ජේ.ආර්.ගේ මොළෙයි ප්‍රේමදාසගේ වැඩයි

  👤  4426 readers have read this article !
2018-07-20

"නායකයකු වෙනවා නම් ඉවසන්නම ඕනෑ"ය යන්න ඇදහු නායකයෙකි ජේ.ආර්. ඔහු ඩී.එස්. සේනානායකයන්ගේ පළමු කැබිනට්ටුවේ සාමාජිකයෙකි. ඩී.එස්.ගෙන් පසු ඩඩ්ලි සමඟද ජේ.ආර්. සමඟද වැඩ කරමින් ඉවසුවේය. හිත් රිදුණා යැයි කියා වැඩේ අල්ලලා දාලා නීති වෘත්තියට ගියේද නැත. අල්ලාගෙන සිටියේය.

"එ.ජා.ප.ය ගසාගෙන විනාශ වේවි"යි කියා ඇතැමුන් පාරම්බාද්දී ජේ.ආර්. ඉවසුවේය. මේ ඉවසිල්ල කොතෙක් දැයි කියනවා නම් ඔහු රටේ නායකයා බවට පත් වෙද්දී වයස අවුරුදු 72කි. තරුණ වියේදීම නායකයකු වුණු අය කොතෙක් ලොවේ සිටියත් ජේ.ආර්.ගේ හැසිරීමත් දේශපාලන ජීවිතය ගොඩ නැඟීමත් යන කාරණා හදාරන්නට තරම් වටින්නේය. එය දැනෙන්නේ, හැඟෙන්නේ දැන්ය.

කවුරුවත් හිතන පැත්තම නොසිතා, ජනප්‍රිය මාවතේම ගිහින් කරන්නන් වාලේ යමක් කර පල්වෙන්න ගියේ නැත. ඔහු වෙනස් විදියේ සුවිශේෂ නායකයකු වන්නේ ඒ නිසා බැව් දැනෙන්නේ දැන්ය. ඊට හොඳම උදාහරණය නම් මේ වෙද්දී ඊනියා වාමාංශිකයන් පවා, ප්‍රගතිශීලීන් යැයි කියා ගත්තවුන් පවා, තමන් විශ්වාස කරන නායකයාට පාවඩ එළන්නට, රජ කරවන්නට ඕනෑ නිසාම ජේ.ආර්.ගේ විධායක ජනාධිපති ක්‍රමය ඇතුළත් ව්‍යවස්ථාව හොඳය කීමය.

එය ගිනි තියන්න, වෙනස් කරන්න කෑමොර දුන් ඇතැමුන් අද එහි වචනයක්වත් වෙනස් කරනවාට විරුද්ධය. ජේ.ආර්. නරක යැයි ප්‍රසිද්ධියේ කියා ගන්නට බැරි තරම් ඔවුහු දැන් අසරණය.

70 මැතිවරණයෙන් හතර ගාතෙන් ඇද වැටුණු එක්සත් ජාතික පක්‍ෂය යළි දෙපයින් නැඟිටුවන්නට මේ අසහාය නායකයා ඉටු කළ කාර්යයන් කිසිදාක අමතක නොකළ දෙවැනියෙක් විය. ඒ ප්‍රේමදාසය. ප්‍රේමදාසට ජේ.ආර්. සමඟ මත ගැටුම් තිබුණේය. එහෙත් ඒවා පක්‍ෂයේ ජයග්‍රහණයට බාධාවක් කර ගත්තේ නැත. නායකයා පසු පස යමින් ප්‍රේමදාස දිනන ගමනට ශක්තියක් වූයේය. ජේ.ආර්. ප්‍රේමදාස මුහුණට මුහුණ බලාගෙන කතා කර ගන්න බැරි තරමටම මත ගැටුම උග්‍රවන තැනට අරන් ගියේ නැත. ඒ නිසා නායකයාව නොතකා පක්‍ෂයට හානිවන අයුරින් හැසිරුණේද නැත.

ජේ.ආර්. ජනාධිපති වූ පසු පාර්ලිමේන්තුවෙන් සමුගෙන යද්දී ඔහුගේ සේවය අගයමින් කතා කළ ප්‍රේමදාස ජේ.ආර්.ට දුන් චරිත සහතිකයෙන් කොටසක් මෙසේය. මේවා දැන් ඉන්න අයටත් පේන්න දැක්විය යුතුය.

"මේ ගරු සභාවේ මන්ත්‍රිවරුන් හැටියට අපේ අගමැතිතුමා තබා තිබෙන පිය සටහන් දෙස අපට ආඩම්බරයෙන් බැලිය හැකිය. තැන්පත් විනීතභාවය, අනික් තැනැත්තාගේ අදහසට ඇති ගරුත්වය, තමා කතා කරන යමක් ඇත්නම් ඒ ගැන හොඳින් සොයා බලා දැන උගෙන විමසිල්ලෙන් යුතුව ඉදිරිපත් කිරීමේ ශක්තිය හා මොනම දේකින්වත් කලබල නොවන තැන්පත් බව එතුමාට ආවේණික වූ විශේෂ ගුණාංගයක් බව කියන්නට ඕනෑය. ගරු කථානායක තුමනි, අපට නම් බොහෝම අමාරු වැඩක් තමයි ඇතැම් අවස්ථාවල කෝප නොවී සිනහ මුහුණින් සිටීම. හැඟීම් උත්සන්න වන ඇතැම් අවස්ථාවලදී තමුන්නාන්සේටත් ඒ අමාරුවට මුහුණ පාන්න සිදුවන බව අපි දන්නවා. ඒ ඔක්කෝටමත් වැඩිය අමාරුයි තමන්ට චෝදනා ආ විට. ඇත්ත චෝදනා නඟනවා නම් කමක් නෑ. අමු අමුවේ නළියන බොරු චෝදනා ඉදිරිපත් කරන විට පවා ඒවා ඉදිරිපත් කරන තැනැත්තා දෙස වෛරයෙන් තොරව, කෝපයෙන් තොරව, සිනාමුසු මුහුණින් යුක්තව බලා සිටින්න පුළුවන් ශක්තිය පුදුමාකාර ලෙස ප්‍රදර්ශනය කළ මන්ත්‍රිවරයෙක් මේ සභා ඉතිහාසයේ සිටියා නම් ජූනියස් රිචඩ් ජයවර්ධන මන්ත්‍රිතුමා බව නිසැකවම කියන්න පුළුවන්."

ආර්. ප්‍රේමදාස
(1978-පෙබරවාරි 03දා පාර්ලිමේන්තුවේදී)

ප්‍රේමදාස ජේ.ආර්. ගැන එසේ කියද්දී ඔහුගෙන් පසු ඊළඟ ජනාධිපතිවරණයට ප්‍රේමදාසව නම් කරාවි යැයි හැඟීමක් කා අතරත් ඒ වන විටද තිබුණේ නැත. ගාමිණී හා ලලිත් දැවැන්තයන් සේ නැඟී සිටිද්දී ප්‍රේමදාසද එය හිතට ගෙන දුක්වී පසුබාමින් ඇද වැටුණේ නැත. ස්වකීය නායකයා පසු පසම යමින් තමන් සුදුස්සෙකු බව පසක් කරමින් කැප වී වැඩ කළේය. ජේ.ආර්. ද ප්‍රේමදාසගේ මේ ඉවසිල්ලත් වැඩ කරන හැටිත් එහි වේගයත් නිරීක්‍ෂණය කරමින් උන්නේය.

ප්‍රේමදාසටද ජේ.ආර්.ගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තිබුණේය. එය නායකත්ව ගුණය මෙන්ම එය මහ පොළොවෙහි ක්‍රියාත්මක කරද්දී අත්විඳිය යුතු යථාවාදී දැක්මද පිළිබඳව වූ ප්‍රායෝගික පාඩමකට සමානය.

එ.ජා.ප.ය දිනවන මහා සටනේ හොඳම කතාකාරයා ප්‍රේමදාසය. ප්‍රේමදාසගේ කතාවට පෙර කතා කළේ ජේ.ආර්.ය. ඒ කතා දෙකම අහන්න කවුරුත් කැමැතිය. ජේ.ආර්. කතා කළේ විනාඩි 10කි. එය ඔහුගේ ප්‍රායෝගික දැක්මට අනුවය. ප්‍රේමදාසට ඊට වඩා වැඩ තිබුණේය. නායකයා නෙළා දුන් කරුණු තෙම්පරාදු කර රහට දෙන්නට ප්‍රේමදාස හපනාය. ඒ නිසා ජේ.ආර්.ගේ උපහාසාත්මක කතාවත් ප්‍රේමදාසගේ ප්‍රහාරාත්මක රසවත් කතාවත් අහන්නේ නැතිව යන කෙනෙක් හිටියේ නැත.

1951 සැන්ප්‍රැන්සිස්කෝවල පැවැත්වුණු ජපන් සාම ගිවිසුම් සම්මේලනය ඇමැතූ ජේ.ආර්. පිළිබඳව ඇමෙරිකාවේ ටයිම්ස් සඟරාවේ මෙසේ සඳහන් වී තිබිණි.

"කේඩෑරි සිරුරක් ඇති හෙමින් කතා කරන දැළි පිහියක මුවහත් දිවක් ඇති ශ්‍රී ලංකාවේ නියෝජිතයා සම්මේලනය ඇමතූ දක්‍ෂ ආසියානු කථිකයා විය."

ජේ.ආර්. එදා ප්‍රේමදාසගේ කතා හදන්නටවත් ප්‍රේමදාසට කතා කරන හැටි කියන්නටවත් ගියේ නැත. හේතුව නම් ප්‍රේමදාසගේ කතා ශෛලියත් ප්‍රේමදාසගේ හඬත් පොදු ජනතාවට කොතෙක් දුරට ඕනෑ දැයි ජේ.ආර්. හඳුනාගෙන තිබුණු නිසාය. ඒ නිසාම ජේ.ආර්. තමන් ළඟට ආ ගාමිණීටත් ලලිත්ටත් නිතර කියූ දෙයක් තිබුණේය. එනම් "ලෝකෙම හොල්ලන්න විනාඩි දහයක් හොඳට කතා කරන්න පුරුදු වෙන්න. මම ඒ පුරුද්ද හඳුනාගෙන තියෙනවා" යන්නය.

එහෙත් ගාමිණීත් ලලිතුත් විනාඩි දහයකට වඩා කතා කළ අතර ප්‍රේමදාස ඊටත් වඩා රහට කතා කළේය. පොදු ජනතාවගේ හදවතටම කතා කළේය. කෙසේ වෙතත් ප්‍රේමදාස ජේ.ආර්. ජයවර්ධනයන් ගැන කියූ කතාවක් රනිල්ටත් සජිත්ටත් මේ මොහොතේ මතක් කර දීම වටින්නේය.

"පසුගිය ආණ්ඩු කාලයේ අප විරුද්ධ පාර්ශ්වයේ සිටින විට ආණ්ඩුවේ මන්ත්‍රිවරයෙක් පැය ගණනක් තනිකරම කතා කළේ එදා විරුද්ධ පක්‍ෂයේ නායක මේ අගමැතිතුමාට විරුද්ධවයි. පෞද්ගලිකත්වයේ අන්තිම කෙළවර සිට දේශපාලන ජීවිතයේ අනික් කෙළවර දක්වා තමන්ට නඟන්න පුළුවන් හැම බොරු චෝදනාවක්ම මේ ගරු සභාවේදී නැඟුවා. ඒ හැම කියමනක් දෙසම සිනාමුසු මුහුණින් යුතුව විරුද්ධ පක්‍ෂයේ නායකතුමා ඇහුම්කම් දී සිටින ආකාරය ගැන කවුරුත් පුදුමයට පත් වුණා. සභාවෙන් පිට වී භෝජනාගාරයට ගිය වෙලාවේදී අර කතාව කළ මන්ත්‍රිවරයා මට හමුවුණා "හරි කතාවක් නේද කළේ" කියලා මම ඇහුවා. "වැඩක් නෑනේ මම ගහපු එක පාරක්වත් එයාට වැදුණේ නැහැ." කනගාටුවට පත්ව තිබුණේ ගහපු කෙනයි. එක පාරක්වත් පිළිගත්තේ නෑ. පුදුම මනුෂ්‍යයෙක්. මෑත කාලයේදී මේ තරම් බැණුම් ඇසූ මේ තරම් විකට චිත්‍රවලට භාජනය වූ, මේ තරම් සැර පරුෂ වචනවලට ඉලක්ක, වුණු වෙනත් මන්ත්‍රිවරයෙක් මේ සභාවේ හිටියා කියලා මම හිතන්නේ නැහැ. එතුමා භාර ගත්තේ එතුමා භාරගන්න කැමැති දේ පමණයි. අපත් උත්සාහ කළ යුතුයි මේ අන්දමින් ක්‍රියා කරන්නට, ඒක බොහොම අමාරු පාඩමක්."

(ආර්. ප්‍රේමදාස
1978 පෙබරවාරි 03 පාර්ලිමේන්තුවේදී)

ජේ.ආර්. ගැන ප්‍රේමදාස එසේ කීවා පමණක් නොව තමන්ද නායකයකු හැටියට ඉවසීමේ ගුණය පුරුදු විය යුතු බව පිළිගත්තේය. ප්‍රේමදාස ඉවසුවේ නැති නම් ඔහුට අගමැතිකම ලැබෙන්නේද නැත. ජනාධිපතිකම කොහොමටත් ලැබෙන්නේ නැත.

එහෙත් ජේ.ආර්.ගේ ඉව තිබුණේ ප්‍රේමදාස කෙරෙහිමය. වයසින් හා පළපුරුද්දෙන්ද, ජනතාවගේ ආකර්ෂණයෙන්ද ලලිත්ට වඩා ගාමිණීට වඩා රටත්, ජනතාවත් පක්‍ෂයත් අමාරු අඩියකට වැටුණු මොහොතක ගොඩ ගත හැක්කේ ප්‍රේමදාසට බව ජේ.ආර්. සිතුවේය. විශ්වාස කළේය. එය හරියටම හරි ගියේය. භීෂණය පරදවා ප්‍රේමදාස කොහොම හරි දිනුවේය.
රනිල්ටත් සජිත්ටත් කියන්නට තිබෙන්නේද ජේ.ආර්. සහ ප්‍රේමදාස කියා දුන් අතීත පාඩම්ය. ආදර්ශයන්ය. රනිල් ගැන තියෙන වැටහීමට අනුව අපට නම් කියන්නට තිබෙන්නේ ඔහු ජේ.ආර්.ගේ ඉවසීමේ පාඩම උගත් හොඳම ගෝලයා බවය. රනිල්ද හොඳ හැටි අපහාස වින්ද, දරුණු අර්බුදවලට මුහුණ දුන්න, බැහැයි කියූ ජයග්‍රහණ කවුරු දමා හෝ අත්කර දුන්නු ඉවසිලිවන්ත වූ නායකයෙකි.

ජේ.ආර්. ළඟ ප්‍රේමදාස අකැමැති දේද තිබුණේය. රනිල් ළඟත් සජිත් අකමැති දේ තිබෙන්නට පුළුවන. එහෙත් ජේ.ආර්.-ප්‍රේමදාස මෙන් රනිල්ටත් සජිත්ටත් හිතන්නට කාලය ඇවිත් තිබේ. ඉවසුවේ නැති නම්, පක්‍ෂය බලවන්ත කළේ නැති නම් කොතරම් බාහිර වැඩ කළත් වැඩක් නැත. නායකයා වට්ටන්නේ නැතිව ඔහු වටහාගෙන බර කරට ගත යුතුය.
දිනන හැටි පෙන්විය යුතුය. දිනන මාවතට පිවිසිය යුතුය. නොඑසේ නම් මේ සියල්ල මේ වාරයෙන්ම ඉවර වෙනු ඇත. කාලය ඇත්තේ ස්වල්පයකි. එය රනිල් සජිත් වටහා ගත යුතුය.

සරලි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon