යාපනයේ සැඟවුණු ඉපැරැණි සිංහල ජනාවාසයක තොරතුරු මෙන්න

  👤  3498 readers have read this article !
2018-07-29

යාපනය දිස්ත්‍රික්කයේ උතුරු කෙළවරේ වඩමාරච්චි ප්‍රදේශයේ වල්ලිපුරම් නැමැති ස්ථානයේ වූ විෂ්ණු කෝවිල පිහිටි බිම අපට සුවිශේෂීය. එනම් 1936දී එම භූමියට අයත් ස්ථානයක් කැණීමට යෑමේදී අත්තිවාරමක් යට තිබී රන්පතක් හමුවීම නිසාය. මෙම රන්පත එතෙක් උතුරේ සැඟවුණු ඉතිහාස කතාව මතුකර දැක්වීමත් පෙරැළියක් ඇති කළේය.

ක්‍රි.ව. දෙවැනි සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියැවී තිබුණු එම රන්පත හෙළ රජවරුන්ගේ අණසකට නතු වූ එක්සත් වූ රටක හෙළ අයිතිය හා සැබෑව කියාපාන්නක්ම වූයේය.
එහි අකුරු ගණන 49කි. පේළි හතරකි. එහෙත් ඉන් පළකරන ඓතිහාසික සාධක රටක් වටින්නේය. ලිපිය මෙසේය.

'සිධ මහරජ වහයහ රජෙහි අමෙතෙ
ඉසිගිරයෙ නකදිව බුජමෙනි
බදකර අතනෙහි පියගුක තිස
විහර කරිතෙ

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙය කියවා මෙහි අරුත මෙසේ යැයි 'එපිග්‍රැපියා සිලනිකා' ග්‍රන්ථයෙහි 4 වැනි කාණ්ඩයේ දක්වා ඇත්තේ මෙසේය.
'වසභ රජුගේ රාජ්‍ය සමයෙහි ඉසිගිරිය අමාත්‍යවරයා නකදිව පාලනය කරද්දී බදකර අතනෙහි පියංගුක තිස්ස විහාරය කරවන ලදී.'

මින් සාක්ෂි සහිතව ඔප්පු වන දෙයක් ඇත. එනම් අනුරාධපුර රාජධානි සමයේ අනුරාධපුරයේ රජ කළ වසභ රජුගේ කාලයේදී ඔහුගේ අණසක යටතේ නකදිව හෙවත් යාපනය පැවැති බව සහ මෙහි බෞද්ධ විහාරයක් තිබුණු බවය.

වසභ රජතුමා ක්‍රි.ව. 65-109 අතර රාජ්‍ය පාලනය කර තිබෙන අතර මේ අනුව යාපනය හෙවත් නකදිව පාලනය කළ ප්‍රදේශාධිපතියා, මෙන්ම රාජ්‍ය නියෝජිතයාව සිට ඇත්තේ ඉසිගිරිය නම් අමාත්‍යවරයකු බව පැහැදිලි වෙයි. එය යාපනයේ යටගිය ඉතිහාස කතාව ලියන්නට ප්‍රබල සාක්ෂියක් වන්නේය.

එසේ එය තහවුරු වෙද්දී තවත් දෙයක් පැහැදිලි වෙයි. එනම් ක්‍රි.ව. 65 - 109 අතර කාලයේදී වත්මන් වල්ලිපුරම් නම් ප්‍රදේශය 'බදකර අතන' නමින් නම්ව ව්‍යවහාර වූ බවය. මහාචාර්ය පරණ විතාන සූරීන් බදකර අතනී යන්න තවදුරටත් විග්‍රහ කර ඇත. ඒ අනුව බදකර යන්න පාලි 'භද්දඝර' හෝ 'භද්දකර' යන්නෙන් බිඳී ආ බවය. නාගදීපයෙහි පිහිටි 'රාජායතන චෛත්‍යය' ක් ගැන සද්ධර්මලංකාරයෙහි සඳහන් වන නිසා 'භද්ධඝර ආයතන' යන්න දෙවැනි සියවසට අයත් ව්‍යවහාරික බස අනුව මෙම ස්ථානයට යෙදූ නාමයද "බදකර අතන" වූ බව නිගමනය කළ හැකිය.

මෙම රන්පත එතරම් ප්‍රබල සාක්ෂියක් ව නැඟී සිටිද්දී 'පියගුක තිස' නම් විහාරයක් මෙහි තිබීමත් ඒ අනුව මේ සමස්ත ප්‍රදේශය පියගු දිවයිනී ද විය හැකිය. එසේ නම් පියංගුක තිස්සී විහාරය හෝ තිස (තිස්ස) නම් පුද්ගලයෙක් මෙම විහාරය කළ බවද නිගමනය කළ හැකිය. ඒ අනුව පෙළ ගස්වද්දී...
"වසභ රපු සමයේ, ඉසිගිරිය අමාත්‍යවරයා නකදිව පාලනය කරන කාලයේ බදකර අතනෙහි 'පිංගුක තිස්ස' විසින් විහාරයක් කරවන ලදී" යැයිද ගත හැකිය.
ඒ කෙසේ වෙතත් වසභ රජුගේ රාජ්‍ය පාලනයට යටත්ව, ඔහු අණසක සහිතව නකදිව පාලනය කළේ ඉසිගිරිය ඇමැතිවරයා බවත්, මෙහි වියංගුක තිස්ස පිහාරයක් තිබූ බවත් මතුවීම වැළැක්විය නොහැකිය.

මහාවංසයෙහි සඳහන් වනූ පියඟුදීප‍ෙ යෙහි තිස්ස නම් මහතෙර කෙනෙකුන් වාසය කළ ස්ථානයක් ගැනද සඳහන් වීම විශේෂයකි. දුටුගැමුණු මහ රජතුමාගේ කාලයේදී තිස්ස නම් රහතන් වහන්සේ පියඟු දිවයිනෙහි සිට වැඩිය බවක්ද කියැවෙයි. සීහලවත්ථු නැමැති පාලි ග්‍රන්ථයෙහිද පියඟු දිවයිනෙහි විසූ සංඝයාවහන්සේලා ගැන සඳහන් වේ. මහාවංස ටීකාව වූ වංසත්ථප්පකාසිනියෙහිද පුවඟු දීපවාසී මලියදේව මහ තෙරුන් ඇතුළු භික්ෂුන් වහන්සේ අටනමක් ගැන සඳහන්වේ. එබැවින් මේ සනාථ වීම් හා සාක්ෂි අනුව වසභ මහරජු දවස 'ඉසිගිරි' අමාත්‍යවරයා නකදිව පාලනය කළ බව ශුද්ධ වන්නේය.

මෙම රන්පතින් හෙළිවන, ඔප්පුවන, ශුද්ධ වන කරුණු කාරණා කිහිපයකි. පළමුව වසභ රජතුමා සහ එතුමාගේ රාජ්‍ය කාලය කොතරම් ද යන්න විමසීමට කරුණු ලැබෙන්නේය. වසභ රජු 'සුභ' නම් රජුගෙන් පසු රජවූවෙකි. ඔහුගේ රාජ්‍ය කාලය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන්නේය.

වසභ රජු අභ්‍යන්තර දේශපාලන අර්බුද පැවැති සමයක රාජ්‍යත්වයට පත් වී ඇත. ඔහු සිංහල රාජවංසයේ අලුත් පුරුකක් ලෙස ලම්බකර්ණයකු වශයෙන් එක්වෙයි. ඔහු රට ස්ථාවර කර ඇති අතර එම යුගයේදී ආර්ථික සංවර්ධනය උදෙසා ද කටයුතු කර ඇත. පූජාවලියෙහි සඳහන් වන්නේ වසභ රජු වැව් සොළොසක් කළ බවය. ඒවා සියල්ල ද නම් කර ඇත. එහි සඳහන් නම්වලින් කිහිපයක් රාජාවලියෙන්ද තහවුරු වෙයි. වැව් ඉදිකිරීමෙන් බත බුලත සරුවී අටුකොටු පිරුණු කෘෂිකාර්මික ජනජීවිතය ඔප් නැංවී තිබුණු බැව් සිතිය හැකිය.

වසභ රජු රටට යමක් කළ, මතක සටහන තබා ගිය රජකු වන්නේ ඉන් පසු යුගවලද රජු ගැන සඳහන් වන බැවිනි. වසභගෙන් පසු රජ වූයේ ඔහු පුත් වංකනාසික තිස්සය. ඉන් අනතුරුව රජ වූයේ අප හොඳින් දන්නා ගජබා රජුය. ගජබා රජුගේ යුගයට අයත් බොහෝ සෙල්ලිපිවල වසභ රජුගේ නාමය සඳහන් වීමෙන්ම මෙය තහවුරු වන්නේය.
එසේ නම් සමෘද්ධිමත් එම රජුගේ යුගයෙහි උතුර පාලනය කළ නියෝජිතයා, ප්‍රදේශාධිපතියා මෙන්ම කරවූ විහාරයද සාධක සහිතව ඔප්පු වෙයි.

නකදිව වසර 1800 ගණනකට පෙර භාවිත වී ඇත්තේ නාගදීප වශයෙන්ය. එනම් වත්මන් නාගදීප විහාරය තිබෙන ප්‍රදේශය පමණක් නොව සමස්ත යාපනය අර්ධද්වීපයමය. නාගදීපය ගැන මුල් සඳහන එන්නේ බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කළ ප්‍රවෘත්තියෙනි. ක්‍රි.ව. දෙවැනි සියවසේදී ටොලමිගේ සිතියමෙහි මේ ප්‍රදේශය නම්කළ "නාගදීබ්" නාමය නකදිව හෙවත් නාගදීපී යම බව තහවුරුය. රසවාහිනිය හා සද්ධර්මාලංකාරයෙහි ද නාගදීපය ූමණිනාග දිවයින සහ මිණිනක් දිව යනුවෙන් දැක්වේ.

ඇතැමුන් මේ අතීතය සඟවන්නටත්, වෙනත් අරුත් දක්වන්නටත් උත්සාහ ගත්තද යාපනය ප්‍රදේශය ජනාවාස වූයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම බව දැන් දැන් ඔප්පු වෙමින් පවතී. ලක්දිව කඳුකරයේද, දකුණු දිගද, උතුරු නැඟෙනහිර වෙරළබඩ පෙදෙස්වලින්ද ලැබී ඇති මයිකේ‍රාලිතික ගල් ආයුධ එක හා සමානය. එබැවින් සිංහලයාගේ ආදි මුතුන් මිත්තන් උතුරේ මෙන්ම දකුණේද එකසේ වාසය කළ බැව් පෙනෙයි.

මේ සමඟ යාපනයේ වල්ලිපුරම් ප්‍රදේශයේ විෂ්ණු දේවාලයට යාර පනහක් පමණ ඊසාන දෙසින් බුදුපිළිමයක් හමුවීමද යටපත් කළ නොහැකි සත්‍යයකි. ඒ 1900 වර්ෂයේ බි්‍රතාන්‍ය පාලනය පවතිද්දීය. එය වල්ලිපුරම් රන්පත හමුවීමට ප්‍රථම ලැබුණකි. එම බුදුපිළිමය අඩි 8ක් පමණ උසින් යුක්තය. වම් අතෙහි මැණික් කටුව ළඟින් කැඩී තිබී ඇත. එය නිසැක වශයෙන් ක්‍රි.ව. 2 හෝ 3 වැනි සියවසට අයත් වූවක් බැව් සැලකේ. 1926 දී පමණ මෙම පිළිමය පිළිබඳව තොරතුරු හෙළි කළ ජේ.පී. ලුවිස් මහතා දැක්වූ තොරතුරුවලට අනුව එම ප්‍රදේශය පැරැණි සිංහල ජනාවාසයක් තිබූ බවට සාක්ෂි රැසකින් යුක්තව තිබී ඇත.

එම තොරතුරුවලට අනුව වාර්තාවන සත්‍ය නම් එම බුදු පිළිමය අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑයෙන් හමු වූ බුදු පිළිමවලට බෙහෙවින් සමානත්වයක් ගත්තේය. එය ද අමරාවදි කලා සම්ප්‍රදායන්ට අයත් වූවකි.

පසුව මෙම පිළිමය යාපනයේ උද්‍යානයෙහි බෝධියක් සෙවණේ තබා තිබුණු අතර 1916 දී එවකට ලංකාවේ බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ හෙන්රි බ්ලේක් විසින් සියමෙහි එවකට රජ කළ 4 වැනි රාම රජුට ප්‍රදානය කර ඇත. අද එය අපට අයත් නැත. එහෙත් එම පිළිමය සියමෙහි මේ වන විටත් සුරැකිව තිබෙන්නට පුළුවන. ඒ ගැන සොයාබලා එහි සේයාරුවක් හෝ දැකගන්නට සැලැස්වීම බලධරයන්ගේ යුතුකමය. පිළිමය නිල් හා කොළ පැහැයෙන් නිරතුරව දිදුලන කිරිගරුඬ පාෂාණ වර්ගයකින් නිමවා තිබිණ. තිස්සමහාරාමයේ යටාල වෙහෙරේ පිළිමය මහ ඉලුප්පල්ලම බුදුපිළිමයද මෙහි සිහිගන්වන බැව් සඳහන්ය. එබැවින් යාපනයේ යටගිය සැබෑ ඉතිහාසය මතු කරගන්නට කැමැති නම් මේ සාධක ඉතාමත් වැදගත්ය.

සුලක්ඛන ජයවර්ධන

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon