එල්ලලා මරනවද මරලා එල්ලනවද ?

  👤  3856 readers have read this article !
2018-07-19

මේඝනාද

ජනපති මෛත්‍රිපාල සිරිසේන

2015 සැප්තැම්බර් 18 වැනිදා ගාල්ලේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ දී...

"පසුගිය සතියේ මිනුවන්ගොඩ කොටදෙණියාව ප්‍රදේශයේ අවුරුදු හතරහමාරක දැරිය දූෂණයට ලක් කරලා, දැරිය මරා දැමීම පිළිබඳ ඇති වූ පසුබිමත් එක්ක ජනමතයක් ඇති වුණා. අදහස් ඉදිරිපත් වුණා මරණීය දණ්ඩනය නියම කරන්නයි කියලා. මේ අපරාධ කරපු අයට ඊට පෙරත් මෙවැනි සිදුවීම්වලින් ජනතාවගෙන් අදහස් ඉදිරිපත් වුණා මරණීය දණ්ඩනය නියම කරන්නයි කියලා.මම දැක්කා ඒ දරුවගේ අවසන් කටයුතුවලμ ජනතාව ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමනි මරණීය දණ්ඩනය නියම කරන්න කියලා. බොහෝ වෙලාවට මරණීය දණ්ඩනය නියම කිරීමේ ප්‍රශ්නයේμ මානව හිමිකම් පිළිබඳ කතා කරන අන්තර්ජාතික සංවිධාන මේවාට හරස් වෙනවා. නමුත් ඇමෙරිකාව, චීනය වගේ රටවල පැහැදිලිවම අදත් මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මරණ දඬුවම μම පිළිබඳ මගේ අකැමැත්තක් නැහැ. නමුත් මට ඒ සඳහා බලය තිබුණත් විශේෂයෙන්ම ශේ‍ර්ෂ්ඨාධිකරණයේ තීන්දුවකින් වැරැදි කරන පුද්ගලයකුට මරණ දණ්ඩනය නියම වූ විට ඉන් පසුව ජනාධිපතිවරයාගේ අස්සනින් තමයි මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මම බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කිහිපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒකට යෝජනාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවේ කැමැත්ත විමසීමට මම බලාපොරොත්තු වෙනවා මරණ දණ්ඩනය නියම කිරීම සම්බන්ධයෙන්. පාර්ලිමේන්තුවෙන් එකඟත්වයක් ඇති වුවහොත් මම බලාපොරොත්තු වෙනවා ලබන වසරේ සිට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්න.

අපි වැනි රටක් නෙවෙයි ලෝකයේ ඉහළම සංවර්ධනය තියෙන රටවල් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනවා. විදුලි පුටුව, ඒ වගේම එන්නත් කිරීම්, එල්ලුම් ගස, වෙඩි තබා මරා දැමීම. මේවා ක්‍රියාත්මක කරනවා. සමාජය තුළ යහපත් බව ඇති කරන්නට පූජ්‍ය පක්ෂය ප්‍රමුඛව යහපත් සමාජ සේවකයන් ඒ සියල්ල ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන විට අපි දන්නවා නීති විරෝධී කටයුතු සඳහා පුළුල් බලවේග ක්‍රියාත්මක වෙනවා. ඒ සියල්ලේම ඉලක්කය වන්නේ මුදල් කියන එකයි බොහෝ විට පැවැසෙන්නේ. හැබැයි මුදල්වලින් බාහිරව මෙවැනි මහා ව්‍යසනයන් සඳහා බරපතළ ලෙස මත්ද්‍රව්‍ය බලපානවා කියන එක ඔබ අප කවුරුත් පිළිගත යුතු වෙනවා. බොහෝ මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර මේ සිද්ධීන් ගත්තහම මත්පෙති, මත්කුඩු, මද්‍යසාර, දුම්වැටි මෙවැනි දේවලින් මත් වූ පුද්ගලයන් ප්‍රධාන වශයෙන් මේවා සඳහා යොමු වී ඇති බව පැහැදිලිව පරීක්ෂණවලින් පෙනී යනවා."

ජනපති මෛත්‍රිපාල සිරිසේන
2018 ජූලි 11 වැනිදා මහනුවර
පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ දී...

"පහුුගිය කාල සීමාව තුළ ඇති අත්දැකීම් සමඟ අප දන්නවා මෙරට මත්ද්‍රව්‍ය, මත්පෙති, හෙරොයින් ආදිය ජාවාරම් කර නීතියට හසුව බොහෝ දෙනකු සිර දඬුවම් විඳිනවා. ඒ සිර දඬුවම් විඳමින් ඉන්න සෑහෙන දෙනකු මත්ද්‍රව්‍ය නිසා මරණීය දණ්ඩනය නියම වූ අයයි. කොකේන්, හෂීස්, මර්ජුවානා, හෙරොයින් නිසා මරණීය දණ්ඩනය නියම වූවන් සිරගෙදර සිටිනවා. ඒ මරණීය දණ්ඩනය නියම වූවන් සිරගෙදර සිට රටේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම මෙහෙයවනවා. ඒ නිසා මම ඊයේ ඇමැති මණ්ඩලයට යෝජනා කළා බෞද්ධයෙක් ලෙස බොහෝ වාද විවාද තියෙන්න පුළුවන් කියලා. නමුත් ඒ මරණීය දණ්ඩනය නියම වූ අයට මරණීය දණ්ඩනය දීම සඳහා අස්සන් කළ යුත්තේ ජනාධිපතිවරයායි. නමුත් මම හිතනවා මම පවක් කරගන්නේ නැහැයි කියලා. මුළු සමාජයටම හෙට උපදින දරුවන් වෙනුවෙන් මම ඒ තීරණය ගන්නවා. ඊයේ සවස වන විට අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා මත්ද්‍රව්‍ය නිසා මරණීය දණ්ඩනය නියම වී තිබියදී පුළුල් ලෙස මහා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන අය පිළිබඳ විස්තරයක්. ඒ නිසා එලෙස මරණීය දණ්ඩනය නියම වූවන්ට මරණීය දණ්ඩනය දීමට මම මගේ අස්සන යොදනවා. එහෙම නැතිව හදන්න බැරි බව අපට පේනවා. දඬුවම් මදි බව පේනවා. අපේ හාමුදුරුවරු, පූජකතුමන්ලා උදේ සවස බණ කියනවා. ධර්ම දේශනා කරනවා, අනුශාසනා කරනවා. මේ තරම් බණ කියන රටක් ලෝකයේ නැහැ. නමුත් නරකක් වනවා නම් ඒවට අවශ්‍ය තීන්දු තීරණ ගත යුතු වෙනවා."

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අකැමැති අය ඊට විරුද්ධ වී පලක් නැත. මරණ දඬුවමට කැමැති අය ඊට උඩ ගෙඩි දී ද පලක් නැත. හේතුව, මේවා කතා විතරක් වන නිසා ය.

ජනාධිපතිතුමා 2015ත් මරණ දඬුවම පනවනවා කිව්වේ ය. 2018 වෙනකන්ම එය කතාවක් විතරය. දැන් 2018දීත් ඒකම කියන්නේ ය. ඒකත් කතාවක් විතරක් වේද නැද්ද කියා කියන්නට දැන්ම කල් වැඩි ය. 2020දී නම් ඒ ගැන හරියටම කියන්නට පුළුවන් බව නොඅනුමාන ය. ජනාධිපතිතුමා කාලෙන් කාලෙට මෙවැනි උද්වේගකර කතාවක් ඇදලා අරින්නේ ය. වරක් මඩු වලිගයෙන් තළන්න ඕනෑ කිව්වේ ය. තවත් විටෙක කඩුවෙන් කපන්න ඕනෑ කිව්වේ ය. මේවා ඔක්කෝම කතා විතරක්ම වුණේ ය. මෙහෙම ගියොත් 2020 වන විට නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ කියා රට්ටු කියන්නට බැරි නැත.

මෙරට මරණ දඩුවම අවසන් වරට ක්‍රියාත්මක වූයේ 1978දී ය. එතැනින් පසු පත්වූ කිසිම ජනාධිපතිවරයෙක් මරණ දඬුවමට අස්සන් තැබුවේ නැත. ඒත්, ප්‍රේමදාස ආණ්ඩුව කාලෙත්, චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලෙත්, මහින්දගේ ආණ්ඩුව කාලෙත් මේ ගැන කතා නොවුණා නොවේ ය. කිසිම ජනාධිපතිවරයෙක් මරණ දඬුවමට අස්සන් කළේ නැත. ප්‍රශ්නය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ හෝ නොකිරීමේ නොව, කියන දේ ය. කී දේ කිරීම සහ කළ නොහැකි දේ නොකීම යන දෙකම හොඳ නායකයකුගේ ලක්ෂණය. මෛත්‍රිත් මෙය නොදන්නවා නොවනු ඇත.

මේ මොහොතේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නට ගියොත් මහින්දට ආපු පීඩනයටම මෛත්‍රිටත් මුහුණ දීමට සිදුවෙනවා නොඅනුමානය. "මොකක්ද ඒ මහින්දට ආපු පීඩනය?" කැබිතිගොල්ලෑව අමානුෂික බෝම්බ ප්‍රහාරයෙන් පසු මහින්ද ජනතාවට ප්‍රතිඥාවක් දුන්නේ ය. ත්‍රස්තවාදය සහමුලින්ම උදුරා දමන බව ඔහු එදා කිව්වේ ය. මහින්ද කී දේ කළේ ය. තිස් වසරක යුද්ධය තුන් වසරකින් අවසන් කරන්නට මහින්දට පුළුවන් වුණේය. හැබැයි ඒක ලේසි වුණේ නැත. ලෝක බලවතුන්ගෙන් ආවේ එසේ මෙසේ බලපෑමක් නොවේ ය. ඔවුන් මහින්දව සොයාගෙන ඇවිත්, යුද්ධය නතර කරන ලෙස බල කළේ ය. එන්ජීඕ නඩ ආණ්ඩුවට මඩ ගැහුවේ ය. ලංකාව සමූල ඝාතනයක යෙදෙන බවට චෝදනා නැඟුවේ ය.

ඒ පීඩනයෙන් මහින්ද සැලුණේ නැත. වැඩේ දිගටම කරගෙන ගියේ ය. වැඩේ ඉවර කළේ ය. මෛත්‍රිටත් දැන් සිටම මරණ දඬුවමට අස්සන් කිරීමට එරෙහිව ලෝක බලවතුන්ගෙන් සහ එන්ජීඕ නඩවලින් දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් පවතින්නේ ය. රටේ ජනතාවගෙන් බහුතරයකගේ කැමැත්ත මෛත්‍රිගේ කැමැත්තම ය. ඒත් ලෝකයාගේ කැමැත්ත එය නොවේය. ලෝකයාගෙන් එන පීඩනයට මුහුණ දෙන්න මෛත්‍රිට පුළුවන් නම් ඔහු මේ තීරණය ක්‍රියාත්මක කරනවා ඇත. නොඑසේ නම් මෙයත් හුදෙක් වචන තලුමැරීමක් විතරක් වෙනවාට සැක නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon