මාරක කිඹුලන් බදාගෙන ජීවත්වෙන අරුම පුදුම කිඹුල්ලන්තය

  👤  2772 readers have read this article !
2018-07-22

කිඹුලා කියන්නේ සත්ත්ව ලෝකයේ ජීවත්වන මාරාන්තිකම දඩයක්කාරයෙක්. ඒ හින්දම සතා සීපාවා විතරක් නෙවෙයි, මිනිසුන් පවා කිඹුලකුට කිට්ටු වෙන්නෙ බොහොම කල්පනාවෙන්. මොනම හේතුවක් නිසාවක් උන් එක්ක හිතවත්කම් පවත්වන්නෙ නැහැ. ඒත් මීට හාත්පසින්ම වෙනස් අදහසක් දරමින් කිඹුලන්ට ආදරය කරන, උන්ට ගෞරව කරන අපූරු ගම්මානයක් මේ ලෝකයේ තියෙනවා.

අප්‍රිකානු මහාද්වීපයේ බටහිරට වන්නට පිහිටි බර්කිනා ෆාසෝ රාජ්‍යය තවත් රටවල් 6කින් වටවෙලා පිහිටි (තචදඤතධජඬ) රාජ්‍යයක්. එරට අගනගරය වන ඔවාගඩෝගු නගරයට කිලෝමීටර් 30ක් පමණ අෑතින් පිහිටි බසෝලේ ගම්මානය කිඹුලන්ව බොහොම ආදරයෙන් රැක බලා ගන්න ගමක්. ගම්මානයේ කුඩා පොකුණක ජීවත් වෙන දැළි පිහි වගේ මුවහත් දත් සහිත 100කට ආසන්න කිඹුල් ගහනයක් බසෝලා ගම් වැසියන් රැකබලා ගන්නේ තමන්ගෙ පණ හා සමානවයි.

මේ ගම්මානයේ පුංචි වුන් කුඩා කල සිටම පොකුණට බැහැලා කිඹුලන් සමඟ සෙල්ලම් කරනවා.
"අපි පුංචි කාලෙ මේ කිඹුලන් එක්ක එකට පීනනවා. උන්ගෙ පිට උඩ යනවා. අපි අතර තියෙන්නෙ ඉතාම සමීප සබඳකමක්" බසෝලේ ගම්මානයේ ජීවත්වන තරුණයකු වන පියරේ කබෝරේ සඳහන් කරනවා.

ගම්වැසියන් පවසන්නේ මේ කිඹුලන් පූජනීය කිඹුලන් බවයි. උන් කිසිවිටෙක කිසිවකුට කරදරයක් නොකරන බව ඔවුන් සඳහන් කරනවා. ජනප්‍රවාදයේ එන අන්දමට බසෝලේ ගම්මානයේ මේ මිනිස් - කිඹුල් හාදකම් ඇරඹෙන්නේ 15 වැනි සියවස තරම් අෑත කාලයකයි. ඒ කාලයේ මේ ගම්මානයට දරුණු නියඟයකින් පීඩා විඳීමට සිදුව තිබෙනවා. මේ අතර කිඹුලෙක් ගම්මානයේ කාන්තාවක් එවකට සැඟව තිබූ මේ පොකුණ වෙත කැඳවාගෙන ගිය බව සඳහන් වෙනවා. ඊට කෘතගුණ සැලකීම සඳහා ගම් වැසියන් කිඹුලන් වෙනුවෙන් සාදයක් පවත්වා උන්ට මස්වලින් සංග්‍රහ කරලා. අදටත් කිඹුලන්ට කුකුළු මස් ආදී මස්වලින් ගම්වැසියන් සංග්‍රහ කරනු ලබනවා. ඒ විතරක් නෙවෙයි එදා පැවැති "කෑම් ලාක්රේ" නමින් හැඳින්වූ කිඹුල් සාදය අදටත් වාර්ෂිකව පවත්වනු ලබනවා. එදින ඔවුන් ආහාරවලින් කිඹුලන්ට සංග්‍රහකොට නිරෝගී බව, සෞභාග්‍ය මෙන්ම හොඳ අස්වැන්නක්ද කිඹුලන්ගෙන් ප්‍රාර්ථනා කරනවා.

මේ කිඹුලන් තම මිය ගිය මුතුන් මිත්තන්ගේ ආත්මය සහිතව ඉපදී ඇති බව බසෝලේ ගම්වැසියන්ඉතා දැඩිව විශ්වාස කරනු ලබනවා. ඒ හින්දා කිඹුලකු මිය ගිය විට මිනිසකුට සේම අවසන් ගෞරව දක්වමින් උන්ව මිහිදන් කරනවා.

මේ කිඹුලන් තමන්ව කොයි තරම් දුරට රැක බලාගත්තද කියනවා නම් ගමට අවාසනාවන්ත තත්ත්වයකට මූණ දීමට සිදුවන විට උන් අමුතුම ආකාරයෙන් ශබ්දයක් නඟමින් ඒ බව දන්වන බවද ගම්මු පවසනවා. මේ හඬ හොඳින් හඳුනාගන්නා ගමේ වැඩිහිටියන් එවිට ගම අවාසනාවෙන් මුදා ගැනීමට අවශ්‍ය පූජාවන් සිදුකරන බව සඳහන්.

විශ්වාස කළ නොහැකි තරමේ මේ අපූරු මිනිස් - කිඹුල් සබඳතාව දැකගන්න අෑත පළාත්වලින් සංචාරකයන් ඇදී එනවා. ඔවුන්ට ගමේ අලෙවි කිරීමට ඇති දිගු දණ්ඩක එල්ලා ඇති කුකුළෙක් රැගෙන ගම්වැසියකුද සමඟ කිඹුලන් සමීපයට යා හැකිය. මේ ගොදුර දකින කිඹුලන් පොකුණෙන් ගොඩ වෙන්නේ ඉතා කඩිසර විලාසයකිනුයි. එවිට සංචාරකයන්ට උන්ට කවා ගමේ වැසියාගේ උපකාරයද ඇතිව උගේ පිටේ නැඟී අමතක නොවන පින්තූරයක්ද ගත හැකියි.

ඉතා දුගී ගම්මානයක් වන බසෝලේ නගරයට ආදායමක් උපයා දෙන ප්‍රධානතම මාර්ගය වන්නේ සංචාරක කර්මාන්තයයි. නමුත් වසර 3ක පමණ කාලයක සිට බර්කිනා ෆාසෝ රාජ්‍යයේ පැතිර යන ජිහාඩ් ත්‍රස්තවාදය නිසා සංචාරකයන්ගේ පැමිණීම බෙහෙවින්ම පහත වැටිලා. මීට පෙර වාර්ෂිකව රටට පැමිණි 10,000කට අධික විදෙස් සංචාරක සංඛ්‍යාව මේ වන විට 4000ක් පමණ දක්වා පහත වැටී ඇති බව සංචාරක මඟ පෙන්වන්නන් සඳහන් කරනවා.

අනෙක් අතින් ගෝලීය උෂ්ණත්වයත් මේ අපූරු මිනිස් - කිඹුල් සබඳතාවට බලපෑමක් වෙලා. වසරින් වසර මෙම ප්‍රදේශයේ වර්ෂාපතනය අඩුවෙමින් පවතින අතර ඒ හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් පොකුණද සිඳී යමින් තිබෙනවා. තවත් වසර කීපයකින් එය සම්පූර්ණයෙන්ම සිඳී ගියහොත් මේ ලෝකයේ අහන්න ලැබෙන අපූරු මිනිස් - කිඹුල් සබඳතාවත් වියැකී යාවි

ගැමුණු රත්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon