ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සෙංකෝලයට කඩා පනින මන්ත්‍රිවරු

  👤  2586 readers have read this article !
2018-07-22

පාර්ලිමේන්තුවේ සෙංකෝලය උදුරා ගෙන දුවන්නට සැරසෙන මන්ත්‍රිවරු ඔබ දැක තිබේද. දැන් එය අපේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සිදුවීමක් බවට පත්වෙමින් තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක සම්ප්‍රදායයන් හා ඒවායේ වටිනාකම නොදත් කිහිපදෙනකු නිසා සමස්ත පාර්ලිමේන්තු ක්‍රමයම හෑල්ලුවට පත් වෙමින් තිබේ. පාර්ලිමේන්තුවේදී විරෝධය පාන්නේ නම් එය කළ හැක්කේ කෙසේදැයි ඔවුහු නොදනිති. සමහර විට එම මන්ත්‍රිවරු සිතනවා ඇත්තේ සෙංකෝලය ආණ්ඩුවේ සංකේතය කියාය. රාජකීය කකුධ භාණ්ඩයක් ලෙස සෙංකෝලයට ඇති අභිමානය හා ගෞරවය ගැන ඔවුන්ට වැටහීමක් නැත. දෙවියන් පා තබන්නට බිය බිමෙහි මෝඩයන් පිනුම් ගසනවා යැයි කතාවක් තිබේ. සිදු වෙමින් පවතින්නේ එයයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද, බලතල නිශ්චය කොට දැක්වීම පිණිසත් භාෂණයේ සහ විවාද කිරීමේ නිදහස ආරක්ෂා කිරීම පිණිසත් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධයෙන් දඬුවම් පැනවීමට සහ විධි විධාන සැලැස්වීමටත් 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත සම්මත කර තිබේ. එහෙත් වත්මන් පාර්ලිමේන්තුව මේ කිසිදු නීතියක් භාවිතයට නොගෙන සෙංකෝලය ඩැහැගන්නට කඩා පැනීමේ ජුගුප්සාජනක ක්‍රියාවට ඉඩ දී සිටී.
එය කථානායක ස්වකීය වගකීම පැහැරහැරීමකි.

පාර්ලිමේන්තු සැසිය ආරම්භයේ කථානායකවරයා මූලාසනාරූඪ වූ වහාම වේත්‍රධාරි විසින් සෙංකෝලය සභා මේසයෙහි පළමුවන කත්තුවෙහි රඳවයි. සෙංකෝලය කථානායකවරයාගේ බල අධිකාරියෙහි සංකේතය වන්නේය. පාර්ලිමේන්තුවේ සෑම රැස්වීමක්ම පැවැත්වෙන්නේ පළිඟු කේතුව ආණ්ඩු පක්ෂය දෙසට යොමුවන සේ පළමුවන කත්තුවෙහි තබන ලද සෙංකෝලය ඇතිවය. එය නොමැතිව පවත්වන කිසිදු පාර්ලිමේන්තු සභාවාරයක් රීත්‍යනුකූලව ස්ථාපිත නොවේ. පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු කාරක සභාවක් බවට පත්වී කථානායකවරයා මුලසුනෙන් ඉවත්ව මහ ලේකම්ගේ අසුනට පැමිණි විට සෙංකෝලය දෙවැනි කත්තුවෙහි රැඳවේ.

වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අපට බි්‍රතාන්‍යයෙන් ලැබුණා සේම සෙංකෝලයද ලැබුණේ බි්‍රතාන්‍යයෙනි 1949 ජනවාරි 11 සෙංකෝලය සහ කථානායක පුටුව රැගත් බි්‍රතාන්‍ය නියෝජිත පිරිස මෙහි පැමිණ තිබේ. එම පිරිසේ ප්‍රධානියා වූයේ මහාමාන්‍ය මේජර් මිල්නර් මහතාය. සෙංකෝලය පැහැර ගන්නට මාන බලන නූතන පාර්ලිමේන්තුවේ පෝරිසාදයන්ගේ දැනගැනීම පිණිස එදා විශේෂ අමුත්තකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතූ මිල්නර් මහතාගේ කතාව මෙසේ සඳහන් කරමි.

ගරු කථානායකතුමනි,
ඔබගේ දේශයේ ඉතිහාසයත් සම්ප්‍රදාය හා සංස්කෘතියත් බොහෝ දුරට මූර්තිමත් කරන මේ සෙංකෝලය, බි්‍රතාන්‍ය මහජන මන්ත්‍රි මණ්ඩලය වෙනුවෙන් මම දැන් ඔබගේ වේත්‍රධාරීගේ භාරකාරත්වයට පවරා දෙමි. මේ පැවැරීම සිදු කරන්නේ සෙංකෝලය ලක්වැසි ජනතාව විසින් මේ ගරු සභාවට පැවරුණු ගරුත්වයක්, බලයක් පිළිබඳ සංකේතයක් වශයෙන් පවත්නා පිණිසය. ස්වාධීන පාර්ලිමේන්තුවක් නිදහසේ සිය විවාද පැවැත්වීමට රැස්ව සිටින බව දක්වන සලකුණක් වශයෙන් පවත්නා පිණිසය.
මේජර් මිල්නර්ගේ කතාවෙන් පසු සභානායක ඇස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ස්තුති යෝජනාවක් ඉදිරිපත් කරන්නට යෙදිණි. එහිදී හෙතෙම මෙසේ පැවැසීය.

"අප දෙරටේ නව සබැඳියාව සංකේතවත් කරනු පිණිස අද මෙහිදී පිරිනැමුණු කථානායක ආසනයටත්, සෙංකෝලයටත් වඩා උචිත අනෙක් ත්‍යාගයක් බි්‍රතාන්‍යයෙන් අප වෙත පිරිනමනු හැකි නොවනවා ඇත යන්න අප කාගෙත් කල්පනාවය."

පොදුවේ සමස්ත පාර්ලිමේන්තුවේත් විශේෂයෙන් කථානායකවරයාගේත් බලයත් අධිකාරියත් සංකේතවත් කරන ඓතිහාසික කකුධ භාණ්ඩයක් වන සෙංකෝලය සභා මේසය මත ඇතිව නියෝජිත මන්ත්‍රි මණ්ඩලය රැස්වී කටයුතු කළ ප්‍රථම අවස්ථාව එය වූයේය.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon