මම කවි ලියන්නේ හිතුනොත් විතරයි

  👤  3074 readers have read this article !
2018-07-29

ඔබ ලියන කවිවලට "කවි වගේ ජාතියක්" කියලා කියන්නේ ඇයි?

බලන අයට තමයි ඒක තීරණය කරන්න වෙන්නේ. සමහරුන් ඇහුවා මේවා කවිද, කවිවලට ගන්න පුළුවන් වචනද මේවාගේ තියෙන්නේ කියලා. ඒක නිසා කවි විදිහට හඳුන්වන අයට කවි විදිහටත් කවි නොවෙයි කියන අයට ඒ විදිහට හඳුන්වන්නත් පුළුවන්. ඒ නිසා මං කවි වගේ ජාතියක් කියලා නම දැම්මා.

ෆේස්බුක් හරහා ඔබගේ කවිවලට ලැබුණු ප්‍රතිචාර නිසාමද පොතක් කරන්න හිතුවේ?

ඒ ප්‍රතිචාර නිසාම නෙවෙයි. එහෙම වුණානම් මේ පොත ඇවිත් සෑහෙන කල්. මේ ජාතියේ කවි ෆේස්බුක් එකේ ලියන්න ඕන කියලා මගේ ප්ලෑන් එකක් තිබුණේ නෑ. මේක ඇත්තටම අහම්බයක්. පොතත් ඒ වගේම එකක් තමයි. ඕනෑම කෙනකු දෙයක් ලීවාට පස්සේ බොහෝ වෙලාවට එහි අවසාන ඉලක්කය වෙන්නේ පොතක් කරන එක. කවියන්ගෙත් එහෙමයි. හැබැයි මට මෙතැනදී නම් පොතක් කිරීමටම උනන්දුවක් තිබුණේ නැහැ. මේ කවිවල ෆෝමැට් එක ගැළපෙන්නෙම ඒ වගේ අවකාසයටයි.
පසුව බොහෝ දෙනා කියන්න ගත්තා මේ කවි ටික කොහේ හරි එකතු වෙලා තියෙන එක හොඳයි කියලා. ඒ වගේම පස්සේ කාලෙක මේ කවිවල සමාජ දේශපාලනික වැදගත්කමක් ඇති වෙයි කියන අදහසත් මතු වුණා. පොතක් ගැහුවාම මොකද්ද ඇති වරද කියලා මටත් හිතුණා.

මේ කාලේ කවි පොතක් මාර්කට් කරනවා කියන එක ලේසි නෑ නේද?

පොත මුද්‍රණය කිරීම සම්බන්ධව මට කිසිම අභියෝගයක් තිබුණේ නෑ සහ ප්‍රශ්නයක් තිබුණේ නෑ. පොත ජනගතවීම කියන කාරණා සියල්ල වෙන්නේ මේ වැඩේ සමඟ හිටපු බොහෝ දෙනාගේ උනන්දුව මත. විශේෂයෙන්ම මතක් කරන්න ඕන පොත ඉතාම කැමැත්තෙන් ප්‍රකාශන කරන්න බාර ගත්තේ ප්‍රේම් දිසානායක ඉතාම හිතවත් වැඩිමල් සහෝදරයෙක්. පොතේ කවරය නිර්මාණය කළේ සංජය අෑපා සෙනවිරත්න මගේ ඉතාම හොඳ මිත්‍රයෙක්. ඔවුන් සියලු දෙනාම ඒක තමන්ගේ වැඩක් වගේ මේක කරගෙන ගියා සහ පොත ජනගත වීමේ අවස්ථාව සංවිධානය කෙරෙන්නෙත් මගේ හිතවතුන්ගේ මැදිහත්වීමෙන් සහ ඔවුන්ගේ දායකත්වය මත. මේකේ මට කරන්න දෙයක් තිබුණේ නැති තරම්. පොතේ අලෙවිය සම්බන්ධව පොතේ ප්‍රකාශකයාට යම්කිසි අවබෝධයක් තියෙන්න ඇති.

මේ කෘතියට මෑත කාලීනව ඔබ ලියපු කවි සියල්ලම එකතු කර තිබෙනවාද?

අවුරුද්දක් එක හමාරක් ඇතුළත ලියැවුණු කවි අතරින් කවි 120ක් වගේ ප්‍රමාණයක් ඇතුළත්. යම්කිසි වෙලාවන්හිදී කතා බහට ලක් වුණු කවි ප්‍රමාණයක් ඇතුළත් වුණේ.

පත්තරකාරයකු ලෙස හඳුනාගත්තු ප්‍රියන්ත කොඩිප්පිලි කවියකු ලෙස ෆේස්බුක් එකේ චරිතයක් වෙලා වගේ පේනවා?

කවියකුද නැද්ද කියලා හැඟීමක් නෑ. මීට අවුරුදු දහයකට ‍ෙදාළහකට කලින් ඒ කියන්නේ මේ ජාතියේ කවි ලියන්න කලින් මම නිදහස් ආකෘතියේ කවි වේගයෙන් ලියාගෙන ආපු කෙනෙක්. දැනට සම්මානලාභී කවි කිවිඳියන් බොහෝ ප්‍රමාණයක් එක්ක අපි එක පෙළට පත්තරවලට කවි ලීවා, විවිධ ප්‍රකාශනවලට කවි ලීවා. ඒ කල්ලියෙ මමත් සාමාජිකයකු වෙලා ඉද්දී මම පත්තරවලට එන්නේ. පත්තරේ කවි පිටුවක් කරන්න සිදුවුණා සහ එතැනින් පස්සේ මගේ කවිය ටිකක් පස්සට අඩියක් තියලා අනිත් කවියන්ගේ කවිවලට සහ කවියන් සම්බන්ධව ලියන්න සිද්ධ වුණා. මං ඒක ඉතාම ආසාවෙන් කළේ. ඒත් එක්කම මගේ කවිය අතරමඟ නතර වුණා.

මේ කවිවල සමාජ දේශපාලනික කාරණා සැරට ලියන්න උත්සාහ කළ බවක් පේනවා.

මේක ඇතුළේ යම් යම් තැන සලකුණු වුණු කවි ප්‍රමාණයක් තියෙනවා. විවිධ පුද්ගලයන් සහ විවිධ සිද්ධීන් ගැන ලියැවුණු. ඒවාට ටිකක් වෙනස් විදිහේ ප්‍රතිචාරයක් තිබුණා. ආගමික සංස්ථා විවේචනය කරලා ලියැවුණු ඒවාට ටිකක් දරුණු විදිහේ ප්‍රතිචාර ආවා. හැබැයි අපේ සංස්කෘතික කලාපයේ හිටපු සහ ඉන්න නිර්මාණශීලීි මිනිස්සු ගැන ලියපු කවිවලට නම් ධනාත්මක ප්‍රතිචාර බොහෝ දුරට ආවේ. ඔවුන් සම්බන්ධව මට වගේම බොහෝ දෙනකුට විවේචනය කරන්න බැරි සීමාවක ඔවුන්ගේ වැඩ තිබුණු නිසා ඒ සම්බන්ධව එහෙම විවේචනයක් ආවේ නෑ.

දේශපාලන කාරණා ලියද්දී තමයි වෙනස් විදිහේ ප්‍රතිචාර ආවේ. ඒ කිසිම දෙයක් මම ලොකුවට ගන්න කෙනෙක් නෙවෙයි. හොඳ ප්‍රතිචාරවලින් අමන්දානන්දයට පත්වෙන්නේවත් මට වැරැද්දක් අවුලක් කියන ඒවාට සැලෙන්නේවත් නෑ. සියල්ල මැදහත් සිතින් බාර ගන්නවා. මේ වැඩේ ඉදිරියට ගෙන යන්න ඒ ප්‍රතිචාර උදව්වක් වුණා.

ඔබටත් උඩින් කවුරු ඔබ හට එදිරී
විධායක බලේ මුල් තව නැත ඉදිරී
අම්මපා ඇති වෙලා දැන් නුඹේ කන් කෙඳිරී
ජනපති කෙනෙක් වෙනවද මෙහෙමත් පදිරී

කියලා කවියක් ලියන්න චකිතයක් බයක් හිතුණේ නැද්ද?

පත්තර වැඩ පටන් ගත්තෙමත් ලසන්ත වික්‍රමතුංගලාගේ පත්තරෙන්. මොකක් හරි අනතුරක් වෙයි කියලා හිත හිත ලියන්න පුරුද්දක් ඇතිවුණේ නැහැ. හැබැයි මේක නිර්මාණයක්නේ. අපේ රටේ නිර්මාණශීලීව දේවල් කියපු අයටත් පහුගිය කාලයේ අත්වුණු ඉරණම දැක්කා. හැබැයි මේ වෙලාවේ මේක කියන්න ඕනෑ කියලා මට හිතෙන දේ කියන්න මම උත්සාහ කළා. තාම එහෙම බයක් නෑ.

විශේෂ සිදුවීමක් වුණාහම කවියක් ලියන්න කියලා
කියන පිරිසකුත් ඇති?

මේ වැඩේ ටිකක් හිට් වුණාට පස්සේ ඒ වගේ යෝජනා ආවා. පින්තූරයක් එක්ක යන කවියක් මේ ෆෝමැට් එකේ තිබුණේ. බොහෝ දෙනා විශේෂ පින්තූරයක් තිබුණොත් එවනවා. මාතෘකාත් යෝජනා කරනවා. ෆේස්බුක් එකෙත් ලියනවා ඇයි ඒවාට කවි ලීවේ නැත්තේ කියලා. පහුගිය කාලයේ මැරුණු දිවියාගේ සිදුවීම ගැන ලියන්නේ නැත්තේ ඇයි ඩොලර් හම්බ වෙලාද කියලා. කවි නොලියනවාට ඩොලර්වලින් ගෙවනාවා නම් කවියකුට ඒක ඉතාම හොඳ දෙයක්. අපේ රටේ කවි ලියලවත් ඩොලර්වලින් හොයන්න පුළුවන්කමක් නෑනේ. බොහෝ දෙනකුගේ ඉල්ලීම් තියෙනවා. මොන ඉල්ලීම් ආවත් මට හිතුණොත් විතරයි ලියන්නේ.

සංලාපය - රසිකා හේමමාලි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon