ශ්‍රී මහා බෝධියේ සැබෑ ඓතිහාසික පුවත මෙන්න

  👤  3079 readers have read this article !
2018-07-22

ශ්‍රී මහා බෝධීන් වහන්සේ තරම් අපේ ගෞරවාදරයට පාත්‍ර වූ තැනක් වෙත් නම් ඒ දළදාවයි. ජීවමාන බුදුරදුන් මෙන් පුද සත්කාර ලබන ශ්‍රී මහා බෝධියේ ඓතිහාසික පුවත හා බැඳි රසකතා බොහෝය. ඒ හැම ඓතිහාසික සාධක සමඟ බැඳී ඔප්පු වී ජන හදවත තුළ සදාකල් ලැගුම් ගනිමින් පවතී.

ශ්‍රී මහා බෝධිය නෞකාවක් මඟින් ලක්දිවට වැඩම කරවන ලද බව වංසකතාවල සඳහන් වෙයි. එබැවින් එම නෞකාව මේ සිද්ධියට සම්බන්ධ වූ නිසාම කෞතුක වස්තුවක් වූයේය. එබැවින් එම නෞකාව කොටස් වශයෙන් තැන්පත් කොට මහජනතාවගේ ගරුත්වයටත් වන්දනාවටද සැලැස් වී යැයි ප්‍රකාශිතය. මහා වංසය එය දක්වන්නේ මෙසේය.
"උපාසිකා විහාරය යැයි ප්‍රසිද්ධ වූ ඒ මෙහෙණවරෙහි භික්ෂුණි සංඝයා සහිත වූ ඒ සංඝමිත්තා නම් ස්ථවිර තොමෝ වාසය කළා. මන්දිර තුනක් ප්‍රමුඛ කොට ඇත්තා වූ මන්දිර ‍ෙදාළසක් නරේන්ද්‍ර තෙමේ කර වූයේය. ඒ මන්දිරයන් අතුරෙන් ශ්‍රී මහා බෝධිය වැඩූ නැව කුඹයටිය පිහිට වූයේය. එක් ගෙයක එහි පළුපත තැබ්බවූයේය. එයින් ඒ මන්දිරයන් ප්‍රකට වූහ. (මහා වංසය පරි: 77 ගාථා 67-70)
මෙම පුවත සැබැවින්ම සුවිශේෂය. ඒ ක්‍රි.පූර්ව තුන්වැනි සියවස තරම් ඉතා අෑත කාලයේදී මහජන ප්‍රදර්ශනය සඳහා ගෞරවයෙන් යුතුව එම නෞකාව ප්‍රදර්ශනයට පියවර ගැනීමය. මෙය ඓතිහාසික වශයෙන් වාර්තාගත අවස්ථාවකි.

ගෞරවාදරයට එහා ගිය භක්තිමත් ශ්‍රද්ධා සම්පන්න සිතින් මඬන ලද පැරැණි රජ දරුවන් ශ්‍රී මහා බෝධියට කළ පුද සත්කාර ගැන කතාවද එවැන්නකි. සිංහල නරපතියන් ශ්‍රී මහා බෝධියට කෙතරම් සැලකුවේ දැයි කියතොත් එය තම රාජකාරියේ ප්‍රමුඛතම කටයුත්ත සේ සැලකූහ. ලක්දිවට වැඩම කිරීමෙන් පසුව තම තමන්ගේ රාජධානි වෙත ගෙන ගොස් රජ මාලිගාව අබියස දළදාව රැකීමට දළදා මාලිගාවක් කරවා එහි තැන්පත් කර ඇත. පුද සත්කාර කළා සේම ශ්‍රී මහා බෝධියටද ඒ අවට රැකවරණය හා පුදසත්කාර වෙනුවෙන් කටයුතු සලස්වා ඇත. ඊට ඇවැසි ගොඩනැඟිලි ඉදිකර ප්‍රතිසංස්කරණ කටයුතු කර තිබීමෙන් එය මොනවට තහවුරු වෙයි.

ශ්‍රී මහා බෝධියට පුද පූජා පැවැත්වූ ලක්දිව පළමු රජතුමා වනුයේ දේවානම් පියතිස්ස ය. එය ශ්‍රද්ධාසම්පන්ද බවේ සංකේතයක් බඳු සිදුවීමක් වන්නේ රජු විසින් ලංකා රාජ්‍යය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීමට තරම් සංවේදී වීමෙනි. ඒ අනුව අනතුරුව දෙවන පෑතිස්ස රජතුමා (ක්‍රි.පූ. 259-210) ශ්‍රී මහා බෝධින් වහන්සේ පිහිටි මළුවට ඇතුළුවීම සඳහා ප්‍රධාන ‍ෙදාරටු හතරක් කරවීය. ඉන් පසු පළමුවැනි සිරිනාග රජු (ක්‍රි.ව. 189-209) එම ‍ෙදාරටු සතරෙහි පියගැට පෙළ හතරක් කරවා ඇත. ඉන්පසු දෙවැනි සිරිනාග රජු (ක්‍රි.ව. 240-242) ශ්‍රී මහා බෝධිය වටා වූ පවුර පිළිසකර කර පූජා පවත්වා ඇත. අභය නාග රජු (ක්‍රි.ව 231-40 ගල් වේදිකාවක් නිමවා බෝධි පූජාදිය සිදු කර ඇත. ගෝඨාභය රජු (ක්‍රි.ව. 249-263) වේදිකාව ප්‍රතිසංස්කරණය කර ශෛලමය ප්‍රතිමා තුනක් කරවා ඒවා උතුරු නැඟෙනහිර සහ බටහිර ‍ෙදාරටුවල වඩාහිඳුවා ඇත. එපමණක් නොව මළුවේ සතර කෙළවරේම ධර්ම චක්‍රය සලකුණු කළ ගල්කණු සතරක්ද සිටුවා ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී මහා බෝධිය වෙනුවෙන් ඉතා ඉහළ පුද සත්කාර කළ රජකු වන්නේ ධාතුසේනය. (ක්‍රි.ව. 455-473) ඔහු කරවූ දේ වන්නේ බෝධිඝරය ප්‍රතිසංස්කරණය කර එහි බිත්තිවල මනරම් සිතුවම් ඇන්දවීමය. කිත්සිරිමෙවන් රජුද (ක්‍රි.ව. 303-331) බෝධිඝරයේ වහලය ලෝහමය තහඩුවලින් සෙවිලි කර දී ඇත. වසභ රජුද, දෙවැනි අග්‍රබොධි රජුද, පළමු වැනි දප්පුල රජුද, දෙවැනි මිහිඳු රජුද, පළමුවැනි විජයබාහු රජුද ගොඩනැඟිලි ඉදිකර, ප්‍රතිසංස්කරණය සිදු කොට පූජා විධි පවත්වා තිබීමෙන් පෙනෙන්නේ රජු කෙතරම් භක්ත්‍යාදරයෙන් හා වගකීමෙන් යුතුව ශ්‍රී මහා බෝධිය සුවිශේෂී වස්තුවක් ලෙස පිළිගත්තාද යන්නය.

රජවරු මෙන්ම මැති, ඇමැති, සිටුවරුද සෙසු පොදු ජනයාද ඉමහත් භක්ත්‍යාදරයෙන් මෙතුවක් රැකගෙන එන ශ්‍රී මහා බෝධියේ කතාව ජනගත වන්නේ ඉමහත් කැපකිරීම් සමුදායක්ද සමඟිනි. මහා වංසයෙත්, සමන්ත පාසාදිකාවෙහිත්, සිංහල බෝධි වංසයෙත් මේ ඓතිහාසික පුවත් විශේෂයෙන් සඳහන් වී තිබේ. රාජධානි බිඳවැටීමෙන් පසු බි්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවැති අවසන් සමය වනතුරුම මහ වනයෙන් වටවී නොයෙකුත් පීඩාදියට හා ව්‍යසනයන්ට ලක්වී තිබිණි. විශේෂයෙන් බෝධින් වහන්සේ, අවට ජනතාව එදා පටන් රැකගැන්ම උදෙසා කළ සේවය අතිමහත්ය.

මෙම ශ්‍රී මහා බෝධියේ මවු වෘක්‍ෂය වූ දඹදිව බුද්ධගයාවේ එදා පිහිටි ඒ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අද එහි නැත. එබැවින් බුදුන්ගේ ද පූජාවට බඳුන් වූ එම ජය ශ්‍රී මහා බෝධියේ ජීවමාන ශාඛාව අද ඇත්තේ අනුරාධපුර මහමෙවුනා උයනෙහි බව නොරහසකි. බෝ සමිඳු රැකගන්න පුරාණය පටන් පොදු ජනතාව කළ කැප කිරීමේ එක් සාක්‍ෂියකි දරමිටි පෙරහර.

මුළු බෝධීන් වහන්සේම මහා වනාන්තරයෙන් එකල වැසී ගිය පසු, අලි ඇතුන් විත් ගහ කොළ විනාශ කරන කාලයෙත් දුප්පත් ගැමියන් එක්ව රැයක් පාසා බෝධිය අවට ගිනිමැළ ගසාගෙන අලි ඇතුන් පන්නා දමමින් රැකගෙන ඇත. ඒ අනුව අවුරුද්දක් පුරාම රැයක් පාසා මෙසේ ගිනිමැළ ගසා වන සතුන්ගෙන් රැකගන්නට ගම්මු අවශ්‍ය දරමිටි නිකිණි පසළොස්වක පොහොය දින පෙරහරින් ගෙන එනු ලැබ ඇත. අදටත් මේ ඉපැරැණි ගෞරවාදරය මුසු කැප කිරීම සිහිපත් කරමින් දරමිටි බැඳගෙන නිකිණි පොහොයට එන ගැමියන්ගේ ක්‍රියාව 'දරමිටි පෙරහර' නමින් හැඳින්වේ.

ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කරවන ලද්දේ ක්‍රි.පූර්ව තුන්වැනි සියවසේ බවට සාක්‍ෂි ඇත. වංසකතාවල කියැවෙන තොරතුරු වෙනත් සටහන්වලින්ද තහවුරු වේ. සාංචි තොරණ කැටයමකින්, මේ බැව් හොඳින් තහවුරු වෙයි. චීන ජාතික පාහියන්ගේ සටහන්වලින් පෙනෙන්නේ උන්වහන්සේ ලක්දිවට පැමිණි අවස්ථාවේදී ශ්‍රී මහා බෝධිය ගැනද සඳහන් වීම විශේෂයකි. ලෝකයේ මීට වඩා පැරැණි වෘක්ෂයක් තිබිය හැකිමුත් ශ්‍රී මහා බෝධියඉන් සුවිශේෂ වන්නේ එය ලිඛිත ඉතිහාසයක් සහිත පැරැණිම වෘක්ෂය වන නිසාය. එපමණක් නොව මේ නිසා ඇතිවූ සංස්කෘතික ප්‍රබෝධයද ඉතාමත් වැදගත්ය.

බුදු දහම ලක්දිවට වැඩම කිරීමේ ක්‍රියාදාමයේ සර්ව ව්‍යාපී පදනම වූයේ බෝධි ප්‍රතිෂ්ඨාපනයයි. බුදු දහම ලංකාවේ ව්‍යාප්ත වී ගිය වේගයෙන්ම ලක්දිව පුරා බෝධි රෝපණයද ව්‍යාප්ත වී ගියේය. සංඝමිත්තා මෙහෙණිය විසින් ගෙන එනු ලැබූ බෝධි අංකුරයෙන් හටගත් රූහඵල බෝධි 40ක් ලංකාවේ සිවු දිශාවේම රෝපණය කරනු ලැබීය.
බෝධි වෘක්ෂය දෙවැනි වූයේ ජීවමාන බුදුන් වහන්සේට පමණි. බුදුදහමට ලාංකේය ජන ජීවිතය නව මඟකට යොමු කළාක් මෙන්ම බෝධිය හා ඒ වටා ගෙතුණු චාරිත්‍ර වාරිත්‍ර ලාංකේය ජන ජීවිතය වෙළා ගත්තේය. ඒ ඇසුරින් නවමු සංස්කෘතියක්ද ගොඩනැඟුණේය.

දෙවනපෑතිස් රජතුමාගේ ඉල්ලීම අනුව සංඝමිත්තා තෙරණිය විසින් දඹදිව බුද්ධගයාවේ සිට ශ්‍රී මහා බෝධි ශාඛාව ලක්දිවට වැඩම කරද්දී බෝධීන් වහන්සේගේ කාර්යයන් ඉටු කිරීමට අටළොස් කුලයක පිරිසක්ද ලක්දිවට පැමිණ ඇත. ඒ අනුව මීට වසර දෙදහස් තුන්සිය ගණනකට පෙර මහමෙවුනා උයනේ තැන්පත් කර ඇරඹූ බෝධි පූජා සම්ප්‍රදාය ද වැදගත්ය. ලක්දිව පළමු බෝධි පූජාව පැවැත් වූයේ දේවානම් පියතිස්ස රජුය. බෝධිය නෞකාවෙන් වැඩමවද්දී තොටුපොළට නෞකාව එන්නටත් පෙර කරවටක් මුහුදෙහි බැස ගොස් දේවානම් පියතිස්ස රජු විසින් ලංකා රාජ්‍ය පූජා කර බෝධීන් වහන්සේ පිළිගැනීම පළමු බෝධි පූජාවය. රජු ‍ෙදාරටුපාලකයකු ලෙස ශ්‍රී මහා බෝධියේ ආරක්ෂකයකුව සිටීම දෙවැනි පූජාවය.

එතෙක් මෙතෙක් ශ්‍රී මහා බෝධිය සම්බන්ධව පැවැත එන පූජා සතරකි. එනම් දුරුතු මංගල්‍ය, පරණ අවුරුදු මංගල්‍ය, නානුමුර මංගල්‍ය, කාර්තික මංගල්‍ය යනාදියය. ශ්‍රී මහා බෝධිය වෙනුවෙන් රාජකාරි කටයුතු කිරීමට ගම් 48ක් එදා වෙන්කර තිබුණද අද ඇත්තේ ඉන් හතක් පමණක්මය. එදා දඹදිවෙන් පැමිණි දහඅට කුලයෙන් අද ඉතිරිව සිටින්නේ ශ්‍රී මහා බෝධියේ භාරකාරත්වය උසුලන බුලන්කුලමේ නුවරවැව පවුල පමණක්ය.

එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon