බුරුමයේ මහාසී භාවනා මධ්‍යස්ථානයේදී චිත්ත සමාධියට එළැඹුණු අයුරු

  👤  3426 readers have read this article !
2018-07-29

අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ ප්‍රථම වතාවට බුරුම රටට වැඩම කළේ 1991 දෙසැම්බර් මස 16 වැනිදාය.

මසකුත් සතියක් වන්දනා මාන කරමින්ද භාවනා ක්‍රම ප්‍රගුණ කරමින්ද බුරුමයේ ගත කළ අප ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසට පූජනීය ඤාණින්ද ස්වාමීන් වහන්සේ සහ තවත් ස්වාමීන් වහන්සේ තුන් නමක්ද ගිහි පිරිස පස් දෙනකුද අයත් විය.

බුරුමයේ දහම් අධ්‍යාපනය කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ භික්ෂුන් වහන්සේටද ලබා ගැනීමට මඟ පෑදුණේ මෙම බුරුම චාරිකාවත් සමඟය.

ඒ අනුව තෝරාගත් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ දස නමක් ඤාණින්ද ස්වාමීන් වහන්සේ සමඟ බුරුම රටට පිටත්කර යැවූ අප ස්වාමීන් වහන්සේ යෝගාශ්‍රම ප්‍රතිපත්තිවලට ගැළපෙන ස්ථානයකට මෙම ස්වාමීන් වහන්සේ යොමු කිරීමට කටයුතු කළහ.

එයට හේතු වූයේ මේ ස්වාමීන් වහන්සේ එතෙක් වැඩ සිටි ස්ථාන තම අරමුණු කරා යෑමට අවශ්‍ය සියලු සුදුසුකම්වලින් පරිපූර්ණ නොවීමයි.
ඒ අනුව අප ස්වාමීන් වහන්සේ නැවත බුරුම රටට වැඩම කරන්නේ 1993 ජූලි මස 28 දිනය.

පළමු ගමන සඳහා පාරින්ද රණසිංහ නඩුකාරතුමාද, දෙවැනි ගමන සඳහා එන්.ජී.පී. පණ්ඩිතරත්න මහතාද අවශ්‍ය විය හියදම් සපයා දෙමින් සහයෝගය ලබාදුනි.

පූජනීය විනීත හා සංඝසුභද්‍ර යන ස්වාමීන් වහන්සේද සමඟ මෙසේ දෙවැනි වරට බුරුම රටට වැඩම කළ අපි ස්වාමීන් වහන්සේ ඒ වනවිට තැන තැන විසිරිව වැඩ සිටි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ සමඟ සාකච්ඡා කොට ඉන් භික්ෂුන් වහන්සේ පස් නමක් "කබාස් තක්ෂිලා" නම් භික්ෂු විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට කටයුතු කළහ. ඒ අතර එම භික්ෂුන් වහන්සේ බුරුමයේ මහාසී භාවනා මධ්‍යස්ථානයේදී සහ පණ්ඩිතාරාමයේදී තව තවත් භාවනා ක්‍රම පුරුදු පුහුණු වන්නටද අවස්ථාව සලසන ලදහ.

මෙසේ තම භික්ෂු ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ බුරුම අධ්‍යාපනයට යොමු කළද කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සම්ප්‍රදායන් සහ ප්‍රතිපත්තිවලට අනුකූලව අධ්‍යාපනයලැබීමට ඉඩකඩ නොමැති බව අවබෝධ කරගත් අප ස්වාමීන් වහන්සේ නැවතත් බුරුමයට වැඩම කළේ එම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ ආපසු වැඩම කරවීම සඳහාය.

එම ගමනට තවත් ස්වාමීන් වහන්සේ පස්නමක්ද එක්කරගත් අතර තුන් මසක් බුරුමයේ මහාසී භාවනා මධ්‍යස්ථානය කේÂද්‍රකොට ගෙන භාවනා පන්තිවලට සහභාගි වන්නටද එය අවස්ථාවක් කොට ගත්හ.

උන්වහන්සේ සමඟ මුල්ම ගමනේදී බුරුමයට වැඩම කළ පූජනීය සංඝසුභද්‍රා සහ විනීත යන ස්වාමීන් වහන්සේ ආපසු සියරට වැඩම කළේ කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා ප්‍රතිපත්ති හා ගැළපෙන එකම භාවනා මධ්‍යස්ථානය වූ "මොලමියන් පා - අවුත්" භාවනා මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරුද රැගෙනය.

බුරුමයේ රැන්ගුන් නුවර සිට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි "මොලමියන් පා - අවුත්" භාවනා මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශය අතිශයින් දුෂ්කර ප්‍රදේශයක් විය. එහි වැඩ සිටි පූජනීය "උෟ - ආචිණ්ණ" ස්වාමීන් වහන්සේ දැඩි විනයධාරී හිමිනමකි. භාවනා වැඩසටහන පවත්වන්නේ විශුද්ධි මාර්ගයට අනුවය. මෙම භාවනා මධ්‍යස්ථානයේදී සමථ - විපස්සනා භාවනා වැඩූ බොහෝ දෙනකු ඉන් මනා ලෙස සිත දියුණු කර ගත්තන්ය. අතිශයින් කටුක නිතර මැලේරියා රෝගය හිස ඔසවන නමුදු "මේ භාවනා මධ්‍යස්ථානයට වැඩම කළ යුතුමයි" යන අධිෂ්ඨානය අප ස්වාමීන් වහන්සේ ඇතිකර ගත්හ.

ඒ අනුව 1995 දෙසැම්බර් අග සතියේ නැවත බුරුම රටට වැඩම කළ අති පූජනීය නාඋයනේ අරියධම්ම අප නාහිමිපාණන් වහන්සේ එතෙක් "කබාෂ් තක්ෂිලා" භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ ඉන් නිදහස් කර ගත්තේ වැඩම කළේ නැවතත් එම මහා පූජා භූමියට වැඩමකරවන්නට ලැබේවා! යන ප්‍රාර්ථනයද පෙරදැරි කරගෙනය.

නැවත සියරට වැඩම කළ අප නාහිමිපාණෝ ගල්දුව ආරණ්‍ය සේනාසනයේ යෙදී තිබූ පින්කම් ආදිය නිමවා ආපසු බුරුමයට වැඩම කළහ.

ඒ වනවිටත් මොලමියන්හි වැඩසිටි පූජනීය කොණ්ඩඤ්ඤ සහ අරියනන්ද යන ස්වාමීන් වහන්සේද සමඟ 1996 ජූලි 10 සිට දෙසැම්බර් තෙක් කමටහන් පුහුණුවේ නිරත වූ අප ස්වාමීන් වහන්සේ ඉන් ලබාගත් ධර්මාවබෝධය බුදු බව ප්‍රාර්ථනා කරමින් යන සංසාර ගමනට මහත් පිටිවහලක් විය.

පූජනීය අරියනන්ද ස්වාමීන් වහන්සේ අප ස්වාමීන් වහන්සේගේ වැඩිමහල් සහෝදරයාගේ පුතණුවන්ය. 1992දී පැවිදි බවට පත් උන්වහන්සේ උපසම්පදාවට පත්වූයේ 1993 වසරේය.

අප ස්වාමීන් වහන්සේ සුජීවත්ව සිටි සමයේ සිට නා උයන ආරණ්‍ය සේනාසනයේ කටයුතු මනාව පවත්වාගෙන යෑම සඳහා කැප වූ උන්වහන්සේ වර්තමානයේ නා උයන කටයුතු මෙහෙයවමින් මහත් මෙහෙවරක් ඉටු කරති.

"අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මතක වත" පෙළ ගැස්වීම සඳහා වූ බොහෝ තොරතුරු අප වෙත ලබා දෙන්නේ පූජනීය අරියනන්ද ස්වාමීන් වහන්සේය.
බුරුමයේ මොලමියන්හි පූජනීය "පා - ඕ සෙයාඩෝ" ස්වාමීන් වහන්සේ විශුද්ධි මාර්ගයට අනුවම සමථ පූර්වාංගම විපස්සනා භාවනා ක්‍රමය පුහුණු කරවන මහ තෙර නමකි. "බුරුම රටට මහණකම ලැබූණේ ශ්‍රී ලංකාවෙන්. ත්‍රිපිටකය, භාවනා ක්‍රම ලැබුණේ ශ්‍රී ලංකාවෙන්. ඒවා නැවත ශ්‍රී ලංකාවට දායාද කිරීම අපේ යුතුකම. මගේ ජීවිතේ අවසාන කාලෙ මම ගත කරන්න හිතාගෙන ඉන්නෙ ශ්‍රී ලංකාවේ" පා - ඕ සෙයාඩෝ හිමියෝ නිතර එසේ පවසති.

වැඩම කරන්නට ආරාධනය කරන්නේ ඒ අනුවය.

පින්වත් චානක ද සිල්වා මහතාගේ සහයෝගයෙන් කල්‍යාණි යෝගශ්‍රම සංස්ථාවේ දායක කාරකාදීන්ගේ දායකත්වයෙන් පා - ඕ සෙයාඩෝ පූජනීය මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීන් වහන්සේ දසනමක් ශ්‍රී ලංකාවට වැඩම කරවන්නේ 1997 ජනවාරි 27 වැනිදාය.

මේ වනවිට ගල්දුව ආරණ්‍ය සේනාසනයේ භාවනා පන්තියක් ආරම්භ වී තිබිණි. 80 නමක් භික්ෂුන් වහන්සේ එම භාවනා පන්තියට සහභාගි වේ. පා - ඕ සෙයාඩෝ ස්වාමීන් වහන්සේ මෙම භාවනා පන්තියේ පිටුපසම නිසොල්මනේ වැඩ සිටිමින් එම භාවනා පන්තියට සහභාගි වීම භාවනා පන්තියට සහභාගි වන 80 නමක් වූ භික්ෂුන් වහන්සේට නිහතමානී ගුණය ප්‍රගුණ කර ගන්නට මහත් පූර්වාදර්ශයක් විය. දෙමසකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ගත කළ පා-ඕ සෙයාඩෝ පූජනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේ කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට අයත් රට පුරා පිහිටි ආරණ්‍ය සේනාසනවල වැඩ සිටිමින්ද ශ්‍රී ලංකාවේ බොහෝ පූජනීය ස්ථාන වන්දනාමාන කරමින්ද ගතකර ආපසු බුරුමයට වැඩම කළේ 1997 මාර්තු මස 15 වැනිදාය.

පූජනීය පා-ඕ සෙයාඩෝ ස්වාමීන් වහන්සේගේ මෙම භාවනා ක්‍රමවේදයන්ගේ සාර්ථකත්වය සහ ප්‍රයෝජනය මනාව වටහාගෙන සිටි පූජනීය නා උයනේ අරියධම්ම අප මා හිමිපාණන් වහන්සේ 1997 වසරේ වස්සානය බුරුමයේ මොලමියන් භාවනා මධ්‍යස්ථානයේදී කමටහන් වඩමින් ගත කළහ.

දැනුවත් කළ අප ස්වාමීන් වහන්සේ 2,000 නොවැම්බර් 09 දින සිංගප්පූරුවට වැඩම කළහ.
ඒ වනවිට ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ පා-ඕ සෙයාඩෝ පූජනීය ස්වාමීන් වහන්සේ එම අසාධ්‍ය බවද නොතකා අප ස්වාමීන් වහන්සේ පිළිගන්නට අත් වාරුවෙන් වැඩම කළහ.

"ස්වාමීන් වහන්සේ, අප ආවේ ඔබ වහන්සේට සෙත්පතා පිරිත් දේශනා කරන්න." පා-ඕ හිමියන්ගේ දෙපා නැමද අප ස්වාමීන් වහන්සේ එසේ පැවසූහ.
ඉන් මහත් සතුටට පත් පා-ඕ සෙයාඩෝ පූජනීය ස්වාමීන් වහන්සේ පිරිත් ශ්‍රවණයට සූදානම් වූහ.

පසුව සත්‍ය ක්‍රියාවක නිරතවූ අප ස්වාමීන් වහන්සේ පිරිත් දේශනා කරන්නට විය.

මේ ආකාරයට දිනකට තුන් වරක් පුරා දින 12ක් පිරිත් දේශනා කරද්දී දිනෙන් දින පා-ඕ හිමියන් සුවපත් වන්නට විය. දානය වළඳන්නට, තමන් වහන්සේගේ කටයුතු තනිවම කරගන්නට තරම් සුවයක් ලද උන්වහන්සේ "මට දැන් සනීපයි" යනුවෙන් පැවැසුවේ මහත් සතුටිනි.

අනතුරුව ආපසු වඩින්නට සූදානම් වූ මොහොතේ පා-ඕ හිමියන් අප ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලීමක් කළහ.
"අපට ඒ පිරිත් දේශනා පටිගත කරලා දෙන්න."

සම්පූර්ණ පිරිත් පොත, කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ තුන්වේල බුද්ධ වන්දනාව, තෙසැත්තෑ ඥාන පූජාව, බුදුගුණ පිරිත ආදිය අප ස්වාමීන් වහන්සේ පටිගත කර දුන් අතර, එම පටිගත කළ පිරිත් භාවිතය බුරුමය ඇතුළු බොහෝ රටවල සිදුවේ.

පූජනීය පා-ඕ සොයාඩෝ ස්වාමීන් වහන්සේ මෙම පිරිත් බලයෙන් හා ගුණයෙන් කෙතරම් සුවපත් වීද යත් ඉන්පසු තායිවානයට වැඩම කොට දෙමසක භාවනා වැඩසටහනක් පවත්වන්නට ද සමත් විය.

ඊළඟ කොටස ලබන සතියේ...

සටහන - සුනිල් පොරමඬල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon