‍ෙදාඩම්වල ශ්‍රී නාථ දෙවොලේ යටගිය කතාව

  👤  3381 readers have read this article !
2018-07-29

ලංකාවේ අවසාන රාජධානිය වූ සෙංකඩගල පුරවරයේ එදා මෙදාතුර ජනතාවගේ ගෞරවාදරයට ලක්වූ දේවාලයක් ලෙස ‍ෙදාඩම්වල ශ්‍රී නාථ දේවාලය සැලකිය හැකිය. ‍ෙදාඩම්වල ග්‍රාමයට පිවිසෙන මාර්ගයේ දේවාලයට ප්‍රවේශ වන මාර්ගයේ මඳ දුරක් යනවිට මඟ දෙපස හමුවන දැවැන්ත නා ගස් ඉතාම පුදුම ඵළ වනසුලුය.

ශ්‍රී නාථ දේවාල භූමියද සුවිසල් නා වෘක්‍ෂයන්ගෙන් ගහනය. මෙම දේවාලයේ ඓතිහාසික පසුබිම ගැන සොයා බැලීමේදී ජනප්‍රවාදයේ පවතින්නේ මෙවැනි කතා පුවතකි. අතීතයේ මෙම ප්‍රදේශයේ තිබී ඇත්තේ මහ වනාන්තරයකි. අතීතයේ එක්තරා පුද්ගලයකු කිසියම් කටයුත්තකට මෙම බිම එළි කරන අවස්ථාවේ ඔහු අතින් කැපුණු එක නා ගසකින් ලේ ගලන්නට පටන් ගෙන තිබේ. පසුව හෙතෙම බියවී ඒ සඳහා පුදපූජා පවත්වා ඇති අතර එතැන් පටන් එය නාහාමි කෝවිල වශයෙන් හඳුන්වා ඇත. (එම කෝවිල වර්තමාන දේවාලයට පහළින් මහ අස්න නම් ස්ථානයේ ඇත.) මුලින් නාහාමි කෝවිල ලෙසින් පැවැති බව කියන එහි අධිගෘහිත දෙවියන් වශයෙන් සැලැකෙන්නේ ශ්‍රී නාථ දෙවිඳුන්ය.

මෙහි ඓතිහාසිකත්වය තහවුරු වන සිදුවීමක් වන්නේ ක්‍රිස්තු වර්ෂ 1635 - 1687 කාලයේ රජ කළ දෙවැනි රාජසිංහ රජු හා බැඳුණු සිදුවීමකි. දිනක් දෙවැනි රාජසිංහ රජු තම යුද මෙහෙයුම් කටයුතු සඳහා බලන, දන්තුරේ, දොඩම්වල හා ගන්නෝරුව යන ප්‍රදේශ හරහා ගමන් කරද්දී සිදු වී යැයි කියන සිදුවීමක් නිසා මෙම ස්ථානය ප්‍රචලිත වී විශ්වාසය වඩා වර්ධනය වී තිබේ.

රජතුමන් දෝලාවක හිඳුවාගත් පිරිස ඉහත සඳහන් ප්‍රදේශ ඔස්සේ පැමිණ තිබේ. ‍ෙදාඩම්වලට ආසන්න 'නියංගහමුල' නම් ස්ථානයේදී රජු ඇමැතූ පිරිස පවසා ඇත්තේ මෙම ස්ථානයේ බලවත් දෙවි කෙනකු වැඩහිඳින නිසා දෝලාවෙන් බැස එම ස්ථානය පසුවනතුරු පයින් ගමන් කරන ලෙසය. එසේ කියා ඔවුන් දෝලාව බිම තබා ඇත. නමුත් රජතුමා පවසා ඇත්තේ 'මට වඩා බලවත් දෙවියෙක් නෑ. උඹලා දෝලාව ඔසවපල්ලා' යනුවෙනි. මිනිසුන් එහිදී දෝලාව ඔසවන විට එහි එක් පැත්තක ලීය කැඩීගොස් තිබේ. පිරිස රජුට පවසා ඇත්තේ දෙවියන්ගේ හස්කම් නිසා දෝලාව කැඩෙන්නට ඇති බවයි. කෝපයට පත්වූ රජු එහෙනම් උඹලාගේ දෙවියන්ගේ හාස්කම් පෙන්නලා දෝලාව තිබුණු විදියට හදාපල්ලා කියා අසල වූ සපුගහක් ළඟ වාඩි වූවේය.

එකල කෝවිල භාරව කටයුතු කළ 'නාහාමි' නමැති කපු මහතාට සිද්ධිය සැලවී එම ස්ථානයට පැමිණි අතර තමන්ට පැවැරී ඇති වගකීම නිසියාකාරව සිදු කිරීමට නොහැකි වුවහොත් රාජ උදහසට ලක්වන බව දැනගෙන දෙවියන්ට කන්නලව් කර දෙවියන්ගේ සත්‍යවාදී බව පෙන්වීම සඳහා අසල දිය කඩකින් ඇල් දිය ටිකක් ගෙන පහනක් දල්වා තිබේ. දේව මහිමය විදහාපාමින් පහන දැල්වී ඇත. එසැණින් කැඩුණු දෝලාවද යථා තත්ත්වයට පත්වූ බව කියැවේ. එම ආශ්චර්යවත් සිදුවීමෙන් සතුටට පත්වූ රජතුමන් තමාට වඩා බලවත් දෙවි කෙනකු සිටින බව පිළිගෙන පුදපූජා පවත්වා තිබේ. රජුගේ ඔටුන්නත් දෝලාවත් රාජාභරණ හා ඇඳුම් පැලඳුම් පූජා කර ඇත. පසුව දේවාලේ නඩත්තුවට ගොඩමඩ ඉඩම් හැටපස් අමුණක්ද පූජා කළ බව සඳහන් ය. එපමණක් නොව දේවාලේ එදිනෙදා රාජකාරි කටයුතු කිරීමට ජනතාවට නියෝග පනවා තිබේ.

දෝලාව කැඩුණු ස්ථානයේ ගල්කුලක් හා ලියන් ගසක් ඇත. ජනතාව එයට මල් පහන් පූජාකර ඇති අයුරු දක්නට ලැබේ. රජු හිඳගත් තැන සපුගස අද ද දක්නට ඇත. මේ වනවිට එය දැවැන්ත වෘක්‍ෂයකි. මිනිසුන් එය හඳුන්වන්නේ 'රාජසිංහ සපු ගස' යනුවෙන්ය. රජු විසින් පරිත්‍යාග කරන ලද ඔටුන්න අස්ථානගතවී ඇති බව සඳහන් වන අතර එහි ආකෘතියක් මහනුවර කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බව සඳහන් වේ. මෙහි තිබූ පැරැණි ශිලා ලිපිය වර්තමානයේ දක්නට නැත.

‍ෙදාඩම්වල ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේවරයා වන්නේ නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මැතිතුමාය. දේවාලයේ වැඩිදියුණුව හා පහසුකම් නැංවීම සඳහා එතුමන් මහත් වෙහෙසක් ගන්නා බව පැවැසේ. දේවාලේ විදානේවරයා වශයෙන් සුමේද නවරත්න මහතා කටයුතු කරන අතර ලේකම් වශයෙන් උපාලි දිසානායක මහතාත් කපු මහතා ලෙස නවරත්න බණ්ඩාර මහතාත් වර්තමානයේ කටයුතු කරති. වාර්ෂික පෙරහර මංගල්‍ය සිදු කරන්නේ සැප්තැම්බර් මාසයේය.

එකල පැවැති 'නාහාමි' කෝවිල මෙහි අද ද දක්නට ඇත. වත්මන් දේවාලයට පහළින් එය පිහිටා තිබේ. එකල රජතුමා පෙරහර නැරැඹූ 'දිග්ගෙය' දැනුදු දක්නට ලැබේ. පෙරහර ආරම්භ කිරීමට මත්තෙන් හස්තියා පිට කරඬුව තැන්පත් කරන්නේ 'දිග්ගේ' සිටය. සෑම වසරකම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයෙන් අනතුරුව ‍ෙදාඩම්වල ශ්‍රී නාථ දේවාලයේ පෙරහර පැවැත්වේ.

නිමල් කරුණාතිලක
පුස්සැල්ලාව

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon