මේ සංස්කෘතික දෙපාර්තමේන්තුව වහලා දාන්න ඕනෑ!

  👤  2597 readers have read this article !
2018-07-22

පසුගියදා පැවැති රාජ්‍ය සංගීත සම්මාන උළෙල පිළිබඳව මේ වන විට බහුතර පිරිසක් අතර විවිධ ආකාරයේ කතාබහ, විචාර විවේචන සහ චෝදනා මතු වෙමින් පවතී. එය මෙයට පෙර වසරවල පැවැති රාජ්‍ය සංගීත සම්මාන උළෙලවලට වඩා බෙහෙවින්ම අසාර්ථක සහ අසංවිධානාත්මක උළෙලක් බවට පත්ව තිබුණු බවත්, මෙවර සම්මාන ක්‍රමවේදය කිසිදු පිළිගත් හැකි මට්ටමකින් තොර වූවක් බවත් බොහෝ අය පවසති. අදාළ සම්මාන උළෙලෙන් පසුව ගෙවී ගිය දින කිහිපය තුළ මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කෙරෙන අදහස් සංසරණය වන බවක්ද දැකගත හැකිවිය. වසර කිහිපයක් තිස්සේ රාජ්‍ය සංගීත සම්මාන උළෙල පිළිබඳව මැදහත් නිරීක්ෂණයක යෙදී සිටින සම්මානලාභී ගීත රචක රවි සිරිවර්ධන පළ කළ අදහස් පෙළගැස්මකි මේ.

මෙවර රාජ්‍ය සංගීත සම්මාන උළෙල ගැන බරපතළ විවේචනයක් මේ වන විට සමාජය තුළ පැතිර යමින් පවතිනවා. මෙය අතිශයින්ම අසාධාරණ සහ සංවිධානත්වයෙන් තොර සම්මාන උළෙලක්ය කියන එක මේ මොහොත වෙනකොට මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල කතාබහ වෙනවා. රාජ්‍ය සංගීත සම්මාන උළෙලේම දෙවරක් සම්මානයට පාත්‍ර වූ නිර්මාණකරුවෙක් හැටියට මටත් කලක ඉඳලා ඔය සම්බන්ධයෙන් විශාල විවේචන තිබුණා. මේ සංගීත සම්මාන උළෙල සඳහා රජය විශාල මුදලක් වෙන් කරනවා. හැබැයි ඒ මුදල නැති නාස්ති නොකර, කලාකරුවන්ගේ ගෞරවය රැකෙන විදියේ සම්මාන උළෙලක් තියාගන්න බැරිවීමේ ඛේදවාචකය අපි දිගින් දිගටම අත්වින්දා. ඒ වගේම, මෙවර තත්ත්වය ඉතාමත්ම නරක අතරට හැරී තිබුණු බවක් අපි දැක්කා. මම විශ්වාස කරන හැටියට දැනට මේ කටයුතු කෙරෙන්නේ ඉතාම අසාර්ථකම සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරියක් යටතේයි. කිසිම විධියකින් සංවිධාන ශක්තියක් නැති, මෙතෙක් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සිටි අසාර්ථකම සංස්කෘතික අධ්‍යක්ෂවරිය ඇය බව මම බය නැතුව කියනවා.

සම්මාන උළෙලක් කියන්නේ නිර්මාණකරුවන් කෙරෙහි ආදරය පතුරන දෙයක්නෙ. ඒ අය දුර්මුඛ කරවලා, කලකිරවලා, ඒ අය නැවත නිර්මාණ නොකරන තත්ත්වයට පත් කරන විදියේ මානසික ඇදවැටීම් කරන එක නොවෙයි සම්මාන උළෙලකින් කරන්න ඕන.

මෑත කාලයේදී සංස්කෘතික දෙපාර්තමේන්තුව මුල්කරගත් සියලු සම්මාන උළෙලවල දිගින් දිගටම මේ වගේ තත්ත්වයන් පැවතුණා. එක වරක් රාජ්‍ය නාට්‍ය උළෙලේ නාට්‍යකරුවෝ සම්මාන දෙන වෙලාවේම වේදිකාවට නැඟලා උද්ඝෝෂණය කළා. ඒ විදියට දිගින් දිගටම මේ සම්මාන උළෙලවල් නිර්මාණකරුවන්ගේ අප්‍රසාදයට පාත්‍ර වුණා.

මෙවර රාජ්‍ය සංගීත සම්මාන උළෙලට නිර්මාණකරුවෝ දිවුරුම් ප්‍රකාශයක් අරගෙන ඇවිල්ලා නිර්මාණ භාරදෙන්න ඕන කියලා මහ පුදුමාකාර කොන්දේසියකුත් දාලා තිබුණා. ඒ කියන්නේ දැන් ලංකාවේ ඉන්න ප්‍රකට, ප්‍රවීණ කලාකාරයො වෙන මොකුත් නොකර තමන්ගෙ නිර්මාණ අරගෙන ඇවිල්ලා අනේ මෙන්න මේකට සම්මානයක් දෙන්න පුළුවන්ද කියලා බලන්න කියලා දිවුරුම් ප්‍රකාශයකුත් අරන් එන්න ඕන කියලා බංකොලොත් මට්ටමට මේ සංවිධාන කටයුතු බිඳ වැටිලා. එහෙම වුණාම බොහෝ නිර්මාණකරුවො මේ සම්මාන උළෙලට ඉදිරිපත් වෙන්නෙත් නැහැ. සම්මාන උළෙලට ඉදිරිපත් වීම පවා දුෂ්කර කටයුත්තක් බවට පත් වුණාම බොහෝ අය එවැනි සම්මාන උළෙලකට ඉදිරිපත් වෙන්න උනන්දු වෙන්නෙ නැහැ.

ලංකාවේ කිසිම සංගීත නිර්මාණයක් අදාළ වසර තුළ ලේඛනගත වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ. ඒ වසර තුළ ගීතයක්, වෙනත් සංගීත නිර්මාණයක් හෝ සංගීත කෘතියක් ලංකාවේ කොතැනකවත් ලියාපදිංචි වන හෝ ලේඛනගත වන ක්‍රමයක් දැනට ලංකාවේ නැහැ. එවැනි ක්‍රමයක් හදන්න ඕන සංස්කෘතික අමාත්‍යාංශයෙන්, රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ඒ සඳහා අවශ්‍ය වන කෘතීන් ටික ගන්නේ ලංකාවේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන්. ඒ වසර තුළ පළ වන සියලු කෘතීන් එහි ලියාපදිංචි වෙනවා.

ඒ ලේඛනය අරගෙන තමයි ඒ කෘති විනිශ්චයට යොමු කරන්නෙ. එතකොට කිසිම ලේඛකයෙක් හෝ ලේඛිකාවක් තමන්ගේ පොත උස්සන් සංස්කෘතික දෙපාර්තමේන්තුවට දුවන්න ඕන නැහැ. මගේ පොතත් පොඩ්ඩක් සලකා බලන්න කියලා කියන්න. එතැනදී යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. මෙතැනදී කිසියම් සංගීත නිර්මාණයක් ඒ වසරේ කළ එකක්ද කියලාද දැනගන්න කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා නිර්මාණකරුවෝ තමන් කරපු නිර්මාණ ටික උස්සගෙන සංස්කෘතික අමාත්‍යාංශයට දුවන්න ඕන. මේක හැම කලාකරුවකුටම ප්‍රායෝගිකව කළ හැකි දෙයකුත් නෙවෙයි. සමහර විට ඉතා ප්‍රශස්ත නිර්මාණයක් කරපු නිර්මාණකරුවෙක් මේ වගේ ක්‍රමයක් තුළ මඟහැරී යන්න ඉඩ තියෙනවා. තමන්ගේ නිර්මාණය කරලා පැත්තකට වෙනවා ඇරෙන්න මේ සම්මාන තරගයකට දුවන්න තරම් වුවමනාවක් එවැනි නිර්මාණකරුවකුට නොතිබෙන්න පුළුවන්. ඒ වගේ නිර්මාණකරුවකුගේ ඉතා හොඳ නිර්මාණයක් මේ සඳහා ඉදිරිපත් නොකොළොත් සමහර විට රටේ හොඳම නිර්මාණය විදිහට ඇගයීමට පාත්‍ර වෙන්නේ ඒ රටේ ඒක වසරේ හොඳම නිර්මාණය නෙවෙයි. ඒ කියන්නේ වඩාත් ප්‍රශස්ත නිර්මාණ තියෙද්දී ප්‍රශස්ත නොවන නිර්මාණ ටිකක් ඇගයීමට පාත්‍ර වෙනවා. එතකොට ක්ෂේත්‍රයේ නියම ප්‍රතිභාවන්තයන්ගේ පිළිබිඹුවක් මතු වෙන්නෙ නැහැ. ඒ ලොකු ප්‍රශ්නයක්. ඊළඟ කාරණය තමයි මේ ලේඛනගතවීම ක්‍රමවේදය නැති වීම හරහා මේ නිර්මාණ කළේ මොන අවුරුද්දෙද කියලා කිසිම විදියකින් හොයාගන්න පුළුවන් වෙන්නෙත් නැහැ.

ඒ නිසාම පසු කාලයක පවා මේ නිර්මාණවල නිශ්චිත කාලසීමාව ගැන කිසිම අදහසක් ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ සංගීත නිර්මාණ පටිගත කෙරෙන්නේ කිසියම් ශබ්දාගාරයක නිසා අඩු ගාණේ ඒ ඔස්්සේ හෝ අවශ්‍ය කරන ඩේටා බේස් එකක් හදාගන්න පුළුවන්. මේ තාක්ෂණය දියුණු කාලේ ශබ්දාගාරයෙන්ම අද දවසේ නිර්මාණය වෙච්ච නිර්මාණ ටික ඒ ඩේටා බේස් එකට යවන්න ක්‍රමයක් හදන්න පුළුවන්. ඒක හරි ලේසි වැඩක්. අවශ්‍ය කරන කැටගරීස් ටික ජන සංගීතයද, බටහිර සංගීතයද, වෙනත් කවර සංගීතයද කියලා වෙන් කරලා බොහොම ලේසියෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. පටිගත කිරීමේ ඉන්ජිනේරුවකුට පුළුවන් තමන්ගේ ශබ්දාගාරයේ පටිගත කෙරෙන ගීත ප්‍රමාණය අදාළ ඩේටා බේස් එකට දාන්න.

එතකොට ඒ සියල්ල අවුරුද්ද අවසානයේ ඉබේම ලියාපදිංචි වෙනවා. විවිධ ශබ්දාගාරවලින් විවිධ නිර්මාණකරුවෝ කරපු නිර්මාණ සියල්ල ඒ අතර තියෙනවා. ඒ ටික කාණ්ඩ කරලා විනිශ්චය මණ්ඩලයකට ඇගයීම සඳහා භාර දෙන්න පුළුවන්. එතකොට නිර්මාණකරුවෝ තමන්ගේ නිර්මාණ උස්සන් අමාත්‍යාංශයට දුවන්න ඕනෙ නැහැ අනේ මේක බලන්න කිය කියා. ඒ කාලය ඔවුන්ට තමන්ගේ අලුත් නිර්මාණයක අවධානය යොමු කරගන්න යොදවාගන්න පුළුවන් මේ සම්මාන පිස්සුවකට දුවන්නේ නැතුව. නිර්මාණ ඇගයීම් ක්‍රියාවලිය කියලා කියන්නේ නිර්මාණකරුවන්ව වෙහෙස නොකර සිදු විය යුතු ක්‍රියාවලියක් මිස නිර්මාණකරුවෝ සම්මාන හොයාගෙන දුවන ක්‍රියාවලියක් විය යුතු නැහැ.


දැනට සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් මේ සම්මාන උළෙල සම්බන්ධයෙන් කිසිම විධිමත් ක්‍රියාවලියක් අනුගමනය කරන බවක් පෙනෙන්නේ නැහැ. අපි දැකලා තියෙන පාසල් සාහිත්‍ය උළෙල සහ භාෂා සාහිත්‍ය උළෙල පවා ඒ ඒ සාහිත්‍ය උළෙලේ හෝ පාසල් අභිමානය රැකෙන විදියට මීට වඩා උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා. ඒවාට සාපේක්ෂ්ව ලංකාවේ රාජ්‍ය සංගීත සම්මාන උළෙල පැවැත්වෙන්නේ ඉතාම අසාර්ථක ආකාරයකටයි. මේ වගේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලක් දකිනකොට අපට ඇති වෙන්නේ දුකක්.

ලංකාවේ ජාතික මට්ටමේ කලාකරුවෝ, සංගීත රචකයෝ, ගීත රචකයෝ, ගායකයෝ සහ ගායිකාවෝ ඇගයෙන උත්සවය පාසල් උත්සවයක් තරම්වත් උත්කර්ෂවත් හෝ ගෞරවනීය නැහැ. සංස්කෘතික අමාත්‍යාංශයේ මුළු අටවැනි මහලම තියෙන්නේ ඔය වැඩ වෙනුවෙන් කටයුතු කරන්නයි. විශාල කාර්ය මණ්ඩලයක් දීලා, විශාල වශයෙන් ප්‍රතිපාදන සපයලා සෙත්සිරිපායේ අටවැනි මහලේ පවත්වාගෙන යන සංස්කෘතික දෙපාර්තමේන්තුවට අවුරුද්දක් ඇතුළත අවශ්‍ය කරන මේ සංවිධාන කටයුතු කරන්න බැරි වෙනවා නම් මේ ආයතනය තනි කරම සුදු අලියෙක්. එහෙම නම් මේ සංස්කෘතික දෙපාර්තමේන්තුව වහලා දාන්න ඕන. එවැනි ආයතනයක් පවත්වාගෙන යෑමේ කිසිම තේරුමක් නැහැ. මේ ආයතනයෙන් කෙරෙන කටයුතු නිසා කලාකරුවෝ, කලාකාරියෝ සිත් රිදවාගන්නවා ඇරෙන්න වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ.


සංගීත සම්මාන උළෙලේ තරග අංශ පිළිබඳ පැහැදිලි ප්‍රතිපත්තියක් නැහැ. ගිය වර තිබුණු "නවක ගායිකාව" නමැති අංශය මෙවර අයින් කරලා. අන්තිමට මොකක්ද සිද්ධ වෙන්නේ අලුත් ගායකයෝ, ප්‍රවීණ ගායකයොත් එකට සලාද වෙලා මේ පාර සම්මානය දෙනවා නවක ගායිකාවකට. ඒ ගායිකාව ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒ ගායිකාව ගායනා කරපු සින්දුවක් කොහෙවත් අඩුම ගාණේ "යූ ටියුබ්" එකේවත් හොයාගන්න බැහැ. සම්මානයට පාත්‍ර වුණේ කවර ගීතයද කියලා මේ වෙන තෙක් කිසිම කෙනකුට දැනුවත් වෙන්න මාර්ගයක් නැහැ. මොකද ඒ නිර්මාණය ජනගත වෙලා නැති නිර්මාණයක්. එහෙම එකක් එක පාරටම සම්මාන උළෙලක සම්මානයට පාත්‍ර වෙනවා.

එතකොට හො¼දම ප්‍රවීණ ගායිකාව විදියට සම්මානයට පාත්‍ර වෙන්නේ කිසිම කෙනෙක් නොදන්න ගීතයක් ගායනා කරපු නවක ගායිකාවක්. සැලැසුමක්, පදනමක් නැතිව කෙරෙන මේ වගේ වැඩ නිසා එක පැත්තකින් ඒ ළමයගේ අනාගතයත් විනාශ වෙනවා. හරි නම් වෙන්න ඕන නවක ගායිකාව අංශය හරහා ඒ ළමයාව සම්මානයට පාත්‍ර කරලා ඊළඟ අදියරයට යන්න පසුබිමක් සකස් කරන එකයි. නවක ගායිකාව සහ නවක ගායකයා කියන අංශ කලින් වර්ෂවල තිබුණා. හර්ෂණ දිසානායක සහ දුමාල් වර්ණකුලසූරිය නවක ගායකායෝ විදියට සම්මාන ගත්ත අය. දැන් ඔවුන් ජනප්‍රිය ගායකයෝ. හැබැයි නවක ගායකයා සම්මානය අරගෙන තමයි ඔවුන් එතැනට එන්නේ. එතකොට ඔවුන්ට යම් කිසි කාලයක පෝෂණයක් ඒ වැඩේ ඇතුළේ ලැබිලා තියෙනවා. මෙවර ඒ අංගය කිසිම පදනමකින් තොරව අයින් කරලා. ඒ අනුව දැන් කවුරුත් නවක නැහැ. හැමෝම ප්‍රවීණයි. ඒ කාණ්ඩගත කිරීමේ ක්‍රමවේදයේ විධිමත් භාවයක් නැති වීම තුළ ප්‍රවීණ ගායක ගායිකාවොත් එක පැත්තකින් හිත් රිදවාගන්වා.


මේ කරුණුවලට අමතරව විනිශ්චය මණ්ඩලයේ ඉන්න සමහර අය තමන් නිර්මාණය කළ සමහර කොටස් පවා සම්මානවලට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අය විනිශ්චය මණ්ඩලවලින් අයින් වෙන්නෙත් නැතුව තමන් කරපු තනු නිර්මාණත් එක්ක සමහර ගායිකාවන්ව තරගවලට දානවා. ඒ නිසා විනිශ්චය මණ්ඩලවලත් විනිවිදභාවය සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තියෙනවා. ඊළඟ කාරණය තමයි විනිශ්චය මණ්ඩල තෝරාගැනීම. විනිශ්ච මණ්ඩල තෝරාගැනීමේදීත් ඔය ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ එහෙන් මෙහෙන් තුන් හතර දෙනෙක් දාගන්නා ක්‍රමවේදයක් මිසක ප්‍රාමාණික හෝ යාවත්කාලීන වෙච්ච මිනිසුන්ට නිසි ගෞරවය දීලා විනිශ්චය කටයුතු කරගන්න මේ අය උත්සාහ දරන්නේ නැහැ. ඔය විනිශ්චය මණ්ඩවලට එහෙම පිළිගත් කවුරුවත් එන්නෙත් නැහැ. ඒ වෙනුවෙන් ගත කරන කාලයට අවශ්‍ය ගෞරවයවත්, මුදලවත් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. අනෙක ඒ අයට වෙන වැදගත් වැඩ තියෙනවා

සාමාන්‍යයෙන් සම්මාන උළෙලක විනිශ්චය මණ්ඩලය කියලා කියන්නේ ඒකේ වැදගත්ම කොටසක්. ඒ වැදගත්ම පිරිසට නිසි ඇගැයීම සහ ගෞරවය දීලා නිර්මාණවලට නිවැරැදි විනිශ්චයක් ලබාගැනීම ඉතා වැදගත්. මොකද මේ වගේ සම්මාන උළෙලකදීරටක ඒ අවුරුද්දේ ප්‍රශස්තම නිර්මාණ තමයි ඇගැයෙන්නේ. ඒ නිසා ඒක ඉතා වගකීම් සහගත කාර්යභාරයක්.

සංවිධායකයෝ ඒ කාර්ය භාරය පැහැර හරිනවා නම් එවැනි සම්මාන උළෙල විනිශ්චය සම්බන්ධයෙන් අපට කවදාවත් සතුටට පත් වෙන්න බැහැ. සංස්කෘතික අමාත්‍යාංශයට මේ රටේ කලාකාරයෝ සම්බන්ධයෙන් දැක්මක්, දෘෂ්ටියක් නැහැ. කිසියම් යහපත් අරමුණක් නැතිව මේ සම්මාන උළෙලවල් පවත්වන්නේ තමන්ගේ වගකීම ගැන හරි අවබෝධයක් ඇතිව නොවෙයි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලෙදී වුණත් අපි දන්න ඉතිහාසය අනුව සමහර පොත් හැංගෙනවා. යට යනවා. පෞද්ගලික පළිගැනීම් කෙරෙනවා. සමහර සම්මාන උළෙවලදී නිර්මාණකරුවකුගේ කෘතිය ඇරෙන්න, ප්‍රසිද්ධිය සහ වයස වගේ අනෙක් ඔක්කෝම දේවල් ටික බලනවා. මටත් එහෙම වුණා. මගේ ගීත පොතට 2010 රාජ්‍ය සාහිත්‍ය සම්මාන හම්බ වෙන්න කලින් මට ආරංචිය එනවා මගේ කෘතියට වඩා මගේ වයස ගැන අවධානය යොමු වුණු අවස්ථා ගැන. සම්මාන ඇගැයුම් මණ්ඩලයේ එක්තරා මහාචාර්යවරයෙක් ඇහුවලු "රවී තවම තරුණ වැඩියි නේද" මේ රාජ්‍ය සම්මානයක් ගන්න කියලා. කොහොම හරි හොඳ වෙලාවට ඊට වැඩිය ටිකක් වැදගත් පිරිසක් හිටපු නිසා කිව්වාලු රවීගේ වයස බලන්න එපා. පොත බලන්න කියලා. ඉතින් ඒ වගේ අතිශය දුෂ්ට, ආචීර්ණකල්පිත අදහස්වල ඉන්න, තමන්ට දෙයක් ලබාගන්න බැරි වුණාම පස්සේ ඊළඟ පරම්පරාවටත් ඒක හිමි විය යුතු නැහැයි කියලා හිතන දුෂ්ට සිතිවිලි සහිත පිරිසක් තමයි මේ මණ්ඩලවල ඉන්නේ.

සම්මාන ලබාගන්න පුළුවන් තරම් උත්සාහ කරලා බැරි වුණාට පස්සේ ඔය සම්මාන කලා මණ්ඩලවලට ගිහින් ඊළඟ පරම්පරාවට බැටේ දෙන්නම් කියලා හිතාගෙන වැඩ කරන අයත් ඉන්නවා. ඔවුන් නවකතා ලියන්න උත්සාහ කරනවා. කවි ලියන්න උත්සාහ කරනවා. ගීත ලියන්න උත්සාහ කරනවා. සංගීත නිර්මාණ කරන්න උත්සාහ කරනවා. මේවා කාලයක් තිස්සේ කරනවා. හැබැයි මේවයින් තමන්ට නිසි සමාජ ආකර්ෂණය සහ ඒ නිර්මාණවලට ලොකු ආකර්ෂණයක් ලැබෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ මේ අයට ආරාධනා ලැබෙනවා. මේ වගේ විනිශ්චය මණ්ඩලවලට, කලා මණ්ඩලවල තනතුරුවලට. එතකොට ඔන්න චාන්ස් එක ආවා අර ලියනකොට ලබාගන්න බැරි වෙච්ච කීර්තිය දැන් එක වරම තනතුරක් හරහා එනවා. ඊට පස්සේ කල්පනා කරනවා ආ දෙන්නම් බැටේ උඹලා දැන් අපි යටතේ ඉන්නේ වගේ අමුතු මමත්වයක් ඇති කර ගන්නවා. උඹලා කලාකාරයෝ වුණාට අපි තමයි දැන් උඹලා ගැන තීන්දු තීරණ ගන්නේ කියන මට්ටමට මේ නිලධාරීන් එනවා. එතකොට ඒ ඇරියස් කවර් කරන එක ඔවුන් එතැන ඉ¼දලා පටන් ගන්නවා. තමන්ට කවියෙක් වෙන්න බැරි වුණා නම් ඊළඟට කවියෝ වෙච්ච අයගෙන් හෝ කීර්තිනාමයක් දිනාගත්ත අයගෙන් පළිගන්න මේ අය පටන් ගන්නවා. ඒ වගේ අතිශය දුෂ්ට ක්‍රියාවලියක් මේ අමාත්‍යාංශයේ කාලාන්තරයක් තිස්සේ සිදු වෙනවා.

මේ සියලු දේවල් එක්ක මෙවර රාජ්‍ය සංගීත සම්මාන උළෙල නිර්මාණකරුවන්ට විශාල අසාධාරණයක් කළා. මේක සම්මාන උළෙලක්ද කියන හැඟීම බොහෝ අය තුළ ඇති කරන තත්ත්වයටත් මේ සම්මාන උළෙල පත් වුණා. ඒ අස්සේ රාජ්‍ය නායකයා ආපු නිසා එයාගේ කාල වේලාව අනුව සම්මාන දෙන්නත් සිද්ධ වුණා. රාජ්‍ය නායකයා ඇවිල්ලා එතැන තිබුණු සම්මාන දීමේ අනුපිළිවෙළ කඩලා එතැන තියෙන මූලික සැලැස්ම පවා එයාගෙ වෙලා අනුව කඩනවා. එතකොට සාහිත්‍යකාරයෝ, නිර්මාණකාරයෝ, සංගීත නිර්මාණකාරයෝ කියන්නේ කවුද? අත්පල්ලෙන් වැටිච්ච එවුන්ද? ඒ මිනිසුන්ට නිසි ගෞරවයක් ලැබෙන්නේ නැහැනේ. හරි නම් එතැන ප්‍රමුඛ වෙන්න ඕන නිර්මාණකාරයෝ මිසක් දේශපාලනඥයන්වත්, නිලධාරීන්වත් නෙවෙයි. නිර්මාණකරුවන්ට ප්‍රමුඛත්වය නොදෙන සම්මාන උළෙලවල් කියලා කියන්නේ නිලධාරීන්ගේ වුවමනාවට සිද්ධ වෙන, ඒ අවුරුද්දේ සල්ලි ටික හම්බ වෙච්ච නිසා කරන්න ඕන කියලා හිතාගෙන කරන දෙයක්.

මේ සම්මාන උළෙල ක්‍රියාවලිය පිළිබඳව සහ මේ සම්මාන උළෙලවලට සම්බන්ධ පිරිස් සම්බන්ධයෙන් දැන් මය අවුරුදු අටක විතර අත්දැකීම් තියෙනවා. මේ සම්මාන උළෙල සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කතා කරලත් තියෙනවා. පෙනෙන විදියට නම් දැනට තියෙන මේ අවුල් සහගත තත්ත්වයන් කිසිසේත් සැකසෙන්නෙත් නැහැ. අඩුගාණේ දැන් මේ ඉන්න සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැතිටවත් මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වෙනවා නම් හොඳයි. සංස්කෘතික අමාත්‍යාංශයේ තීන්දු තීරණ ගන්න අවශ්‍ය කරන යාවත්කාලීන වෙච්ච පිරිස් කැඳවලා, ඒ අයත් එක්ක සාකච්ඡා කරලා, පිළිගත හැකි ප්‍රමිතීන් මොනවාද, කලාකරුවන්ට වාර්ෂිකව ලැබෙන්න ඕන ගෞරවය දෙන්න කොහොමද වගේ කාරණා ගැන බරපතළ සාකච්ඡාවකට යන්නම වෙනවා. එහෙම නැතිව දැන් පවතින සම්මාන උළෙවල් දිගටම මෙහෙම පවත්වාගෙන යෑමෙන් වැඩක් වෙන්නේ නැහැ.

හෙට වෙනකොට මේවට මිනිස්සු නිර්මාණ දාන එකකුත් නැහැ. සමහර වේලාවට මේ සම්මාන උළෙලවල් ඇතුළේ උද්ඝෝෂණ පවා ඇති වෙයි. ඒ මට්ටමටම මේ සම්මාන උළෙලවල තියෙන අභිමානය දැන් නැති වෙලා. මේ ගැන ජනතාව තුළ තියෙන විශ්වාසයත් එන්න එන්නම නැති වෙනවා. මෙවර රාජ්‍ය සංගීත සම්මාන උළෙල ඉතා බරපතළ විදියට අසාර්ථකත්වය ප්‍රදර්ශනය කළ අවස්ථාවක් බවට පත් වුණා. මේ උළෙලට ලංකාවේ ප්‍රධාන පෙළේ ගීත රචකයො, සංගීතඥයෝ, ගායක ගායිකාවෝ නිර්මාණ ඉදිරිපත් කළේත් නැහැ. ඒ ඔවුන්ට මේ උළෙල ගැන විශ්වාසයක් නැති නිසයි. මං කියන්නේ ඔවුන් එහෙම තමන්ගේ නිර්මාණ මේ වගේ උළෙලකට ඉදිරිපත් කරන්න ඕනත් නැහැ.

මෙච්චර තාක්ෂණය දියුණු කාලෙක අර අපි කියපු ක්‍රමවේදය තිබුණා නම් අඩු තරමින් ඒ අවුරුද්දේ නිර්මාණ ටික සලකා බැලීම සඳහාවත් එක තැනකට ගොනු වෙනවා. සංස්කෘතික දෙපාර්තමේන්තුවක් කරන්න ඕන ඒ වගේ දේවල් මිසක කාටවත් වැඩක් නැති විදියේ සම්මාන උළෙල පවත්වන එක නොවෙයි. සංස්කෘතික දෙපාර්තමේන්තුව ඇත්තටම කරමින් ඉන්නෙ මොනවද කියලා අපට තේරෙන්නේ නැහැ. අද තියෙන්නේ සංස්කෘතිය කියන්නේ මොකක්ද කියන එක ගැනවත් අර්ථ නිරූපණයක් නැති අමාත්‍යාංශයක්. ඉතින් ඒක නිසා වත්මන් ඇමැතිවරයාවත් සංස්කෘතික දෙපාර්තමේන්තුවට නිසි මඟපෙන්වීමක් කරන්න කටයුතු කරනවා නම් හොඳයි කියලා මම හිතනවා. මේවා ගැන කතා කරනකොට සමහරු කෙන්තියට පත් වෙයි. අපි හතුරෝ බවට පත් වෙයි. ඒත් මේ නාස්ති වෙන්නේ ජනාවගේ සල්ලිනේ. වාර්ෂිකව විශාල වශයෙන් මහජන මුදල් වියදම් කරලා ජාතික මට්ටමේ සම්මාන උළෙලක් සංවිධානය කරගන්නවත් බැරි නම් නිලධාරීන්ට පහසුකම් සපයලා, පඩිනඩි ගෙවාගෙන මේ ආයතන පවත්වාගෙන යන්නේ මොකටද?

සාකච්ඡා කර ලීවේ - අජිත් නිශාන්ත

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon