එකට හිටිය යාළුවගෙන් පළිගන්න ගිය මිතුරාට මෑණියන්ගෙන් හොඳ දඬුවමක්

  👤  2764 readers have read this article !
2018-07-22

හින්දු බැතිමතුන් අතර පමණක් නොව ශ්‍රී ලංකාවේ බෞද්ධයන් අතරද ජනප්‍රිය කාලි අවතාරය වන්නේ භද්‍රකාලියයි. ඇය බුදුන් සරණ ගිය උපාසිකාවක ලෙසින් බෞද්ධයෝ විශ්වාස කරති. ඒ පිළිබඳව ජනප්‍රවාද බොහෝය. ඉන් එක් ජනප්‍රවාදයකට අනුව භද්‍රකාලියගේ උපත සිදුවී තිබෙන්නේ මෙලෙසිනි.

බුදුන් ජීවමාන කාලයේ දඹදිව එක් පසල් දනව්වක මවක සහ පුතකු වාසය කර ඇත. පුතා නිසි වයසට පත්වූ කල සුදුසු තරුණියක සොයා විවාහයක් කර දීමට මව කටයුතු කළාය. කලක් ගතවූ නමුදු දරුවකු නොලැබුණු හෙයින් මවගේ ඉල්ලීම පරිදි පුත්‍රයා තවත් විවාහයක් කර ගත්තේය. භර්යාවරු දෙදෙනාම සමඟියෙන් නිවෙසේ ජීවත් වූහ. මේ අතර දෙවැනි බිරියට දරුවකු පිළිසිඳ ගැනිණි. එහෙත් ටික කලකදී දරු ගැබ විනාශ විය. පසුව ඇය යළිත් ගැබ් ගත්තාය. එම දරු ගැබද අකාලයේ විනාශ විය. පුරුෂයා ශාස්ත්‍රකරුවන් වෙත ගොස් මේ ගැන විමසීය. එහිදී හෙළිවූයේ වඳ බිරිය විසින් ගුරුකම් කරනු ලැබීම නිසා දරු ගැබ විනාශ වූ බවය. මින් අධික ලෙස කෝපයට පත් සැමියා නිවෙසට පැමිණ මෝල් ගසකින් ගසා ඇය මරා දැමුවේය. ඉන් කලකට පසු ඔවුනට දරු සුරතල් බලන්නට හැකි විය.

එම දරුවා කුඩා කාලයේදී නිවෙසට පැමිණි මහලු කාන්තාවක් මව එහා මෙහා වනතුරු බලා සිට දරුවා රැගෙන දුවන්නට වූවාය. එය දුටු මව දරුවා ඉල්ලමින් ඇය පසුපස වැටුණාය. ඒ අවස්ථාවේ මඟ වඩිමින් සිටි බුදුරජාණන් වහන්සේ ඔවුන් නවතා කරුණු විමසා දරුවා ආපසු මවට ලබා දුන්සේක. ඉන්පසු උන්වහන්සේ මහලු කාන්තාව අමතා "තී ඉහත ආත්මයේත් මැයගේ දරු ගැබ වැනසීමේ අකුසල කර්මය නිසා අද යක්ෂණියක්ව ඉපදී සිටින්නීය" යි හෙළිකර දහම් දෙසූ සේක. ඉන්පසු දරුවන්ට සෙනෙහස ඉපිද වූ යක්ෂණිය භද්‍රකාලිය නමින් දේවතාවියක් වී උපන්නාය. මේ දේවතාවිය දරුවන් නැති ස්ත්‍රීන්ට දරුවන් ලබා දෙන්නටත්, දරු ගැබ් රැක දෙන්නටත් කටයුතු කරන්නීය.

බෞද්ධයන් අතර පවතින ජනප්‍රවාද අතර මෙවැනි කතා බොහෝමයක්ම පවතී. මේ සියල්ල ගෙතී ඇත්තේ කාලි මෑණියන්ට බෞද්ධ ස්වරූපයක් ලබාදීමට යැයි සිතිය හැකිය.
කාලි මාතාව පිළිබඳව කොතරම් ජනප්‍රවාද තිබුණද ඒවායින් මතුවන්නේ ඇගේ ගුණ සමූහය මිස නරක නොවන බව හලාවත අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි පවසයි.

"කාලි මෑණියන් ගැන ඉන්දියාවේ හින්දු භක්තිකයන් අතරත් විවිධ ජනප්‍රවාද තියෙනවා. ඒ හැම කතාවක්ම අන්තිමට අවසන් වෙන්නේ මෑණියන්ගේ කරුණාව, මෛත්‍රිය ඉස්මතු කරමින්. ඇගේ කරුණාවට, මෛත්‍රියට ලක්වෙන්නේ හොඳ අයයි. අහිංසකයන්ට කොඩිවින, අණ වින කටින අයට ඇගෙන් කිසිම සමාවක් නෑ.

මේ ළඟදී කෙනෙක් කෝවිලට ඇවිත් මෑණියන්ගෙන් පිහිට ලබාගත් සිද්ධියක් මම කියන්නම්. මේ පුද්ගලයා ළඟින්ම ඇසුරු කරන මිතුරන් තුන්දෙනෙක් හිටියා. මේ අය එක්ක තමයි මෙයා ගමන් බිමන් යන්නේ. මේ අය ඔක්කොම රස්සාවල් කරන අයයි. මෑණියන්ගෙන් පිහිට ඉල්ලා ගෙන කෝවිලට ආපු කෙනාගෙ නම සරත්. සරත් පිළිවෙළකට ජීවිතය ගත කරන අයෙක්. එයාට ණය තුරුස් තිබුණේ නැහැ. ලැබෙන ආදායම කළමනාකරණය කරගෙන ජීවත්වෙන කෙනෙක්.

දවසක් නාඳුනන කිහිප දෙනෙක් ඇවිත් මෙයාට තර්ජනය කර තිබෙනවා කප්පම් ඉල්ලලා. සරත් ඒ අයට කප්පම් දෙන්න කැමැති වෙලා නෑ. යාළුවන්ටත් මේ ගැන කියලා තියෙනවා. ඔවුන් කියලා තියෙන්නේ පොලිසියට පැමිණිලි කරන්න කියලයි. සරත් කාලි මෑණියන් ගැන විශ්වාසය තියෙන කෙනෙක්. එයා ආවේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලටයි. මම විස්තරය කියලා මෑණියන්ට බාරයක් වුණා. දෙහි කපලා මම එයාට ආරක්ෂාවකුත් දැම්මා.

මාසයක්වත් ගියේ නෑ මෙයාගේ මිතුරෙක් වන විමල් කියන කෙනා එයා ගිය වාහනේ පෙරළිලා අතපය කැඩිලා බරපතළ තුවාල ලබලා තියෙනවා. පොලිස් පරීක්ෂණවලදී දැනගෙන තියෙන්නේ වාහනය ලියාපදිංචි නොකළ එකක් කියලා. සරත් පුදුම වුණා විමල් තමන්ට එරෙහිව කටයුතු කළේ ඇයි කියලා. පස්සේ තමයි එයාට මතක් වුණේ විමල් වාහනයක් ගන්න කියලා ලොකු මුදලක් ඉල්ලූ බව. ඒක ලැබුණෙ නැති නිසා මුදලට කප්පම් කල්ලියක් දමලා සරත්ගෙන් සල්ලි ගන්න උපායක් යොදවලා තියෙනවා. අනෙක් කාරණය මේ වාහනයේ ගිය පොලිසියේ කෙනකුගේත් වැඩ තහනම් වෙලා තියෙනවා. සරත්ගෙන් කප්පම් ඉල්ලලා තර්ජනය කරපු කෙනාගේ කොන්ත්‍රාත් වැඩ නැවතිලා එයාවත් නන්නත්තාර වෙලා ගිහින්. මේ ඔක්කොම හෙළි වුණේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලට ඇවිත් බාරවුණාට පස්සෙ.

සරත් බාරය ඔප්පු කරන්න ඇවිත් මට මුළු විස්තරයම කිව්වා. වැරැදි කරන අයට මෑණියන්ගෙන් බේරුමක් නෑ. මේ සිද්ධියෙන් ඒක හොඳටම පැහැදිලි වෙනවා" යනුවෙන් මහේන්ද්‍රසාමි කීය.

නන්දන තෙන්නකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon