ලෝක පාපන්දුවෙන් ඉගැන්වූ පාඩම්

  👤  3474 readers have read this article !
2018-07-17

රුසියාවේ මොස්කව් නුවර පැවැති පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගය ප්‍රංශය ජයග්‍රහණය අත්කර ගැනීමෙන් නිමාවට පත්විය. පාපන්දු ලෝක ශූරතාව මුළු ලෝකයේම අවධානය දිනාගත් මහා ක්‍රීඩා සැණකෙළියක් විය. මෙවර 21 වැනි පාපන්දු ලෝක ශූරතා තරගාවලියේ සත්කාරක රාජ්‍ය වූයේ රුසියාවය. ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ මඟපෙන්වීම යටතේ ලෝක පාපන්දු ශූරතා තරගාවලිය සංවිධානය කළ විශිෂ්ටත්වය රුසියාව ලොව මහ බලවතුන් අතර ඉදිරියෙන්ම සිටින බව නැවතත් සනාථ කළේය. නරඹන්නන් 81000කට පහසුකම් සැපයූ මොස්කව් 'ලුස්නි' පාපන්දු ක්‍රීඩාංගණය හැරුණු විට පීටර්ස්බර්ග් ඇතුළු තවත් නගර 11ක් ආශ්‍රිතව ක්‍රීඩාංගණ 12කදී තරගාවලියට කණ්ඩායම් 32ක් තරග වැදිණි.


සත්කාරකත්වය සැපයීම අතින් ඉහළම තැනක සිටි රුසියාව ක්‍රීඩා කණ්ඩායම් සඳහා උපරිම ආරක්‍ෂාව සහතිකකොට තිබිණි. මෙවර තරගාවලියට සහභාගි වූ ආර්ජන්ටිනා සහ මෙක්සිකෝව ආදී රටවල් කිහිපයක ක්‍රීඩකයන්ට සිරියාවේ ධ්ඉධ්ඉ ගරිල්ලන්ගේ තර්ජන එල්ල වී තිබුණේ ඔවුන් තරගයට සහභාගි නොවිය යුතු බවට අනතුරු ඇඟවීමෙනි. එහෙත් රුසියාව සුපිරි ආරක්‍ෂාවක් ලබා දෙමින් එම තර්ජනයන්ට පිළිතුරු දුන්නේය. ක්‍රීඩාංගණ, පුහුණු ක්‍රීඩාංගණ හා ක්‍රීඩකයන් නවාතැන් ගත් හෝටල් සංකීර්ණයන්ට පවා අවම වශයෙන් ඩේ‍රා්න යානා හෝ ළඟා විය නොහැකි වන පරිදි තාක්‍ෂණය භාවිත කර තිබූ නිසාම එවැනි තර්ජනවලට ඉඩක් නොලැබිණි.


පාපන්දු ලෝක කුසලාන තරගාවලිය හැඳින්විය හැක්කේ ජාතීන් අතර සහජීවනය හා සහෝදරත්වය උපරිමයෙන් කුළුගැන්වුණු අවස්ථාවක් ලෙසය. සමස්ත ක්‍රීඩා සැණකෙළිය පුරාම අප දුටුවේ කළු - සුදු විවිධ ජාතීන් අත් බැඳගත් දේශ සීමා ඉක්ම වූ මානව බැඳීමයි. හොඳම උදාහරණය වූයේ ජයග්‍රාහී ප්‍රංශ කණ්ඩායමේ අප්‍රිකානු සම්භවය සහිත ක්‍රීඩකයන් හා සුදු ජාතීන් එකාවන්ව තරග වදිමින් ක්‍රීඩාවෙන් කියා දෙන පාඩම් ප්‍රායෝගිකව එළි දැක්වීමය.


ලෝක පාපන්දු තරගාවලියේ 'ගිනි සිළුව' බවට කේ‍රාඒෂියාවේ කොලින්ඩා ග්‍රැබර් ජනාධිපතිනිය නිතැතින්ම පත් වූවාය. රූමතියක වූ ඇය ලොව පුරා නරඹන්නන්ගේ ආදරය දිනා ගත්තේ සරල චාම් හැසිරීම තුළිනි. ඇය ලොව පුරා පාපන්දු රසිකයන්ගේ ආදරය කේ‍රාඒෂියා කණ්ඩායම කරා ඇදගත් චුම්බකයක් වූවාය. රටක නායකත්වයට පත්විය යුත්තේ මෙවැනි ආදර්ශවත්, පෞරුෂයන් යැයි කොලින්ඩා පෙන්වා දුන්නාය. අවසන් පූර්ව වටයේ තරගයට කේ‍රාඒෂියා කණ්ඩායමට දිරිය දෙන්නට කොලින්ඩා රුසියාවට ආවේ ගුවන් යානයේ සාමාන්‍ය පන්තියේ අසුනක් වෙන්කරවා ගෙනය. ඇය පොදුවේ නරඹන්නන් අතර සිට කණ්ඩායම දිරි ගැන්වූවාය. ජයග්‍රහණයෙන් ඉනික්බිති ඕ තොමෝ ක්‍රීඩාගාරයට පිවිස දහදියෙන් තෙත් වී සිටි සෑම ක්‍රීඩකයකුම උණුසුම් ලෙස තුරුලු කර ගනිමින් සුබ පැතුවා පමණක් නොව ඇය ඔවුන්ට මවක මෙන් වූවාය. ප්‍රංශය සමඟ අවසන් තීරණාත්මක ගැටුම සතුටින් නිමා වූයේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් සහ ජනාධිපතිනි කොලින්ඩා ජය පරාජය විඳගත් හෘදයාංගම ස්වරූපය පෙන්වූ ආදර්ශය නිසාය.


ක්‍රීඩකයන් උදෙසා පහසුකම් සැලස්වීමෙන් තොරව පීඩාකාරී පසුබිමක තරග බිමට පිවිසෙන ක්‍රීඩකයන්ට ප්‍රභූ පන්තියේ ආසනවල සිට අත්පුඩි තළන මෙරට දේශපාලන නායකයන්ට කොලින්ඩාගෙන් හා මැක්රොන්ගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ ඇති බව මතක් කළ යුතුය. මුල් තරග වටවලදී ජපන් ක්‍රීඩාලෝලීන් ඇතුළු බොහෝ කණ්ඩායම් තරගයෙන් පසුව ක්‍රීඩාගාර පවිත්‍ර කිරීමෙන් අනතුරුව පිටියෙන් බැහැරව ගිය අන්දම ලොව පුරා ක්‍රීඩකයන්ට මහත් ආදර්ශයක් විය. පාපන්දු තරගාවලියේ ක්‍රීඩා කණ්ඩායම් උණුසුම් සහෝදරත්වයෙන් ජය පරාජය විඳගත් ගෞරවනීය විලාසය ක්‍රීඩා ලෝකයටම මහඟු ආදර්ශයක් වූ අයුරු දක්නට හැකි වූයේ පිළිවෙළින් සතුට බෙදා ගත් අන්දම සෑම තරගයකින්ම වාර්තා වූ නිසාය. පරාජිත ක්‍රීඩකයන් පෙරළා මවුරටට පැමිණෙන විට ඔවුන්ගේ නිවාසවලට ගල්ගහන, වීදුරු බිඳින ආසියාවේ ඇතැම් රටවලට ලෝක පාපන්දු තරගාවලිය පාඩම් රැසක් තිළිණ කර දී තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon