැති රංජිත්, නියෝජ්‍ය ඇමැති නලින් සහ පොලිස්පතිවරයා නාගදීප විහාරය වැඳපුදා ගත්හ. එකම රියක නැඟී මොවුන් තිදෙනා නාගදීපයට ගිය අතර තවත් විශේෂයක් තිබිණි. ඒ ඇමැතිවරුන් දෙදෙනාට අමතරව පොලිස්පතිවරයාද දේශපාලනඥයකු මෙන් ජාතික ඇඳුමෙන් විහාරස්ථානයට යෑමය. ''පොලිස්පතිතුමත් ඇමැති කෙනෙක් වගේ'' බොහෝ දෙනෙක් කසුකුසු ගාන්නට වූහ. ඇමැති රංජිත්, නලින් බණ්ඩාර සහ පොලිස්පතිවරයා එකම රියක නැඟී යන අයුරු සෙල්ෆි ගැසීමටද ඔවුන් අමතක කළේ නැත.

රාජ්‍ය ඇමැති තනතුරක් ඉල්ලා ජනපති ඉදිරියේ නිතර නිතර මැසිවිලි කළ නියෝජ්‍ය ඇමැති කවුද?

නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති මෛත්‍රි ඉදිරියේ දිවුරුම් දුන්නේය. එක් ඇමැතිවරයකු වයඹ පළාත නියෝජනය කරන අතර අනෙක් ඇමැතිවරයා මධ්‍යම පළාත නියෝජනය කරන ඇමැතිවරයෙකි. වයඹ පළාත නියෝජනය කළ රාජ්‍ය ඇමැතිවරයා මීට පෙර නියෝජ්‍ය ඇමැති තනතුරක සිටි අතර ඔහුට රාජ්‍ය ඇමැති තනතුරක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා හමුවී නිතර නිතර මැසිවිලි කළ බවද වාර්තා වේ.

ජාතික කතිකාව ජවිපෙ ගමට ගෙන යයි

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය අඟහරුවාදා බත්තරමුල්ල පැලවත්ත පිහිටි ප්‍රධාන කාර්යාලයේදී රැස්වූහ. මෙහිදී වත්මන් දේශපාලන කරුණු කාරණා ගැනද දේශපාලන මණ්ඩලයේ දැඩි අවධානය යොමු විය. ''අද අපේ රටට හැම අතින්ම පිරිහිලා. ආර්ථික අර්බුදය පමණක් නොවෙයි සමාජ අර්බුදය දේශපාලන අර්බුදය දිනෙන් දිනම බරපතළ තත්ත්වයකට පත්වෙනවා. ආණ්ඩුවට කිසිම දෙයක් ගැන අවබෝධයක් නැහැ. යන්නේ කොහෙද කියලා ආණ්ඩුවේ ඇමැතිවරු තියා ජනාධිපති අගමැතිවත් දන්නේ නැහැ. එදා වේල මොකක් හරි කරගෙන ඉන්නවා'' විජිත හේරත් කියා සිටියේය. ''රටේ ණය අර්බුදය වගේම ජනතාව විදියට විවිධ ණය උගුල්වල පැටලිලා. ජීවන වියදම දිනෙන් දින ඉහළ යනවා. දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කර ගන්න තමන්ගේ ලෙඩට දුකට බේතක් ගන්න ජනතාවට හැකියාවක් නැහැ. ඒ මදිවට මාර්ග අනතුරු, කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, ඝාතන, පාතාල ක්‍රියාකාරකම් ගහන රටක් බවට පත්වෙලා. මේ කිසිවකට ආණ්ඩුවට උත්තර නැහැ. මේ විදියට රටකට ඉස්සරහට යන්න පුළුවන්කමක් නැහැ. පුදුම ඛේදවාචකයක රට තියෙන්නේ'' අනුර දිසානායක කියා සිටියේය. ''දැන් මේ ආණ්ඩුවලින් ජනතාවට දිනාගන්න දෙයක් ඉතිරි වෙලා නැති තරම්. මහින්ද, රනිල්, මෛත්‍රි මේ කවුරු රට පාලනය කළත් අර්බුදයට උත්තර ලැබෙන්නේ නැහැ. සමහරු හිට්ලර් ඉල්ලනවා. තවත් සමහරු ප්‍රභාකරන් ඉල්ලනවා. මේ කවුරු ආවත් යන්නේ පරණ පාරේම තමයි. ඒ නිසා ජනතාවට රෝග නිධානය හොයා ගන්නම වෙනවා. ජනතාවට ඒක තනියෙන් කරන්න බැහැ. අපි මේකට අලුත් පියවරක් තියන්න ඕනෑ. ඒකට හොඳම පියවරක් තමයි 14 වැනිදා ජාතික කතිකාව'' බිමල් රත්නායක කීවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon