අහෝ..! මහජන මුදල්

  👤  3467 readers have read this article !
2018-07-29

රටේ මිනිස්සු මොනවා කීවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු රට වෙනුවෙන් විඳිනා දුක ගන්නා වෙහෙස මහන්සිය ගැන දන්නේ ඔවුන්ගේ අඹු දරුවෝ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. අපේ රටේ මන්ත්‍රිවරුන්ට වැඩ රාජකාරි නිමක් නැත. කොටින්ම කියනවා නම් පාර්ලිමේන්තු සභා වාර පැවැත්වෙන සීමිත දිනවල හෝ පාර්ලිමේන්තුවට යන්නටත් ඉවරයක් නැත.

පාර්ලිමේන්තු විවාද පැවැත්වෙන දිනවල මහජනතාව දකින්නේ පුටුවලට කතා පවත්වන මන්ත්‍රිවරුය. රටට ජනතාවට බලපාන වැදගත් විවාද පැවැත්වෙන විට පාර්ලිමේන්තුවේ ගණ පූරණයවත් තිබුණේ නැත. මන්ත්‍රිවරු වැඩි දෙනකුගේ වැඩ තිබෙන්නේ බැංකොක් නගරයේ නැතිනම් සිංගප්පූරුවේය. රැස්වීම් පැවැත්වෙන සාමාන්‍ය දිනක පාර්ලිමේන්තුවේ මහජන ගැලරියට යන ඕනෑම පුරවැසියකුට සිතෙන්නේ දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති මොනව වුණත් අඩු තරමින් පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහභාගි වන මහජන නියෝජිතයන් පත්කර එවන්නට ජනතාවට නොහැකි වූයේ මොන විපතක් නිසාද කියාය.

ලංකාවේ මෙන් දිවා භෝජනය ගැනීම සඳහා පමණක් ගෝල බාලයන් සමඟ පාර්ලිමේන්තුවට එන මන්ත්‍රිවරු ඉන්දීය ලෝක් සභාවේද සිටිනවා දැයි පොඩ්ඩක් සොයා බැලීම වටී. මන්ත්‍රිවරුන්ගේ කෙරුවාව එසේ වුවද ගෙවුණු වසර 70 පුරා බලයට පැමිණි සෑම ආණ්ඩුවක්ම අඩු නැතිව මහජන මුදලින් පාර්ලිමේන්තු මන්ත්‍රින්ගේ සාක්කු පුරවා තිබේ. අවුරුදු පහක් දියවන්නාවේ ගැවසුණු මන්ත්‍රිට විශ්‍රාම වැටුප් ලබා දීමෙන් නතර නොවී අර ලේකම්ට, මේ ලේකම්ට යනාදී වශයෙන් තවත් හැටහුටහමාරකට විශ්‍රාම වැටුප් ගෙවන්නට පනත් සම්මත කළේද ජනතාව වෙනුවෙන් පණ දෙන්නට හදන දේශපාලන පක්ෂ බව අමතක නොකළ යුතුය.

පසුගිය වසරේ අගමැතිවරයා මන්ත්‍රිවරුන් සඳහා මසකට රුපියල් ලක්ෂ දෙක බැගින් ලබාදෙන යෝජනාවක් ගෙනාවේය. එම දීමනාව අනුමත කළේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අමාත්‍යාංශ අධීක්ෂණය සඳහා ගෙවන මන්ත්‍රි දීමනාවක් ලෙසය. පුදුමය නම් දැනට අවුරුද්දක පමණ කාලයක් මෙම දීමනාව ගෙවා ඇතත් මේ දක්වා ඔවුන් කිනම් අමාත්‍යාංශයක අධීක්ෂණ මන්ත්‍රිවරුන්ද යන්න පිළිබඳව නම් කිරීමක් සිදුකර නොතිබීමය. කිසිදු අධීක්ෂණ කටයුත්තක්නොකරන මන්ත්‍රිවරු 50කට අධීක්ෂණ මන්ත්‍රි දීමනා වශයෙන් ලක්ෂ 1200ක් පමණ මේ වනවිට ගෙවා ඇත. ඒ හැම සතයක්ම මහජනතාවගේ මුදල්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු දැනට ලබන මාසික මන්ත්‍රි දීමනාව රුපියල් 54,285කි. කාර්යාල දීමනාව රුපියල් 100,000කි. දුරකථන දීමනාව රුපියල් 50,000කි. සංග්‍රහ දීමනාව රුපියල් 1000කි. පාර්ලිමේන්තු සභා රැස්වීම්වලට සහභාගි වීමට දිනකට රු. 2,500කි. රියැදුරු දීමනාව රු. 3,500කි. වාර්ෂිකව ලැබෙන තැපැල් මුද්දර පහසුකම රු. 175,000කි. ඉන්ධන දීමනාව පළාත අනුව රු. 33,000 සිට ඉහළට හිමිවේ. මේ සියල්ල එක්ව ගත් කල අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මසකට රු. 250,000 ඉක්මවන ආදායමක් ලබයි. තීරු බදු රහිත වාහන අලෙවියෙන් ලබන ආදායම මීට අමතරවය. බේත් හේත්,සෞඛ්‍ය පහසුකම් නොමිලයේය. අගමැති වික්‍රමසිංහ මහතා තවත් ලක්ෂ දෙකක් එකතු කර තිබෙන්නේ මේ පඩි සීට්ටුවටමය.

මහජනතාව ලබාදුන් වරම නිසා තමන් අතට ලැබුණු හැන්දෙන් තමන්ගේ පතටම බෙදා ගන්නා නායකයන් කිසිසේත්ම මහජන සේවකයන් වන්නේ නැත. ගරු සේවයක් නොකරන ඔවුන් වැටෙන්නේ පරපෝෂිතයන් ගනනටය. ජාවාරම්කාර දූෂිත මිනිසුන් ජාතික දේශපාලනයට ඇදී එන්නේ ගාණක් මිම්මක් නැතිව මෙසේ ලබාදෙන වාසි නිසාය. මහජන නියෝජිතයන් වැටුප් දීමනා නොලබන ස්වේච්ඡා සේවකයන් නොවන තාක් කල් ඔවුන් හැදෙනවා මිස රට හැදෙන්නේ නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon