නිව්යෝක් ටයිම්ස් විවාදයේ ගණපූරණය නැති වුණු හැටි

  👤  3889 readers have read this article !
2018-07-22

රුචිර දිලාන් මධුසංඛ

ජෝර්ජියාවේ ගායකයකු ජනපති මෛත්‍රිගේ සිත වශී කරයි

ඉතාලියේ සහ ජෝර්ජියාවේ සංචාරයක නිරත වූ ජනපති මෛත්‍රි සිකුරාදා පෙරවරු 9.45ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ශ්‍රී අ -664 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය.
රෝමයේ පැවැති හයවැනි ලෝක වනාන්තර සතියේ සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්‍ෂණ කමිටුවෙ 24 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා පසුගිය සෙනසුරාදා දිවයිනෙන් පිටත්ව ගියේය.

සඳුදා ජනපති මෛත්‍රි සමුළුව අමතා විශේෂ දේශනයක් සිදු කළේය. ලොව වන ගනත්වය ඉහළ නංවා ගනිමින් පරිසරය සුරැකීම සඳහා ඇති අභියෝගය ජය ගැනීමට සාමූහිකව කැපවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
පරිසරය රැක ගැනීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය වශයෙන් කැපවීමකින් කටයුතු කරන රාජ්‍ය නායකයකු ලෙස මෙම සමුළුවේදී ජනාධිපතිවරයාට සුවිශේෂ පිළිගැනීමක් කිරීමද විශේෂත්වයකි.

රෝමයේ සිට ජනාධිපතිවරයා අඟහරුවාදා ජෝර්ජියාව බලා පිටත්ව ගියේය. රටවල් 75ක් නියෝජනය කරමින් නියෝජිතයන් පැමිණ සිටි අතර ඉන් රටවල් 10ක රාජ්‍ය නායකයන් එක්ව සිටියහ. ජනපති මෛත්‍රි සමඟ මෙම සංචාරයට ඇමැතිවරුන් වන ලසන්ත අලගියවන්න, ලක්‍ෂ්මන් සෙනවිරත්නද එක්ව සිටියහ.

ජෝර්ජියාවේ ටිබිලිසි සම්මන්ත්‍රණ සහ සමුළු ශාලාවේදී සමුළුව ආරම්භ කෙරුණු අතර එහි සමුළුවේ සමාරම්භක සැසියේදීම ජනපති මෛත්‍රි අදහස් දැක්වීම විශේෂයකි.
සමුළුව අවසන් වී ජනපති මෛත්‍රි ඇමැතිවරුන්ද සමඟ ජෝර්ජියාවේ ඇට්ලානා නගරයේ සංචාරයක නිරත විය. ජනපති මෛත්‍රි ඇමැතිවරුන් සමඟ වාහනයක නැඟී නගරයට ගිය අතර එතැන් සිට කිලෝමීටර 5ක් පමණ නගරයේ තැනින් තැන පයින්ම ගියේය.

නගරයේ එක් ස්ථානයක සිටි ගීත ගායනා කරන පුද්ගලයකු දුටු ජනාධිපතිවරයා මඳක් එහි නතර විය. විනාඩි 10ක් පමණ එම පුද්ගලයා ගීත ගායනා කරන අයුරු නැරැඹීමද විශේෂයකි. අනතුරුව ජනාධිපතිවරයා නගරයේ පිහිටි සුන්දර උද්‍යානයකට ගොස් ඇමැතිවරුන් සමඟ ආගිය තොරතුරු කතාබහ කර නිදහසේ කාලය ගත කළේය.

අගමැති රනිල්ට කුරහන් පිට්ටු

අගමැති රනිල් පසුගිය සතියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීම සඳහා එක්විය. පසුගිය සෙනසුරාදා පෙරවරුවේ අගමැතිවරයා ගොකරැල්ල නව පොලිස් ස්ථානය විවෘත කිරීමට එක්විය. මේ අවස්ථාවට ඇමැති අකිල, රාජ්‍ය ඇමැති අලවතුවල, නියෝජ්‍ය ඇමැති නලීන්, පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර සහ හිරියාල සංවිධායක ජගත් මංජුල ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ. නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් පසු අගමැතිවරයා ඇතුළු පිරිස ගියේ බතලගොඩ වී පර්යේෂණ ආයතනයටය. එහිදී ජගත් මංජුල විසින් අගමැතිවරයාට විශේෂ දිවා ආහාරයක් සූදානම් කර තිබිණි. කොස්, පොලොස්, අඟුණකොළ සලාද ඇතුළු ගමේ කෑම වේලකින් එය සමන්විත විය. අකිල, නලීන්, අලවතුවල සහ තුෂාර ද අගමැතිවරයා සමඟ එහි දිවා ආහාරය ගත්හ.

අනතුරුව අගමැතිවරයා ඇතුළු පිරිස පැමිණියේ වාරියපොළ නව පොලිස් ස්ථානය විවෘත කිරීමටය. එය විවෘත කිරීමෙන් පසුව වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීම සඳහා ද අගමැතිවරයා එක්විය. එම කටයුතු අවසන් කිරීමෙන් පසුව දඹුල්ල බලා පිටත්වූ අගමැතිවරයා එදින දඹුල්ලේ නවාතැන් ගත් අතර පසුදින පෙරවරුවේ නිකවැරටිය ප්‍රදේශයේ ආරම්භ වූ ූගම්පෙරළිය‍ෙ වැඩසටහනනේ පළමු අදියර සඳහා එක්විය.

එහිදී අගමැතිවරයා කීවේ ගම්පෙරළිය වැඩසටහන හරහා දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහාම ලක්ෂ 2000ක ප්‍රතිපාදන ලැබෙන බවත් ඒ තුළින් අදාළ ගම්මානවල පවතින අඩුපාඩු රැසක් සඳහා විසඳුම් ලැබෙන බවද අගමැතිවරයා මෙහිදී කීවේය.

එම උත්සව කටයුතු අවසන් කිරීමෙන් පසුව නිකවැරටිය එජාප සංවිධායක එච්.බී, තෙන්නකෝන්ගේ නිවෙසේ අගමැති ඇතුළු ආරාධිතයන් වෙනුවෙන් දිවා ආහාරය සූදානම් කර තිබිණි. දේශීය ආහාරවලට මුල්තැනක් දෙමින් සැකසුණු මෙහි කුරහන් පිට්ටු, වැව් මාළු සහ මුං හෝද්දක්ද තිබිණි. එය දුටු විගස අගමැතිවරයාගේ හිත ගියේ කුරහන් පිට්ටු දෙසටය. කුරහන් පිට්ටු සමඟ මුං හොදි යහමින් බෙදාගත් අගමැතිවරයා එය රසබලද්දී සෙසු මැති ඇමැතිවරුන්ටද ඒ දෙස නොබලා බැරිවිය. පසුව ඔවුන් බොහෝ දෙනකු බත් සහ වෑංජන සමඟ කුරහන් පිට්ටුද බෙදාගෙන රස බැලුවෝය.

දිවා ආහාරයෙන් පසු මඳ වේලාවක් ආගිය තොරතුරු කතාබහ කරමින් කාලය ගත කළ අගමැතිවරයා පසුව ගිරිඋල්ල බෝපිටිය විහාරස්ථානයට ගියේය. එම විහාරස්ථානය රජමහ විහාරයක් බවට පත්කිරීමේ උත්සවය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
එහිදී උත්සව සභාව ඇමතූ අගමැතිවරයා, දඹදෙණිය රාජධානිය ගැන අපූරු ඉතිහාස කතාවක් කීවේ කාගෙත් අවධානය යොමුකරමිනි.

බ්‍රහස්පතින්දා උදයේම අගමැතිවරයා අරලියගහ මැඳුරට ආවේ රාජකාරි ඉටු කිරීම සඳහාය. සුපුරුදු පරිදි මැති ඇමැතිවරු හා නිලධාරීන් රැසක්ද ඒ වන විට එහි පැමිණ තිබිණි.
"නිව්යෝර්ක් ටයිම්ස් එකේ පළවූ කෝට් 112ක අල්ලසක් විදෙස් බැංකු හරහා චෙක්පත් මඟින් පසුගිය ජනාධිපතිවරණයට වියදම් කරන්න චීන සමාගමක් රාජපක්ෂලාට දුන් පගාව ගැන විවාදය අද නිසා එයාල බයවෙලා ඇති" සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

"අද ඒ චීන පගාව ගැන විතරක් නෙවෙයි එයාලගේ තව හොඳ හොඳ සෙල්ලම් පාර්ලිමේන්තුවේදී එළි කරන්න අපේ අය සූදානම්" චමින්ද විජේසිරි කීවේය.
"දූෂණවලට අදාළ පරීක්ෂණ අපි නතර කරන්න හෝ ඒවාට අපි ඇඟිලි ගහන්නෙත් නැහැ. පොලිසිය ඒ චෙක්පත් ගැන මට දීපු වාර්තාවයි මම පාර්ලිමේන්තුවේදී එළි කළේ" අගමැතිවරයා තම මතය එළි දැක්වීය.

"මත්තල බලන්න එදා එජාප ජනතා නියෝජිතයන් ගියාම රාජපක්ෂලා පිස්තෝල. කඩු, පොලු, ගල් දීලා මැරයො එවලා අපිට මරණ තර්ජන කළා. එකෙක් මගේ අතින් ඇදලා ගහන්නත් හැදුවා. ඒ තරම් හිරිකිත රටක් එදා තිබුණේ‍ෙ අජිත් පී. පෙරේරා කීවේ අතීතය මතක් කරමිනි.
"ඒත් ඊයේ පෙරේදා ඒකාබද්දෙ මන්ත්‍රිවරුන් මත්තල බලන්න ගියා. කූඹියෙක් කන්නවත් අපි ඉඩ දුන්නෙ නැති නිසා ඔවුන්ට විශාල ලැජ්ජාවක් ඇති. ෂැංග්‍රිලා හෝටලේ හදන්න කොළඹ හදවතේ අක්කර 20ක ඉඩම සින්නක්කර විකුණනකොට ගොළුවෙලා හිටපු අය පාඩු පිට පාඩු ලබන මත්තල කෙටි කලකට බදු දීමට විරුද්ධ වීම විහිළුවක්" ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

"මත්තල ආදායම ලක්ෂ 65යි. වියදම ලක්ෂ 2900යි. ඉන්දියාවට බදු දුන්නම ඩොලර් දසලක්ෂ 325ක් ලංකාවට ලැබෙනවා. පාඩුවක් වුණොත් ඒ සියල්ලත් ඉන්දියානු සමාගම දරනවා. මේවා අශෝක් අබේසිංහ මා එක්ක හිටපු රූපවාහිනි විවාදයකදී එළිකළාම ඒකාබද්දෙ අයට කටඋත්තර නැති වුණා" දයා ගමගේ පැවැසීය.

"රාජපක්ෂ යුගයේ නොරොච්චෝලේ බලාගාරයත් මේ වගේම චීනයට බදු දෙන්න සාකච්ඡා කළ හැටි 2013 නොවැම්බර්වල පත්තරවල ගියා" නවීන් දිසානායක එළි කළේය.
"ගාල්ලේ ක්‍රිකට් ස්ටේඩියම් එකේ ප්‍රශ්නය අපි හරියට හැන්ඩ්ල් කරගන්න ඕනෑ. ඒක ලංකාවට වාසනාවන්ත පිට්ටනියක්" නවීන් දිසානායක කීවේ අගමැතිටය.
"මම ගාල්ලේ ගිහින් කතා කළේ කොටුව ඇතුළේ ප්‍රශ්න ගැනයි. ගාල්ලට ක්‍රිකට් ඇතුළු සියලු ක්‍රීඩාවලට අලුත් සංකීර්ණයක් හදලා මහින්ද-රිච්මන්ඩ් වගේ පාසල්වලට වත්මන් ගාලු පිටිය දීම ගැනයි එදා කතා වුණේ. මේ සංකීර්ණය ගෝඨාගේ කාලෙ කරන්න හදපු දෙයක්" අගමැති කීය.

"පැවිලියන් එක උසට හදපු නිසා කොටුපවුර වැහුණා. ඒක වෙනස් කරන්නෙ නැතිනම් කොටු පවුරට ඇති ලෝක උරුම ගෞරවය නැතිවේවි කියලා යුනෙස්කෝව අනතුරු අඟවනවා. 1998 ඉඳලා ටෙස්ට් ගැහැව්වෙ ඔය පැවිලියන් එක තිබිල නෙවෙයි. පැවිලියන් එකට මහින්දගෙ නම දැම්මට ගාල්ලට වෙනම ක්‍රීඩා සංකීර්ණයක් යෝජනා කරලා තියෙන්නේ. එයාලගෙ ඇතුළෙ ප්‍රශ්නයක්නේ උඩුදුවළ තියෙන්නේ. පිට්ටනියයි කොටු පවුරයි දෙකම රකින්නයි අපි බලන්නෙ. ඒත් ගාල්ලට වෙනම ක්‍රීඩා සංකීර්ණයකුත් ඕනෑ" වජිර අබේවර්ධන මෙන්ම ගයන්ත කරුණාතිලකගේද පොදු මතය එය විය.

මහින්ද සිංගප්පූරු යයි

හිටපු ජනපති මහින්ද පසුගිය අඟහරුවාදා පෙරවරුවේ පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි ලොහාන් රත්වත්තේ, හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග සහ හිටපු ජනපති ලේකම් උදිත් ලොකුබණ්ඩාරද එක්ව සිටියහ.

එහිදී හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ හිටපු කාලයේ ඉතා සැහැල්ලුවෙන් කාලය ගත කළේය
බ්‍රහස්පතින්දා පස්වරුවේ පාර්ලිමේන්තුවේදී හිටපු ජනපතිට අදාළව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියකට අදාළව විවාදයක් පැවැත්විණි. එම විවාදයේ විස්තර ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් විසින් නිතර නිතර දුරකථන ඇමැතුම් ලබා දෙමින් මහින්දව දැනුවත් කිරීමට කටයුතු කළේය.

මහින්දගේ අස්සන හොරට යෙදූ නිවේදනය ගැන පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මහින්දගේ ආශීර්වාදයෙන් විපක්ෂයේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ ගෝඨා බව මහින්දගේ ලිපි ශීර්ෂයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් නිසා දේශපාලන ක්‍ෂේත්‍රයේ දැඩි කසුකුසුවක් ඇතිවිය. ව්‍යාජ ලෙස සකස් කර තිබූ එම නිවේදනයට මහින්දගේ අස්සනද කූට ලෙස යොදා තිබිණි. මෙය සමාජ මාධ්‍යජාල හරහා ශීඝ්‍රයෙන් පැතිර ගියේය. පසුව මහින්ද සිය මාධ්‍ය ඒකකයට උපදෙස් දුන්නේ වහාම මෙය නිවැරැදි කරන ලෙසත් එය තමන් විසින් නිකුත් කළ නිවේදනයක් නොවන බව මාධ්‍යයට පවසන ලෙසත්ය. ඒ අනුව මාධ්‍ය ඒකකය විසින් එය කූට ලෙස නිකුත් කළ නිවේදනයක් බවට සියලු මාධ්‍ය වෙත දැනුම් දුන්නේය. මහින්ද එයින්ද නතර වුණේ නැත. විදේශගතව සිටියදී යළිත් වරක් මාධ්‍ය ඒකකය භාර රොහාන් වැලිවිටට දැනුම් දුන්නේ මේ ගැන වහාම විමර්ශනයක් කරන ලෙස පොලිස් මූලස්ථානයේ පැමිණිල්ලක් කරන ලෙසය. ඒ අනුව රොහාන් බදාදා පස්වරුවේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කිරීමට ගිය අතර එය භාරගැනීමට පොලිසිය අපොහොසත් විය.

පසුව රොහාන් ඒ බව මහින්දට කීවේය. අනතුරුව මහින්ද නීතිඥ ප්‍රේම්නාත් සී. ‍ෙදාලවත්තට දුරකථනයෙන් කතාකර උපදෙස් දුන්නේ මෙම කූට නිවේදනය ගැන පොලිස් මූලස්ථානයට ගොස් පැමිණිලි කරන ලෙසය. ඒ අනුව ‍ෙදාලවත්ත ගොස් පැමිණිල්ල සිදුකළ අතර මෙම ව්‍යාජ නිවේදනය සැකසූ අය ගැන පරීක්ෂණ පවත්වන ලෙසද පොලිසියෙන් ඉල්ලා සිටියේය. හිටපු ජනපති මහින්දගේ මැතිවරණ කටයුතු සඳහා චයිනා හාබර් සමාගම රුපියල් කෝටි 112ක් දීම පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ වාර්තාව ගැන බ්‍රහස්පතින්දා පස්වරුවේ පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂයේ තුෂාර ඉඳුනිල් මන්ත්‍රිවරයා විසින් එම යෝජනාව සභාවට ඉදිරිපත් කළ අතර ඒ මොහොතේ පටන්ම පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් වාද විවාද පැවැත්විණි.

තුෂාර ඉඳුනිල් මන්ත්‍රිවරයා එම යෝජනාව ඉදිරිපත් කළ ආකාරය වැරැදි බව පවසමින් ඒකාබද්ධයේ දිනේෂ්, විමල් සහ ෂෙහාන් මන්ත්‍රිවරුන් ප්‍රශ්න කළහ.

'මේ හදන්නෙ විවාදයෙන් මඟ ඇරලා යන්න පුළුවන් නම් ඉඳගෙන උත්තර දෙන්න' යැයි ඇමැති ගයන්ත ඒකාබද්ධයේ මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
අනතුරුව කෙහෙළිය මන්ත්‍රිවරයා විසින් සභාවේ ඝන පූරණය නොමැති බවට මුලින්ම මූලාසනයේ අවධානය යොමු කළේය. අනතුරුව ගණපූරණය සීනුව නාද කළ බැවින් පාර්ලිමේන්තුවේ තැන්තැන්වල විවිධ කටයුතුවල නිරතව සිටි මන්ත්‍රිවරුන් සභා ගැබ තුළට දිව ආ බැවින් ගණපූර්ණය සම්පූර්ණ විය.

අනතුරුව සභාවේ කටයුතු ඉදිරියට කරගෙන ගියේය.

'විපක්ෂය හැම උප්පරවැට්ටියක්ම දානවා මේ විවාදයෙන් ගැලවෙන්න' ඇමැති ගයන්ත කීවේය.

'අපි උප්පරවැට්ටි දාන්නෙ නෑ. මේක අපේ විවාදයක් නෙවෙයි. සභාවේ ගණපූර්ණය තියාගන්නවත් ආණ්ඩුවට නොහැකිවීම ගැන ලැජ්ජාවෙන්න ඕන' කෙහෙළිය කීවේය.
අවස්ථා කිහිපයකදීම ගණපූර්ණය කිරීමේ සීනුව නාද කිරීමට මූලාසනයට සිදුවිය. විවාදය අවසන් වීමට තිබුණේ රාත්‍රි 7.30ටය. හවස 6.45ටද යළිත් වරක් සභාවේ ගණපූර්ණය නොමැති බව ඉන්දික අනුරුද්ධ මන්ත්‍රිවරයා මූලාසනයේ අවධානය යොමු කෙළේය. ඒ අවස්ථාවේ මූලාසනයේ සිටි මන්ත්‍රිවරයාද ඇතුළුව සභාවේ සිටියේ මන්ත්‍රිවරුන් 9 දෙනකු පමණි. ගණපූරණය නොමැති බැවින් විනාඩි 45කට පෙර විවාදය අවසන් කිරීමට මූලාසනයේ සිටි මන්ත්‍රිවරයාට සිදුවිය.

එදින සභාවේ ගණපූරණය දවස පුරාම පවත්වාගෙන යෑමට ආණ්ඩු පක්ෂ කාර්යාලයෙන් සෑහෙන වෙහෙසක් ගෙන තිබිණි. ආණ්ඩු පක්ෂයේ යෝජනාවක් මත කෙරෙන විවාදයක් නිසා නිතර නිතර මැති ඇමැතිවරුන්ට දුරකථන ඇමැතුම් ලබාදී පාර්ලිමේන්තුවේ සිටින ලෙස දැනුම් දුන්නද එය ව්‍යර්ථ විය.
විපක්ෂයේ මන්ත්‍රිවරුන් එය අවස්ථාවක් කරගනිමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට එදින පාඩමක් ඉගැන්නුවේ ඇඟට පතට නොදැනෙන ලෙසය.

ඒකාබද්ධයේ මත්තල ගමන

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් පසුගිය සඳුදා මත්තල ගුවන්තොටුපොළේ සංචාරයක නිරත විය. මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට විකුණා දැමීමට එරෙහිව මන්ත්‍රි පිරිස මෙම සංචාරයේ නිරත වූහ. මන්ත්‍රිවරුන් පිරිස පෙරවරු 6.30ට පමණ ජයන්තිපුර රථගාල වෙත පැමිණියහ. එහි විශේෂ බස් රථයක් සූදානම් කර තිබිණි.
එහෙත් ඒ වනවිට සනත් නිශාන්ත පැමිණ සිටියේ නැත.

පෙරදා රාත්‍රියේ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මාදම්පේ නගරයේදී පැවැති එළියට වැඩසටහනට සහභාගි වූ සනත් නින්දට ගොස් තිබුණේ ප්‍රමාදවීය. සනත්ව අවදි කර ගැනීමට ඒකාබද්ධයේ මන්ත්‍රිවරුන්ට දුරකථන ඇමතුම් තුන හතරක්ම ගන්නට සිදුව තිබිණි. කෙසේ හෝ පුත්තලමේ සිට කොළඹ බලා ආ සනත්ට ජයන්තිපුර දී මඟහැරුණු බස් රථය අල්ලා ගැනීමට හැකිවුණේ කොට්ටාව පිවිසුමේදීය.

"මචං උඹල කොහෙද? මම මේ කඩාගෙන එනවා" සනත් සිය සගයන්ට ඇමතුම් දෙමින් ඇසුවේය.
බස් රථය මාතර බලා ඇදෙන අතරතුර ෂෙහාන් දුටුවේ මහින්දානන්ද නිදාගෙන සිටි අන්දමය. "මෙහෙම නිදාගෙන කොහොමද ආණ්ඩු පෙරළන්නේ?" කියමින් ෂෙහාන් විහිලු කරන විට අනෙක් මන්ත්‍රිවරුද මහින්දානන්දට විහිලු කරන්නට පටන් ගත්තෝය.

කොට්ටාව සිට අධිවේගී මාර්ගයේ මාතර බලා ආ මන්ත්‍රිවරුන් රැගත් බස් රථය කෙළින්ම ගියේ මාතර කොටුවේ පිහිටි කාංචන විජේසේකර මන්ත්‍රිවරයාගේ නිවෙසටය. රතු බත්, මාළු ඇඹුල් තියල්, කිරි මාළු, ඉඳිආප්ප, පොල් සම්බෝල ඇතුළත් ගමේ ආහාර වේලක් කාංචන මන්ත්‍රිවරුන් වෙනුවෙන් සකසා තිබුණේය. මන්ත්‍රිවරුන් කෑම කන අතරතුර "හොඳට කන්න නැතිනම් මත්තලින් කොහොම කන්න වෙයිද දන්නේ නෑ." යැයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කීවේය.

අපේ පැත්තේ නම් තියෙන්නේ කුරුඳු පොලු. මත්තල නම් කාගේ පොලු තියෙනවද දන්නේ නෑ." කාංචන කීවේ කාගේත් සිනා මැදය.
මන්ත්‍රිවරුන් ආහාර ගෙන අවසන් වන විට එම ප්‍රදේශයට මහ වරුෂාවක් ඇඳහැලුණි. බොහෝ දෙනකු කාංචනගේ නිවෙසේ සිට බස් රථය අසලට දිව ගියහ. මහින්ද යාපා මන්ත්‍රිවරයා කුඩයක් ඉහළමින් බස් රථය ළඟට පැමිණීම කාගේත් අවධානයට ලක් වූහ.
"ලක්‍ෂ්මන් යාපා නම් ඔහොම නෑ. කොච්චර වැස්සත් කුඩ නම් ඉහළන් නෑ. ඒකට මහින්ද යාපා" පියංකර විහිළු කළේය.
"අනේ.... යමං බං යන්න."

මහින්ද යාපා පියංකරට බැන වැදුණේය. අවස්ථා කිහිපයකදීම පියංකර ලක්ෂ්මන් යාපා ගැන කියමින් මහින්ද යාපාට විහිළු කළේය.
පිරිස අතර සිටි වෙල්ගම මන්ත්‍රිවරයාද කාගේත් අවධානයට යොමු වූයේ ඔහුගේ ඇඳුම නිසාය. මන්ත්‍රිවරයා බොටමක් ටී ෂර්ටයක් සහ ඩෙක්ෂූස් දෙකකින් සැරසී සිටියේය.
"මොකද මන්ත්‍රිතුමා මේ" මන්ත්‍රිවරුන් වෙල්ගමගෙන් විමසීය.

"නෑ ගියපාර වරායට ඇවිල්ලා අපට ගැහුවනේ. මෙදා පාරත් මොනව වෙයිද දන්නෑනේ. දුවන්නවත් වුණොත් ඒකයි මෙහෙම ආවේ." වෙල්ගම කීවේ සිනාසෙමිනි. සිය පියා රෝහල වෙත ගෙනයෑමට ඇති නිසා කාංචන මත්තල ගමනට එක්වූයේ නැත.
දිලුම් අමුණුගම, පද්ම උදයශාන්ත මන්ත්‍රිවරුන් කෙළින්ම මත්තලට පැමිණ සිටියහ. මන්ත්‍රිවරුන්ගේ මත්තල නිරීක්ෂණ චාරිකාව හෙළි කෙරුණේ මත්තලට ආසන්න වූ විටය. කඩිනමින් කෙරුණු දැනුම් දීම අනුව වුවත් මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් මත්තලට පැමිණ සිටියහ. මත්තල ගුවන්තොටේ ප්‍රධාන පිවිසුමෙන් ඇතුළු වීමට ඉඩ ලැබුණේ මන්ත්‍රිවරුන්ට පමණි.

"මන්ත්‍රිවරුන් විතරයි, මන්ත්‍රිවරුන් විතරයි" ගුවන්තොටුපොළ ආරක්ෂකයෝ මාධ්‍යවේදීන්ගේ ගමනට හරස් කැපූහ. ඒ වනවිටත් පිවිසුම් ‍ෙදාරින් ඇතුළු වී සිටි ප්‍රසන්න මාධ්‍යවේදීන්ට හරස් කැපෙන අන්දම දුටුවේය. වහාම උපායශීලීව ‍ෙදාරටුව වෙත ආ ප්‍රසන්න "තුන්දෙනෙක් විතරක් එවන්න" කියමින් මාධ්‍යවේදීන් ඇතුළු කරගැනීමට උත්සාහ කළේය. එසේ කියන විටත් ප්‍රසන්න අනෙක් පැත්තෙන් පණිවිඩයක් එවා තිබුණේ තුන්දෙනෙක් ගන්න ගේට්ටුව අරිනවිටම සියලුදෙනාටම ඇතුළට එන ලෙසටය.

ප්‍රසන්නගේ කීම අනුව ආරක්ෂකයන් ගේට්ටුව විවෘත කළේ මාධ්‍යවේදීන් තිදෙනකුට ඇතුළට ඒමටය. එහෙත් පිටුපසින් සිටි අනෙකුත් මාධ්‍යවේදීනුත් ඒ සමඟම පොරකමින් ඇතුළට රිංගා ගත්තේ ආරක්ෂකයන්ගේ කනෙන් රිංගීමට ප්‍රසන්න ගැසූ සැලැස්ම සාර්ථක කරවමිනි. මන්ත්‍රිවරුන් සහ මාධ්‍යවේදීන් ඇතුළට එන විට චමල්ද ගුවන් තොටුපොළ වෙත ඇතුළු වී සිටියේය.

අනතුරුව මන්ත්‍රිවරු ගුවන්තොටුපොළේ සේවක සේවිකාවන් මුණගැසුණාහ. ඒ සියලු දෙනාම කීවේ මත්තල විකුණා දැමීමට එකහෙළා විරුද්ධ බවය. තමන්ගේ රැකියා සුරක්ෂිතතාව මෙන්ම මෙවැනි ජාතික සම්පතක් විකිණීමෙන් රටට වන අයහපත සම්බන්ධයෙනුත් සේවක සේවිකාවෝ මෙහිදී මන්ත්‍රිවරුන් වෙත කරුණු පැහැදිලි කළහ.
මන්ත්‍රිවරුන්ද කීවේ මෙවැනි ජාතික සම්පත් විකුණා දැමීම ජාතික අපරාධයක් බවය. එදින උදෑසන ද කටුනායක ගොඩබැස්විය නොහැකි ගුවන් යානා දෙකක් මත්තල වෙත හරවා එවා තිබුණු බවත් මන්ත්‍රිවරුන්ට දැනගන්නට ලැබිණි.
"රත්මලාන ගුවන්තොටුපොළ තවදුරටත් විශාල කරන්නට බැරි හින්දා මත්තල ගුවන්තොටුපොළේ වැදගත්කම වැඩියි. රටකට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් අවශ්‍යයි. " පියංකර පෙන්වා දුන්නේය.

"ආණ්ඩුව මුල ඉඳන්ම හිටියේ මත්තල විකුණන්නයි. අපි ආණ්ඩුවේ ඉන්නකොටත් මත්තලට ඇති වෙන්න ගුවන් යානා ආවා. ආණ්ඩුවම තමයි විකුණගන්න ඕනේ හින්දා මත්තලට ගුවන් යානා එන එක නතර කළේ. දැන් කියනවා ගුවන් යානා එන්නේ නැති හින්දා විකුණනවා කියලා. මේවා අමූලික බොරු" අරුන්දික පැවැසීය.

"ගුවන්තොටුපොළක් හදන්න මත්තල තෝරා ගත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීම හින්දා නෙවෙයි. බලපු අනෙක් තැන්වලට වඩා හොඳම තැන මත්තල නිසායි. මන්ද බුද්ධිකයන්ට බිස්නස් කරන්න බැහැ. ඒක තමයි ආණ්ඩුව මේ වගේ දේවල් විකුණන් කන්න පුරුවෙලා තියෙන්නේ" මහින්දානන්ද කීවේය.
"මෙතැන තියෙන්නේ අපිත් එක්ක තියෙන වෛරය මිසක් වෙන එකක් නෙවෙයි. ආණ්ඩුවට කරන්න බැරි දේවල් අපි කරපු හින්දා ආණ්ඩුව ඉන්නේ වෛරයෙන්. දැන් විකුණලා හරි අපේ දේවල් නැති කරන්නයි මෙයාලට ඕනේ" චමල් කීවේ මන්ත්‍රි පිරිස දෙස හැඟීම් බරව බලමිනි.

සේවකයන්ගෙන් කරුණු විමසීමෙන් අනතුරුව මන්ත්‍රිවරු ගුවන්තොටුපොළේ කටයුතු නිරීක්ෂණයට එක් වූහ. පළමුවෙන්ම ඔවුන් ගියේ වී ගබඩා කෙරුණු ගබඩා සංකීර්ණය නැරැඹීමටය. එම ගොඩනැඟිලි විනාශ මුඛයට ඇදෙමින් පවතින ආකාරය මන්ත්‍රිවරු නිරීක්ෂණය කළහ. වී ගබඩා කිරීමෙන් පසු එය සුද්ද පවිත්‍ර කර නොමැති බව මන්ත්‍රි පිරිසට දැක ගැනීමට හැකිවිය. අනතුරුව නිරීක්ෂණය කළේ තෙල් සැපයුම් පද්ධතියය. පාලන මැදිරියත් බලන්නට ගිය මන්ත්‍රිවරු මත්තල පිවිසුම ඉදිරිපිට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කළහ. මෙම සංචාරය සහ නිරීක්ෂණය කෙරුණු කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පැයකට ආසන්න කාලයක් පිළිතුරු දීමට මන්ත්‍රිවරුන්ට සිදුවිය. මත්තල නිරීක්ෂණ චාරිකාවෙන් පසු මන්ත්‍රිවරුන් දිවා ආහාරය සඳහා බඳගිරිය බලා පිටත්ව ගියහ. දිවා ආහාරයෙන් පසුව යළිත් කොළඹ ඒමට පිටත් වූ මන්ත්‍රිවරුන් නිදිමත ගතියකින් සිටිනු දුටු පියල් බසයේ තිබූ මයික්‍රෆෝනය අතට ගත්තේය.

"අපි අද මේ ගිහින් එන්නේ ලංකාවේ ලොකුම විනාශයක් දැකබලා ගන්නයි. ඒ ගැන අපිට ලොකු කනගාටුවක් තියෙනවා. නමුත් මේ වැඩේට මහන්සි වෙලා මන්ත්‍රිවරුන් ගෙදර යන වෙලාවේ අපි මේක සෞන්දර්ය චාරිකාවක් කරගමු" කියාය.
අනතුරුව පියල් මුලින්ම ගීත ගායනා කිරීමට ආරාධනා කළේ මහින්දානන්දටය. මහින්දානන්ද ගීතය ගායනා කිරීමෙන් අනතුරුව පියල් නිවේදනය කළේ "මන්ත්‍රිතුමාට හොඳ දක්ෂතාවක් තියෙනවා. අපි ඔබතුමා ඊළග වටයට තෝරා ගන්නවා" කියාය. අනතුරුව පියල් ගීතයක් ගායනා කළේය. පියල්ගේ ගීතය විනිශ්චය කරන්නට කිසිවකුත් නොවූ නිසා නිරෝෂන් පියල්ව ඊළඟ වටයට යවන බව කීවේය.

ඊළඟ ගීතය ගැයුවේ අරුන්දිකය. නැවත ආරාධනා ලැබුණේ නිරෝෂන්ටය. මෙසේ ගීත ගායනා කිරීමෙන් අනතුරුව අධිවේගී මාර්ගයේ අඩක් දුර නිම කරමින් තිබියදී නිරෝෂන් කවි බණ ගායනා කරන්නට පටන් ගත්තේය. නිරෝෂන්ගේ කවි බණ නිමා වූයේ ජයන්තිපුරටම පැමිණි පසුවය.

නිරෝෂන්ගේ ගායනය අගය කරමින් පියල් දවසේ ශිල්පියා ලෙස නම් කළේද නිරෝෂන්වය. හොඳම ශිල්පියාට වතුර බෝතලයක් පිරිනැමුණේද පියල්ගේ අතිනි.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතරේදී අඟහරුවාදා පැවැත්විණි. එහිදී අරුන්දික, පියංකර, රංජිත් සොයිසා, දිනේෂ් මත්තල ගුවන් තොටුපොළ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වූහ. එහිදී තීරණය කෙරුණේ විෂය භාර ඇමැති නිමල් සිරිපාලද සිල්වා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමටය. ඒ අනුව දිනේෂ් දුරකථනයෙන් නිමල් ඇමැතුවේය. නිමල් කීවේ බදාදා උදෑසන 10ට අමාත්‍යාංශයේදී තමන් මුණගැසෙන ලෙසයි.
'නිමල් ඇමැතිතුමා එක්ක කතා කළාට පස්සෙත් තීන්දුවකට එන්න බැරි වුණොත් අපි රට පුරා උද්ඝෝෂණ මාලාවක් කරලා මේ කටයුත්ත නතර කරවන්න ඕනේ' රංජිත් සොයිසා යෝජනා කළේය.

පසුදින නිමල් හමුවීමට යෑමට ඒකාබද්ධයේ දිනේෂ්, විමල්, ඩලස්, මහින්දානන්ද, අනුර යාපා, සුසිල්, තාරක, රංජිත්, විජිත, තාරනාත් ඇතුළු මන්ත්‍රි කණ්ඩායමක් එක්ව සිටියහ. මත්තල ගුවන්තොටුපළ විකුණා දැමීම නිසා ඇතිවිය හැකි අර්බුද සම්බන්ධයෙන් දිනේෂ්, විමල් සහ තාරක කරුණු පැහැදිලි කළහ.

එහිදී නිමල් සිරිපාල කීවේ මත්තල පාඩු ලබන බැවින් පවත්වාගෙන යා නොහැකි බවය. එම චෝදනාවට අවශ්‍ය පසුබිම සැකසුවේ ආණ්ඩුව විසින් බව පෙන්වා දුන් මන්ත්‍රිවරුන් පසුගිය ආණ්ඩුව සමයේ මෙම ගුවන්තොටුපළ හොඳින් පවත්වාගෙන ගිය බවත් පැවැසූහ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැතිවරයකු සිටියදී මෙවැනි ජාතික සම්පත් විකුණා දැමීම පිළිබඳ කනගාටු වන බවත් මන්ත්‍රිවරු කීහ.

'මේ ගුවන්තොටුපළ විකුණන්න යන්නේ සියයට 70ක් ඉන්දියාවට සහ සියයට 30ක් ලංකාවට වෙන විදියට. හැබැයි අපි දන්න විදියට නම් එහෙම කරන්න බැහැ. අඩුම ගානේ සියයට 51ක් ආණ්ඩුවට තියෙන්න ඕනේ' සුසිල් පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගෙනියන්න ඕනේ බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රතිපත්ති අනුවයි. කොළඹ වරාය, කටුනායක ගුවන්තොටුපළ ජනසතු කළේ අපේ ආණ්ඩු යටතේයි. මේ අය නිදහස් පක්‍ෂයට කරපු විනාශයම තමයි දැන් රටටත් කරන්න හදන්නේ. නිදහස් පක්‍ෂයේ ඇමැති කෙනකු ඉන්න විට මේ වගේ ප්‍රතිපත්ති ගන්න එක ගැන කනගාටුයි' අනුර යාපා පැවැසීය.

'අපිටත් එදා පක්‍ෂයෙන් සැලකුවේ නැහැ. මහින්ද මහත්තයලා ඉන්න කොට මට අගමැතිකම දුන්නෙත් නැහැ.

එහෙම තමයි එයාලා අපිට සැලකුවේ' නිමල් කීවේ තරමක් කේන්තියෙනි.
'අගමැතිකම ලැබුණේ නැහැ කියලා රටින් පළිගන්න එපා. මේවට ඔබතුමාටත් වගකියන්න වෙයි' විමල් දැඩිව පැවැසීය. නිමල් එය නෑසුණාක් මෙන් ඉවත බලා ගත්තේය.
'දකුණු ඉන්දීය ගුවන් සමාගම් ට්‍රාන්සිට් එයාර්පෝට් එක විදියට පාවිච්චි කරන්නේ කටුනායකයි. ඒ ආදායම ලැබෙන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියටයි. දැන් මත්තල ඉන්දීය සමාගමක් මිලදී ගන්න නිසා ඒ ට්‍රාන්සිට් ටික මත්තලට ගෙනිච්චොත් කටුනායකට ලැබුණු ආදායම අහිමි වෙනවා' අනුර යාපා පෙන්වා දුන්නේය.
'දැන් ඔයාලා මොනවා කිව්වත් වැඩක් නැහැ. ආණ්ඩුව මේක කරන්න ප්‍රතිපත්තිමය තීන්දුවක් අරන් ඉවරයි. සිවිල් ගුවන් සේවා පනත වෙනස් කරලා හරි මේ කටයුත්ත කරන්න ආණ්ඩුව ලැහැස්ති' නිමල් අවසන් වශයෙන් එසේ කියමින් නැඟී සිටියේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් සහ නියෝජිතයන් පසුගිය 18 වැනිදා කථානායකවරයා මුණගැසුණේ ඒකාබද්ධ විපක්‍ෂයට විපක්‍ෂ නායක ධුරය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නටය.

'අපි මේ ගැන ලිඛිත ඉල්ලීමක් ඉදිරියේදී ඉදිරිපත් කරනවා. දැනට ඒකාබද්ධ විපක්‍ෂයට මන්ත්‍රිවරුන් 70ක් ඉන්නවා. මේ සම්බන්ධයෙන් පූර්වාදර්ශයක් 2015දී තිබුණා. එදා එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවට එකතු වුණත් සන්ධානයෙන් පාර්ලිමේන්තු ආපු මන්ත්‍රි කණ්ඩායමක් විපක්‍ෂයේ රැඳුණා. එතැනදී විපක්‍ෂ නායක ධුරය හිමි වුණේ නිමල් සිරිපාල සිල්වාට. එදා හිටපු කථානායකවරයා ඒක පිළිගත්තා. ඒ වගේම ඉන්දීය ලෝක් සභාවේ විපක්‍ෂ නායක ධුරය සියයට 10කට වැඩි ප්‍රතිශතයක් ලබා නොගත් පක්‍ෂයකට හිමි වෙන්නේ නැහැ. දෙමළ ජාතික සන්ධානයට තියෙන්නේ සියයට 7ක විතර නියෝජනයක්' දිනේෂ් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. කථානායකවරයා දිනේෂ් දෙස බලමින් සිටියා මිස කිසිවක් නොකීමට වගබලා ගත්තේය. "විපක්ෂ නායක ධුරය ලැබුණාම ව්‍යවස්ථාදායක සභාව, උපදේශකකාරක සභා යනාදියට නියෝජිතයන් පත්කරන්න අවස්ථාව ලැබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට ඉන්නේ මන්ත්‍රිවරුන් හයදෙනයි. සමහර කමිටුවල ජ.වි.පෙ. මන්ත්‍රිවරුන් හතර දෙනෙක් ඉන්නවා. හැබැයි ඒකාබද්ධ විපක්ෂයේ සමහර මන්ත්‍රිවරුන් කිසිම කමිටුවක නැහැ. මහජන මතය තියෙන්නේ අපිත් එක්ක. ඒක ඔබතුමා පිළිගන්න" විමල් කීවේ කේන්තියෙනි.

"මහජන මතය තියෙන්නේ කොතැනද කියලා මම දන්නවා" කථානායකවරයා කීවේය.

"අපිට ඔබතුමා එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට අපේ අයිතිය ලබාදෙන්න" මහින්දානන්ද ඉල්ලා සිටියේය. සාකච්ඡාවට මඳක් ප්‍රමාද වී පැමිණි ඩලස් ඇතුළට විත් කතානායකවරයා පෙනෙන දුරින් අසුන් ගත්තේය. "මොකද අෑතට වෙලා, ළඟට එන්න. මට බෝවෙන ලෙඩක් නැහැ" කථානායකවරයා කීවේ සිනාසෙමිනි.
"දැනට නම් නැහැ. ඉස්සරහට හැදෙයිද දන්නේ නැහැ" දිනේෂ් පැවැසීය.
"ඔබතුමා පක්ෂග්‍රාහී කියලා අපිට හිතෙන්නේ ඔබතුමා කටයුතු කරන විදිය අනුවයි. ආණ්ඩු පක්ෂයට වගේම ජ.වි.පෙටත් ඔබතුමා සලකන හැටි දැක්කම එහෙම හිතෙනවා." විමල් කීවේය.

"මම පක්ෂග්‍රාහී නැහැ" කථානායක කීවේය.
"ඔබතුමා ගැන ලොකු ගෞරවයක් අපිට තිබුණා. දැන් නම් ඒ ගෞරවය ටික ටික නැති වීගෙන යනවා" සිසිර කථානායකගේ මුහුණටම කීවේය.
"මම මේ ගැන ඉක්මනින් තීන්දුවක් ගන්නම්. පක්ෂ නායක රැස්වීමේදී මේ ගැන සාකච්ඡා කරනවා"
කථානායකවරයා අවසානයේදී පැවැසීය.
"එහෙම නම් ඒකෙන් වැඩක් නැහැ. ඔය පක්ෂ නායක රැස්වීමට එන්නේ ආණ්ඩුවේ අය විතරයි" කියමින් මන්ත්‍රිවරු පිටව ගියහ.

ගිරිහඬු සෑයේ අඩුපාඩු ගැන කථානායක විමසයි

ගිරිහඬු සෑය පුදබිම නඟා සිටුවීම වෙනුවෙන් වූ විශේෂිත සාකච්ඡාවක් ගෙවී ගිය සතියේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මේ සඳහා විපක්ෂ නායක ආර්. සම්පන්දන්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ආචාර්ය විජයදාස රාජපක්ෂ, අජිත් පී. පෙරේරා, සිඩ්නි ජයරත්න, අබ්දුල් මහරුෆ් යන මැති ඇමැතිවරුන්ට අමතරව රාජ්‍ය නිලධාරීහු රැසක්ද එක් වූහ. මෙහිදී පුදබිමේ ප්‍රධානතම ගැටලුවක් වන ජල ප්‍රශ්නය විසඳීමට කඩිනම් තීරණ ගැනුණු අතර නවීනතම සූර්ය බල පද්ධතියකින් බලශක්ති අවශ්‍යතා සපුරා දීමට මෙන්ම දිගු කාලීනව පැවැති වන අලි උවදුරු දුරු කරමින් තිරියාය ගම්බිම් ආරක්ෂා කිරීමට අවශ්‍ය තීරණ ගැනිණි.

මේ අතර පාර්ලිමේන්තුවේ අශෝභන හැසිරීම පිළිබඳව මේ වන විටත් වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කර ඇති ප්‍රසන්න රණවීර හා විමල් වීරවංශ මන්ත්‍රිවරු දෙදෙනා අතරින් වීරවංශ මන්ත්‍රිවරයා පසුගිය අඟහරුවාදා යළි කථානායකවරයා දෙසට ඇඟිල්ල දිගු කරමින් දිගින් දිගටම ඝෝෂා කළේ විජයකලා පිළිබඳව ගන්නා පියවර ගැනය. මෙහිදී කථානායකවරයා කීවේ එක යුගයක ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ගෙදර යැවූ ලෙස අවිචාරවත්ව කටයුතු කිරීමට මා සූදානම් නැහැ. නමුත් නීතිපති මතය ලද පසුව සුදුසු පියවර ගැනීමට මා පසුබට වෙන්නෙත් නැති බව ඔබ මතක තබා ගත යුතුයි කියාය.

රාමඤ්ඤ මහ නිකායේ 71 වැනි උපසම්පදා ජාතික මහෝත්සවය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැතියේ අම්පාර නගර මධ්‍යයේ එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණය, දහම් මැඳුර විහාරස්ථානය හා ගල් ඔය නදිය මත ඉදි කෙරුණු සුවිසල් සීමා මාලකය යන ස්ථානයන් කේන්ද්‍ර කර ගනිමිනි. විචිත්‍රවත් ජාතික සහ ආගමික උත්සවයක් ලෙස පුරා දින 7ක් පැවැත්වෙන මෙහි සමාරම්භක අවස්ථාව සඳහා කථානායකවරයාට අමතරව ඇමැතිවරුන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා, ආචාර්ය විජයදාස රාජපක්ෂ, දයා ගමගේ, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, රාජ්‍ය ඇමැතිනි ශි්‍රයානි විජේවික්‍රම, නියෝජ්‍ය ඇමැතිනි අනෝමා ගමගේ යන අය ඇතුළු පැමිණි බැතිමතුන් දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියේය.

පොලිස්පති හෙලිකොප්ටරයක් පදවන්න හදයි

පසුගිය 12දා උදෙන්ම මද්දුමබණ්ඩාර ඇමැතිවරයා, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සහ පොලිස්පතිවරයා යාපනය බලා පිටත් වූහ. මේ ගමන සඳහා හෙලිකොප්ටර් යානයක් පිළියෙල කොට තිබිණි. අමාත්‍යවරුන් දෙපළ සිය අසුන්වල හිඳ ගනිද්දී පොලිස්පති පූජිත් විහිළුවට මෙන් ගුවන් නියමු ආසනයේ ඉඳගනු දුටු අමාත්‍යවරයා "පූජිත් ලයිසන් එකක් නැතිව පාරේ ගියොත් ඔයා මොකද කරන්නේ?"
"සර් අනිවාර්යෙන්ම උසාවි දානවා"

"ඒක හරි, එතකොට කිසිම පුහුණුවක්, ලයිසන් එකක් නැතිව මේ හෙලිකොප්ටර් එක පදවන්න හදන ඔයාට මම මොනවාගේ දඬුවමක්ද දෙන්න ඕන" යැයි ඇමැතිවරයා අසන විට හෙලිකොප්ටර් යානයේ උන් සියල්ලෝම මහ හ¾ඩින් සිනා වූහ.

12දා දිනය පුරා යාපනයේ සිවිල් පාලන කටයුතුවල තත්ත්වය විමසා බැලූ අමාත්‍යවරයා එදින සවස යාපනයේ, නල්ලූර් කෝවිල වැඳ පුදා ගන්නට වෙලාව යොදාගෙන තිබිණි. මේ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා හා පොලිස්පතිවරයාද සහභාගි වූහ. කෙසේ වුවත් අමාත්‍යවරුන් දෙපළ කල් වේලා ඇතිව ගමන සඳහා සූදානම් වී සිටියද පොලිස්පතිවරයාගේ පමාව නිසා ගමන තරමක් පමා කිරීමට හේතු විණි. කෙසේ වුවත් මද වේලාවකින් පැමිණි පොලිස්පතිවරයා "සර් ඩිංගක් විතර පරක්කු වුණා" යැයි කියන විට අමාත්‍යවරයා පෙරළා සඳහන් කළේ "පොලිස්පතිතුමා ඔයාගේ නිලධාරියෙක් මේ වගේ කළොත් ඔයා චෝදනා පත්‍රයක් දෙනවා නේද, මාව මේ විදියට රස්තියාදු කළාට මමත් එයාට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනවා" කියායි.

නල්ලූර් කෝවිලට අමාත්‍යවරයා ඇතුළු පිරිස යන විට එහි පූජකවරුන් විශේෂ පූජාවක්ද සූදානම් කොට තිබිණි. ඉතා උණුසුම් අයුරින් අමාත්‍යවරයා පිළිගත් පූජකවරුන්ගෙන් ප්‍රදේශයේ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු විමසන විට ඔවුන් සඳහන් කළේ "රටේ නීතිය භාර ඇමැතිතුමයි, නියෝජ්‍ය ඇමැතිතුමයි ප්‍රදේශයේ තත්ත්වය විමසන්න මෙහෙට ආපු එක හරි වටිනවා. අපේ මිනිස්සු දැන් බොහොම නිදහසේ ජීවත් වෙනවා ඇමැතිතුමා" යැයි පැවැසීය.

සජිත්ගෙන් අරන්තලාවට උදාගම්

91 සහ 92 වැනි උදාගම්මාන වන "තුරුඋඳුගම" සහ "මුවසිරිගම" ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ගියේ අම්පාර දිස්ත්‍රික්කයේ දමන, උක්සිරිපුර ප්‍රදේශයටයි. ගම්මාන විවෘත කිරීමට පෙරාතුව දිස්ත්‍රික් 25 තුළ චෛත්‍ය ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ අම්පාර දිස්ත්‍රික්කයෙන් තෝරාගෙන තිබූ අම්පාර, උදයපුර සාම විහාරස්ථානයේ ඉදිවන චෛත්‍යය සඳහා ශෛල ප්‍රතිෂ්ඨාපනය උදෑසනින්ම යෙදී තිබුණේය. එහි විශේෂත්වය වූයේ 1987 ජුනි මස 2දා සිදුවූ අරන්තලා භික්ෂු ඝාතන සිද්ධියෙන් දිවි ගලවා ගත් එකම භික්ෂුව වන හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියන් මෙම විහාරස්ථානයේ වත්මන් නායකත්වය හෙබවීමයි. උන්වහන්සේ පැවැසුවේ අම්පාර දිස්ත්‍රික්කය පුරා උග්‍ර නිවාස ගැටලුවක් පවතින බවයි. දයා ගමගේ ඇමැතිවරයා කීවේ "අපට නිවාස ඇමැතිතුමාගේ උදව්ව ලැබෙන එක ලොකු ශක්තියක්" කියාය. "දිස්ත්‍රික්කයේ උග්‍ර නිවාස ප්‍රශ්නය විසඳීමට වගේම අරන්තලාව ඝාතන සිද්ධියෙන් අපවත් වුණු භික්ෂුන් වහන්සේට පින් පැමිණවීමත් අරමුණු කරගෙන දිස්ත්‍රික්කය පුරා අලුත් ගම්මාන 150ක්වත් තැනීම අවශ්‍යයි. ඉන් වැඩි ප්‍රමාණයක් ඉදිකරන්නේ අරන්තලාව ප්‍රදේශයේයි. සජිත් කියද්දී දයා ගමගේ කීවේ "ඉඩම් වෙන්කර දෙන්නම්, අරන්තලාව අවටින්" කියාය. "මංගල ඇමැතිතුමා දීපු සහයෝගය නිසා දැන් ගෙවල් හදන්න කිසිම ප්‍රශ්නයක් නෑ. ඕනෑ තරම් සල්ලි තිබෙනවා. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් උපරිම සහයෝගය, ආශීර්වාදය ලැබී තිබෙනවා. අපි වැඩේට බහිමු." සජිත් කීවේය.

ලන්සා හෙළ උරුමයට යන කතාවෙන් මීගමුව ඇවිළෙයි

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි නිමල් ලන්සා ජාතික හෙළ උරුමයට යන බව පසුගිය සතිඅන්ත ඉංගි්‍රසි පුවත්පතක වර්තාවක් පළවිය. මේ නිසා විවිධ ආගමික නායකයෝ ලන්සාගෙන් විමසන්නට වූහ. ඒ අතර මීගමුවේ දේවස්ථානවල පියතුමන්ලාද වූහ. ඔවුන් තරමක් කලබලයට පත්ව ලන්සාගෙන් ඒ ගැන විමසීමද විශේෂත්වයකි. ලන්සා ඒ සැමටම කීවේ තමන් එවැනි තීරණයක් ගෙන නොමැති බවය. මෙය දුටු හිටපු ජනාධිපති මහින්දද ලන්සාගෙන් ඒ ගැන විමසීය.
නෑ සර් මම එහෙම තීරණයක් අරන් නෑ. මම එහෙම සාකච්ඡාවකට ගිහිල්ලත් නෑ. මටත් හිතාගන්න බෑ මේ වාර්තාව ගැන "ලන්සා කීවේය."
"ඔයා නිවැරැදි කිරීමක් ඉල්ලන්න" මහින්ද ලන්සාට කීවේය. ඒ අනුව ලන්සා එම පුවත නිවැරැදි කරන ලෙස දන්වා තිබේ.

20 ගැන විජිත, වාසු කතාබහක්......

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස ගෙනා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට ගැසට් කොට තිබේ. එය ඉදිරියේදී කථානායකවරයාගේ මැදිහත්වීමෙන් පවත්වනු ලබන පක්ෂ නායක රැස්වීමකින් අනතුරුව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතය.

මේ අතර නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වැඩමුළුවක් පසුගියදා මොරටුව ප්‍රදේශයේදී පැවැති අතර ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සහභාගි වී සිටියේ එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ය. තවද එම අවස්ථාවට වාසුදේව නානායක්කාර, එම්. සුමන්තිරන් ඇතුළු දේශපාලනඥයන්ද ගාමිණී වියන්ගොඩ ඇතුළු සිවිල් ක්‍රියාකාරීහු පිරිසක්ද පැමිණ සිටියහ. අනෙකුත් දේශපාලනඥයන් නව ව්‍යවස්ථාව පිළිබඳව අදහස් පළ කළ අතර විජිත හේරත් මන්ත්‍රිවරයා විසින් 20 වැනි සංශෝධනය පිළිබඳවද දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. මන්ත්‍රිතුමා 20 වැනි සංශෝධනය සම්මත වුණොත් වැඩි වාසිය තියන්නේ රනිල් වික්‍රමසිංහට නේද? සභාවේ සිටි පුද්ගලයෙක් විජිත හේරත්ගෙන් ප්‍රශ්නයක් විමසීය. ඒක 20ට විරුද්ධ අය හදන කතාවක්. ඇත්තටම රනිල් වික්‍රමසිංහට පාඩුවක් වෙන්නේ. මොකද රනිල්ගේ අගමැති ධුරය මාස හතකින් අඩුවෙනවා. 20 සම්මත වුණොත් වැඩි වාසිය තියෙන්නේ මහින්ද රාජපක්ෂට. මොකද එතුමාට 20 සම්මත වුණාට පස්සේ අගමැති අපේක්ෂක වෙන්න පුළුවන්. ජනතාව ජනවරම දෙනවා නම් ආණ්ඩුවේ නායකයා වෙන්න පුළුවන්. අද තියෙන තත්ත්වය අනුව එතුමට රටේ නායකයා වෙන්නත් බැහැ. ආණ්ඩුවේ නායකයා වෙන්නත් බැහැ. විජිත හේරත් පැහැදිලි කළේය.

මේ අතර විජිත හේරත් සහ වාසුදේව මන්ත්‍රිවරයා අතරද 20 ගැන කතාබහක් ඇතිවිය. ඔබතුමාලා 20න් යෝජනා කරලා තියෙන්නේ 2020 පෙබරවාරි මාසේ පාර්ලිමේන්තුව විසුරුවන්න. නමුත් අපිට යෝජනාවක් තියෙනවා පාර්ලිමේන්තුව ජනවාරි 8දාම විසුරුවන එක හොඳයි කියලා. පාර්ලිමේන්තුව විසුරුවලා භාරකාර ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණය තියමු" වාසුදේව මන්ත්‍රිවරයා කියා සිටියේය. "ඒ යෝජනාව ගැන අපට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි යෝජනාවලට අවස්ථාව තියලා තමයි 20 හදලා තියෙන්නේ. සමහර දේවල් අපිට සාකච්ඡා කරලා සංශෝධනය කරන්න පුළුවන්" විජිත හේරත් කියා සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon