කුරුලු ලොවට තුරුලු වෙන්න මෙන්න රහස රසයි ඔන්න

  👤  3250 readers have read this article !
2018-07-29

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊසාන දිග වගුරු බිම් ආශ්‍රිතව වෙසෙන ගේ කුරුල්ලා අවුරුදු දහසකටද වැඩි කාලයක් තිස්සේ එකම රටාවක නාදයක් නඟන බව ඉතා මෑතකදී පැවැත්වුණු අධ්‍යයනකින් අනාවරණය විය. සිය මුතුන් මිත්තන්ගේ නාද විලාසය ඉතාම නිවැරැදිව අනුකරණය කරන්නට ඇමෙරිකානු ගේ කුරුල්ලාට හැකි බවද තම අධ්‍යයනයේදී තහවුරු විණැයි පර්යේෂකයෝ ප්‍රකාශ කළහ. මෙම පක්ෂියාගේ මොළය මිනිසාගේ මොළයට වඩා බොහෝ සෙයින් කුඩා වුවත් පක්ෂියා සතු සංස්කෘතික සම්ප්‍රදාය මිනිසාගේ එම සම්ප්‍රදායට වඩා බෙහෙවින් ස්ථාවර බවද මෙම අධ්‍යයනයෙන් පැහැදිලි වී ඇත.

ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ සහ ඉම්පීරියල් විද්‍යාලයේත් උතුරු කැරොලිනාහි ඩ්‍යුක් විශ්වවිද්‍යාලයේත් පර්යේෂකයන්ගේ අධ්‍යයනයට ලක් කරන ලද මෙම කුරුල්ලෝ, 'මෙලොස්පීශියා ජෝර්ජියානා' යනුවෙන් හැඳින්වෙති. එමෙන්ම මොවුහු ඔවුනට අසන්නට ලැබෙන නොයෙක් නාද ග්‍රහණය කර ගෙන ඒවා අනුකරණය කිරීමේ උත්සාහයක්ද නොදරති. ඒ වෙනුවට ඔවුහු වඩාත් සූක්ෂ්මාකාරයකින් පොදු නාද විලාස ඉතා පරෙස්සමෙන් තෝරා ගනිති. 'අනුකාරක නැමියාව' (ඛ්ධදටධපථඪඵබ ඡඪචඵ) යනුවෙන් හැඳින්වෙන එම ක්‍රමය ඉතා විචක්ෂණ උපක්‍රමයක් බවත් එය මිනිසාට පමණක් විශේෂ වූවක් සේ මෑතක් වනතුරුම සැලකුණු බවත් පර්යේෂකයෝ සඳහන් කරති.

කුරුලු ගහනය තුළ අසන්නට ලැබෙන නවතම නාද විලාස තෝරා බේරා ගෙන එයින් මෙම ගේ කුරුල්ලන්ගේ නාද සම්ප්‍රදාය ස්ථාවර තත්ත්වයට පත්කර ගැනීමේ උත්සාහයක ලක්ෂණ මෙහි තිබෙන බවත් නිවැරැදිව අනුකරණය කිරීමේ හැකියාව හා අනුකාරක නැමියාව අතර සම්බන්ධතාව මත මෙම කුරුල්ලන් ඔවුන්ගේ පොදු නාද විලාස අසාමාන්‍ය සේ දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන බවත් මේ අධ්‍යයනයෙහි යෙදුණු පර්යේෂකයෝ පෙන්වා දෙති.

බොහෝ වර්ගවලට අයත් කුරුල්ලන් ඔවුන්ගේ නාද විලාස ඔවුන්ගේම වර්ගයේ සාමාජිකයන්ගෙන් ඉගෙන ගන්නා බවත් මිනිසුන්ගේ එම හැදෑරීම අනුව එකම වාග් විලාසයක් අතිවිශාල ප්‍රජා සමූහයක් අතර පැතිර යන බව මෙන්ම අන්තිමේදී එය සංස්කෘතික පරිණාමීය ක්‍රියාදාමයක් පදනම් කොට ගෙන දිගු කල් පවත්නා සම්ප්‍රදායක් බවට පත්වන බවත් මෙම අධ්‍යයනයේ සම පර්යේෂකයකු වූ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා සහ රසායන විද්‍යා අංශයේ ආචාර්ය රොබට් ලැක්ලන් ප්‍රකාශ කරයි. සතුන්ගේ සංස්කෘතික චර්යා මිනිසුන්ගේ එම චර්යා සමඟ බොහෝ දුරට ගැළපෙන බවද මෙම අධ්‍යයනයේදී පර්යේෂකයන්ට දැනගත හැකි වී ඇත.

ආචාර්ය ලැක්ලන් තවදුරටත් පෙන්වා දෙන පරිදි ඉතාම මිහිරි නාද නඟන කුරුල්ලන්ට ස්ථාවර සංස්කෘතික සම්ප්‍රදා බිහි කිරීමේ ශක්තිය තිබෙන අතර ඔවුහු ඒ සඳහා අනුකාරක නැමියාව උපයෝගී කර ගනිති. ඒ ගුණය හුදෙක් මිනිසාට පමණක් උරුම වූවකැයි මෑතක් වන තෙක්ම විශ්වාස කෙරිණි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊසාන දිග වගුරු බිම්වලින් අදත් ඇසෙන කුරුලු නාද විලාස අවුරුදු දහසකටද වැඩි කාලයකට ඉහතදී ද එහි පැවැත ඇති අතර මානව සංස්කෘතික සම්ප්‍රදායවල ස්ථාවරත්වය හා සම තත්ත්වයෙන්ම එම සකුණ සම්ප්‍රදායද ඔවුන්ගේ පරපුරෙන් පරපුරට උරුම වෙමින් තිබේ.

මෙම අධ්‍යයනයෙහි යෙදුණු පර්යේෂකයෝ මෙකී වගුරු බිම් කලාපයෙහි වෙසෙන කුරුලු ගහන හයසිය පහළොවක් අතර භාවිත නාද විලාස පටිගත කර ගත්හ. ඉන්පසු ඒ එක් එක් කුරුලු ගහනයේ නාද විලාස අතර විවිධත්වය පරිගණක උපක්‍රම මඟින් මැන ගත් බව 'නේචර් කොමියුනිකේෂන්' නමැති ප්‍රකාශනයෙහි සඳහන් විය. කුරුල්ලන්ගේ සංස්කෘතික පරිණාමයේ අනුකාරක විධි තමන්ගේ දත්ත සමඟ ගළපා ගැනීම සඳහා මෙම පර්යේෂකයෝ 'සන්නිකර්ෂණීය බයේසියන් පරිගණකය' (ඒනනපධයඪථචබඥ ඕචරඥඵඪධද ඛ්ධථනභබචබඪධද) නමැති සංඛ්‍යාමය ක්‍රමවේදය උපයෝගි කර ගත්හ. මානව සංස්කෘතික අනුකාරක විධි සතුන්ගේ චර්යා සමඟ මේ ආකාරයෙන් ගළපන ලද ප්‍රථම අවස්ථාව මෙය බවත් කුරුල්ලන්ගේ කුමන අනුකාරක විධි තමන් විසින් අධ්‍යයනයකරන ලද නාද විවිධතාවලට අනුකූලද යන්න ගවේෂණය කිරීමට එයින් තමන්ට මඟ පෑදුණ බවත් පර්යේෂකයෝ කීහ.

කුරුලු ගීතයේ අරමුණ

කුරුල්ලෝ ඔවුන්ගේ නාදය අනෙක් කුරුල්ලන් සමඟ සන්නිවේදනයෙහි යෙදීම සඳහා යොදා ගනිති. ඔවුන්ගේ තියුණු නාද, දුරස්ථ සන්නිවේදනය සඳහා, විශේෂයෙන්ම වැසි වනාන්තර වැනි ගන වනවදුළු තුළ සිටින කුඩා සියොතුන් සමඟ සන්නිවේදනය සඳහා මහෝපකාරී වන කාර්යක්ෂම මඟකි. බොහෝ වර්ගවලට අයත් සියොත්හු තමන් අනෙක් සියොතුනට හඳුනා ගැනීමට හැකි වනු පිණිසත් ළඟ ඇති අනතුරක් ඔවුනට දන්වනු සඳහාත් විශේෂ නාද විලාස උපයෝගි කර ගනිති. සහකරුවකු හෝ සහකාරියක කැඳවා ගැනීම සඳහා පමණක් නොව තමන් ප්‍රජනන කාර්ය සඳහා යෝග්‍ය ශාරීරික තත්ත්වයෙන් සිටින බව ඇඟවීම සඳහාද කුරුල්ලෝ ඔවුන්ගේ නාද විලාස යොදා ගනිති.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊසාන දිග වගුරු බිම් ආශ්‍රිතව වෙසෙන ගේ කුරුල්ලන් ඔවුන්ගේ නාද විලාසවලට ඇතුළත් විශේෂ ධ්වනි කොටස් මැනැවින් හඳුනා ගන්නා බවත් එය මිනිසුන් ඔවුන්ගේ කතාබහේදී විවිධාර්ථ අවධාරණය සඳහා ධ්වනිය යොදා ගැනීමේ වාග් විලාසයට ඉතාම සමාන කාර්යයක් බවත් මෙම කුරුල්ලන් පිළිබඳව පැවැත්වුණු තවත් අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

අදාළ විදග්ධතාව නැත්තන් තුළ වුවද යටපත් වී පවත්නා සංකීර්ණ චර්යා මතු කිරීමට සංස්කෘතික සම්ප්‍රදාවලට ශක්තිය තිබෙන බව අනාවරණය කිරීමට මෙම අධ්‍යයනය උපකාරී වන බවත් කථනයට සහ භාෂාවට පදනම්ව පවත්නා ප්‍රවේණි අංග ලක්ෂණ හඳුනා ගැනීමට මෙම පක්ෂි ගහනය ආදර්ශක පද්ධතියක් වී ඇති බවත් ආචාර්ය ලැක්ලන් ප්‍රකාශ කරයි. එසේ සමස්ත කුරුලු ගහනයේ සියලු කොටස් පිළිබඳ සම්පූර්ණ ගවේෂණයක් නොපැවැත්වුණු බව මෙන්ම ඒ කෙරෙහි නිසි අවධානය යොමු කළ යුත්තේ කෙසේද යන්න ගැන මනා අවබෝධයක් මෙම අධ්‍යයනයේදී තමන්ට ලැබුණු බවත් ආචාර්ය ලැක්ලන් අවසාන වශයෙන් සඳහන් කරයි.

පරිවර්තනය - ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon