නිරෝමි කොටි සංවිධානයෙන් අස්වීමට තීරණය කරයි

  👤  3605 readers have read this article !
2018-07-22

"හෙට ඔයාගේ හොඳම යාළුවා සංවිධානෙට විරුද්ධ යමක් කළා කියමුකො ඔයා ඒ ගැන වහාම අපට දැනුම් දෙන්ඩ ඕනෑ"
"පළවෙනිම දේ තමයි සංවිධානය"
මම තරමක් දුරින් සිටි අකිලා දෙස බැලුවෙමි. ඇය නිවෙසහි පඩිය මත වාඩි වී තවත් ගැහැනු ළමයකු සමඟ කතා බහක යෙදී සිටියාය. මට අජන්ති සහ නිහින්තා සිහි විය.
මුරලි සහ ගාන්ධි ද සිහි විය. සංවිධානය කෙරෙහි ඇති පක්ෂපාතී බව මගේ මිතුරු මිතුරියන් කෙරෙහි ඇති ස්නේහයට වඩා ඉහළින් ඔසවා තබන්නට නුපුළුවන් බවක් මට දැනුණි.
"ඒ වුණාට මහත්තයා අයියා, මං කොහොමද හරි වැරැද්ද හරියටම නිශ්චය කර ගන්නේ? නිරපරාදෙ කවුරු හරි මං නිසා දඬුවම් ලබනවා නම්, මං ඒකට කැමැති නැහැ"
මා කීවේ ශාන්තන් හා නෝරා පිළිබඳව මෙන්ම මගේ ඉල්ලා අස්වීම ගැන ද සිහියට නංවමිනි.

"ඔයා හැම දෙයක් ගැනම ඕනවට වඩා හිතනවා. කොහොම නමුත් කාගෙ හරි හැසිරීමේ අසාමාන්‍ය වෙනසක් දැක්කොත් අපිට දැනුම් දෙන්ඩ ඕනෙ"
මා මහත්තයා වෙතින් ඉවතට ගියේ අන් කවරදාටත් වඩා චංචල වූ සිතකින් යුතුවය. මා සංවිධානය තුළ ස්ථාපිත කරනු වෙනුවට ඔහු කළේ මගේ සිතුවිලි හා අදහස් නොසලකා හැරීමයි. සාධාරණයට වඩා වැදගත් හා බලසම්පන්න වී ඇත්තේ තුවක්කුවේ නීතියයි. ආයුධත්, භීෂණයත් නොමැති තැන තමා බල රහිත බව ඔවුන්ගේ විශ්වාසයයි.

සියල්ල අවසානයේදී කොටි සංවිධානයේ නියෝජ්‍ය නායක මෙන්ම ප්‍රභාකරන්ගේ වඩාත්ම විශ්වාසදායක සගයා වූ මහත්තයා මට ඉඩ අවකාශ සලසා දුන්නේ සංවිධානය තුළ රැඳී සිටින්නට නොවේ.

බලය ලබා ගන්නට කොටි සංවිධානය යොදා ගත්තේ භීෂණයයි. ශ්‍රී ලංකා රජයත් පෙරළා සිදු කළේද එයම යැයි මට සිතිණි. මෙම සාවද්‍ය හා දුෂ්ට චක්‍රය තුළ පීඩාවට පත් වූයේ ශ්‍රී ලාංකික ජනතාව නොවේද?

බොහෝ දෑ තේරුම් ගන්නට මට වසරක පමණ කාලයක් ගත විය. සංවිධානය හා සම්බන්ධ වන විට මා සිතා සිටියේ අප සිටින්නේ දිනන පැත්තේ බවය. නිසැකවම දෙමළ ඊළම ජය ගන්නට අපට හැකිවන බවය. අජන්ති, මුරලි, රොෂාන් වැනි සහෘදයෝද මගේ සිත හඳුනා ගනිමින් මා සමඟ සිටියහ.
දැන් ඒ කිසිවෙක් මා අසල නැත. ශාරීරික වශයෙන්ද මා නිරෝගී නැත. මට ඇත්ත ඇති සැටියෙන් පෙනෙන්නට වූයේය.

සාමය දිනාගනු වස් ක්‍රියාත්මක කෙරෙන්නේ භීෂණය නම්, මගේ රටට කිසිදාක සැබෑ සාමය උදාවනු නොමැත.

රාත්‍රිය වන විට මහත්තයා සහ ඔහුගේ සහචරයෝ පෙනෙන්නට නොසිටියහ. නිවෙසට මීටර් පනහක් පමණ දුරින් වූ පඳුරක් යට තණ බිමක අපි වැතිර සිටියෙමු. ඒ වන විට මගේ සිත තුළ වූයේ ස්ථීර තීරණයකි. පසුවදා උදෑසන කණ්ඩායම යළිත් වනයට ඇදෙන්නට පෙරාතුව මා ඉල්ලා අස්විය යුතුය. නොනිදා හැරෙමින් පෙරළෙමින් මා සිටියේ නොසන්සුන් වූ මනසකිනි.

"හා හා නිදාගන්ඩ" අකිලා මගේ උරහිසට තට්ටු කළේ අඩ නින්දෙනි.
"මුර ඩියුටි යන්නත් තියෙනවනේ"
මඳ වූ සඳ එළියේ මම ඇගේ මුහුණට එබී බැලුවෙමි. ඇය ඉතා සෙමින් ගොරවමින් සිටියාය.

කොතරම් සැක සහිත වුවද, ගැටලු සහගත වුවද ඇය මා දන්නා කලෙක සිට කොටි සංවිධානයට එක සේ පක්ෂපාතීව සිටියාය. මා මෙන් නොව ඇය මුළු ආත්මයෙන්ම සංවිධානයට කැප වී සේවය කළාය. අපගේ මිත්‍රත්වය වෙනුවෙන්ද ඇය එපරිදිම කැප වූ බව මට සහතිකය.
අකිලාට මා කළේ බරපතළ වැරැද්දක් යැයි මට සිතුණි. ඒ මොහොතේ මට දැනුණේ බලවත් වේදනාවකි. ඇය අවදි කර මගේ තීරණය පවසන්නට සිතුණද මගේ සිත ඊට ඉඩ දුන්නේ නැත.

එසේ කළහොත් ඇය මා වළක්වාලනු ඇත. මගේ තීරණයට බලපෑම් කරන්නට දැන් ඉතින් කිසිවකට හෝ කිසිවකුට ඉඩක් දිය යුතු නැත.
ඇය නම් මිය යන තුරු කොටි සංවිධානය හැර නොයන බව මා හා පවසා තිබිණි.

පසුවදා උදෑසන සෙංගමාලම් හමුවී මගේ තීරණය ඔහු හා පවසන්නට මම අධිෂ්ඨාන කර ගතිමි. මගේ පැත්තෙන් මා වෙනුවෙන් සිතන්නට එහි සිටි එකම සුදුස්සා සෙංගමාලම් පමණක් විය. මා දෙමළ ජනතාවටත් ප්‍රභාකරන්ටත් සංවිධානයේ සගයන් හටත් සැබෑවටම ළෙන්ගතු බව ඔහු දැන සිටියේය.

ජීවිතයේ බරපතළම අවස්ථාවලදී ඔහු මා හා එක්ව සිටියේය. කෙසේ වුව, ඔවුන්ගේ දර්ශනය අගයන නමුදු මා හට තවදුරටත් ඔවුන්ගේ වටිනාකම් බෙදා හදා ගන්නට නොහැකි බව සෙංගමාලම්ට නොදන්වා සිටින්නටද මම තීරණය කර ගතිමි.
ඒ උදෑසන මම සෙංගමාලම් සොයා ගියෙමි. ඔහු සිටියේ ළිඳ අසල සරමකින් මුහුණ පිසදමමිනි. මඳ සුළඟක් හමා ගියේය. ඔහු පිටුපස වූ මුරුංගා ගසේ ඉදී කහ පැහැ ගැන්වුණු කොළ රාශියක් ගිලිහී බිමට වැටිණි.

මම නොපැකිළිව ඔහු ඇමතුවෙමි.
"සෙංගමාලම් අයියා මට අස්වෙන්ඩ ඕනෙ"
ඔහු මා දෙස එක එල්ලේ බලා සිටියේ විමතියෙනි.
"මොකක්ද?"

"මම ගෙදර යන්ඩ ඕන"
"මොකද මේ එකපාරටම වුණේ" කවුරු හරි එක්ක ප්‍රශ්නයක් ඇති වුණාද? කියන්ඩ මට පුළුවන් දෙයක් කරන්නම්"
ඔහු මගෙන් ප්‍රශ්න කන්දරාවක් ඇසීය.

"එහෙම ප්‍රශ්නයක් නෙමෙයි සෙංගමාලම් අයියා, ශරීරිකව විතරක් නෙමෙයි මානසිකවත් මට දැන් හොඳටම වෙහෙසයි. මට මේ හැම දෙයක්ම දරාගන්ඩ බෑ"
"ම්ම්... ම්..."
ඔහු කල්පනා කළේය. ඔහුගේ එක් අතක් නිකට මත රැඳී තිබෙනු මම දුටුවෙමි.

"ඇත්මටම මටත් දුකයි. මං දැනං හිටියා, මේ විදියෙ ජීවිතයක් ඔයාට නොගැළපෙන බව. අජන්තියි, මුරලියි නැති එක ඔයාට දරාගන්ඩ අමාරු බවත් මම දැනං හිටියා. මට පුදුම ඔයා මේ තරම් දුරක් ආපු එක ගැනයි".

මඳක් නිහඬව සිටි ඔහු දීර්ඝ සුසුමක් හෙළනු මට ඇසුණි.

"නිරෝමී, මං ඔයාට මේ ටිකත් කියන්ඩ ඕන. මෙහෙන් ගියා වුණත් එතැනත් ඔයාගේ ජීවිතේ හොඳටම අනතුරේ. ඉන්දියන් හමුදාවෙනුයි, ශ්‍රී ලංකා හමුදාවෙනුයි ඔයාව බේරගන්ඩ අපිට පුළුවන්කමක් නෑ.. ඒ අයත් ඔයා ගැන බලන් ඉන්නවා".

ඔහු ඉදිරිපත් කළ ගැටලුව මට එතරම් ප්‍රබලව දැනුණේ නැත.
"ඔව් මං දන්නවා"
"ඔයාව නවත්තන්ඩ මට තව මොනවද කියන්ඩ තියෙන්නෙ?".

"අනේ නෑ, සෙංගමාලම් අයියා හොඳට හිතලයි මම මේ තීරණේ ගත්තෙ. දැං මං හිත හදාගෙනයි ඉන්නෙ".

පරිවර්තනය - සුනිලා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon