සරණංකර පුංචි හාමුදුරුවෝ හොර ලියුමක් දීලා

  👤  3513 readers have read this article !
2018-07-29

කොස්පිල්ලෑව විහාරයේ

ඉගෙන ගන්නා අවධියේ තරුණියක හා මිත්‍රව මා ලියුම් ගනුදෙනු කරතැ'යි තරමක කතාවක් ඇතැමුන් අතර පැතිර තිබිණි. සැබැවින්ම එකල මා කෙල්ලක හා ලියුම් ගනුදෙනු කිරීමට තරම් සුදුසු තත්ත්වයක සිටියේ නැත. ලියුමක් ලියූ බව සැබෑවකි. එහෙත් ඒ ලියුම ලියුවේ පහත් හැඟීමක් මුදුන් පමුණුවා ගන්නා අටියෙන් නොව පන්තියට අවශ්‍ය පොතක් ගෙන්වා ගැනීමට පිණිසය. එහෙත් කථාව ගියේ 'සරණංකර පුංචි හාමුදුරුවෝ හොර ලියුමක් දීලාලු' යනුවෙනි. මේ කතාව ගමේ ගෑනු පිරිමි දෙපස අතර පැතිර යෑම නිසා, මහත් සේ ලජ්ජාවට පැමිණි මම සිවුරු හැර පැන ගියෙමි. මෙවැනි නොවැදගත්, අසත්‍ය කතා පැතිර යෑමට ඉඩ තැබීමේ අමනෝඥ ප්‍රතිඵල ගැන ගැමි ජනතාවට අවබෝධයක් නැත. මෙබඳු කතා ගමේ තේ කඩ පුරා රැස්වන රස්තියාදුකාර තරුණයෝ සිය දහස් ගුණයෙන් මවා පෙන්වමින් පතුරුවා හරිති.

මා සම්බන්ධව එදා පතුරුවා හරින ලද අසත්‍ය කතාව නිසා වරෙක සිය දිවි හානි කර ගැනීමට පවා සිත් විය. එහෙත්
ළපටි වියේ වුවද දුරදිග බලා කටයුතු කිරීමේ මානුෂික ගුණය මට හුරු වී තිබුණු බැවින් ඒ දුබල අදහස ඉවත් කැර ගත්තෙමි. එසේම මේ සම්බන්ධයෙන් මගේ ආචාර්යවරයාණන් වහන්සේගෙන් කිසිදු අතවරයක් නොවීම නිසා මගේ සිත තවත් ධෛර්යසම්පන්න විය. පන්සල්වල හැදෙන කුඩා උන්නාන්සේලාට විරුද්ධව අදත් මෙබඳු කථා පතුරුවා හරිති. මෙබඳු පුවත් රට පුරා පැතිර යෑමට අමුතු වියදමක් හෝ වැඩි වේලාවක් හෝ ගත නොවෙයි. මෙවැනි අසත්‍ය කතා නිසා සිත් පෙරැළී ඇති වී විනාශ වන්නාවුන්ගේ සංඛ්‍යාවද සුළුපටු නොවේ. මෙවැනි කථාවලට සම්බන්ධ කැරගන්නා ගැමි දැරියන්ටද මුහුණපෑමට සිදුවන්නේ බලගතු කරදරවලටය. මෙවැනි සත්‍ය කථාද ඇති වන්නට හැකිය. ඒවා ගැන අසත්‍ය ප්‍රචාර නොපතුරුවා ස්ථානෝචිතව ක්‍රියා කිරීම ඉතා වැදගත්ය. රහත් නොවූවන් අතර වැරැදි ඇතිවීම ස්වාභාවික නිසයි.

කෙසේ වුවද දින කීපයකට වඩා පැන ගොස් සිටීමට මට නොහැකි විය. මගේ ආචාර්යපාදයන් වහන්සේ නැවත මා සොයා ගෙනැවිත් අවවාද කොට පැවිදි කළහ.
දායකයන් අතර මෙවැනි කතාවක් පැතිර යෑමෙන් පසු එහි තවදුරටත් විසීමට මා තුළ පැවැති අකැමැත්තක් නිසා දින කීපයකින්ම ආචාර්යපාදයන් වහන්සේ විසින් මම කොළඹ කොටහේනේ පරමානන්ද පිරිවෙනට භාර කරන ලදිමි. කොළඹ පැරැණිම පිරිවෙනක් වූ මෙහි එකල වැඩ සිටියේ සුප්‍රකට ප¾ඩිවරයකු වූ බොරලැස්ගමුවේ ශ්‍රී කල්‍යාණතිස්ස මහා ස්ථවිරයන් වහන්සේය. මා සිවුරු හැර ගිය විට ආචාර්යයන් වහන්සේ නැවත ගෙනැවිත් මා පැවිදි කළේ උන්වහන්සේගේද ආධාරය ඇතිවය. එබැවින් උන්වහන්සේද මට සැලකුවේ සිය ශිෂ්‍ය කෙනකු හැටියටය. එසේ වුවද පරමානන්ද පිරිවෙනේ ඉගැන්වීමද මගේ සිත් නොගත්තේය. මම එතැනින් ද බැහැර යෑමට සිතා ගත්තෙමි. එහෙත් එයට පිළිවෙළක් නැත. කෙසේ වුවද එතැන තතු විසිතුරු කොට කීමෙන් අනතුරුව මගේ ආචාර්යපාදයන් වහන්සේ මා ගම්පහ ඉහළගම පන්සලේ නතර කළහ. එය අපේම පන්සලකි. මා නැවත කොස්පිල්ලෑවට නොගියේ ඉහත ඇතිවූ බොරු අරගලය නිසා මා කලකිරී සිටි නිසයි.

1921දී දිනෙක මම ප්‍රවෘත්ති පත්‍රයක ශ්‍රී මත් අනගාරික ධර්මපාලතුමා විසින් ලියන ලද ලිපියක් දැක කියෙව්වෙමි. දඹදිව ධර්ම ප්‍රචාරය සඳහා කුඩා ස්වාමීන් වහන්සේ දස නමක් අවශ්‍ය බවත් ඒ දස නමට පළමුව පස් අවුරුදු අධ්‍යාපනයක් ශාන්ති නිකේතන විද්‍යාලය මඟින් දෙන බවත් එහි සඳහන්ව තිබිණි. මේ ලිපිය මගේ හිත තදින් ඇද ගත්තේය. මම කලක් ඉන්දියාවට ගොස් ඉගෙනීම ගැනද සිහින දුටුවෙමි. එහෙත් ඒ බොරු සිහිනයක් මිස සැබෑ සිහිනයක් නම් වෙතැයි මා කිසි විටෙක සිතුවේ නැත. ධර්මපාලතුමාගේ ලිපිය දුටු විගස එදින රාත්‍රි රහසිගතව ලිපියක් ලියා ධර්මපාලතුමාට තැපැල් කොට යැවීමි.

දින කීපයකින් පිළිතුරක් ලැබිණි. එය ඉතා කෙටි ලිපියකි. එහි සඳහන් වූයේ තමා පදිංචිව සිටින කොල්ලුපිටියේ ඇලෝ ඇවිනියු නිවෙසට පැමිණ මුණගැසෙන ලෙසටය. ලියුම් ලැබුණ දින කීපයකින්ම කොල්ලුපිටියට ගියෙමි. මින් පෙර කිසිම දිනෙක කොල්ලුපිටියට ගියේ නැතත්, දුම්රියෙන් කොල්ලුපිටියට ගොස් රික්ෂෝ රථයකින් ධර්මපාලතුමාගේ නිවෙසට ගියෙමි. එතුමා මට වාඩිවීමට දී තොරතුරු විමසන විට එතුමාගෙන් ලැබුණු ලිපිය ඉදිරිපත් කළෙමි. ලියමන බලා සිනාවක් පළ කළ ධර්මපාලතුමා 'සිංහල ජාතියේ අර ලොකු ලිපි ලියන පුංචි හාමුදුරුවෝ ඔබ වහන්සේදැ'යි ඇසීය. මම නිහඬව බිම බලා ගතිමි. ඊට පසු ඒවා ඔබ නමින් ලියා දෙන්නේ කවරෙක්දැයි ඇසීය. 'ඒවා ලියන්නේ කවුරුවත් නෙවෙයි,

මම මයි ලියන්නේ'යි උත්තර දුන්නෙමි. ඊට පසු මගේ වයස, ගම රට, පන්සල, ගුරුවරුන් ආදී විස්තර රාශියක් විමසා, 'හොඳයි තමුන්නාන්සේ දඹදිව එක්ක යන්න පුළුවනි. නමුත් තව අවුරුදු කීපයකට පසුවයි. ඔබ වහන්සේගේ වයස අඩුයි. ඒ නිසා තව අවුරුදු කීපයකට පස්සෙ සූදානම් වෙන්න' යැයි කීය. මේ කතාවෙන් පසු මා තුළ හටගත් කනගාටුව නොකීව හැකි තරම්ය. මට ඉවසුම් නැති විය. මට තවදුරටත් කතා කරන්නට සිතිණ. එහෙත් ඉතා සිත් ගන්නා කසාවතකින් සැරසී බද්ධපර්යංකයෙන් හිඳින සෘජු කයකින් යුක්ත ධර්මපාලතුමා සමඟ තවත් කථා කිරීමට තරම් මට චිත්ත ධෛර්යයක් නැති විය. එතුමාගේ ශරීරය අලුතින් නිමවාලූ ප්‍රතිමාවක් සේ චිත්තාකර්ෂණීයය. සකල ශරීරය වාත්තු කළා මෙනි. එතුමා යළිත් මගෙන් ධම්මපදයෙන් ගාථා කීපයක් හා ලංකා ඉතිහාසයෙන් ප්‍රශ්න කීපයක් විමැසීය. සමහර ඒවාට මම නිවැරැදි පිළිතුරු දුන්නෙමි.

ඊට පසු මා එකලාව දුම්රියෙන් පැමිණි බැව් අසා මුදල් කොයින්දැ'යි ඇසීය. මා මුදල් ළඟ තබාගෙන සිටින බැව් අසා මට ‍ෙදාස් කීවේය. හැම හාමුදුරුනමක්ම මුදල් පරිහරණය කරන බව මම කීවෙමි. ඊට උත්තර වශයෙන් භික්ෂුන්ට බැන වැදුණු ධර්මපාලතුමා 'දැන් භික්ෂුන් රටට ජාතියට කිසිදු වැඩක් නැති, මුදල් සෙවීම එකම ව්‍යාපාරය කොටගත් පිරිසකැ'යි කීය.

මම නිහඬව එතුමාගේ දේශනයට සවන් දීගෙන සිටියෙමි. තම වැඩ කටයුතු ආදිය ගැන කිසිත් නොබලා එතුමා මට විනාඩි හතළිස් පහක් පමණ නා නා අදහස් ඉදිරිපත් කරමින් කතා කළේය. මෙසේ කතා කැරැගෙන යන අතර එක්තරා මහලු ස්ත්‍රියක් පැමිණ දන් වේලාව ළං වුණු බව කියා මා ගෙය ඇතුළට කැඳෙව්වාය. මම ධර්මපාලතුමා දෙස බැලීමි. එතුමා මට දන් වළඳන්නට යන ලෙස කීය. මහලු ස්ත්‍රිය ආදරණීය මවක මෙන් මට දන් වැළඳවූවාය. ඇගේ කරුණාබර ගති පැවැත්ම ගැන මම පුදුම වීමි. දන් වළඳන අතරම 'ඔබවහන්සේ පැමිණියේ කුමකටදැ'යි ඕ තෙමෝ ප්‍රශ්න කළාය. මම සපුරා විස්තරය කීවෙමි. ඕ සිනාසී, 'තමුන්නාන්සේ දඹදිව යෑමට ඔය තරම් කැමැත්තක් පාන්නේ මන්දැ'යි ප්‍රශ්න කළාය. මෑ ගෙදර වගකිව යුතු තැනැත්තියකැ'යි සිතූ මම ධර්මපාලතුමාට කියා මගේ ගමන පිළියෙල කැරදෙන ලෙසට ඇයට මතක් කළෙමි. එයට කිසිදු පිළිතුරක් නුදුන් ඒ තැනැත්තිය තවත් මොනවාදෝ කෑමට මට ළං කළාය. ඒ අතර ඇය 'ධර්මපාලතුමාගේ නෑයෙක්දැ'යි විමැසීමි. "ඔව් මම එතුමාගේ ළඟම නෑයෙක්. මම තමයි එතුමාගේ මවු" යැයි අෑ කීවේ දයාබර දරු සෙනෙහස මුහුණින් පළ කරමිනි.ශ්‍රී මල්ලිකා හේවාවිතාරණ උපාසිකාව ගැන අසා සිටි මම ඇය හඳුනා ගන්නට ලැබීම නිසා බෙහෙවින් සතුටු පැමිණියෙමි.

එවැනි උතුම් කාන්තාවක් හඳුනා ගැනීමට ලැබීමේ ප්‍රීතිය මට ඇති විය. ධර්මපාලතුමාට කියා මගේ ගමන පිළියෙල කැරදෙන මෙන් මම නැවතත් ඇයගෙන් ඉල්ලා සිටියෙමි. මෙහිදී මවක සිය පුතු කෙරෙහි සෙනෙහස පාන්නා සේ ඉතා ආදරයෙන් මගේ අත අල්ලා ගෙනම ධර්මාපාලතුමා වෙත ගොස් 'මේ පුංචි හාමුදුරුවොත් දඹදිව එක්ක යන්නැ'යි ඉල්ලා සිටියාය. 'ඔව්, අම්මා කියනවා නම් පොඩි උන්නාන්සේ එක්ක යන්න බැරුවයැ' සිය මවගේ කීමට පිළිතුරු දුන් ධර්මපාලතුමා කීවේය. ධර්මපාලතුමාගේ මාතෘ ප්‍රේමය දැක මම පුදුම වීමි. කිසිම හරස් කතාවක් නොකොට මවගේ කතාව එක් වරම පිළිගැනීමෙන් පෙනී යන්නේ එතුමාගේ අචල මාතෘ භක්තිය හැර අනෙක් කුමක්ද? ඊට පසු ධර්මපාල මාතාව මා එහි වාඩි කරවා ආපසු ගෙට ගොස් බුලත් වට්ටියකුත් අතේ ඇතිව පැමිණියාය. ඒ දුටු ධර්මපාලතුමාගේ මුහුණ නරක් විය. ඔහු එක්වරම 'ඔන්න අම්මාගේ සර්දාව. ඉතින් හාමුදුරුවරු හැදෙන්නේ කොහොමද? මේ පුංචි හාමුදුරුවන්ටත් බුලත් වට්ටියක්. ඕක පුරුදු වුණාම හප - හපා පඩික්කම් පුරවනවා. බුදියනවා විතරයි හාමුදුරුවරු කරන්නේ. ඒ නිසා හැදෙන හාමුදුරුවන්ට බුලත් දෙන්න එපායැ'යි අම්මාට අවවාද කළේය.
ඊට පසු මගේ ආචාර්යපාදයන් වහන්සේගේ ද කැමැත්ත අනුව මගේ දඹදිව ගමන පිළියෙල විය.

ශි්‍රයානි අජන්තා විතාන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon