ගැමුණු කුමරු වෙස්වළාගෙන ගතකළ සොඳුරු ජීවිතය මෙන්න

  👤  3023 readers have read this article !
2018-07-22

ගැමුණු කුමාරයා මාලිගයෙන් පිටත්වෙලා ඇවිත් ගෙනාපු කඩුව, දෙහඳු කඩුල්ලේ සඟවා කොටගේපිටිය උෟරුපැලැස්සේ මහගෙදරට ගොස් රස්සාවක් ඉල්ලලා තියෙනවා. පස්සේ ඔහුට හරක් බලාගන්න නියම කළා. මේ තැනැත්තාගේ කඩිසර කමත්, දක්ෂකමත් දැකපු ගමගෙදර අය මොහුට දැඩිලෙස ඇලුම්කරන්න පටන් ගත්තා. ගමේ අවට අය මොහු කළුපාට නිසා, "ගොම්බෙටි එද්දලයායි" කියන්න පටන් ගත්තා.

උෟරුපැලැස්සේ ගමගේ තමන්ගේ දියණියන් දෙදෙනාගෙන් කෙනෙක් මොහුට බන්දලා දෙන්න තීරණය කළේ මොහු රාජ කුමාරයෙක් බව දන්නේ නැතිව. එතෙන්දී කළුමැණිකේ, "කුමාරයා ගොම්බෙටි වාගේ කළුපාට යැයි" කියා අකමැති වුණ හින්දා රන්මැණිකේ මොහුට කැමැති වෙනවා. මේ දෙන්නා අතර දැඩි සම්බන්ධයක් ඇතිවෙන්න පටන් ගන්නවා. කුමාරයා මේ කාලයේ තමයි කුඹුරු කොටන්න උදැල්ලක් හදන්න නවන්ගම කම්මලට යන්නෙ. කම්මල්කරු මොහුගෙන් තොරතුරු අසා ඔහු පිට එකෙක් බව දැනගෙන උදැල්ලක් හදා නොදී සිටියා. පස්සේ කුමාරයා යකඩ කෑලි එකතු කර කෝවකට දමා උණු කරද්දී විශාල උදැල්ලක් හැදුණා. මේ දුටු කම්මල්කාරයාගේ භාර්යාව පින්වන්තයෙක්. මොනවා වේවිද කියා දන්නේ නෑ කියා කිව්වා. එවිට කම්මල්කරු එයා රජවෙලා අපිව උල තියයි කියලා කිව්වලු. පසුව ගැමුණු කුමාරයා රජවෙලා එකී කම්මල්කරු උලතැබූ ස්ථානය හෙවත් උල්ගලක් ඇති ස්ථානය ලෙසින් "උලපනේ" යන්න ප්‍රසිද්ධ වුණාලු.

ගොවිතැන් කටයුතු කිරීමට බිත්තර වී ලබාගැනීමට ගෙයක් ගෙයක් ගාණේ ගියත්, කුමාරයාට බිත්තර වී ලබාගන්න බැරිවුණා. පස්සෙ ගමේ ගොවි මහතා ලබාදුන් බොල් වී අරගෙන ගොස් මොහු වැපුරුවාට පස්සේ අනෙක් කුඹුරුවලට වැඩිය හොඳින් පැළ වෙලා හොඳින් හැදුණා. ගොයම් කපා පාගා ගන්න ඔහුට මී හරක් හොයා ගන්නත් අපහසු වුණා.කීපදෙනෙක්ගෙන් ඉල්ලුවත් හම්බවුණේ නෑ. පස්සේ, කෙවිටක් අරගෙන ගිහිල්ලා මොනරාගල කන්දෙ හිටවා ප්‍රාර්ථනයක් කළාලු. "මං ලංකාවෙම රජවෙලා රට එක්සේසත් කරන්නේ නම් මෙතැන්ට හරක් බානක් එයි" කියලා. පස්සේ බැලින්නම් එතන්ට කුළු හරක් බානක් ඇවිත් හිටියලු. ඊට පස්සේ කමත හැදීමට ගලපිටගල සිට විසිකළ කුල්ල වැටුණු තැන කමත හැදුවාලු. අර හරක් දෙන්නා අරගෙන ගිහිං ගොයම් පාගා ගෙදරට වී ඇද අවසන් කරන්නට බැරි වූ විට, කෙවිටත් ගෙන මෙතැනින් නවතින්න යැයි" ප්‍රාර්ථනා කළාලු. එතැනින් වී ආ මාර්ගය නැවතුණාලු. එතැන් සිට ඒ ස්ථානය "වී සැතපෙන හෙළ" නමින් ප්‍රචලිත වුණා. කුමාරයා රජ ඇළ හරහා කුඹුරට වතුර ගෙනල්ලා තියෙනවා. මා වෙල ඇති "රණමොණ" (රන් අමුණ) පීල්ල ඔහු ප්‍රයෝජනයට අරන් තියෙනවා.

දවසක් උදෑසනම "හිද්දලයා" කුඹුරේ වැඩට ගියාලු. ඉර මුදුන් වෙනකොට රන්මැණිකා ඇඹුල අරන් යතුරු ගැහු ලියද්ද වෙත ගියා. ගියාට පස්සෙ හිද්දලයා දවල් ඇඹුල එහෙම අනුභව කරලා පැළට වෙලා රන් එතනාගේ ඔඩොක්කුවේ හිස තබාගෙන ඉන්න විට ටික වේලාවකින් ඔහුට නින්ද ගියා. මෙසේ ඉන්නකොට ඔහු හීනයක් දැක්කා. තමන්ගේ කටින් එළියට දිව ඇදිලා. වමනේ යනවා ඔහු දැකලා තියෙනවා. වහා තිගැස්සී අවදි වී ඔහු මේ සිහින සුබ සිහිනයක් බව දැනගෙන තියෙනවා.

ටික වෙලාවකින් පුසුල්පිටිය විහාරය පැත්තේ පෙරහැරක සද්දේ ඇහෙන්න පටන්ගත්තා. ඔහු විමසිලිමත් වුණා. ඒ සද්දෙ රන් මැණිකාට ඇහිලා නෑ. පස්සේ පෙරහර ක්‍රම ක්‍රමයෙන් මාස්වෙල යතුරු ගැහූ ලියද්ද වෙත ළංවෙලා තියෙනවා. පෙරහැරේ ආපු මංගල හස්තිරාජයා මොහු ළඟ දණ ගහනකොට හැමෝම පුදුමයට පත්වුණාලු. මේ වෙනකොට කුමාරයා කකුල්වල එහෙම තිබ්බ මඩ සෝදාගෙන තිබුණෙත් නෑ. පස්සේ කුමාරයා රණමොණේ පීල්ලෙන් නාලා මඟුල් ඇතා පිටට නැගිලා රංමැණිකාත් එක්ක "මාගම" ගියේලු. එතැන් පටන් මඩ සෝදාගත් කල ගොවියා රජකමටද සුදුසුයි යන්න ජනයා අතර ප්‍රකට වුණා.

ඉපැරැණි ජනප්‍රවාදගත තොරතුරු ඇසුරෙනි
සුලක්ඛන ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon