රහස් පොලිස් උකුසු ඇසට වැලිගහන්න බැරි ඇඟිලි සලකුණේ අබිරහස් කතාව

  👤  2963 readers have read this article !
2018-07-22

රහස් පොලිසියේ විමර්ශන කටයුතුවලට අද අත්‍යවශ්‍යම වූ ඇඟිලි සලකුණු පිළිබඳ ඉතිහාසය බොහෝ දෙනා දන්නේ නැත. යම් කිසිවක් හඳුනා ගැනීමේ කටයුත්තට ඇඟිලි සලකුණ යොදා ගැනීම බොහෝ අෑත අතීතයේ පටන් පැවැත එන දෙයක්.

එය මුද්‍රාවක් ලෙසද භාවිතයට ගෙන ඇති තොරතුරු ඇත. ඒ අනුව පුරාණ ඊජිප්තුව (මිසරය), බැබිලෝනියාව, චීනය වැනි රටවල් ඇඟිලි සලකුණු මුද්‍රා ක්‍රමය භාවිත කර තිබේ.
ඇඟිලි සලකුණු භාවිතය විශේෂයෙන් කළ යුත්තක් වන්නේ උපතේ සිට කිසියම් අයකුගේ මරණය තෙක් ඇඟිලි සලකුණු වෙනස් නොවී පැවැතීමයි. එය ඒ පුද්ගලයාට අනන්‍ය වූවකි. දෙදෙනකුට එක හා සමාන ඇඟිලි සලකුණු නැති අතර ඒවා වෙනස්ද වන්නේය. එය කිසියම් පුද්ගලයකු නිවැරැදිව හඳුනා ගන්නටද හේතු වන්නේය.
අපරාධකරුවන් කවුද යන්න පමණක් නොව තමන් කවුරුන්දැයි හඳුන්වා දීගත නොහී ළතැවෙන සිහි විකල් වූවන් මෙන්ම හඳුනා ගැනීමට බැරි තරමට විකෘති වී ගිය මළ සිරුරු හඳුනාගන්නටත් ඇඟිලි සලකුණු උපකාරී වෙයි.

ලොව මේ වන විට එය ඉතා නවීන උපකරණ මාර්ගයෙන් භාවිතයට ගන්නේ ආරක්ෂිත උපක්‍රමයක් ලෙස භාවිත කළ හැකි නිසයි. ආරක්ෂක පරිගණක පද්ධති ඇති බැංකු, කාර්යාල ආදී ආයතනවලට ඇතුළු වෙද්දී හැඳුනුම්පත විදියට භාවිතයට ගන්නට ඇඟිලි සලකුණ තෝරාගෙන ඇත්තේ ඒ නිසාය. ඇඟිලි සලකුණු තේරුම් ගැනීමේදී ඇඟිලිවල වැටී පිහිටා තිබෙන ස්වභාවය ප්‍රධානම රටාවන් 4කට බෙදා වෙන්කොට තිබේ. ඒවා නම් චාප, පාශ, වලය හා සංයුක්ත වශයෙනි. චාප යනුවෙන් අදහස් කරන්නේ නොනැමී යම් ප්‍රමාණයක් කෙළින් එක් පැත්තක සිට අනෙක් පැත්තට විහිදෙන රේඛාවයි. අශ්ව ලාඩමක් ලෙසින් ආපසු හැරෙන රේඛා රටාව පාශයකි. සම්පූර්ණයෙන් කවයක් සාදන රටා වලනයන් ලෙස හැඳින්වේ. ඉහතින් දැක්වූ චාප, පාශ හා වලය යන තුනම මිශ්‍රව ඇති රේඛා රටාව සංයුක්ත එකක් ලෙස සලකයි.

1684 එංගලන්තයේ වෛද්‍ය නෙහිමායා ග්රූ මිනිස් ඇඟිලිවල විවිධාකාර වූ රූප සටහන් පිළිබඳව කරනු ලැබූ පර්යේෂණයක ප්‍රතිඵල ලොවට හෙළි කිරීමෙන් පසුව ඇඟිලි සලකුණු භාවිතය ගැන මුළු ලෝකයේම අවධානයට පාත්‍රවිය.

1833දී බෙංගාලයේ සිරකරුවන් හා විශ්‍රාම වැටුප් ලබන අය හඳුනා ගැනීමට ඇඟිලි සලකුණු ක්‍රමය භාවිතයට ගැනිණි. 1888දී පමණ පොලිස් රාජකාරි සඳහා ඇඟිලි සලකුණු ක්‍රමය භාවිතයට ගෙන ඇත. ඒ ආජන්ටිනාවේ ජීවී වසෙටික් අතිනි. එනමුත් අද අප භාවිත කරන ක්‍රමයේ ඇඟිලි සලකුණු ක්‍රමය ලෝකයට හඳුන්වා තිබෙන්නේ සර් එඩ්වඩ් රිචඩ් හෙන්රි විසින්ය. ඒ සර් ෆැන්සිස් ගෝල්ටන්ගේ පර්යේෂණ උපයෝගී කොට ගෙනය. ඒ අනුව පළමු වරට ඇඟිලි සලකුණු විමර්ශන කාර්යාලයක් පිහිටු වන ලද්දේ 1901දී ලන්ඩනයේ ස්කොට්ලන්ඩ් යාඩ්හිදීය.

එබැවින් අද තත්ත්වයට දියුණු වී කිසිදු වරදකින් තොරව නිශ්චිතවම අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඇඟිලි සලකුණු ප්‍රයෝජනවත්ය.

සුලක්ඛන ජයවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon