තිස්සගේ නඩුව

  👤  3674 readers have read this article !
2018-07-26

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාව සිටි, හිටපු ඇමැතිවරයකුද වන තිස්ස අත්තනායකට එරෙහි නඩුවක් අධිකරණයේ විභාග වන්නේ කූට ලේඛනයක් සකස් කර ප්‍රසිද්ධ කිරීමේ චෝදනාව මතය. මේ නඩුවේ සාක්කි දීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට සිවු වැනි වරටත් කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කර ඇත. මීට පෙර තෙවරක් සිතාසි නිකුත් කර තිබුණද සාක්කිකරුවන් දෙදෙනා අධිකරණයට පැමිණ නැත.

2014 දෙසැම්බර් 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී තිස්ස අත්තනායක මහතාගේ මැදිහත්වීමෙන් කූට ලේඛනයක් සකස් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය (උව්ර්ථී) හා දෙමළ ජාතික සන්ධානය (ඊව්ඒ) අතර උතුරට බලය බෙදීම සම්බන්ධව රහසිගත ගිවිසුමක් ඇති බව ජනතාවට ඒත්තු ගැන්වීමටය. මේ කූට ලේඛනය තිස්ස අත්තනායක මහතා විසින් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රදර්ශනය කළේ යැයි චෝදනා කරමින් අදාළ නඩුව ගොනු කර ඇත.

ඉකුත් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ මේ ලියවිල්ල නිසා පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් සිදු වී ඇති බවත්, විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා තුන දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් සිදු කොට ඇති බවද අදාළ නඩු ගොනුවේ සඳහන් වී තිබේ.
කාරණය අනෙකකි.

නඩුවේ සාක්කිකරුවන් වන ජනාධිපති හා අගමැති දෙදෙනාට සිවු වැනි වරටත් 'සිතාසි' නිකුත් කිරීමට අධිකරණයට සිදු වී ඇත. මෙවරද විත්තිකාර තිස්ස අත්තනායක මහතා අධිකරණයේ පෙනී සිට ඇති නමුත් අදාළ සාක්කිකරුවන් දෙදෙනාගේ නීතිඥයන් පවසා ඇත්තේ ඇමැති මණ්ඩල රැස්වීම නිසා ඔවුන්ට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවය. තෙවරක් අධිකරණයට නොපැමිණි අදාළ සාක්කිකරුවන්ට විවේක දිනයක් උදාවන විට 2020 පසුවේවි යැයි විත්තියේ නීතිඥයකු අධිකරණයේදී පවසා තිබුණේ උපහාසාත්මකව විය හැකිය.

19 වැනි සංශෝධනය නිසා ජනාධිපතිවරයකු අධිකරණයට කැඳවීමට තිබූ නීතිමය බාධාව ඉවත් විය. 1978 සම්මත කරගත් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාවට අනුව නම් ජනාධිපතිවරයා කිසිදු හේතුවක් නිසා අධිකරණයට කැඳවිය නොහැකිය. ඒ 'නීතිය' සංශෝධනය කෙරුණද ජනාධිපතිවරයා තවමත් අධිකරණයට නොපැමිණෙයි. අනෙක අගමැතිවරයාට අධිකරණයට පැමිණීමට එදා මෙදා තුර එවැනි කිසිදු නීතිමය බාධාවක් තිබුණේ නැත. එහෙත් දෙදෙනාම විවිධ හේතු ඉදිරිපත් කරමින් අධිකරණයට නොපැමිණීම නිසා අසාධාරණයක්, සිදුව ඇත්තේ විත්තිකාර තිස්ස අත්තනායක මහතාටය. යුක්තිගරුක, සත්‍යගරුක පිරිස්වලටය. මහජන මුදලක් අධිකරණය රැස්කළද ඉන් පලක් නැත්නම් එය අපරාධයකි.

අනෙක සිතාසි සිවු වැනි වරටත් නිකුත් කිරීමට ඉඩ තැබීම අධිකරණය හෑල්ලු කිරීමක්ද විය හැකිය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පවසා ඇත්තේ ලබන වතාවෙන් සාක්ෂිකරුවන් නොපැමිණියහොත් වෙනත් සාක්ෂිකරුවන් කැඳවා හෝ නඩුව ආරම්භ කරන බවය. එය වැදගත් තීරණයකි. වඩාත් වැදගත් වන්නේ ජනාධිපති හා අගමැති දෙදෙනා අධිකරණයේ පෙනී සිටීමය. ප්‍රධාන පුරවැසියන් දෙදෙනාගේ නීතියට හිස නැවීම සෙස්සන්ට ආදර්ශයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon