කොලමක් ලියා උසාවියට අපහාස කළා යැයි ඩේලි නිවුස් කර්තෘ හිරේ

  👤  2844 readers have read this article !
2018-07-22

සමඟි පෙරමුණ ආණ්ඩුව බිහි වූ මුල් සමයේ Daily News කර්තෘ ධුරයට පත්වූ මර්වින් ද සිල්වා මහතා 1975දී ඉවත්වූ පසු එම ධුරයට පත් වූයේ Times of ceylon පත්‍රයේ කතුවරයා ලෙස කලක් කටයුතු කළ ෆ්‍රෙඩ්රික් ලයනල් ඩේවිඩ් ද සිල්වා මහතාය.

මවුපියන්ට අවශ්‍යව තිබුණේ ඔහු ඉංග්‍රීසි අධ්‍යාපනය නිමා කළ පසු බැරිස්ටර්වරයකු කිරීමටය. එහෙත් කුඩා කල සිටම ඔහු උනන්දු වූයේ පොත් පත් සඟරා කියැවීමට හා ලිවීමටය. කෙසේ හෝ තරුණ වියට පත්වූ ෆ්‍රෙඩ්රික් තම අභිප්‍රාය ඉටු කර ගත්තේ පුවත්පත්කලාවේදියකු ලෙස ලේක්හවුස් ආයතනයේ සේවයට එක්වීමෙනි. ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳව කෙටි කලකින් ඔහු දැක්වූ දස්කම් හේතුවෙන් 1956දී මෙල්බොන් නුවර පැවැති ඔලිම්පික් උළෙල වාර්තා කිරීම සඳහා ඕස්ට්‍රෙලියාවට යෑමට තෝරා ගෙන තිබුණේද ඔහුය. ෆ්‍රෙඩ් ද සිල්වා නමින් දක්ෂ ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියකු ලෙස නමක් හිමිකර ගත් ඔහු 1961දී Times පත්‍ර සමාගමට බැඳී Daily mirror කතුවරයා වී යළි ලේක්හවුස් ආයතනයට ආවේය. ඒ 1975දීය Daily News කර්තෘ ධුරයේ සිටිමින් ඔහු මිථුන නමින් පත්‍රයට සතිපතා කොලමක් රචනා කළේය. එකල අතිශයින් ජනප්‍රිය වූ එම කොලම පළ වූ පිටුව භාරව සිටියේ පසුකලෙක දෙවරක්ම Daily Newsපත්‍රයේ කතුවරයා වූ එස්. පරණවිතාන මහතාය.

ෆ්‍රෙඩ් ද සිල්වා මහතා දිනක් කොළඹ උසාවියක වූ සිදුවීමක් තම කොලමට මාතෘකාව කර ගත්තේය. එකල පැවැති ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජෝන් ඩියන්දාස් වරක් උසාවියට කැඳවා තිබිණි. ඔහු ඉන්දීය ජාතිකයෙකි. එදින ඔහු අධිකරණයේ පෙනී සිටියේ අත් කොට කමිසයකින් හා කලිසමකිනි. එම නඩුව විමසුවේ පසුකලෙක අගවිනිසුරුවරයකු වූ ජී.පී.ඒ. සිල්වා මහතාය.

ජෝන් ඩියස්දාස් මහතා සාක්කි දීම සඳහා විත්ති කූඩුවට නැංගේය. එහෙත් විනිසුරුවරයා සාක්කි විමසීමට පෙර ඩියන්දාස් ඇඳ සිටි ඇඳුම උසාවියට නොගැළපෙන එකක් බව ප්‍රකාශ කළේය. අධිකරණයේ පෙනී සිටින අවස්ථාවලදී ඇඳුමටත් සම්ප්‍රදායයක් ඇති බවත් නීති රීති ඇති බවත් විනිසුරුවරයා කියා සිටියේය. නිසි ඇඳුමින් පෙනී නොසිටීම උසාවියට කරන අගෞරවයක් බවද විනිසුරුවරයා කීය.

විනිසුරුවරයාගේ ප්‍රකාශය ෆ්‍රෙඩ් ද සිල්වා මහතා තම කොලමට පදනම් කර ගත්තේය. 'අප ජීවත්වන්නේ තවමත් අධිරාජ්‍යවාදී යුගයකදැයි' ඔහු එමඟින් නොබියව ප්‍රශ්න කළේය.
ලිපිය කියැවූ ඇටර්නි ජනරාල්වරයා කොලම ලියූ ලේඛකයාට එදිරිව නඩුවක් පැවැරුවේ උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේය. ඒ සඳහා කරුණු විමසීමට ෆ්‍රෙඩ් ද සිල්වා මහතාට විත්ති කූඩුවට නඟින්නට සිදුවිය.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන් තර්ක කෙරුණද විනිසුරු තීරණය වූයේ සිල්වා මහතා වරදක් කර ඇති බවයි. උසාවියට අපහාස කිරීම යටතේ ච්චඪතර ව්ඥඹඵ කතුවරයාට බරපතළ වැඩ සහිතව මාස හයක සිර දඬුවමක් නියම කෙරිණි.

සිල්වා මහතා බන්ධනාගාර රියේ නැඟී වැලිකඩට ගියේය. එකල අද මෙන් ජනමාධ්‍ය නිදහස ගැන කතා කරන, උද්ඝෝෂණය කරන පරිසරයක් හෝ මාධ්‍ය සංගම් හෝ නොවීය. සිල්වා මහතා බන්ධනාගාරගත කළ පසු නිතිපතා හිරබත් වෙනුවට කෑවේ ආයතනික මට්ටමින් හා මාධ්‍ය සගයන් යැවූ බත් පිඟානකි. ඊට අමතරව සිගරැට් පැකට්ටුවක් දිනපතා යැවුණු බව දැන ගන්නට ලැබිණි.

සිල්වා මහතා ලියූ කොලම පළ වූ පිටුව භාරව සිටි පරණවිතාන මහතා එකල සිටි ප්‍රබල සමසමාජ පාක්ෂිකයකු වූ අමරදාස ෆර්නැන්ඩු මහතා හමුවට ගියේ සිල්වා මහතා සිර ගෙදරින් ගලවා ගැනීමට පොටක් පාදා ගනු පිණිසය. ඔවුන් දෙදෙනාම ආනන්දයේ එකම පන්තියේ උගත් මිතුරෝ වූහ. දෙදෙනාම එකතු වී තවත් ආදි ආනන්දීයකු සොයා ගියහ. ඒ සමසමාජ පක්ෂයේ දකුණු කොළඹ මන්ත්‍රිවරයාව සිටි බර්නාඩ් සොයිසා මහතාය.

දෙදෙනාගේ කතාවට සවන් දුන් සොයිසා මහතා එවෙලේම පානදුර මන්ත්‍රි ලෙස්ලි ගුණවර්ධන ඇමැතුවේය. ගුණවර්ධන මහතා එවක ආණ්ඩුවේ ප්‍රවාහන ඇමැතිවරයාය. බර්නාඩ් සොයිසා මහතා සියලු විස්තර ලෙස්ලි ගුණවර්ධන මහතාට කීවේය. අනතුරුව ඉල්ලීමක් කළේ වහාම අධිකරණ ඇමැතිවරයාව සිටි ෆීලික්ස් ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට තම හිතවතුන් දෙදෙනා යොමු කරවන ලෙසය.

ඒ අනුව ගුණවර්ධන ඇමැතිවරයා කැබිනට් ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගත් පසු ඇමැති ෆීලික්ස් කීවේ පරණවිතාන හා අමරදාස දෙදෙනා පැය බාගයක් තුළදී තමා හමුවට එවන ලෙසය.

දෙදෙනා ඇමැති ෆීලික්ස් හමුවට ගියද ඒ වන විටත් ෆ්‍රෙඩ් ද සිල්වා මහතා හය මාසයකට සිරගෙට නියම කළ පුවත ඇමැතිවරයා දැන සිටියේය. ඔහු කළේ සිද්ධිය විස්තර කරමින් අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වෙත ලිපියක් යතුරුලියනය කර එය මැතිනිය අතට පත් කරන ලෙස දෙදෙනාට දැනුම් දීමය.
ලිපිය අතට ගත් පරණවිතාන හා අමරදාස දෙදෙනා අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොස් ලිපිය භාර දුන්හ. අගමැතිනිය කළේ එම ලිපිය එවකට ජනාධිපතිවරයා වූ විලියම් ගොපල්ලව මහතා වෙත යොමු කිරීමය.

ජනාධිපති විලියම් ගොපල්ලව මහතා අදාළ කටයුතු නීතිමය ආකාරයට සිදු වන සේ නිම කර දුන් බැවින් Daily News කර්තෘවරයාට විශේෂ සමාවක් යටතේ හිර ගෙදරින් නිදහස් වීමට හැකි විය. සිල්වා මහතා හිරගෙදරින් එළියට ආවේ ජූලි 13 වැනිදා ඔහුගේ උපන් දිනයදා වීම සුවිශේෂත්වයක් විය.
කර්තෘ ධුරයේ සේවය කරමින් සිටියදීම 1976 මාර්තු 29 වැනිදා හදිසියේ ෆ්‍රෙඩ් ද සිල්වා මහතා මිය ගියේ ලේක්හවුස් ආයතනයේම සේවය කළ සිය බිරිය හා දරුවන් තිදෙනා තනි කරමිනි.

මේ සමඟ පළවෙන ඡායාරූපය ලබා ගත්තේ ඔහු මිය යාමට සති 8කට පෙර බවද ජීවතුන් අතර සිටියා නම් පසුගිය ජූලි 13 වැනිදා ඔහු සිය 98 වැනි ජන්ම දිනය මහනුවරදී සමරනු ඇති බව ෆ්‍රෙඩ් ද සිල්වා මහතාගේ එකම දියණිය මායා ද සිල්වා මෙනෙවිය මා සමඟ පැවැසුවාය.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon