ඇහැළේපොළ අකෘතඥ මිනිසෙකි ඔහුගෙන් ප්‍රවේසම්වන්න

  👤  3113 readers have read this article !
2018-07-22

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගී්‍රසීන් විසින් අත්අඩංගුවට ගෙන ඉන්දියාවේ මදුරාසියේ වෙල්ලෝරය වෙත ගෙන යෑමෙන් පසු සිංහලේ රාජධානිය පිළිබඳ කතාව ශෝචනීය ලෙස අවසන් වූයේය. මැද මහනුවර බෝමුරේ උඩුප්පිටියේ ආරච්චිගේ නිවසේ සිට අත්අඩංගුවට ගත් සිංහලේ අවසන් රජු කොළඹට ගෙන ඒමෙන් පසු "කොන්වැලීස්" නම් බි්‍රතාන්‍ය යුද්ධ නෞකාවෙන් මදුරාසිය කරා ගෙන ගොස් තිබේ. රජුගේ පිටත්ව යෑම සම්බන්ධව කර්නල් හාඩි විසින් තබන ලද වාර්තා පසු කලෙක එළි දැක්වුණු අතර ඒවා සත්‍ය සංවේදී අවස්ථාවන් වූයේය. එම සුවිශේෂ අවස්ථාව සිහිගන්වන ජනකවි පවා ඒ ඇසුරින් නිර්මාණය වී තිබිණි.

"රාජකීය පිරිස ගෙන යෑම පිණිස කාල තුවක්කු 74ක් සවි කරන ලද කොන්වැලීස් නෞකාව කොළඹ වරාය ආසන්නයට පැමිණ නැංගූරම් ලා තිබිණි. නෞකාව දක්වා රාජකීයයන් රැගෙන යෑමට බෝට්ටු 4ක් සූදානම් කර කොළඹ වරායේ නවත්වා තිබූ අතර රජ පවුලේ අයට නැව් පතිගේ බෝට්ටුව වෙන් විය.

රජුට බිසෝවරුන්ට මවු බිසවට සහ නැන්දණියට වෙන්වූ එය අලංකාර අන්දමින් සරසා තිබුණේය. නීල වර්ණයෙන් යුතු පටරෙදිවලින් නිමැවූ උඩු වියනින් යුතු බෝට්ටුවේ සිවිලිමෙහි සවර්ණ වර්ණ රැලි මාලා එල්ලන ලදුව සැ¼දෑ හිරු එළියෙන් බැබළුණි. ලක්ෂණ මල් කමින් යුතු පලස් එළා බිම වසා තිබිණි. බෝට්ටුව පැදවීමට සිටි මිනිසුන් සිවු දෙනා හොඳින් හැඳ පැලැඳ සිටියෝය.

රජ පිරිස බෝට්ටුවට නංවන අවස්ථාවේ රජු සන්සුන් ලීලාවෙන් සිටි නමුත් බිසෝවරු කැලඹුණු ස්වභාවයෙන් සිටි බව පෙනිණි. බිසෝවරුන්ට වෙනත් අයකුගේ ආධාර නැතිව බෝට්ටුවට නැඟිය නොහැකි විය.

ඔවුන් විපිළිසරව බලා සිටින අයුරු දුටු ශ්‍රී වික්‍රම රජු ඔවුන්ට ආධාර කරන ලෙස පහත රට නිලමේවරුන්ට අවසර දුන්නේය. රජුගේ අනුමැතියෙන් තොරව රජ පවුලේ අය ස්පර්ශ කිරීම රාජනීතියට විරුද්ධය. රජු පහත රට මුදලිවරුන් අමතා "නුඹලා මාගේ දරුවෝය. බිසෝවරුන්ට ඔරුවට නැඟීමට උදවු කිරීමට මම නුඹලාට අවසර දෙන්නෙමැයි" කීවේය.ඔවුන් විසින් බිසෝවරු බෝටටුවට නැංවූ පසු රජුද ඊට ගොඩවිය. ඉන්පසු එළැඹියේ සිංහල දේශයේ අවසන් රජු රටින් පිමංව යන මොහොතය. තම රටත් රාජ්‍යයත් සියලු වස්තුවත් අත්හැර දමා නුහුරු නුපුරුදු දුරු රටක සිරකරුවකු ලෙස යෑමට සිදුවීම නිසා ජනිත වන බලවත් ශෝකය රජු ධෛර්යයෙන් මැඬ පවත්වාගෙන සිටියේය. අනතුරුව මිරිවැඩිසඟල දෙපාවලින් ඉවත් කොට සීරුවෙන් නැඟී සිටියේය. හකුළන ලද දෑත් පපුව මත තබා අහසට නෙත් යොමා සිත එක් අරමුණකට ගෙන ස්වල්ප වේලාවක් නිශ්ශබ්දව සිටියේය.

ඉනික්බිති සන්සුන් ඉරියව්වෙන් වාඩිගත් රජතුමා බෝට්ටුව ගමන් අරඹන්නට සංඥා කළේය. පස්වරු 4.15ට රාජකීයයන් රැගත් බෝට්ටුව ලංකා වෙරළින් බැහැරට ගමන් ඇරඹීය. ලංකා මාතාවගේ තේජාන්විත ප්‍රෞඪ නරපතියා එදින ඇගෙන් සදහටම වෙන්වීය. රජුගේ බඩු බාහිරාදිය රැගත් සේවක පිරිසද ජේම්ස් සදර් ලෑන්ඩ් සහ ග්‍රැන්විල් ආදී සෙසු නිලධාරීහුද සෙසු බෝට්ටුවල ගමන් ගත්හ. රජ පවුලේ වනිතාවන් දෙස නැවියන්ගේ බැල්ම වැටීම වළක්වනු පිණිස රාජකීයයන් ගමන්ගත් බෝට්ටුවේ තිර රෙදි පහත හෙළා තිබිණ. වරින් වර හැමූ සැඩ මාරුතය බිසෝවරු බිය ගැන්වීය. බිසොවරුන්ගෙන් ඇතැමකු සිය ස්වාමියාගේ දෙපාමුල වැටී හුන්හ. උස්ව නැඟෙමින් කැඩෙන බිඳෙන සාගර තරංග වැදීමෙන් බෝට්ටු පැද්දෙන්නට වූ අතර එම නුහුරු අත්දැකීම රජ පිරිසට සෑහෙන පීඩනයක් ගෙන දුනි. ඔවුන් පැය 1 1/2ක් ගතවූ පසු හරියටම ප.ව. 5.45ට නැව අබිමුවෙහි වූහ.

නැවෙහි වූ ආධාරක පහතට හෙළනු ලැබූයෙන් එක් එක් බිසෝවරු පුටු මත වාඩිකොට ඉහළට ඔසවන ආකාරය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මවිතයෙන් බලා සිටියේය. රජ පිරිසට අයත් සියල්ලන්ම නැවට ගොඩවනතුරු රජු බෝට්ටුව අත් නොහැරියේය. පසුව එපරිද්දෙන්ම රජුද පුටුවක හිඳුවා නැව තුළට ගත්තේය. නැවියෝ තුවක්කු ගත් අත් ඇතිව පෙළට සිටිමින් රජුට ආචාර කළහ. නැව තුළින් මධුර බෑන්ඩ් තූර්ය වාදන ඇසෙන්නට වූයේය. ප්‍රධාන කපිතාන් ඕබි්‍රයන් නැව් ‍ෙදාරටුවේදී ගෞරවාචාර දක්වා රජු පිළිගෙන තමාගේ කාමරයට කැඳවාගෙන ගියේය. එහි ඇතුළු වූ රජු එහි මධ්‍යයේ වූ ආසනයෙහි එරමිණිය ගොතා හිඳගත්තේය. බිසෝවරුද ශිරෝජාලා සහිතවම කාමරයේ කොනෙක හිඳ ගත්තෝය.

කපිතාන්වරයා රජු කැඳවාගෙන ගොස් රජ පිරිස සඳහා වෙන්වූ නැව් තට්ටුවේ කාමර පෙන්වීය. වම්පස කාමරය රජු තමන්ගේ ප්‍රයෝජනය සඳහා වෙන්කර ගති. එකක් මවු බිසවටද එකක් බිසෝවරුන්ටද වෙන් කරගත් පසු සෙසු කාමර සේවක පිරිස තමන් රුචි පරිදි තෝරා ගන්නා ලදහ.

තමා කොළඹ හැර ඒමට ප්‍රථම ආණ්ඩුකාර සර් බ්‍රවුන්ඩ්‍රිග් තමා දකින්නට නොපැමිණියේ මන්දැයි රජු හදිසියේම ග්‍රැන්විල්ගෙන් ඇසීය. තමා ඒ ගැන කිසිත් නොදන්නා බව ග්‍රැන්විල් පැවැසීය. රජු බලවත් පිළිකුලෙන් මෙන් මුහුණ හරවා අඩක් වැසූ නෙතින් යුතුව ඇහැළේපොළ නිලමේ කොහේදැයි ඇසීය. ග්‍රැන්විල් නිලමේ සිටින ස්ථානය පැහැදිලි කළේය.

යුෂ්මතුන්ද ඒ මනුෂ්‍යයාගෙන් ප්‍රවේසම් විය යුතු යයි රජු කීය. ඔහුගේ පියකු මෙන් සිටි මට ද්‍රෝහිකම් කළ ඒ තෙමේ යම් දිනක යුෂ්මතුන්ද රවටනවා ඇත. ඔහු බලතල අත්කර ගැනීමේ ආශාවෙන් මඬනා ලද අකෘතඥ මනුෂ්‍යයකු බව රජු පැවැසීය. මොල්ලිගොඩ නිලමේ රජතුමාට පක්ෂපාත ඇමැතියෙක් දැයි අනතුරුව ග්‍රැන්විල් ඇසීය.

ඔව් මොල්ලිගොඩ යහපත් මිනිසෙකි. එහෙත් ක්‍රියාශීලී මිනිසකු නොවේ. ඔහු දැන් ඉංගී්‍රසීන්ට සේවය කරන්නට දිව්රුම් දී තිබෙන නිසා ඔහු කෙරෙහි විශ්වාසය තැබිය හැකිය. ඔහු ඒක භක්තිකයෙකි. ඔහුට යම්තම් හෝ ඉඩක් වී නම් මා අත්නොහරිනු ඇත. නුඹලාට ඔහුගෙන් වැඩි ප්‍රයෝජනයක් නැත. මන්ද ඔහුට බොහෝ සතුරෝ සිටිති.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon