දකුණු අතින් දී වම් අතින් ගැනීම

  👤  2142 readers have read this article !
2018-07-27

පළාත් සභා හයක මැතිවරණ පැවැත්වීම ගැන ආණ්ඩුව හා විපක්‍ෂය අතර ඇත්තේ කඹ ඇදිල්ලකි. විපක්‍ෂයේ පිරිසක් පවසන ආකාරයට පරාජය වේ යැයි බියට පත්වී ඇති ආණ්ඩුව මැතිවරණය නොපැවැත්වීමට හේතු සොයමින් සිටී. එහෙත් මේ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පළාත් සභා මැතිවරණය කල් නොදමා පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කෙරී ඇති බව දැනගන්නට ඇත. ඊනියා දේශපාලන වාද විවාද පසෙක තබා පළාත් සභා මැතිවරණය මේ වසර අවසානයට පෙර පැවැත්වීම ආණ්ඩුවේ වගකීමය. ඊට පූර්ණ සහාය දීම විපක්‍ෂයේ සෑම කණ්ඩායමකම යුතුකමය.
කාරණය අනෙකකි.

1988 පළාත් සභා පිහිටුවීමේ සිට 13 වැනි සංශෝධනයෙන් ලබාදුන් බලතල මධ්‍යම ආණ්ඩුව අතමිට මොළවාගෙන සිටියේය. ඉඩම් පොලිස් බලතල එදා මෙදා තුර පළාත් සභාවලට ලබාදුන්නේ නැත. දකුණේ අන්තවාදීන්ට අනුව පොලිස් හා ඉඩම් බලතල ලබාදීම විශේෂයෙන් උතුරු හා නැඟෙනහිර පළාත් සභාවලට ලබාදීම රට බෙදීමට උඩගෙඩි දීමකි. පාර කැපීමකි. 1993දී බස්නාහිර පළාත් සභාවට තරග කළ චÂද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කළේ ඇයට බලය ලැබුණොත් පොලිස් හා ඉඩම් බලතල 'බස්නාහිර'ට ලබා ගන්නා බවය. එහෙත් ආණ්ඩු බලයත්, ජනාධිපති ධුරයත් යන දෙකම ලැබුණු පසු කුමාරතුංග මහත්මිය පළාත් සභාවලට පොලිස්- ඉඩම් බලතල ලබාදීම ගැන අමතක කර දැමුවාය. ඉන් අනතුරුව බලයට පැමිණි කිසිදු ආණ්ඩුවක් ජනාධිපතිවරයකු පොලිස්- ඉඩම් බලතල තබා පළාත් සභාවට ලබාදී තිබූ බලතල පවා භුක්ති විඳීමට ඉඩකඩ සාදා දීමට උත්සුක වූයේ නැත.

1987 'පළාත් සභා" යෝජනා කළ අවස්ථාවේ මේ ආයතනය සුදු අලියකු වන බව විපක්‍ෂයේ පිරිස් ආණ්ඩුවට චෝදනා කළහ. එහි සත්‍යයක් ඇති බව හැඟී ගියේ අන්කිසිවක් නිසා නොව පළාත් සභාවලට නිදහසේ වැඩ කිරීමට මධ්‍යම ආණ්ඩුව ඉඩ නොදීම නිසාය. අවසානයේ 'පළාත් සභා' යනු ජාතික දේශපාලනයට නො එසේ නම් පාර්ලිමේන්තුවට පැමිණීමේ 'හිණිමගක්' ලෙස අර්ථකථනය විය. පළාත් සභාවලට හිමි බලය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීමත්, තිබෙන බලතල පවා ක්‍රියාත්මක කිරීමට මහ ඇමැතිවරුන්ට වුවමනාවක් නොතිබීමත් යන කාරණා දෙක නිසා අන්තවාදීන්ගේ 'සුදු අලියා' කතාවට පිළිගැනීමක් ලැබිණි.

දකුණු පළාත් සභාවේ මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා පළාත් සභාවේ ඇත්ත කතාව ඉකුත්දා ගාල්ලේ පැවැති උත්සවයකදී රටටම ප්‍රකාශ කර තිබිණි. මහ ඇමැතිවරයාට අනුව ගත වූ වසර තිහක කාලය තුළ දහතුන් වැනි ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට හිමි වූ බලතල ක්‍රියාත්මක නොවූ අතර එදාමෙදා තුර සෑම ආණ්ඩුවක්ම කළේ පළාත් සභාවලට දකුණු අතින් දුන් බලතල වම් අතින් උදුරා ගැනීමය.

මධ්‍යම ආණ්ඩුවේ 'ගම්පෙරළිය' තුළින් කරන්නේද පළාත් සභා බලතල අනියමින් මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීම බවත්, මුදල් කලට වේලාවට ලබා නොදෙන බවත් මුදල් ලබාදෙන්නේද කප්පාදු කර බවත් මහ ඇමැතිවරයාගේ චෝදනාවය.

ආණ්ඩුව අරඹා ඇති ගම්පෙරළිය, ග්‍රාම ශක්ති වැනි ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් පළාත් සභා සමඟ එකතුවී සිදු කෙරෙන බවක් පෙනෙන්නට නැත. දකුණු පළාත් මහ ඇමැතිවරයා කියන 'කුඩම්මාගේ සැලකිලි' කතාවේ සත්‍යයක් ඇත. ඇත්තටම පළාත් සභා, පළාත් පාලන ආයතන හා මධ්‍යම ආණ්ඩුව අතර සම්බන්ධීකරණයක් නොමැතිව සංවර්ධන වැඩසටහනක් සාර්ථක වන්නේ නැත. එවැනි අන්තර් සබඳතාවක් නැත්නම් පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට විශේෂයෙන්, පළාත් සභාවට බලය බෙදුවා යැයි කීම විහිළුවකි. රුපියල් කෝටි ගණන් වැය කර ඡන්ද පවත්වා මාසිකව කෝටි ගණන් මුදල් පොම්ප කර නඩත්තු කරමින් පළාත් සභා පවත්වාගෙන යෑම ජාතික අපරාධයක් ලෙස සැලකිය හැකිය. එක්කෝ පළාත් සභාවලට හිමි බලතල ටිකවත් දිය යුතුය. නො එසේ නම් වහාම පළාත් සභා අහෝසි කර දැමිය යුතුය. දෙකෙන් එකක්වත් නොකර සිටීම රටට නම් හිත කර නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon