යාපනය ලංකාවෙද?

  👤  4426 readers have read this article !
2018-07-26

මේඝනාද

"මම ඊයෙයි අදයි ගත කළේ යාපනේ. මම 2010 යාපනේට ගිහින් තියෙනවා. 2015 මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමයි චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිතුමයි මමයි ගියා. එදා තාමත් අපි ගැන සැක කළා. ඒ අද ඊට වඩා වෙනස් පරිසරයක් තියෙනවා.

ලංකාවේ වෙන ඕන ප්‍රදේශයක් වාගේ අපි ජීවත් වෙනවා. ඒ සැකය බොහෝ දුරට අඩුවෙලා තියෙනවා. ඒත් ප්‍රශ්න තියෙනවා. අපි තාම විසඳපු නැති ඒවා. ඒවා දැන් විසඳනවා කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. යාපනේ අද බැලුවම බැංකුවල, උතුරු මැද පළාතටත් උෟවටත් වඩා තැන්පත් මුදල් තියෙනවා. අපි මේ සංහිඳියාව ඉදිරියට ගෙනියනවා නම්, දේශපාලන විසඳුම් ලබලා දෙනවා නම් ඊළඟ අවුරුදු කිහිපය තුළදී යාපනයේ ඇත්ත වශයෙන්ම අපේ කොටසක් බවට පත් වෙනවා. කිසිම සැකයක් නැතුව බයක් නැතුව ශ්‍රී ලාංකිකයන් වාගේම හැසිරුණා. ඒ වගේම කතා කළා. ඒ ඔබතුමාලා එදා තනියම ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි. අද ඒ විශ්වාසය තියලා අපිට සාමාන්‍ය රටක් බවට පත්වෙන්න තියෙන්නේ. "

අගමැති රනිල් එසේ පැවැසුවේ විශ්‍රාමික අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමියන්ගේ රදගුරු පදවියේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් ජූලි 22 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයකදී ය.

ප්‍රශ්නයක් ය, එතකොට යාපනය දැන් අපේ කොටසක් නොවෙයිද? යාපනයේ වැසියෝ ශ්‍රී ලාංකිකයන් නොවෙයිද? රනිල්ට යාපනය තාමත් අපේ කෑල්ලක් වගේ නොදැනෙනවාද? කියා කියන්නට දන්නේ නැත. 2002 දී නම් මේ කතාව විශ්වාස කරන්නට ඕනෑ තරම් හේතු තිබුණේ ය. මොකද ඒ කාලේ රනිල්ලා ගහපු සාම ගිවිසුමෙන් යාපනය විතරක් නොව, මුළු උතුරම අපේ නොවෙයි වගේ අපට දැනුණු නිසා ය. දැන් උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන එක ගැන දිනේෂ්ලා, විමල්ලා ගිරිය යටින් කෑගහද්දී රනිල්ගේ ආණ්ඩුව ඉන්නේ සත පහක ගාණක් නැතිව ය. 2002 රනිල්ගේ ආණ්ඩුවත් හිටියේ එහෙම ය. කුච්චවේලි සිද්ධිය එයට හොඳ උදාහරණයක් ය.

2002 එක්තරා දිනයක එවක ආරක්ෂක ලේකම් ඔස්ටින්, නෙදර්ලන්ත තානාපතිත් සමඟ යාපනයට ගියේ ය. දිවා ආහාරය ගනිමින් සිටි ඔස්ටින්ට නාවික හමුදාපති හරහා දැන ගන්නට ලැබුණේ නරක පණිවුඩයකි. ආයුධ සන්නද්ධ කොටි සාමාජිකයන් 20ක පමණ පිරිසක් කුච්චවේලි ප්‍රදේශයට ඇතුළු වී ඇති බවත්, නාවික හමුදාව විසින් ඔවුන් වටකරගෙන ඇති බවත් දැන ගන්නට ලැබුණේ ය. කලබල වූ ඔස්ටින් සටන් විරාම නිරීක්ෂණ කමිටුව හරහා කොටින්ට පණිවුඩය යැව්වේ ය. කොටින්ගෙන් ලැබුණේ හොඳ උත්තරයක් නම් නොවේ.

රජයේ පාලන ප්‍රදේශයට ආපු කොටි කීවේ හතර බිහිරි කතාවකි. "මේ පැත්ත අපේ. උඹලා හොඳ හිතින් මෙහෙන් පලයල්ලා" කොටින්ගෙන් ලැබුණේ එහෙම උත්තරයක් ය. හමුදාව මොන තර්ක දැම්මත් කොටි හෙල්ලුනේවත් නැත. "අපි සටන් කරලා මේ අයව අත්අඩංගුවට ගන්නවා" නාවික හමුදාපති පණිවුඩයක් යැව්වේ ය. ඒ කතාව කොටි සත පහකට ගණන් ගත්තේ නැත. "තවත් බළඇණියක් සටනට එවනවා" කොටි පිළිතුරු දුන්නේ ය. හොඳටම කලබල වූ ඔස්ටින් මෙහෙම විසඳුමක් දුන්නේ ය. මීට කලින් කොටි පාලන ප්‍රදේශයට යෑම නිසා අත්අඩංගුවට පත් පොලිස් නිලධාරියා නැවත දෙනවා නම් කොටි 20ම එවන්නම් කිව්වේ ය. කොටි එක පයින්ම කැමැති වුණේ ය. නාවික හමුදාව කොටි 20 දෙනාම නිරුපද්‍රිතව ඒ පැත්තට යැව්වේ ය. ඒත් පොලිස් නිලධාරියා නම් ආපසු මේ පැත්තට එව්වේ නැත. සිද්ධිය වුණේ එහෙමය.

2002 වෙනකොට කොටින්ට ජාත්‍යන්තර පිළිගැනීමක් තිබුණේ නැත. සාම කතා මුවාවෙන් නෝර්වේකාරයෝ හැදුවේ ප්‍රභාකරන්ව වීරයාට අන්දන්නට ය. සටන් විරාම ගිවිසුම අස්සේ කොටි දේශපාලන අංශයක් හැදුවේ ඒ නිසා ය. ඒකේ නායකයා වුණේ පුලිදේවන් ය. රනිල්ලාගේ පිහිටෙන් පුලිදේවන් යුරෝපයේ කරක් ගැහුවේ ය. අසනීපෙකට රෝහල් ගත වෙන්නත් පුලිදේවන් ආවේ කොළඹට ය.

2002 සටන් විරාම ගිවිසුම අස්සන් කරන්නත් කලින් රනිල් කළේ කොළඹ සහ තදාසන්න පැතිවල හමුදා බැරැක්ක ඉවත් කරන එකය. රනිල් දැන් කරන්නෙත් ඒකය. වෙනසකට තියෙන්නේ ඒ කාලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටීම පමණ ය. රනිල් බැරැක්ක අයින් කරලා රටේ මිනිස්සුන්ට පොඩි චූන් එකක් දෙන්න හැදුවේ ය. ඒ අල්ල පනල්ලේ කොටි කළේ බෝම්බ, පුපුරන ද්‍රව්‍ය, මරාගෙන මැරෙන සාමාජිකයන්, ඔත්තුකරුවන් කොළඹට රිංගවීම ය. කොටි පිස්තෝල කල්ලියක් හැදීම ය.

ඕනෑ දේවල් ටික කරගත්තාට පසු කොටි සාම මේසෙන් නැඟිට්ටේ ය. රනිල්ගේ ආණ්ඩුවට දුම් පිට වුණේ එවිට ය. කොටි යළි සාම මේසේ වාඩි කරවන්න රනිල්ලා දහ අතේ දැඟලුවේ ය.

2001 වෙද්දී රටේ ආරක්ෂක හමුදාව හිටියේ ප්‍රබල ස්ථානයක ය. කොටි විරෝධී සංවිධාන සහ පුද්ගලයන්ගේ උදව්වෙන් කොටි පාලන ප්‍රදේශවල හමුදාව හොඳ බුද්ධි අංශ ජාලයක් මෙහෙයවූයේ ය. කොටි හිටියේ ඒකට බය වෙලා ය. සාම ගිවිසුම මුවාවෙන් කොටි ඒ ප්‍රශ්නෙත් විස¼දා ගත්තේ ය. කොටි විරෝධී කණ්ඩායම් නිරායුද කරන ලෙස ඔවුන් කොන්දේසියක් දැම්මේ ය. රනිල් එක පයින් ඒ කොන්දේසියට ඉඩ දුන්නේ ය. කොටි පිස්තෝල කල්ලිය විසින් හමුදා බුද්ධි අංශයේ සිටි නිරායුද ප්ලොට්, ඊපීඩීපී ආදී සංවිධානවල දෙමළ ජාතිකයන් අමු අමුවේ මරා දැම්මේ එහෙම ය. සටන් විරාම ගිවිසුම් කාලය තුළ 50කට වැඩි බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් කොටි විසින් මරා දැමුණේ ය. රනිල් කොටින්ගේ කොන්දේසි ගෙඩි පිටින් ගිල්ලේ ය. හිතුවක්කාරකමට වැඩ කළා මිසක් කිසිම ආරක්ෂක අංශ ප්‍රධානියකුගෙන් හරිහමන් උපදෙසක් ගත්තේ නැත. එහෙම බැලුවාම 'සටන් විරාම ගිවිසුම' ඉතිහාසයේ ලොකුම පාවා දීමයි කියන කතාව ඇත්ත ය.

ත්‍රස්තයන් ලෙස හංවඩු ගසා සිටි කොටි සංවිධානයට ලෝක පිළිගැනීමක් අරන් දුන්නේ 2002 රනිල්ගේ ආණ්ඩුවෙන් ය. රනිල්ට කොහොමත් ත්‍රස්තවාදීන් පේන්නේ ත්‍රස්තවාදීන් වගේ නොව. රනිල් 2002 දී කළේ ඒක ය. ඔහු ත්‍රස්තවාදින්ට සුදු හුනු ගෑවේය. මේ 2018 ය. යුද්ධය ඉවර ය. ඉන්නේ රනිල් ය. රනිල්ට තාමත් යාපනය අපේ නොවේ ය. යාපනයේ ඉන්නේ ශ්‍රී ලාංකිකයන් නොවේ ය. ආවා කල්ලිය අහිංසක ය. හමුදා කඳවුරු ඕනේම නැත. කොටි යළි හිස ඔසවන්නේ ද නැත. රනිල් තාම හිතන්නේ එහෙම ය. තිස් වසරක යුද්ධය දැන් ඉවරය. ආයෙත් එවැනි සටනක් ඕනෑම නැත. මේක දැන් ඒකීය රටක් ය. යාපනය යනු මේ ඒකීය රටේ එක නගරයක් ය. යාපන වැසියන් යනු මේ ඒකීය රටේ වැසියන් ය. ශ්‍රී ලාංකිකයන් ය.

2002 රනිල් ඇවිත් විසඳෙන්නට ඔන්න මෙන්න කියා තිබූ ප්‍රශ්නය ඔද්දල් කළේ ය. 2018 රනිල් ආයෙත් ඇවිත් කරන්නේ ඒකම ද? හරියටම කියන්නට දන්නේ නැත. හැබැයි පහුගිය දවස්වල කියපු කතා, කරන වැඩ දිහා බැලුවාම හොඳක් නම් පේන්ට නැත. විගී උතුරු පළාත් සභාවක් අල්ලගෙන බාල් නටන්නේ ය. විජයකලා කොටි වලිගයක් අල්ලගෙන රවුමට කැරකෙන්නී ය. සුමන්තිරන්ලා ව්‍යවස්ථාවක් අල්ලගෙන උඩ පනිති. රට්ටුන්ට නම් මේවා බළි කෝලම් සැණකෙළියක් ය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon