අල්ලස තුරන් කරමු...

  👤  3396 readers have read this article !
2018-07-23

මේ දිනවල ලංකාවේ මිනිසුන්ගේ කන් පිරී තිබෙන්නේ අල්ලස්වලිනි. එසේ මෙසේ අල්ලස්වලින් නොව මිලියන බිලියන ගණනින් හුවමාරු වූ මහා ධනස්කන්ධයන් ගැනය. දවසට එක් වේලක් ආහාර බුදින දුප්පතු පාලකයන්ගේ අල්ලස් කතා අසා නින්දට යයි. ඔවුන් සැනසිල්ලේ නිදනවා ඇතැයි සිතනවා නම් එතැන ලොකු වැරැදීමක් ඇත. පසුගිය සති අන්තයේ අල්ලසට දූෂණයට විරුද්ධ සත්පුරුෂයන්ට සතුටුදායක ආරංචි කිහිපයක්ම ලැබිණි. රටේ ආනයන - අපනයන පාලකවරයා රුපියල් ලක්‍ෂ 2ක් අල්ලස් ගනිද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය. ඒ අතරම රුපියල් 1,000ක අල්ලසක් ගත් පොලිස් නිලධාරියකුද අල්ලස් දැලට කොටු විය. අකුරණ හිටපු උප දිසාපතිවරයකුට අල්ලස් ගැනීමේ වරදට වසර 5ක සිර දඬුවම් නියම වූයේද ගිය සතියේය.

මාස කිහිපයකට පෙර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාද, දැව සංස්ථාවේ සභාපතිද කෝටි 2ක් අල්ලස් ගනිද්දී අසුවිය. ඔවුන් දෙදෙනාම තවමත් සිටින්නේ රක්‍ෂිත බන්ධනාගාරයේය. කල්කුඩා පොලිස් ස්ථානයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලක්‍ෂ 3ක අල්ලසක් ලබා ගනිද්දීද, සුරාබදු නියාමක නිලධාරියකු ලක්‍ෂ 10ක අල්ලසක් ලබා ගනිද්දීද මෑතකදී අත්අඩංගුවට ගෙන තිබිණි. ලංකාවේ සිදුවන බවට විශ්වාස කළ හැකි අල්ලස් දූෂණ අතරින් මේ ප්‍රමාණය රටට දැනෙන තරම් විශාල නැත. එහෙත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යම් ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින බව කිව යුතුය. අපේ රටේ ඉහළ රාජ්‍ය නිලධාරීන් මේ සිදුවීම්වලින් පාඩම් උගෙන නැති බව ආනයන අපනයන පාලකගේ අල්ලස් ගැනීමෙන් සනාථ වේ. ඔවුන් අවම වශයෙන් මේ සිදුවීම් නිසා අසරණභාවයට හා ලජ්ජාවට පත්වන මවුපිය, අඹුදරුවන් ගැන හෝ සිතා නැති බව පෙනෙයි. ජරාව කෑම ජානගතව ඇති සැටියකි.

ලංකාව දියුණු වාසනාවන්ත දේශයක් කරන්නට අවශ්‍ය ප්‍රධාන සාධකය වනුයේ රාජ්‍ය සේවාවේ සුපිළිපන්නභාවයයි. වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රධානම අභියෝගය වන්නේද රාජ්‍ය සේවයේ අවංකභාවය ජය ගැනීම වේ. අරිසෙන් අහුබුදු සූරීන් ඉංග්‍රීසියේ ධ්ව්ඊඡ්ට්අධ්ඊක යන්න සිංහලයට පරිවර්තනය කොට සුපිළිපන්නභාවය යන අපූරු වචනය හඳුන්වා දුන්නේය. සුපිළිපන්නභාවය මනුෂ්‍යයන්ගේ තිඹිරිගෙයි සිට සුසානය දක්වාම ආරක්‍ෂා කරගත යුතු වැදගත්ම චරිත ලක්‍ෂණය වේ. රාජ්‍ය සේවාවේ කීර්තිය මෙන්ම පුද්ගල ජීවිතයේ ප්‍රභාවද රැකෙන්නේ ක්‍රියාකාරීත්වය මත තිබෙන සුපිළිපන්නභාවය තුළය. රටක් හැදෙන්නට නම් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද සුපිළිපන්නභාවය පැවැතිය යුතුය.

ලංකාවේ තවමත් බලපවත්නේ 1954 සම්මත කරන ලද අල්ලස් පනතය. ඊට 1994 අංක 19 දරන සංශෝධන එක්කර තිබිණි. ඉකුත් සති අන්තයේදී අල්ලස් පනතට තවත් සංශෝධනයක් එකතු කරන ලදී. එම සංශෝධනය අනුව මෙතෙක් මහෙස්ත්‍රාත් අධිකරණයන්ට සීමාවී පැවැති අල්ලස් නඩු විභාග කිරීමේ බලය ඉදිරියේදී මහාධිකරණය වෙතද පැවරෙන බව දැනගන්නට තිබේ. අල්ලස් නඩු කල්පාන්තය තෙක් ඇදී යෑම අල්ලසට හා දූෂණයට රුකුලක් වන අතරම පුරවැසියා දූෂිතයන්ට එරෙහිව ඉදිරිපත් වීමට මැළි වීමේ හේතුවක්ද වන්නේය. අධිකරණ පද්ධතියම නිර්මාණය වී තිබෙන්නේ අල්ලසට එරෙහි වන්නන් හෙම්බත් කරවන ආකාරයෙනි.

අල්ලස, දූෂණය නැති ස්වාධීන රාජ්‍යයන් ලෝකයේ තිබේ. ඒ රටවල අල්ලසට එරෙහි බරපතළ නීතිද අල්ලස් විමර්ශන ආයතනද නැත. එහෙත් රට අල්ලස් දූෂණ ආදියෙන් තොරය. ඊට ප්‍රධාන හේතුව මානව ගරුත්වය ජනයා තුළ පැවැතීම මත සුපිළිපන්නභාවය මිනිසුන්ගේ ජානගතව පැවැතීමය. අල්ලසට විරුද්ධ සටන පුරවැසියන් තම අතට ගත යුතුය. මොනම හේතුවක් නිසාවත් අල්ලස් නොදෙන බවට රටවාසීන්
අධිෂ්ඨාන කරගතහොත් අල්ලස් ඉල්ලන්නා පහසුවෙන් කොටු කරගත හැකි වනු ඇත. කලකට ඉහත කිරිහට්ටි අල්ලස් ගත් අල්ලස් කොමසාරිස්වරයෙක් ද මෙරට සිටියේය. එසේ තිබියදී අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසම වර්තමානයේ ඇති කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව ඔවුන්ට ජනතා ප්‍රසාදය හිමිවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon