ලොග් සටහන් හොඳයි හොඳයි පුන්නක්කුත් රසයි රසයි

  👤  3054 readers have read this article !
2018-07-29

1946 වර්ෂයේ වයඹ පළාතේ බිංගිරිය ප්‍රදේශයේ තාරණ - උඩවෙල රජයේ මිශ්‍ර පාඨශාලාවේ සේවය කළ අමරදාස දිසානායක මුල්ගුරුන්නාන්සේ කිසිවෙකුට වත් හිස නොනවමන තම රාජකාරිය දේවකාරියක් ලෙස සලකා වැඩ කළ අයුක්තියට හා අසාධාරණයට එරෙහිව නැඟී සිටි අවංක ගුරුවරයෙක් විය.

එකල මහේශාක්‍ය ලීලාවෙන් පාසල්වලට පැමිණ අහිංසක ගුරුවරුන්ගේ නැති වැරැදි හුවා දක්වමින් නොයෙක් ආකාරයෙන් ඔවුන් තළා පෙළනා දෙපාර්තමේන්තුවේ සමහර උසස් නිලධාරීන් සිටි අතර ඔවුන් තුට්ටුවකටවත් ගනන් නොගන්නා මොහු කෙරෙහි සමහර නිලධාරීන් සිටියේ නිතරම පළිගන්නා ස්වරූපයෙන් වූ දැඩි සිත් අමනාපයෙනි.

පාසල්වලට නිතරම කඩා පනින සමහර දෙපාර්තමේන්තු නිලධාරීන් ගුරුවරුන්ගෙන් මෙන්ම විශේෂයෙන් මුල් ගුරුන්නාන්සේගෙන් තෑගි භෝග, අයුතු ලාභ ප්‍රයෝජන අපේක්ෂා කළ අතර එසේ පාසල්වලට නිතර පැමිණෙන ඔවුන් පාසල් වත්තේ වගා කර ඇති කෙසෙල් කැන්, අල, බතල, එළවළු වර්ග, මයියොක්කා, වී, හාල් වැනි දෑ තමා පැමිණෙන මෝටර් රථවලට දමාගෙන යාම පුරුද්දක් කොට ගෙන සිටියහ.

මෙවැනි පඬුරු, පාක්කුඩම්වලට ඇබ්බැහි වූ එක් දෙපාර්තමේන්තු නිලධාරිවරයෙක් දිනක් උඩවල පාසලට හිටි අඩියේ කඩා වැදුණේ කලින් දැනුම්දීමකින් තොරව පන්ති සමීක්ෂණයකට හා පාසල් වත්ත අධීක්ෂණයටය. ඔහු තම රාජකාරියෙන් පසු පාසලෙන් පිටත්ව යන විට පෙර කී පඬුරු, පාක්කුඩම් හා සන්තෝෂම් ඔහුගේ වාහනයට දමා යැවිය යුතු බවට දිසානායක මුල් ගුරුන්නාන්සේව දැනුවත් කළේ මෙම ක්‍රියාවට තදින්ම එරෙහිව සිටි පාසලේම ගුරුවරයෙකි. ගුරුවරයා කී මෙකී කාරණයෙන් පසුව මුල් ගුරුන්නාන්සේ කල්පනාවට වැටුණේය. "හොඳයි මම හොඳ පඬුරු, පාක්කුඩමක් දෙන්නෙමැයි" සිතූ මුල් ගුරුන්නාන්සේ පාසලේ ඉහළ පන්තියක පිරිමි ළමෝ පස් දෙනෙක් කැඳවා ඔවුන්ට වැඩය භාර දුන්නේ වැඩය නිසියාකාරව කරන ලෙසට උපදෙස් දෙමිනි.

එක් ශිෂ්‍යයකුට පොහොර උරයක් දුන් ගුරුන්නාන්සේ එයට හැකි තරම් පිදුරු පුරවා කට බැඳ ගෙනෙන ලෙසද තවත් සිසුවකුට උරයක් පිරෙන සේ පාසල් වත්තේ ගස්වල ඇති කුණුවී ගිය එළවළු පුරවන ලෙසද තවත් සිසුවකුට උරයක් දී අල්ලපු ඉඩමේ පොල් මෝලෙන් පුන්නක්කු පුරවාගෙන එන ලෙසද තවත් සිසුවකුට පොහොර උරය පිරෙන සේ කේඬෑරි වී ගිය නොමේරූ කෙසෙල් කැන් පුරවා ගෙනෙන ලෙසද කී මුල් ගුරුන්නාන්සේ තවත් උරයකට පිරෙන සේ තණකොළ කපා පුරවාගෙන එන ලෙසද කීවේය. අවසානයේ ගෝනි කටවල් හොඳින් බැඳ පරීක්ෂකවරයාගේ මෝටර් රථය ළඟින්ම තබන ලෙසද සිසුන් දැනුවත් කළේය.

සිසුන් මේ පොහොර උර පුරවා රැගෙන එන දෙස මඳ සිනහවකින් බැලූ පරීක්ෂකවරයා පන්ති පරීක්ෂණයෙන් හා ගෙවතු පරීක්ෂාවෙන් පසු මුල් ගුරුන්නාන්සේගේ ගුරු බිරිය විසින් පිසින ලද කුරක්කන් රොටී දිවා ආහාරයට ගැනීමෙන් පසු මුල් ගුරු මේසය වෙත ගොස් මුල් ගුරුන්නාන්සේ දිගු කළ ලොග් සටහන් පොත පෙරළා පාසලේ ඉගැන්වීමේ කටයුතු හා පාසල් පරිසරය ඉතාමත් සතුටුදායක මට්ටමක ඇති බැව් සටහන් කළේ අසල සිටි මුල් ගුරුන්නාන්සේ දෙස කෘතඥ පූර්වක බැල්මක් හෙළමිනි.පරීක්ෂකවරයා පාසලෙන් පිටව තම මෝටර් රථය දෙසට යනවිට සිසුන් දෙදෙනකුතේ කැටුව ගිය දිසානායක මුල් ගුරුන්නාන්සේ පරීක්ෂකවරයාගේ කාරයේ ඩිකිය ඇර සිසුන් දෙදෙනා ලවා පොහොර උර පහම එයට එබූ අතර වාහනයට නැගගත් පරීක්ෂකවරයා මුල් ගුරුන්නාන්සේට සැලියුට් එකකින් සංග්‍රහ කර පිටව ගියේ හදපිරි සෙනෙහසිනි. ඉන්පසු මුල් ගුරුන්නාන්සේ උඩවෙල පාසලේ සිටිනතාක් පරීක්ෂකවරයා නැවත එම පාසලට පැමිණියේ නැත.

මෙය සත්‍ය සිදුවීමකි.

විශ්‍රාමලත් ආචාර්ය, බිංගිරිය - කොස්වත්තේ
ඩී. එන්. දිසානායක

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon