වලපනේ තීන්දුව

  👤  3393 readers have read this article !
2018-07-25

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු ජීප් රථයක්, එනම්;රජයේ වාහනයක් අවභාවිත කිරීම හා බලපත්‍රයක් නොමැති ගිනි අවියක් ළඟ තබා ගැනීම යන චෝදනාවලට වලපනේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකුට (වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වලපනේ ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා) හා එවකට ඔහුගේ රියැදුරුව සේවය කළ පුද්ගලයකුට නඩු පවරා වසර 14කට පසු බරපතළ වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කිරීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු එස්.යූ.බී. කරලියද්ද ඉකුත් 23 වැනිදා පියවර ගත්තේය.

මේ දෙදෙනා වැරදිකරුවන් වූයේ පොදු දේපොළ පනත යටතේ සහ ගිනි අවි ආඥා පනත යටතේ වලපනේ පොලිසිය කළ චෝදනා ගොනුකිරීමක් නිසාය. එක් අයකුට රුපියල් ලක්ෂ 105 බැගින් රුපියල් ලක්ෂ 210ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කරමින් ලබා දුන් මේ නඩු තීන්දුව රජයේ දේපොළ අවභාවිත කරන්නන්ට දුන් අතුල් පහරකි. මීට පෙර ලබා දුන් සුදු රෙදි නඩු තීන්දුවද පොදු දේපොළ අවභාවිත කිරීමට එරෙහිව ලබාදුන් කදිම තීන්දුවක් ලෙස සැලකිය හැකිය.

කනගාටුවට කරුණ වන්නේ බොහෝ
විට නීතියේ රැහැනට මෝරුන්
හසු නොවී ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, විදුහල්පතිවරුන් වැනි හාල්මැස්සන් හසුවීමය; ඉඳහිට මෝරුන් හසුවුණද ඔවුන්ට හැරෙන තැපෑලෙන් ඇප ලැබීමය. කලාතුරකින් නඩු අසා නීතිය හමුවේ වැරැදිකරුවන් වුවද අභියාචනාවලට පින්සිදුවන්නට ඇප ලබාගෙන පිටරට යෑමට පවා නිදහස හිමිවීමය.

වලපනේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට දූෂණ නඩුවක් අධිකරණය හමුවේ තිබියදී වලපනේ ප්‍රධාන සංවිධායක ධුරය ලබාදීමට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කර තිබීම මේ මජර දේශපාලනය මෙරට දේශපාලන දේහයේ පිළිකාවක් සේ පැතිර ඇති බවට කදිම සාක්කියකි.

මනුෂ්‍ය ඝාතනවලට සැකකරුවන් වී බන්ධනාගාරගත ව සිටින්නන්ට
මනාපය දී පාර්ලිමේන්තු යවන,
ළමා අපයෝජකයන්ට, ස්ත්‍රී දූෂකයන්ට ප්‍රාදේශීය සභාවල මන්ත්‍රි ධුර, සභාපති ධුර හිමිවන රටක දූෂණ සැකකරුවකුට ආසන සංවිධායක ධුරයක් ලබාදීම එකපැත්තකින් බැලූ විට පුදුමයට කාරණයක් නොවේ.

රේගුව, ආගමන විගමන, පොලිසිය පමණක් නොව ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, මහ බැංකුව වැනි රටේ ඉහළම තැන්වල ලොක්කන් පවා වංචා, දූෂණවලට හසුවීම මේ වන විට සාමාන්‍යකරණය වී ඇත.

නීතියේ රැහැනට කොටු වූ ලොක්කන් රක්ෂිත බන්ධනාගාර වෙත යන්නේද ටයි පැලඳ සිනාමුසු මුහුණකිනි. ඇතැම් මාධ්‍යද ඒ සම්බන්ධ වාර්තා පළ කරන්නේ ඔවුන්ව 'වීරයන්' සේ හැඟෙනාකාරයටය. ඇතැම් සැකකරුවෝ අත්අඩංගුවට ගත් පසු රෝගී වෙති. එහෙත් අධිකරණයෙන් ඇප ලැබුණු විගස නිරෝගී වෙති. මාධ්‍ය ඒ ගැන ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ නැත. ඒ වෙනුවට අනංමනං අසා චූදිතයන්ව ඉහළට ඔසවා තබයි.

2004 වසරේ මුල් භාගයේ
කළ දූෂණයකට දඬුවම ලැබෙන්නේ 2018 වසරේ මැදදීය. වසර 14ක් යනු ඉතා දිගු කාලයකි. ඇතැම්විට චූදිතයන් ජීවතුන් අතර නොසිටීමටත් එය සෑහෙන කාලයකි. ඒනිසා මෙවැනි 'නඩු' කඩිනමින් අසා කෙටි කලක් ඇතුළත වැරැදි - නිවැරැදි බව සහතික කරගත යුතුය. නඩු පමාව වින්දිතයන්ටත් චූදිතයන්ටත් කරන අපරාධයකි. ආණ්ඩුවේ විශේෂ අධිකරණයට බාලගිරිය. අද නොවේ හෙටය. මෙවැනි 'නඩු' දෙස බලා හෝ දැන්වත් අධිකරණවල වැඩ පටන් ගත යුතුය. යුක්තිය පමා වීමද අපරාධයකි.
කනගාටුව වන්නේ ඒ බව පාලකයන්ට නොතේරීමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon