අනේ කරෝලිස් නොදුටු නිධානය බොලේ කොල්ලන්ගේ වැඩේ හිනාගිය

  👤  3106 readers have read this article !
2018-07-29

සුප්‍රකට අත්තනගල්ල රජමහ විහාරයට තරමක් නුදුරින් පිහිටා ඇති "ලැගුම්බිම" නමැති බිම් කොටස විවිධ ජනප්‍රවාදවලට බඳුන් වූ කඳු බෑවුමක පිහිටි තැනිතලාවකි. තම පියාගේ ආදාහන කටයුතු සිදු කිරීම සඳහා මේ ප්‍රදේශයට සැපත්වූ දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා ලැගුම්ගත් ස්ථානය මේ ලැගුම් බිම යැයි ජනප්‍රවාදයක්ද පවතී.

තරමක් මෝඩ පහේ පුද්ගලයකු වූ කරෝලිස් අයියාගේ නිවෙස පිහිටා ඇත්තේද මේ ලැගුම් බිම නමැති බිම් කොටසේම කෙළවරකය. මේ බිමේ කොතැනක හෝ මහා නිධානයක් ඇති බව ප්‍රදේශයේ කොයි කවුරුනුත් අසා ඇති ජනප්‍රවාදයකි. කරෝලිස් අයියලාගේ ගෙදරට නිතර යන එන කෙනකු වූ ගෝරිං වෙදරාලගේ අදහසට අනුව නම් මුලින් කී මහා නිධානය ඇත්තේ කරෝලිස් අයියාගේ ඉඩමේමය. ගෝරිං වෙදරාල මේ රහස කියා ඇත්තේ කරෝලිස් අයියාට පමණි.

ගෝරිං වෙදරාලගේ කියමන් සෘෂි භාෂිත සේ පිළිගන්නා කරෝලිස් අයියාගේ සිත මේ රහස ඇසීමෙන් පසු නිධානය ගැනම යොමුවී තිබිණි. නිධානය තැන්පත් වී ඇති ස්ථානය ගැනත් ගෝරිං වෙදරාල කරෝලිස් අයියාට ඉඟියක්ද දී තිබිණි. දැන් කළ යුත්තේ ඒ ස්ථානය හාරා බැලීමය. එහෙත් හේතුවක් නැතිව පොළොව හෑරීම වටපිටාවේ අයගේ සැකයට බඳුන් වන්නක් බැවින් ළිඳක් කැපීමේ මුවාවෙන් මේ කටයුත්ත සිදු කිරීමට කරෝලිස් අයියා තීරණය කළේ ගෝරිං වෙදරාලගේද අනුමැතිය ඇතිවය. ළිඳ කැපීමේදී මුල්ම පස් පිඩැල්ල කැපිය යුතු සුබ මොහොත පිළියෙල කර දුන්නේද ගෝරිංමය.

වටපිටාවේ අයට ඉව නොවැටෙන සේ නිධානය ගොඩගත යුතු වූ බැවින් ළිඳ කැපීම සඳහා කිසිවකු උදව්වට නොගත් කරෝලිස් අයියා ඔහුගේ බිරියගේ ආධාරය පමණක් ලබාගෙන එම කටයුත්ත ආරම්භ කළේ දෙවියන් වෙනුවෙන් කළයුතු සකලවිධ චාරිත්‍ර විධි ඉටුකිරීමෙන් පසුවය. සියලු දෙවිදේවතාවුන්ට වැඳ නමස්කාර කර කරෝලිස් අයියා සුබ මොහොතින් වැඩ අරඹද්දී ඔහුගේ බිරිය යසවතී ඉතිපිසෝ ගාථාව මතුරන්නට පටන් ගත්තාය. දැන් දැන් නිධානය මතුවේය යන දැඩි අදිටනින් දවස පුරා ළිඳ හෑරීමේ කටයුත්ත කරගෙන ගියත් නිධානය මතුවන පාටක් නොදුටු කරෝලිස් අයියා සහ බිරිය එදින වැඩ නතර කළේ අඳුර වැටෙද්දීය.

කොතරම් රහසේ කටයුතු සිදු කළත් කරෝලිස් අයියාගේ මේ ළිඳ කැපීමේ රහස ගැන ඉව වැටුණු ගමේ කොලු රැළ එදින රාත්‍රියේ අපූරු විහිළුවක් කර තිබිණි. අඩක් කපා තිබූ ළිඳ තුළට බැසගත් එක් දඟකාරයෙක් කැපූ ළිඳ මධ්‍යයේ තවත් පොඩි වළක් හාරා, කලින් සූදානම් කරගෙන තිබූ සෙම්බුවක් වැනි භාජනයක් රහසේම ඒ වළ තුළ වළලා දමා තිබුණේ පසුවදා කරෝලිස් අයියාට මතුකර ගැනීමට හැකි වන පරිද්දෙනි.

කොල්ලන්ගේ මේ ක්‍රියාව ගැන කිසිවක් නොදත් කරෝලිස් අයියා පසුවදා උදේත් දෙවියන් නමැද වැඩේ පටන් ගත්තේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙනය. ගතවූයේ සුළු වේලාවකි. කරෝලිස් අයියාගේ උදැල්ලේ යමක් දැවටෙන බව ඔහුට දැනුණි. වහා උදැල්ල පසෙකට ලා දෑතින්ම පස් ඉවත්කර බලන විට පෙනෙන්නට වූයේ පියනකින් වසා ඇති සෙම්බුවක හැඩය ගත් මැටි භාජනයකි. මේ නම් නිධානයම විය යුතුය.

කරෝලිස් අයියාගේ සතුට නිම් හිම් නොවීය. ඔහු දණගසා භාජනයට වැඳ නමස්කාර කර අති මහත් ගෞරවයෙන් මේ නිදන් වස්තුව ගොඩගත්තේ කාටවත් පෙනේදැයි වට පිට බලමිනි. යසවතීද උතුරා යන තරම් භක්තියෙන් මේ වස්තුවට වැඳ නමස්කාර කර එය හිස්මුදුනේ තබාගෙන ගෙතුළට ගියේ ඉතිපිසෝ ගාථාවද කියමිනි. නිධානය රැගෙන ගේ තුළට ගිය මේ දෙදෙනා වැඩි ගෞරවය සඳහා පුටුවකට සුදු පිරුවටයකුත් අතුරා මල්බුලත් පුටුවක් මෙන් සරසා නිධාන වස්තුව ඒ මත තැන්පත් කර ඉතා ගෞරවයෙන් වැස්ම ඉවත් කර බැලූ විට එහි තිබුණේ තිරුවානා ගල් කැබලි සමූහයක් පමණි.

විශ්‍රාමික විදුහල්පති
තල්ගහහේනේ විනී වරුසප්පෙරුම

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon