මේ කොයි යන්නේ...

  👤  2618 readers have read this article !
2018-07-22

යහපාලන ආණ්ඩුවේ ආයු කාලයෙන් වසර තුනහමාරක් අවසන්ව තිබේ. ආණ්ඩුව ජනතාව හමුවේ තැබූ පොරොන්දු හා බලාපොරොත්තු ඉටු කිරීමට තවත් ඇත්තේ කෙටි කාලයකි.

එහෙත් ආණ්ඩුව ඒ සඳහා නිසි බර තබා ක්‍රියා කරන බවක් පෙනෙන්නට නැත. පළමු කොටම බිඳ වැටුණේ සම්මුතිවාදයෙන් රටේ ඉදිරි ගමනට යහපතක් වේයැයි ජනතාව තැබූ බලාපොරොත්තුවය. එය ලත් තැනම ලොප් විය. සම්මුතියෙන් ඉදිරි වසර පහ රට ඉදිරියට ගෙනයන බවට 2015 අගෝස්තුවේදී ප්‍රතිඥා දුන් එජනිසයේ බහුතරයක් ආරම්භයේම ඊට එරෙහිව යමින් විපක්ෂයක් ලෙස ක්‍රියා කිරීම ඇරැඹීමත් ඊට ජනාධිපතිවරයාගේ ආශීර්වාදය ලැබීමත් නිසා සමස්ත දේශපාලනයේම විකෘතියක් නිර්මාණය විය. 2015 ජනවාරියේ ජනතාව විසින් බලයට පත්කළ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා පැය 24ක් යන්නටත් මත්තෙන් පාක්ෂිකයකු වීමත් ජනතාව අපේක්ෂා නොකළ අලකලංචියක් වූ බව අමුතුවෙන් කිවයුතු නැත.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම මූලධර්ම අනුව පොත්වල තිබෙන්නේ විපක්ෂය ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින් විවේචනාත්මක සහයෝගය ලබා දියයුතු බවය. ලොව රටවල එය එසේ සිදුවේ. එහෙත් අපේ රටේ සිදුවූයේ විපක්ෂය ආණ්ඩුව ආරම්භයේ සිටම සෑම සංසිද්ධියකට විරුද්ධ වෙමින් මේ සතියේ, එන සතියේ, ලබන සතියේ අලුත් ආණ්ඩුවක් පිහිටුවන බව ප්‍රකාශ කරමින් ජනතාව ඇන්දීමය.

ආණ්ඩුවත් විපක්ෂයත් එක් වී ජනතාව මුළා කරනවාදැයි මිනිසුන් කල්පනා කරන තරමට මේ වනවිට තත්ත්වය උග්‍ර වී තිබේ. ජනතාවගේ දැවෙන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ අවධානයෙන් ගිලිහී තිබේ. ජීවන වියදම දරාගත නොහැකි අන්දමින් ඉහළ ගොස් තිබෙන අතර දස ලක්ෂයක් ජනයා එක වේලක් පමණක් කෑම කා ජීවත් වන රටක් බවට ලංකාව පත්වෙමින් තිබේ. ආණ්ඩුවත් විපක්ෂයත් සතියෙන් සතියට මාධ්‍යයට මාතෘකා ලබා දෙමින් ඒවා උඩ දමන බව ඉතා පැහැදිලිය. කිලිනොච්චි කොටියා, සිංහරාජයේ අලි දෙන්නා, හිට්ලර් කතාව, විජයකලා, එල්ලුම්ගහ, ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය ආදී මාතෘකා එක පෙළට කරළියට ආවේ, ආණ්ඩුවේත් විපක්ෂයේත් කිසියම් සැලසුමක් ඇතිව යැයි සැක සිතන්නට ජනයා පෙලඹී ඇත. එහෙත් ඔවුන් එම මාධ්‍ය සන්දර්ශන මතම යැපෙමින් කල් වැරීම රටේ අභාග්‍යයකි.

සති අන්තයේ පාර්ලිමේන්තුවේ පැවැති නිව්යෝර්ක් ටයිම්ස් චීන අල්ලස් හෙළිදරව්ව පිළිබඳ විවාදයේදී දිගහැරුණු දෙපාර්ශ්වයේම මිලියන, බිලියන ගණන් වංචා දූෂණ ගැන එදාවේල කන්නට අතේ සතේ නැති ජනතාව විමතියට පත් නොවූයේ මේ රටේ මිනිස්සු ඒ සම්බන්ධයෙන් නිර්වින්දනය වී සිටින නිසාදැයි සැක සිතේ.

ආණ්ඩුව තමන්ට ඉතිරිව ඇති කෙටි කාලය තුළ බර තැබිය යුත්තේ ජනතාව හමුවේ තැබූ මේ දක්වා ඉටු නොකළ පොරොන්දු ඉටු කිරීමටය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය පිණිස පත් කරගත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ගැන හෝ එමඟින් ඉදිරිපත් කළ ව්‍යවස්ථා කෙටුම්පත ගැන හෝ දැන් කිසිදු කතාවක් නැත. පොරොන්දු වූ පරිදි ජීවන වියදම අඩු කළේ නැත. බැංකුවල සිර වූ රන් භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා පොලී කපා හරින බව කීවාට එය කළේ නැත. රැකියා දස ලක්ෂයක් දෙන බව කීවත් එය ඉටු කළේද නැත. සෑම පවුලකටම නිවාසයක් සහතික කරන බව කීවත් ඊට වැඩපිළිවෙළක් සම්පාදනය කළේ නැත. සියල්ල සම්ප්‍රප්පලාප බවට පත්ව තිබේ.

2015 අගෝස්තුවේ මහ මැතිවරණය තිබ්බා නම් ව්‍යවස්ථාවට අනුව මීළඟ මහ මැතිවරණය එන්නේ අවුරුදු 6කට පසු 2021 බව අටපාස් දරුවෝද දනිති. නොදන්නේ දේශපාලන රඟමඬලේ නළුවන් පමණි. ආණ්ඩුව මාධ්‍ය සන්දර්ශන නවත්වා ජනතා පොරොන්දු ඉටු කළ යුතුය. මීළඟ ආණ්ඩුව ගැන ජනතාවට කැරට් අල පෙන්නීම නතර කළ යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon